බෝංචි සලාදයක් හදමු 

බෝංචි කියන්නෙ අපි කාටත් හුරුපුරුදු කෑමක්. හැබැයි, මම කැමතිම කෑම බෝංචි කියන අය නම් ටිකක් අඩුයි. 

අපි සාමාන්‍යයෙන් කිරට බෝංචි ව්‍යාංජනය පිළියෙල කරත්, අද වෙද්දී කොළ පාටට තෙම්පරාදු කරල හදන බෝංචි ව්‍යාංජනයත් බොහෝ දෙනෙක් අතර හරිම ජනප්‍රියයි.

හැබැයි ඔන්න අපි අද කියල දෙන්නෙ ඒ ක්‍රම දෙකටම නැතුව ටිකක් වෙනස් ක්‍රමයකට බෝංචි හදාගන්නෙ කොහොමද කියලයි. 

හදවතේ නීරෝගී බව පවත්වා ගන්න, ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරන්න, අස්ථි වල ශක්තිමත් බව ඇති කරන්න, රුධිරගත සීනි මට්ටම පාලනය කරන්න වගේම නීරෝගී ගර්භණීභාවයක් පවත්වා ගන්න උපකාරී වෙන ප්‍රෝටීන, ෆයිබර්, කැල්සියම්, විටමින් A සහ විටමින් C ඇතුළු තවත් පෝෂක ගණනක් ආරක්ෂා වෙන විදිහට පිළියෙල කරන බෝංචි මැල්ලුම හරිම ලේසියෙන් ඉක්මණින් හදාගන්න ඕන කරන දේවල් අපි මුලින්ම සූදානම් කරගමු.

අවශ්‍ය ද්‍රව්‍ය 

බෝංචි 200 g ක් 

වියළි මිරිස් හෝ අමු මිරිස් කරල් 02 ක් 

තක්කාලි ගෙඩි 02 හෝ චෙරි ටොමැටෝ ගෙඩි 05 ක් පමණ 

රතුළූණු ගෙඩි 03 ක් 04 ක් (හෝ ලොකු ළූණු ගෙඩි ½ ක්) 

සුදුළූණු බික් 03 ක් 04 ක් 

ගම්මිරිස් කුඩු හෝ ගම්මිරිස් කැබලි 

ලුණු කුඩු 

කොත්තමල්ලි කොළ මිටක් (අත්‍යාවශ්‍ය නැත)

ඔලිව් තෙල් මේස හැන්ඳක් හෝ දෙකක් (අත්‍යාවශ්‍ය නැත) 

වතුර සහ අයිස් වතුර

සාදාගන්නා ආකාරය 

මුලින්ම, බෝංචි වල දෙපැත්ත කඩා ඉවත් කර වටේ රේණුව ඉවත් කරගෙන හොඳින් සෝදා පිරිසිදු කරගන්න.

ඊළඟට බෝංචි අඟලක් එක හමාරක් පමණ දිගැටි කැබලි වලට කපාගන්න. 

භාජනයක් ලිපතබා එයට වතුර සහ ලුණු කුඩු ස්වල්පයක දමා වතුර නටන විට නටන වතුරට කපාගත් බෝංචි කැබලි ටික දමා ගන්න. 

බෝංචි තද කොළ පැහැවී තැම්බුණු පසු උණුවතුරෙන් ඉවත් කර ඉක්මණින්ම අයිස් වතුරට දමා ගන්න. 

(එමඟින් බෝංචි වල කොළ පැහැය එලෙසම තබා ගන්න පුළුවන්)

දැන් රතුළූණු /ලොකුළූණු සුද්ධ කර සෝදා සිහින්ව ලියාගන්න.

කොත්තමල්ලි කොළ සහ සුදුලූණුත් සිහින්ව ලියාගන්න.

තක්කාලි කොටු හැඩයට කපා ගන්න. ඔබ චෙරි ටොමැටෝ එකතු කරනවා නම් දෙකට කපා ගැනීම ප්‍රමාණවත්. 

දැන් මේ සියල්ල භාජනයකට දමා එයට වතුර පෙරා ගත් බෝංචි, ඔලිව් තෙල්, රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න. 

ඔන්න අපි රසම රස බෝංචි සලාදය සාදා අවසන්.

ඔබ කැමති නම් තම්බාගත් බිත්තර, මස්, මාළු, කඩල, මුං ඇට, කව්පි එකතු කරගන්න පුළුවන්.

එහෙනම්, ඊළඟ දවසෙ මේ විදිහට බෝංචි හදල අපිත් එක්කත් රස බෙදාගන්න අමතක කරන්න එපා. 

මේ වගේම රසවත් ලිපියකින් අපි නැවත හමුවෙමු. 

සටහන – දුලානි නවෝද්‍යා 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles