නුඹ තරම් ප්‍රේමයක් – 51

පනස් එක් වැනි නෙත් සැරිය

චත්‍ර අයත්මා වෙත කිසිඳු බුරුලක් නොපෙන්වාම ඇයට සමුදුන්නේ අතුකෝරල මහතාගේ සහ කපිලගේ උරහිසට වාරු වෙමිනි. අයත්මා ඔහු අමතන්නට උත්සාහ කලද චත්‍රගෙන් එයට කිසිඳු ඉඩක් ලැබුනේ නැත. එහෙත් අයත්මා එය දරාගත්තාය. සිහිනි අයත්මාගේ අතින් අල්ලා නිහඬවම ඇයට සමුදුන්නාය. චත්‍රගේ මව අයත්මා වෙත හෙලුවේ කියවාගත නොහැකි බැල්මකි. එකි යම් ස්තූතියක්ද , කෝපයක්ද විය.

” ගිහින් එන්නම් අයියේ….”

සිහිනි අවිශ්ක අසලින් සිට ගත් පසු තත්පර කිහිපයක්ම ගෙවා දැමුයේ නොසන්සුන්වය. අවසානයේ ඕ එලෙසින් කීවාය. අවිශ්ක හිස සැලුවා පමණි. අසල සෙල්ලම් කරමින් උන් දියණියගේ වත සිඹින්නටද සිහිනි අමතක කලේ නැත. දියණියද ඉතා සුරතල් සිනහ පාමින් සිහිනි වෙත තත්පර කිහිපයකට නතු වූවාය.

අවිශ්ක ඒ දසුනෙන් දෑස් ඉවතට ගත්තේ විදුලියක් වැදුණු සෙයිනි.ඒ  සැනින් සහන්ගේ තර්ජනය කිරීම ඔහුට සිහි විය. සිහිනිට නපුරක් විය දිය නොහැකි බව යළි ක්ෂණයෙන් අවධාරණය කර ගත්තේය. ඇයට් සිත මෙතරම් ඇලෙන්නේ මන්ද ?

” රෑ වෙලා මට කෝල් එකක් දෙන්න .. මට කතා කරන්නෝනා…”

සිහිනි කැබ් රියට ගොඩ වෙද්දීම අවිශ්කගේ පණිවිඩය ඇගේ ජංගම දුරකතනයෙන් මතු වූයේය. සිහිනි වහා හැකී බලා හිස සැලුවාය. සමනළුන් පියඹමින් තිබුණි.

චත්‍ර ඉදිරි අසුනට වී හිස අසුනට බර කරගෙන උන්නේ කිසිවක් නොකියමිනි. ඔහුගේ ජීවිතයේ දරා ගත නොහැකි බිඳීමක් දැනෙමින් තිබුණි.

” අප්පච්චී ..ලොකු අප්පච්චීට කියන්න ඒ කිව්ව ගෑණු ළමයාව බඳින්න මම කැමතියි කියලා … ලොකු අප්පච්චී හරි.. ආදරේ කියල මඟුලක් නෑ .. වෙන්නෝනි අපේ ගේම ගහගන්න එක.. ඒ කෙල්ල බැන්දාම මට සෑහෙන්න ඉස්සරහ පොලිටිකල් ගමනක් ලැබේවි ….”

” මොකද්ද චත්‍ර කියන්නේ?…”

අතුකෝරල මහතා ඉවසීමෙන් විමසුවේය. චත්‍ර අයත්මා සමඟ පැටලීමක ඉන්නා බවට සැක ණැති වුවද, අයත්මාගේ දෑස් වලින් අතුකෝරල මහතා සෑහෙන කතා කියවා ගත්තේය.  ලොකු අයියා තමන්ගේ ජීවිතයටද මෙවැනිම යෝජනා කල බව ඔහුට අමතක නැත. ඒ සියලු යෝජනා අතැර සන්ධ්‍යාව විවාහ කර ගැනීමෙන් පසු තමා නිවසින් එලවා දැමූ බව අතුකෝරල මහතාට මතකය. දෙමාපියන්ගෙන් කියා කිසිවක් නැතිව ටහ වයසේදී එක්වරම තනි වෙන්නට වූ විට කිසිවක් පහසු වූයේ නැත. එහෙත් අවසානයේ ලොකු අයියා නිවැසියන්ට හොරෙන් තමා හා උන්නේය.

 මුදලින් උපකාර කලේය. රැකියාවක් වෙනුවෙන් උපකාර කලේය.. එහෙත් ඒ අතරේ  සන්ධ්‍යාගෙන් වෙන් වන්නට තම හිත සකසන්නටද උත්සුක වූයේය. වසර ගනනාවක් තිස්සේ ඔහු උපකාරද ඒ බිඳ හෙලීම වෙනුවෙන්  භාවිතා  කරන්නට උත්සාහ කලේය. තමාට දේශපාලනයට පිවිසීම සඳහා වන අත් පොත් සකසා දුන්නේද ලොකු අයියා බව අතුකෝරල මහතාට මතකය. ඒ තමා සන්ධ්‍යාඅත් නොහරින බව වටහා ගැනීමෙන් පසුවය.

