සුරත් විජයවීර ට තවමත් විශ්වාස කරගත නො හැකි ය. ඔහු පමණක් දැන සිටි, ඔහුත් නො දන්නවා සේ සිටි සිය අතීතය ගැන කතාව ගඟුල් දන්නේ කොහොමද කියා ඔහු ට සිතා ගත නො හැකි ය.
දවසක කූඩයක දමා සපත්තු මහන්නා ළඟ බිම තියා ගිය දරුවා ඔහු ය. සරත් යන නම තබා තිබුණේ දමිළ ජාතික සපත්තු මසන්නා විසින් ඔහු ගේ කටට ආවාට ය. ඔහු ගේ වාසගම වන ජයධරන් යන්න සරත් ගේ නම අගට යෙදිණ. නමුත් උප්පැන්න සහතිකයක් වූයේ නැත. කොළඹ අඩු පහසුකම් සහිත මුඩුක්කු පේළියක් සරත් ගේ වාසභවනය වූයේ ය. සපත්තු මසන්නා ඔහු ට හැකි අයුරින් මේ පාරෙන් ඇහිඳගත් දරුවාට ජීවිතය දුන්නේ ය. කන්න බොන්න දී උස් මහත් කළේ ය. කුඩා කල පටන් සරත් වෙතින් ප්‍රකට වූයේ මුරණ්ඩු ඇට්ටර ගතිගුණ ය. ඔහු වයසින් ද උසින් මහතින් ද ලොකු වූයේ ඒ ගති තවත් වර්ධනය කරගෙනයි. වත්තේ සිටි නරක ම මිනිසුන් ඔහු ඇසුරු කළේ ය. නමුත් ඒ කවුරුන් අතරත් ඔහු ට ලොකු තැනක් ඕනෑ වී ය. ලොකුකමක් ඕනෑ විය. ගැටවර වියෙහි දී මත්ද්‍රව්‍ය අලෙවි කරන්නෙකු සමගින් වැඩ කළ ඔහු දවසක් මත්ද්‍රව්‍ය වෙළෙන්දා ගේ ලොකු මුදලක් සොරකම් කරගෙන වත්තෙන් පැන ගියේ ය. සරත් සැඟවීගත්තේ කොහේදැයි කාටවත් සොයා ගත නො හැකි විණි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග දිගට ම රහසිගත සම්බන්ධතා පැවැත්වූ හෙතෙම ඉක්මනට ලොකු සල්ලිකාරයෙකු වූයේ ය. ඊටත් වැඩි මැරකමක් ඔහු ට තිබිණ. දේශපාලකයෙකු ගේ පෞද්ගලික පළිගැනීමකට ඍජුව උදව් කිරීම වෙනුවෙන් ප්‍රාදේශීය දේශපාලනයට එළඹීමට ඔහු ට අවස්ථාව උදා විය. සුරත් දේශපාලන පොර පිටියට පය තබන්නේ මුලින් ම සිය නමේ මුල් අකුරට පාපිල්ලක් දමාගෙන උප්පැන්න සහතිකයක් තනා ගෙනයි. විජයවීර යන වාසගම ඔහු ගේ ඉදිරි දේශපාලනයට ගැලපෙන සේ අටවා ගත්තකි. ඒ සියල්ලට දේශපාලකයා උදව් කළේ ය. සරත් ජයධරන් සුරත් විජයවීර ලෙස ප්‍රසිද්ධියේ කල එළි බසින්නේ ඔහු සපත්තු මසන්නා ගේ නිවෙසින් පැන ගොස් වසර දහයකට පමණ පසුයි. මුඩුක්කු වත්තේ ඔහු ඇසුරු කළ මිනිසුන්ට මේ සුරත් යනු ඒ සරත් බව කිසි සේත් හැඳිනගත නො හැකි තරමට ඔහු උසින් මහතින් වැඩී දේශපාලකයෙකු ලෙස රූපාන්තරණය වී සිටියේ ය. නමුත් සුරත් යනු ව්‍යාජයක් බව දන්නා එක ම එක මිනිසෙකු ජීවත් වූයේ ය. ඒ ඔහු ට දේශපාලනයට පිවිසීමට සහයෝගය දුන් දේශපාලකයා යි. සිය අනාගතයේ නාමයෙන් ඔහු ව අවසන් ගමන් යවන්නට සුරත් පසුබට වූයේ නැත. තහනම් දේශපාලනය කළ පිරිසක් මතින් ඒ ඝාතනයේ වගකීම යවනා එක පහසුවෙන් ම කළ හැකි විය.
ඒ සියල්ල අතීතයට එක් වූ දේ ය. නමුත් කිසිවෙකු නො දැන කාලයේ වැලිතලා අතරේ සැඟව ගිය ඒ රහස්, ගඟුල් විසින් ගොඩගනු ලැබූයේ කෙසේ ද යන්න සුරත් ට තවමත් නො විසඳුණු අභිරහසකි.
ගී තරු තරගයේ අවසාන තිදෙනා තෝරන රාත්‍රියට ලොන්ඩරි වත්ත මංගල්ලයකට සේ ලකලැහැස්ති වූයේ ය. එතෙක් දින කිහිපයක් ම ගෙදර සිට තරගය නැරඹූ සිසිර, මේ සුවිශේෂ අවසන් දිනයේ වත්තට එන්නට තීරණය කළේ ය. සැබවින් එසේ නොකර හිඳින්නට ඔහු ට නො හැකි විය.
සිසිර නො පැමිණි හැම දිනෙක ම චන්දුල ට ඔහු සිහි විණි. තාත්තා කියන නමටත් වෛර කරමින් සිටියාට, සිසිර ගේ ආගමනය ගැන කෝප වූවාට, ඔහු නාවත් ඒ ගැන වගක් නැතිව වාගේ හිටියාට, ඔහු ට තාත්තා සිහි විය. එදා සිසිර විසින් ඔහු ව වැළඳ ගත් මොහොත ඉන්පසු බොහෝ වාර වල චන්දුල යළි මෙනෙහි කළේ ය. තාත්තා ගේ සුවඳත් උණුහුමත් ඔහු ගේ හදවතේ ගැඹුරු තැනෙක නිදන්ගත විය. අභ්‍යන්තරයේ විපර්යාසයක් සිදු වනු ඔහු ට දැනිණ. නමුත් ඒ කවරක් දැයි විශ්ලේෂණය කරන්නට චන්දුල දන්නේ නැත. ඔවුන් ට තාත්තා කෙනෙකු මතුවට ඕනෑ නැති බව ඇත්ත ය. නමුත් සිසිර සිනහ වෙවී හිඳිනා කල මොකක්දෝ පිරුණු බවක් දැනේ. ඔහු නැති කල යම් කිසි හිස් බවක් වූයේ ය. ඔවුන් නො දැනුණා සේ හිටියාට ඇත්ත ම ඇත්ත නම් එයයි.
ඉතින් තීරණාත්මක දවසේ සිසිර සින්දුවක් කියාගෙන ත්‍රිරෝද රියෙන් බහිත්දී චන්දුල ගේ පිරිමි පපුව තුළ ඔහු නො දන්නා යමක් සිදු විය.
“ගොඩ නේ… ගොඩ ගොඩ ආ…”
සිසිර එසේ කියා හඬ නගා හිනැහුණේ ය. චන්දුල ලස්සන නිහඬ සිනහවක් පෑවා පමණි. නමුත් ජීවිතයේ හිස් ව තිබූ මහ ඉඩක් පිරී ගිය බව ඔහු පිළිගත යුතුව තිබේ.
චන්දුල අවසාන තිදෙනා අතරට ආවත් නැතත් ඒ ඔවුන් ගේ චන්දුල ය. ඔහු දිනුවත් නැතත් පාරුල් ට හෝ උමා ට එහි අඩුවක් නැත. නමුත් අදිසි ගැස්මක් ඔවුන් දෙදෙනා ගේ ම හදවත් වල විය. ඒ ගැස්ම තුනී වූයේ “මං සිලෙක්ට් වුණා” කියා ඔහු රහසින් ඔවුන් දෙදෙනා ට කී විට ය. උමා අත් දෙකෙන් ම මුව වසාගත්තා ය. පාරුල් අයියා බදාගත්තා ය.
එදා තරගයෙන් චන්දුල අවසාන තිදෙනා අතරට යත්දී ශාරුක් රතිඤ්ඤා වැලකට ගිනි තැබුවේ ය. සිසිර අතැඟිලි දෙකක් මුව තුළ බහා හයියෙන් විස්ල් ගැහුවේ ය. රදී නිහඬ ව හැඬුවා ය. ජුලී වත්තේ ගැහැනු පිරිමින් සමග ඔල්වරසන් දුන්නා ය. ඒ අතරේ ගඟුල් ඒ හැමකෙක් දෙස බලාගෙන පුරවා ගත් හදවතකින් සිනහ වෙවී බලා සිටියේ ය. චන්දුල ව මේ මග දිගේ ගෙන ඒම සඳහා ඔහු ඔහු ට හැකි සියල්ල කළේ ය. ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දුන්නේ ය. දැන් මේ සතුටු වෙමින් හිඳිනුයේ ඔහු ගේ මිනිසුන් ය. ඔවුහු ගී ගයමින් වත්ත මැද්දේ නටති. ප්‍රීති ඝෝෂා නගති. චන්දුල වූ කලී තමන්ගේ පවුලේ කෙනෙකු නොවුණාට තමන්ගේ ම එකෙකු ගේ ජයග්‍රහණයක් බැවින් හදවතින් ම සතුටු වෙති.
“අපි ඒක කළා එහෙනං”
ගඟුල් චන්දුල ව වැළඳගත්තේ ය. ඒ පාරුල් ගේ ද උමා ගේ ද ඇස් වලට කඳුළු ගෙන ආ නිමේශයකි.
“මේ දිනුමෙං බාගයක්ම අයිති සර්ට”
“තාමත් සර් කියනවනෙ අප්ප. බලන්නකො උමා මෙයා දිගටම මෙහෙමද මට කතා කරන්න ඉන්නෙ…”
ගඟුල් ගේ ඒ කතාව ඔවුන් ගේ මුහුණු වලට සිනහවක් ගෙනාවේ ය. හිත් වලට තමන්ගේ කමක් දැනවූයේ ය.
“දැං ඉතිං ඔයා දිනල ඉවරයි චන්දුල. එක වුණත් දෙක වුණත් තුන වුණත්… ඔයා දිනල ඉවරයි”
“මේක මං හීනෙකිංවත් හිතුවෙ නැති දෙයක් සර්”
“ඔය ආයෙත් සර්ලු”
නැවත ද උස් සිනහවකි.
“උමා හින්දා තමයි මේ හැමදේම”
චන්දුල උමා දෙස බැලුවේ දෙතොල් තද කොට ගෙන ය. ඇය සිනහ වෙන බොඳ කඳුළු දෑසකින් ඔහු දෙස බලා බිම බලාගත්තා ය. ගඟුල් හිසෙන් පාරුල් ට ඉඟි කොට ඇයව එතැනින් ඉවතට ගෙන ගියේ චන්දුල ට උමා සමග තනිව කතා කිරීමේ අවස්ථාව ලබා දෙමිනි.
“ඒ ගැන චුට්ටක්වත් හිතන්නෙපා රාජයිය. ඔයාට ලස්සන ගමනක් තියනව. ඔයා ඒ පාරෙ යන්න. මේ උමා පොඩ්ඩක්වත් ඔයාගෙ හිතට බරක් කරගන්නෙපා. ඒ ඇප්ලිකේශන් එක දැම්මෙ මං නිසා… මාව අත්ඇරල යන එක හරිනෑ කියල චුට්ටක්වත් හිතන්නෙපා. ඔයාට ඕනතරං නිදහස තියනව. ඔයා දැන් තරුවක්. මං නිකං පොළොවෙ ඉන්න බිම්මලක්. කැමති තීරණයක් නිදහසේ ගන්න. මාව බාධාවක් කරගන්නම එපා”
උමා දෙඩුවේ හදවතින් ම ය. නමුත් ඇගේ ඇස් වල කඳුළක තෙත විය. චන්දුල රහසින් වාගේ ඇගේ අතක් යන්තමින් ඇල්ලුවේ ය. ඇය තිගැස්සී ගිය තරමක්! ඒ චන්දුල උමා ගේ අතකින් වුව ඇල්ලූ ප්‍රථම අවස්ථාවයි.
“මිනිහෙක්ට ඕනෙ ඒ මිනිහව දිනවන්න පුළුවන් ගෑනියෙක්. මට ඔයා හොඳටම ඇති”
වෙනදාට තොරතෝංචියක් නැතිව කියවන උමා මේ මොහොතේ වචන හොයා ගත නො හැකිව ගොළු වී සිටියා ය.
