අනාවැකි

“සුධාරි බඳිනවලු නේද?”

කතාව පටන් ගත්තෙ ගමේ කඩේ ළඟ හවස පාන් ගන්න ආව කාණ්ඩෙ අතරෙ. සුධාරි කියන්නෙ ගමේ උන්නු වැදගත් පවුලක, හොඳට ඉගෙන ගත්ත ළමයෙක්. ඒ උනාට ගමේ මිනිස්සුන්ට ඒ හැමදේටම වඩා කතා කරන්න ඕන උනේ සුධාරි මීට කලින් කොල්ලො දෙන්නෙක් එකම යාලුවෙලා ඒ සම්බන්ධකම් කඩාගත්ත එක ගැන.

දන්නවනෙ ඉතින් ගම්වල මිනිස්සු. ඒක දැක්කෙ මහ අපරාධයක් විදියට සහ සුධාරිව පිලිගත්තෙ මහ නරක කෙල්ලෙක් විදියට.

ඔහොම ඉන්න අතරවාරෙ තමයි සුධාරිට හොඳම හොඳ පිරිමි ළමේක් හම්බෙලා බඳින්න තීන්දු උනේ. බහුතරයක් ගමේ උන්නු අය නෑයො හන්දා ඉතින් සුධාරිගෙ මගුලට ඒ මිනිස්සුන්ටත් ආරාධනා ලැබුණා.

“ඒකත් මගින් හබක් වෙයිද දන්නෙ නෑ?”

ඔච්චමට හිනා වෙවී මුදලාලි දුන්න පාන් ගෙඩිය මල්ලට ඔබාගත්තට මොකෝ ඉන්දුමතීට යන්න අදහසක් නෑ.මේ කතාව දාල යන්න බැරි තරම් රසවත්.

“කි වෙනි කොල්ලද කියහල්ලකො ඔය යාලුවෙච්ච?”

සිල් රෙද්ද කරේ දාගෙන පන්සලේ ඉඳන් ආව සීලවතී ආච්චිත් කතාවට සේන්දු උනා.

“අනේ මන් දන්නෙ නෑ ඒ පිරිමි ලමයගෙ මව් දෙමව්පියො ඔය මගුල තීන්දු කරගන්න කලියෙන් විස්තර හෙම හෙව්වෙ කරේ නැද්ද කියල”

“ඒක නේන්නං, එහෙම හෙව්වනම් මේ වගෙ නැට්ටිච්චියෙක්ට කටයුත්තක් කරල දෙනවද?”

“මතකනෙ ඉස්සර පන්ති ඉවර වෙලා ආවෙ එක කොල්ලෙක් එක්ක, ඉන්පස්සෙ කැම්පස් යනවය කියල ගිහින් තව කොල්ලෙක් එක්ක ආව. දැන් බඳින්න යන්නෙ වෙනම කොල්ලෙක්”

“ඉංජිනේරුවෙක්ලු නේද?”

“පිටරටලු ඉන්නෙ”

“මොන රටේ ඉඳියත් වැඩක් තියෙනවද බං වැඩ වරද්දගත්ත එකියක් කරේ ගහගෙන”

“කරුණා මගුල් කාඩ් එක උස්සන් ආවෙ හෙන උජාරුවෙන්. අනේ මං නම් මූණටම කිව්ව, දැන්වත් කෙල්ලට හැදියාව කියල දියල්ල කියල. කොහෙද හිනාවෙලා අහක බලාගෙන ගියා මිසක්ක. අම්මා දැනගන්න එපාය දොණියන්ද හදාගන්න. ඒ අම්මට එව්වයි උවමනාවක් නෑ. කොච්චර ඉගෙන ගත්තත් වැඩක් තියෙනවද බං මගුල් විසේ ඔලුවට ගහල නම්”

“ඒ කාඩ් එකේ පිරිමි ලමයගෙ ඇඩ්‍රස් එක හෙම තියෙනව නේද? මම කියන්නෙ දැනුම් දෙන්න ඕන මේව ගැන. අපේ යුතුකම්නෙ මොනව උනත්. එහෙම මේ තව අසරණ කොල්ලෙක්ට අමාරුවෙ වැටෙන්න දෙන්න බෑනෙ. අපි කොච්චර මහන්සි උනාද අපෙ ළමයිව පරිස්සම් කරගන්න ඔය නැට්ටිච්චිගෙන්”

ඔය විදියෙ කතා බස් අස්සෙ ටික ටික දවස් ගෙවිල ගිහින් සුධාරිගෙ මගුල් ගෙදරත් ලං වුනා. ගමෙන් බාගෙකට වඩා මගුලට එන්නැති කියල තමා කට්ටිය නම් කතා බස් කරගත්තෙ.ඒ තරම්ම සරුසාරෙට මංගල්ලෙත් තිබ්බා. එච්චර ලස්සන මගුලකට ඇවිල්ල නෑ කියල හිතවත් මිනිස්සු ඇවිල්ල ජෝඩුවට කතාකරාට මොකෝ සුධාරිගෙ ගමේ කාණ්ඩෙටනම් එව්වයිත් අඩුපාඩු පෙනුන එමකට.

“කොල්ලගෙ පවුලෙ උදවියගෙ සල්ලි වෙන්නැති නේද?”

“අම්මලගෙන් සල්ලි අරගෙනම නෑලු, ජෝඩුව බෙදාගෙන වියහියදම් කරල තියෙන්නෙ”

“සුධාරි මොනව කරල හම්බ කරපුවද දන්නෙ නෑ නේද?”

මගුල ඉවරවෙලා ඇවිල්ල දෙවනි දවස වෙද්දි හැමෝම හිතුවෙ සුධාරිගෙ මගුල කැඩෙන්න ඇති කියල. වැඩිහරියක් ඔය කතන්දර පැතිරෙව්වෙ ඉන්දුමතී. ඉන්දුමතීගෙ දූ සුධාරිට වඩා බාල උනාට මොකෝ තමන්ගෙ දු සුධාරි තරම් ලස්සන නැති හන්දයි, ඉගෙන නොගත්ත හන්දයි වගේ,අ සුධාරිලගෙ පවුලට තරම් සැලකිල්ලක් තමන්ගෙ පවුලට නොලැබෙන එක නිසා ඉන්දුගෙ හිතේ සුධාරියි ඒ පවුලයි ගැන පුදුම ඉරිසියාවක් තමා තිබුනේ.

සුධාරියි කේශිතයි බැඳල රට ගියා. අවුරුද්දකුත් ගියා. අවුරුද්දකට පස්සෙ රට ඉඳල ආව වෙලාවක සුධාරියි කේෂිතයි දෙන්නම සුධාරිගෙ ගෙදර ආවෙ අම්මල තාත්තල බලල දවසක් දෙකක් ඉඳල යන්න.

අම්මගෙ රසම රස කෑම කාලා, බලු පැටව් එක්කත් සෙල්ලම් කරල නිදාගන්න ගිය සුධාරියි කේෂිතයි මහ රෑ දෙගොඩහරියක ඇහැරුණේ කාගෙදෝ මන්දා මහ අඳෝනාවකට.

“ඉන්දුලයි අහින් නේද ඒ සද්දෙ එන්නෙ” කියාගෙනම  අම්මයි තාත්තයි දෙන්න ගේට්ටුව පැත්තට ඇවිදන් යද්දිත් අහල පහල ගෙවල් වල මිනිස්සුත් ඉන්දුලගෙ ගේ අද්දරට එක්කහු වෙලා තිබුණා.

“මොකද ඉන්දු උනේ?” සුධාරිගෙ අම්මා එහෙම ඇහුවෙ ගේට්ටුව ඇරගෙන එළියට අඩිය තියන ගමන්නමයි.

“අනේ බේබි අපේ කෙල්ල ගෙදරින් ගිහිල්ලා. මම වතුට බොන්න කුස්සියට යද්දි දැක්ක ගෙදර දොර ළඟ බෑග් එකක් තියල තියෙනව. මට එච්චර ලොකුවට ඒක තේරුනේ නෑ නිදිමතේ. ආයෙ එද්දි බැග් එක නෑ. නිකමට ළමයි නිදිද කියල බලද්දි කෙල්ල ගිහින් අනේ නොනෙ මම කොහොමද දෙයියන්නේ මේ වේදනාව දරාගන්නෙ?”

අඬා වැටෙන ඉන්දුව සනසන්න මොන තරම් කටයුතු කලත් පලක් නොවුන කියල දැන දැන උනත් සුධාරිලා ආපහු තමන්ගෙ ගෙදර ආවෙ එතන සෑහෙන වෙලා ගෙවල.

“මං මේ කල්පනා කරේ ඔය මිනිස්සු ඔයාට කොච්චර දේවල් කිව්වද කියල?”

අම්මා කතාව පටන් ගත්තෙ සුධාරිලා උදේ යන්න ලෑස්තිවෙලා පල්ලෙහට ආවම කේෂිත පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකම් ඉඳල.

“එහෙම තමයි අම්මේ මිනිස්සුන් අපි මොනව කරත් කතා හදනව. ඒ දේවල්වල බරපතල කම තේරෙන්නෙ තමන්ට එහෙම දෙයක් උනාම තමයි”

සුධාරි අම්මා දිහා බලල එහෙම කියල තමන් ඉන්න පැත්තට ඇවිදන් ආව කේෂිතට ලස්සන හිනාවක් පරිත්‍යාග කරා.

More Stories

Don't Miss


Latest Articles