 ඉන් පසු සියල්ල වෙනස් විය. චත්‍ර ඉපදෙනවාත් සමඟම ලොකු අයියා මේ නිවෙසද සමඟ ඉඩමද තමා නමටම ලියා දුන්නේය. අම්මලා ද ක්‍රම ක්‍රමයෙන් අමනාපකම් අත් හරින සේයාවන් වැටුනේය.

දැන් ලොකු අයියා චත්‍රගේ හිතට ඇතුලු කරන්නේ එකල තමා මතින් ඉටු කරගන්නට නොහැකි වූ බලාපොරොත්තු වග අතුකෝරල මහතාට නොවැටහෙනවා නොවේ.

” ලොකු අප්පච්චී මට  ගෑණු ළමයෙක් බලලා තිබ්බා.. අර එහෙ අයියා බඳින්න ඉන්න පවුලේ බාලම ළමයා .. ඩොක්ටර් කෙනෙක්ලු … ඒ අර දහනායක හෝල්ඩින්ග්ස්ලාගේ පවුලනේ…”

චත්‍ර කිසිඳු වහක් නැතිවම පවසන්නේය. සිහිනි දෑස් අයා අසා උන්නේය. චත්‍ර ගේ සිත මෙවන් දරදඬු වන අබ්ව වත් සිහිනි සිතා තිබුනේ නැත.

” ඉතින්….?'”

” ඉතින් මම කැමතියි කියන්න ….”

” එතකොට අර ලමයා …?…” 

විමසුවේ සන්ධ්‍යාය. චත්‍ර අතුකෝරල මහතාට පිලිතුරු දුන්නේය.

” අප්පච්චිට බැරි නම් මම කියන්නම්.. ඉන් එහා දේවල් ලොකු අම්මයි, ලොකු අප්පච්චියි එක්ක කතා කරගන්න එහෙනම් …”

චත්‍ර දැඩි හඬකින් කීවේය.

” ලොකූ .. එව්ලේට ආවේගෙට වචන පිට කරාම පස්සට නිවි හැනහිල්ලේ පසු තැවෙන්න වෙනවා… තමුන් ගේ ඔය ගිණි පිඹිල්ල ඉස්සෙල්ලාම අඩු කරගන්න බලනවා…  ජීවිතේ කියන්නේ ඔහොම හයි වේ දාලා යන ගමනක් නෙවෙයි … අර ගෑණු ළමයා තමුන් පස්සෙන් එල්ලි එල්ලි කතා කරන්න කොච්චර නම් උත්සාහ කලාද?  ඒ ලමයා මහ වේදනාවක හිටියේ .. තමුන් උදේ උන්නේත් ඒ වගේම වේදනාවක නේද?. ඔහොම පළි දරලා අන්තිමේදී දෙන්නම දුක් විඳින එකයි වෙන්නේ..”

” අනේ අප්පච්චී .. මට ඔය වේදනා මඟුල් කතා අදාල නෑ….. වෙන්නෝනි දේ මම කිව්වේ .. ආයේ ඔය  ගැන මගෙන් අහන්න  එපා…”

අතුකෝරල මහතා චත්‍රට නිවෙන්නට  ඉඩ දෙන්නට තීරණය කලේය . සන්ධ්‍යා අතීතය සිහිවී නෙතට නැඟුණු කඳුලු වහා පිසලා ගත්තාය. චත්‍ර ගේ තීරණය ගැන තමන්ට සතුටක් නොදැනෙන්නේ මන්දැයි කල්පනා කලාය. අතීතය අමතක කර අයත්මාට අපහාස කෙරූ අතීතය ගැන සන්ධ්‍යාටද යම් වේදනාවක් දැනෙමින් තිබුණි.

කපිල උන්නේ ඉදිරි දින කිහිපයේ මේ නාම්බා ආම්බාන් කිරීම කෙලෙසක කරන්නට හැකි වේදැයි සිතමිනි. ලබන සෙනසුරාදාවේ විෂේශ සාකච්චාවක් වෙනුවෙන් කොළඹ යෑමටද ඇති බව කපිලට සිහිපත් වූයේය. චත්‍ර මෙලෙස මවාගත් කෝපයකින්ද, නොඑසේනම් සැබෑ කෝපයකින්ද සිටින විට ඒවා සියල්ල අඩපණව යන්නේය. අනෙක් අතට අයත්මා අත් හැරීමට ගත් මේ තීරණයද කිනම් විනාශයක් ඉස්සර කරගෙන ඒවිදැයි කිව නොහැක.