ඉනික්බිති තිබෙන්නේ අවසාන මහා තරග රාත්‍රියයි. අතිවිශාල ප්‍රේක්ෂකාගාරයක පැවැත්වෙන උත්සව රාත්‍රිය නියෝජනය කිරීම සඳහා චන්දුල වෙනුවෙන් ලොන්ඩරි වත්තට අමතරව කොළඹ නගර සභා සීමාව ආශ්‍රිත විශාල තරුණ පිරිසක් සූදානමින් සිටියහ. චන්දුල නො කඩවා පුහුණුවීම් කළේ ය. උමා ඔහු වෙනුවෙන් කාලි මෑණියන්ගේ කෝවිලට භාරයක් වූවා ය. පාරුල් ගඟුල් සමගින් ගංගාරාම විහාරයට ගොස් බෝධි පූජාවක් කළා ය.
සියලු ආශීර්වාද වල බෙලෙන් චන්දුල අවසාන තරගයේ දී ලස්සනට ම ගී ගැයුවේ ය. රිදී හා උමා ද ජුලී, පාරුල් හා ගඟුල් ද ඉදිරි පෙළ වල හිඳ එය නැරඹීමේ භාග්‍යය ලදහ. ප්‍රේක්ෂක මනාපය අනුව තුන් වැන්නා ප්‍රකාශයට පත් කෙරිණ. උමා පාරුල් ගේ අතක් තදින් අල්වා ගත්තා ය. ප්‍රේක්ෂකාගාරය අතිශය උණුසුම් ව තිබිණ. විනිශ්චය මණ්ඩලය ඉතිරි තරගකරුවන් දෙදෙනා ම සමාන දක්ෂතා වලින් අනූන බව ස්ථිර ලෙස ප්‍රකාශ කර සිටියේ ය. නමුත් ඒ තීරණාත්මක මොහොතේ දී තරු කිරුළ හිමි වූයේ චන්දුල ඇල්ලගේ ට යි. එක්වර චන්දුල ට ඒ ප්‍රකාශය අදහා ගත නො හැකි වූ තරමි. සිහි එළවාගත් ඇසිල්ලේ වේදිකාවෙන් පැන ඔහු දිව ආවේ රිදී වෙතටයි. දේහධාරී පුරුෂයෙකු වූ චන්දුල ඒ කුඩා ගැහැනිය ඉතා තදින් වැළඳගත්තේ ය. එක මොහොතක දී අවුරුදු විසි ගණනක් අතීතයට එක් වූ සිදුවීම් රූපරාමු සේ මැවී පෙනෙන්නට ගති. රිදී ට කඳුළු වළකා ගත හැකි නොවිණි. ඔහු පාරුල් ව ද උමාව ද වැළඳ ගත්තේ ය. ගඟුල් චන්දුල වැළඳ සුබ පැතුවේ ය. ඔවුන්ට ඔවුන් එක ම එක හදවතක කොටස් දරනා එක පවුලක ජීවීන් සේ ආත්මයට ම දැනිණි.
“චන්දුලගෙ ආදරණීය අම්ම විදිහට… මේ මොහොත අම්මට දැනෙන්නෙ කොහොමද…”
වැඩසටහන ඉදිරිපත් කරන්නා රිදී වෙතට මයික්‍රෆෝනය පෑ වෙලාවේ නම් රිදී හැඟීම් වලින් දෝරෙ ගලන්නට වූවා ය.
“මං හරි දුප්පත් අම්ම කෙනෙක්”
ඇය දෙතොල් තද කොට දෑස් පියා මොහොතක් හිඳ හිතට දිරි ගෙන කතා කළා ය.
“හැබැයි දැං මගෙ පුතයි දුවයි රජෙකුයි රැජිනියකුයි”
ප්‍රේක්ෂකාගාරය අත්පොළසන් හඬින් ගිගුම් දුනි. ඒ මහා තරගයේ ත්‍යාග රාශියක් අතරේ චන්දුල වෙනුවෙන් අගනා නව නිවසක් ද මෝටර් රථයක් ද වෙන් වී තිබිණ.
ජීවිතය හරි පුදුම ය. ඉරණම සමහර දේවල් කරන්නේ අප සිහිනයෙන් හෝ බලාපොරොත්තු නොවෙනා ආකාරයටය. ඉදිරි වසර සඳහා ද සංගීත සංදර්ශන වෙනුවෙන් චන්දුල ගේ දින වෙන් වන්නට විය. සොබා දහම තුළ ආශ්චර්යයන් සිදු වන බව යළි යළිත් තහවුරු වෙමින් තිබිණ.