ඉවසීම

වරුණි උදේ ඇහැරුනේ කිරිබත් සුවඳ නාස් පුඩු වලට දැනෙන කොට.පුංචි කාලේ ඉඳලම කිරිබත් කන්න ආස කරපු වරුණි සමහර දවස්වල රෑ කෑමටත් අම්මගෙන් කිරිබත් ඉල්ලුවා.උසස් පෙළ කරලා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් හිටපු වරුණි මේ ගෙවෙන දවස් වලට ආස කලේ වෙනදට වඩා වැඩි කාලයක් ගෙදර ඉන්න ලැබෙන නිසා

” අද තාත්තාගේ උපන්දිනේ පුතේ “

කුස්සියට ආවා වරුණි ට දීපිකා කිව්වේ ඇහෙන නෑහෙන ගානට.

” මට මතකයි අම්මේ “

වරුණි එහෙම කියලා කුස්සිය මේසෙ උඩ අපිළිවෙලට තිබුණ කෙසෙල් කොලේ පිලිවෙලට තියෙනකොට දීපිකාට ඉබේටම සුසුමක් හෙලුනා.

” තාත්තා අද බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා ඇති නේද ? “

වරුණි ඇහුවේ පුරුදු හිනා මුසු මුහුණින්.තාත්තා ගැන මතකය ඒ තරම් ලොකු එකක් නොවුනත් තාත්තා කියන වචනයටත් වරුණි ආදරය කළා.අවුරුදු දෙකක් තරම් කුඩා වයසක දී තාත්තගේ උණුහුම අහිමි වෙච්ච දියණිය ගැන දීපිකාට දැනුනේ අනුකම්පාවක් මුසු වුන දුකක්

විශ්ව විද්‍යාලයේ ජනප්‍රියම පෙම්වතුන් යුවළ උනේ දීපිකායි අසංකයි.කවුරු කොහේදි දැක්කත් එකටම හිටපු දීපිකායි අසංකයි විවාහ වුණේ අවුරුදු හතරක ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් විදිහට.

” මම කැමති අපේ දුව ඔයා වගේම අහිංසක කෙනෙක් වෙනවට “

දීපිකාට ලැබෙන්න යන්නේ දුවෙක් කියලා දැනගත්ත දවසේ අසංක කිව්වෙ ගොඩක් ආදරෙන්

” තාත්ත වගේ ටිකක් හිතුවක්කාර උනාටත් කමක් නැහැ ඉතින් “

විවාහ වෙලා අවුරුදු එක හමාරකට පස්සෙ පුංචි දුවෙකුගේ දෙමව්පියන් වෙන්න දීපිකාටයි අසංකටයි පුළුවන් වුණා.රැකියාවෙන් නිවාඩු ලබාගෙන දීපිකා දියණිය වෙනුවෙන් වෙහෙසෙද්දී අසංක රැකියාවත් එක්ක ඉතාම කාර්ය බහුල වුණා.වරුණිගේ කටයුතු වලට සහාය දෙන්න දීපිකාගේ අම්මා දීපිකාට උදවු උනා

” අසංකට මොනවද ඔය හැටි තියෙන වැඩ ? “

දවසක් රෑ දහය පහු වෙලාත් අසංක ගෙදර ආවේ නැති කොට දීපිකාගේ අම්මා ඇහුවා

” මාසෙ අන්තිම නේ අම්මේ .වැඩ ඉතින් වැඩි “

දීපිකාට අසංක කෙරෙහි තිබුණේ අසීමිත වූ විශ්වාසයක්.දියණියව වෛද්‍යවරයාට පෙන්වන්න පවා දීපිකාට බොහෝ වෙලාවට යන්න උනේ තනියම.අසංක වෙහෙස වෙන්නේ තමන්ගේත් දියණියගේත් අනාගතය වෙනුවෙන් නිසා කිසිම වෙලාවක දීපිකා ඔහුගේ වැඩ වලට බාධා කරන්න ගියේ නෑ

” office එකට අලුතෙන් ආව reseptionist එක්ක අසංකගේ ඇයි හොඳයිය නම් වැඩියි කියලා රෝහිත කිවුවා “

රෝහිත කියන්නේ අසංකගේ හොඳම හොදම යාලුවගෙ බිරිඳ.අලුත උපන් දියණියව බලන්න ගෙදරට ආපු වෙලාවේ ලක්ශිකා දීපිකාට එහෙම කිව්වේ ඒ තරම් දුරදිග නොහිතයි

” මම මේ කේලමක් කියනව නෙමෙයි දීපිකා. ඔයා බබාගෙ වැඩ වලට බිසී වෙනකොට අසංක ගැනත් වැඩිපුර හොයලා බලන්න අමතක කරන්න එපා”

ලක්ෂිකා කියපු දේ ගැන හිතනවද නැද්ද කියලා දීපිකා සෑහෙන වතාවක් කල්පනා කළා.හැම දෙයක් දිහාම ඉවසීමෙන් බලන්න පුරුදුවෙලා හිටපු දීපිකා ලක්ෂිකා කියපු දේ දිහාත් ඉවසීමෙන් බලන්න හිතුවා

” මගේ මේ ශර්ට් එක අයන් කරලා නැත්තෙ මොකද දීපිකා ? “

දවසක් උදේ පාන්දරම අසංක ඇහුවෙ ගොඩක් තරහෙන්

” අනේ මම අයන් කලා අසංක.කෝ දෙන්න බලන්න “

දීපිකා අසංක අතේ තිබුන කමිසය අතට ගත්තේ වරදට සමාව ඉල්ලන්න වගේ

” අනේ මේ මෙන්න මෙහාට දෙනවා ඕක.වැඩක්වත් හරියට කරගන්න බැහැ.ඉන්නේ වෙන ලෝකෙක නේ “

දීපිකා අතට ගත්ත කමිසය ආපහු උදුරලා ගත්ත අසංක කෝපයෙන් වගේ ඒක ඇඳගත්තා.පුංචි පුංචි දේවල් වලට අසංක තරහ ගන්න හැටිත් , ඔහුගේම වැරදි වලට සමහර වෙලාවට දීපිකාට ම දෝෂාරෝපණය කරන හැටිත් දීපිකා සුපුරුදු විදිහටම ඉවසුවා.ප්‍රසුත නිවාඩු අවසන් කරලා දීපිකා ආපහු රැකියාවට යන්න පටන්ගත්තට පස්සේ දීපිකාත් අසංකත් අතර තිබුන බැඳීම ටිකෙන් ටික ඈත් වෙන්න ගත්තා.

තමන්ගේ දියණියත් සැමියාත් එන්න එන්නම විරසක වෙන හැටි දීපිකාගේ අම්මා බලාගෙන හිටිය සංවේගයෙන්.හයක් හතරක් නොතේරෙන මිනිපිරියට තාත්තා අහිමි වෙයි කියලා බය ඇය තුළ නොඅඩුව තිබුණා

වරුනිට අවුරුදු එකහමාරක් වෙනකොට , දේවල් තවත් වෙනස් වෙන්න ගත්තා.දවසක් රෑ අසංක නාන අතරේ දීපිකා ඇඳ උඩට වෙලා පොතක් කියවමින් හිටියා.චාජ් වෙන්න ගහල තිබුන අසංකගේ දුරකථනයට ඇමතුමක් එනවා දීපිකා දැක්කේ අහම්බෙන්.දුරකථනය නිහඬ කරලා තිබුණ නිසා එයින් කිසිම ශබ්දයක් නිකුත් වුණේ නැහැ.දුරකථන තිරයේ ” රුවනි ” කියල සටහන් වෙලා තියෙන කොට දීපිකාගේ දෙපා සීතල වෙලා ගියා

කවදාවත් අසංකගෙ දුරකථනය පරික්ෂා නොකරපු දීපිකා දුරකථනය අතට ගත්තේ ගැහෙන දෑත් වලින්. අසංක නාල ඉවර වෙලා නාන කාමරයෙන් එලියට එනකොට ඇඳ උඩට වෙලා අසංකගේ දුරකථනය අතේ තියාගෙන කඳුළු පිරුණු අසරණ දෑස්වලින් බලාගෙන ඉන්න දීපිකාව දැකගන්න අසංකට පුළුවන් වුණා

” ඔයාට යන්න ඕනේ නම් ඒක මට කියන්න තිබුණා “

දීපිකා කතා කළේ දෑස් වල තිබුණු කඳුළු වැටෙන්න නොදී

” ඔයා මොකටද මගේ ෆෝන් එක බලන්නේ.මගේ හොර අල්ලන්න ද ? “

” ඔයා මට හැමදේම කිව්වා නම් ඔයාගේ හොර අල්ලන්න දෙයක් මට නැහැ නේ “

අසංකගේ දුරකථනය ඔහුගේ අතටම දීපු දීපිකා කාමරයෙන් එලියට ආවා.

” ඔයා දැන් ආදරේ කරන්නේ එයාට නම් , ඔයාට එයාව බඳින්න ඕනේ නම් අපි දික්කසාද වෙමු “

පහුවදා උදේ අසංක රැකියාවට යන්න ලෑස්ති වෙනකොට දීපිකා ඔහු ළඟට ඇවිත් බොහොම සන්සුන් හඩින් කතා කළා.

” හැමදේම මාත් එක්ක බෙදාගත්ත ඔයා ,පුංචි පුංචි දේවල් වලටත් මාත් එක්ක තරහ ගන්නකොට මම හිතුවා මොකක් හරි වැරැද්දක් වෙනවා කියලා.ඒත් මේ තරම් දෙයක් මම බලාපොරොත්තු වුණේ නැහැ අසංක “

අසංක ටයි පටිය සකසමින් කන්නාඩිය දිහා බලාගෙන දීපිකාට ඇහුම්කන් දුන්නා.මුණගැහුණු දවසේ ඉඳලා අහිංසක කෙනෙක්වුණ දීපිකාගේ ඉවසීම ගැන අසංකට ඇත්තටම පුදුම හිතුනා

” ඔයා මෙහෙ ඉඳගෙන හිත එහෙ තියාගෙන හිතේ කරදරෙන් ඉන්න ඕනේ නෑ අසංක “

පුංචි දියණියට අවුරුදු දෙකක් වෙනකොට තාත්තාගේ උණුහුම අහිමි වුණේ ඒ විදිහට.දික්කසාදයෙන් වසරකට විතර පස්සෙ රුවනි ව විවාහ කරගත් අසංක පිටරට පදිංචියට ගියා කියලා දීපිකාට දැනගන්න ලැබුණා.ඒ අසංකගේ හොඳම මිතුරාවුන රෝහිතගේ බිරිඳ ලක්ෂිකාගේ මාර්ගයෙන්

” රෝහිත අසංකට කතා කරන එකත් නතර කළා.මේ තරම් පොඩි දරුවෙක් එක්ක ඔයාව තනිකරලා ගිය එකට මං වගේම රෝහිතත් ඉන්නේ හරිම වේදනාවෙන් දීපිකා “

” එදා ඔයා කිව්ව දේවල් ඒ තරම් ඒ තරම් ගණන් ගත්තෙ නැතත් ,ඒ දේවල් ඇත්ත කියලා මට ටික ටික තේරුම් යන්න ගත්තා ලක්ෂිකා “

” මුලදී රෝහිත විහිලුවට වගේ අසංක ගැන ගෙදර ඇවිල්ලා කිව්වත් මම වුණත් ගණන් ගත්තෙ නැහැ “

” මොකක් හරි හේතුවක් නිසා අසංකට යන්න ඕන වුණා.ඉතින් මම එයාට යන්න දුන්නා “

තමන්ගේ ප්‍රථම ප්‍රේමය අමතක නොකරපු දීපිකා ආයෙමත් විවාහයක් ගැන නොහිතා වරුණිගේ අනාගතය ගැන විතරක්ම හිතුවා.

” අම්මේ “

අවුරුදු ගාණක් ඈත අතීතයට ගිය දීපිකාගේ කල්පනා ලෝකය බිඳ වැටුණේ වරුණිගේ හඬින්.තාමත් අසංකගේ උපන්දිනයට කිරිබත් හදන දීපිකා ,වරුණි ත් එක්ක අසංකගෙ උපන්දිනය සමරනවා.

Mother and child are hugging and having fun outdoor in nature

” ඔයා කවදාවත් තාත්තා එක්ක තරහ වෙන්න එපා “

දීපිකා කිව්වේ වරුණිගේ හිස අතගාන ගමන්.දැනුම් තේරුම් තියෙන වයසට ආවට පස්සෙ දවසක දීපිකා අසංක ගැන හැමදේම වරුණිත් එක්ක කිව්වා.දීපිකා තුළ තියෙන අසීමාන්තික ඉවසීම වරුණි තුලත් නොඅඩුවම තිබුණා

” මම හැමදාම හිතුවේ අම්මා වගේ වෙන්න.ඒ නිසා මම තාත්තත් එක්ක තරහ නැහැ “

” තාත්තා කවදම හරි ඔයාව බලන්න ආපහු ඒවි පුතේ “

එහෙම කියපු දීපිකා වරුණිව පපුවට තුරුළු කර ගත්තා.

More Stories

Don't Miss


Latest Articles