චත්‍ර රාත්‍රී ආහාරය ගෙන , ඖෂධද පානය කර නින්දට වැටුනේය. ඔහු එක් විනාඩියකටවත් ජංගම දුරකතනය සිහියට ගත්තේ නැත. එය වූයේ ක්‍රියා විරහිතවමය.

 අයත්මා සිහිනි අමතා විස්තර විමසුවාය. ඇගේ හදවත අභ්‍යන්තරයෙන්ම දැනෙන දැවිල්ල වේවැලකින් ගැසූ පසු දැනෙන කිස් ගැසීමට සමය. එහෙත් ඕ ඒ සියල්ල දරා ඉවසගෙන උන්නාය. කලබලයට පත් වී තමා චත්‍රට බැණ වැදී ඔහු එලවා ගැනීම කල නොයුතු දෙයක් බව දැන් ඇයට වැටහේ. කතා බහ කර සෑහෙන දේවල් විසඳා ගන්නට තිබුණි. එහෙත් තමා කලේ හැඟීම්වලට වහල් වීමය.

 අතීතයේ සිදුවී තිබූ සියල්ල කතා බහ කිරීම වෙනුවෙන් ඕනෑ තරම් කාලය තිබුණි. අනෙක් අතට තමා ඒ සිදුවීම නොදැන උන්නා නොවේ. සහන් අයියාට කෙලෙස පවසා තිබුණා වුවද, සැබැවින්ම සිදු වූයේ එයමද දන්නේද නැත. එක නිවස බෙදා ගත් පමණින් ඔවුන්ගේ සම්බන්ධතාවයේ දිග පලල නිච්චියටම කියන්නටද නොහැක. අනෙක් අතට ඒවා බටහිර රටවල් ය. මිනිසුන් ස්වයං විනයක් එක්ක හැසිරෙන සමාජයන් ය.

මේ සියල්ල අයත්මාට සිතන්නට නියමිතව තිබුනේ පෙර දිනයේය. එහෙත් ඒ රැය ගෙවුනේ අසිහිය එක්කය. සිහිය විකල් වෙන්නට නියමිත සිතුවිලි එක්කය. චත්‍රගේ අහිමි වීම සිදුවේය යන රිදීම එක්කය. අද උදෑසන පුපුරා ගියේ ඒ සියල්ලය. දැන් මේ රිදෙමින් විඳවන්නෙ ඒ පිපිරීමේ පසු ප්‍රතිපලය.

පසුදා උදෑසන චත්‍ර මිදුලට වී සුරතල් සුනඛයා සමඟින් සෙල්ලම් කරමින් උන්නේය. සිහිනි ඔහුට සහ සුනඛයා දෙදෙනාටම කිරි රැගෙන ආවාය.

” අයියේ ….”

” ම්ම්ම්ම්….”

” දැන් කකුල කොහොමද?…”

” ටිකක් ඇද්දුම් කනවා…  ශේප් වෙයි …..”

” අයත්මාට පොඩ්ඩක් කතා කරලා ඉන්නවද අයියේ?.. දැනුත් කතා කලා… කෙල්ල නිදාගෙනත් නැද්ද කොහෙද?.. ප්‍රශ්න විසඳගන්න නම් කතා කරන්නම වෙනවනේ..පවු අයියේ ..”

” මට විසඳගන්න ප්‍රශ්නයක් නෑ.. මගේ තීරනේ මම කිව්වනේ….”

චත්‍ර දැඩි හඬකින් කීවේය. සිහිනි හිස පසෙකට ඇල කරගෙන බලා උන්නාය.

” අයියේ …  ඔහොම හිතුවක්කාර වෙලා, නැති වෙලා ගියාට පස්සේ කොච්චර උත්සාහ කලත් වැඩක් නෑ.. අනෙක අයත්මා ඔයාට එහා.. ඔයා කරන්න යන දේ දැනගත්තම එයත් මොනවා කරාවිද දන්නේ නෑ…”

” ඉතින් … ඕනි දෙයක් කරගන්න දෙන්න .. මට පාඩුවේ ඉන්න දීලා තමුසේ වැඩක් බලාගන්නවකෝ….”

චත්‍ර සිහිනිගෙන් පසෙකට ඇවිද ගියාය. ජීව්තයේ යම් යම් දිනවලදී හිතට දැනෙන බැඳීම් වල ඝනකම මෙලෙසින් වෙනස් වන්නේ ඇයි දැයි  සිහිනි කල්පනා කලාය. සති කිහිපයකට පෙර තමා උන්නේ අයත්මා පිළිබඳව වන කෝපයෙනි. එහෙත් දැන් ඇය ගැන සෙනෙහසක් දැනේ. 

| අපේක්ෂා ගුණරත්න |

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles