රතු පාට සාරියක් ඇඳගත්ත කාන්තාවක්, ලොකු වේදිකාවක් උඩ ඉඳන් කරන කතාවක වීඩියෝවක්, එහෙම නැත්නම් ඒ අවස්තාවේ චායාරූපයක් ඔබ දකින්න ඇති. ඒත් ඒ වීඩියෝවට අදාල නිධාන කතාව හොයන්න වෙලාවක් ලැබෙන්නේ නැතුව ඇති. ටෙස්ලා සමාගමෙන් ඉදිරිපත් කරපු සැලසුමක් පවා පරදවමින් ලෝකෙන්ම පලවෙනි තැන ගන්න පුලුවන් තරමේ ඉංජිනේරු සැලැස්මක් හදපු ඇය ගැනයි මේ කතාව.
ස්තූතිය ලක් අම්මාට
වේදිකාවෙන් නිවේදනය වන් හඬට පස්සේ, ප්‍රේක්ෂකාගාරයෙන් නැඟෙන අත්පොළසන් නාදය මැද්දෙන්, රතු පාට සාරියක් ඇඳපු , සන්නස්ගල සර්ගේ වචන වලින් කියනවා නම්, ” පෘථිවිවාසී ගැහැණියක් වේදිකාවට ගොඩ වෙනවා. ඇය නදීශා චන්ද්‍රසේන. එහෙම නැත්නම් අපේ නදීශක්කා.
” මගේ රට ශ්‍රී ලංකාව..මේ සම්මානය ඒ සුන්දර වූ කුඩා දිවයිනට. අපිට නිදහස් සෞඛ්‍ය සේවයක් ලබා දීලා අපිව බලා ගත්තට ද, නිදහස් අධ්‍යාපනය තහවුරු කරලා සරසවි අධ්‍යාපනය තෙක්ම ඒ නිදහස් අධ්‍යාපන අයිතීන් ලබාදීලා, අපව ගෝලීය පුරවැසියන් විදියට සමාජ ගත් කල මගේ රටටයි මේ සම්මානය්.. . ඒ රටේ මගේ ආදරණීය මිනිස්සුන්ට.”
ඇය මෙහෙම කියන්නේ ලංකාවෙන් දුර ඕස්ට්‍රේලියාවේ ගොඩ නැඟුණු විසල් වේදිකාවක විදෙස් ඉංජිනේරු සැලසුම් විස්සකටත් එහා ප්‍රමාණයක් පරදවාගෙන ජයග්‍රහණය ලැබුවට පස්සේ. ලෝක ප්‍රසිද්ධ ටෙස්ලා සමාගමේ ඉංජිනේරු සැලසුමත් ඇයගේ ඉංජිනේරු සැලසුමට දෙවෙනි වෙනවා. ඒ අනුව ලෝක නිර්මාණ සංවිධානයේ අධීක්ෂණය යටතේ තියෙන , ඔස්ට්‍රේලියාවේ ගුඩ් ඩිසයින් සම්මාන උලෙළේ දී ලෝකයේ විශිෂ්ටතම ඉංජිනේරු සැලසුමට හිමි සම්මානය ආචාර්ය නදීෂා චන්ද්‍රෙස්න මහත්මිය දිනා ගන්නේ ශ්‍රී ලාංකේය අභිමානය එවෙලෙහි එම ප්‍රේක්ෂකාගාරයේ උන්න සියලුම දෙනාට ඇඟවෙන්න ඉඩ දීලා.
කවුද මේ නදීශා ?
ආචාර්ය නදීෂා චන්ද්‍රසේන ඉපදෙන්නේ ගාල්ලේ. ඇගේ පාසැල් අධ්‍යාපන කටයුතු ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයෙන් හා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයෙන් සිදුවෙනවා. ඇය සරසවි අධ්‍යාපනය වෙනුවෙන් සුදුසුකම් ලබාගන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයට. තමන්ගේ මූලික උපාධිය විදියට නදීශා නගර හා ග්‍රාම නිර්මාණය පිළිබඳව වන උපාධි පාඨමාලාව තමයි තෝරාගන්නේ. සිව වසරල සරසවි අධ්‍යාපනයෙන් පස්සේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු සේවා බළකායට අධිකාරිලත් නිලධාරිනියක ලෙස එක් වෙන නදීෂා එහි වන සේවා කාලයත් සම්පූර්ණ කරනවා.
ඊට පස්සේ ඇගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් නදීෂා මැලේසියාවේ පෙට්‍රොනාස් විශ්ව විද්‍යාලයට ඇතුල් වෙනවා. එහිදී ඇය තමන්ගේ ආචාර්ය උපාධියට අදාල විෂට පථය විදියට තෝරගන්නේ හයිඩ්‍රොලික් තාක්ෂණය භාවිතයෙන් ගංවතුර හා නාගරික කානු පද්ධතිය පාලනය කිරීම කියන ඉතාම කාලෝචිත සහ ලංකාව තුළ යාවත්කාලීන වන ක්ෂේත්‍රයක්..
මැලේසියාවේ ආචාර්‍ය උපාධිය හදාරමින් ඉන්න අතරේදී, නදීශාට ඇමරිකාවට යන්න අවස්ථාව උදාවෙනවා. ඒ නාසා පර්‍යේෂණ මධ්‍යස්ථානයේ පිහිටුවලා තියෙන පර්‍යේෂණ ආයතනයක අධ්‍යයන පාඨමාලාවක් වෙනුවෙන්. මේකේ විශේෂත්වය වෙන්නේ, ලංකාවෙන් මේ අධ්‍යයන ආයතනයේ පාඨමාලාවක් වෙනුවෙන් සුදුසුමක් ලබන පලමු කාන්තාව ඇය වීම නිසා. එහිදී ඇය නව නිර්මාණ වලින් ව්‍යවසායකත්වයන් බිහි කිරීමට අදාලව ත්‍රෛමාසික පාඨමාලාවක් සම්පූර්ණ කරනවා.
මේ පාඨමාලාව ඉතාම සාර්ථකව අවසන් කරලා, ආයේම මැලේසියාවට ගිහින් ආචාර්‍ය උපාධියට අදාලව තිබුණ අනෙකුත් කාරණාත් අවසන් කරලා 2017 අවුරුද්දේ දී නදීෂා චන්ද්‍රසේන ආයෙම ලංකාවට එනවා. නාසා විශ්වවිද්‍යාලය තුළ ඇය ලබාගත්තු දැනුම සහ ආකල්පමය වෙනස්කම් එක්ක ඇගේ ස්මාර්ට් කාණුව යම් මට්ටමකට දියුණු කරගෙන, එහි පේටන්ට් බලපත්‍රයත් ගන්න සැලසුමක් පවා හදාගෙන තමයි ඇය ඒ විදියට ලංකාවට එන්නේ. කාලාන්තරයක් තිස්සේ ඇය වෙහෙසිලා සැලසුම් හදලා ගොස නඟන්න උත්සාහ කරපු මේ සැලසුම තමයි පහුගිය දවසක ඕස්ට්‍රේලියාවේ දී විශිෂ්ටතම සැලසුම් සම්මානය ලැබුවේ.
ඕස්ට්‍රේලියාවේ මේ ගුඩ් ඩිසයින් අවෝර්ඩ් කියන තරඟාවලියට 2023 අවුරුද්දේදී, අංශ 30ක් යටතේ ඉදිරිපත් කිරීම් දහසකට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ වතාවේ ඊටත් වඩා වැඩිපුර ඉදිරිපත් වෙලා තිබුණ සැලසුම් අතරින් සැලසුම් විස්සක් අවසාන වටයට සුදුසුකම් ලබලා තියෙනවා. ඒ විසි දෙනා අතරින් Best in Class කියන ජයග්‍රහණය තමයි නදීෂා ලංකාවට අරගෙන ආවේ.
මොකක්ද මේ සුහුරු කාණුව
අපි දන්නවා, වැහි දවස් වලට කාණු උතුරලා, කොළඹ , ගාල්ල, මාතට වගේ ප්‍රධාන නගර වල ගමනාගමනය කොයි තරම් නම් බාධාවකට කල් වෙනවාද කියලා. ඒ විදියට කාණු අවහිර වෙන්න හේතුව තමයි, කාණු දිගේ එන ඝණ අපද්‍රව්‍ය එකතු වෙලා ජලය ගලාගෙන යන එකට බාධා වෙන එක. නදීෂා ඇගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් තෝරාගන්නේ මෙන්න මේ ගැටලුව. මෙතනදී කාණුව ස්ථර දෙකකට අනුව තමා සකස් වෙන්නේ. ඝන අපද්‍රව්‍ය එකතු වෙන්න වෙනමම කොටසක් හැදෙනවා උඩ කාණු ස්ථරයේ. ඒ කොටස් සකස් කරලා තියෙන්නේ ඝණ අපද්‍රව්‍ය එකතු වුනාම ලේසියෙන් ඉවත් කරගන්න පුලුවන් වෙන විදියට. එහෙම වුනාම ඝණ අපද්‍රව්‍ය කාණුව දිගේ දිගින් දිගටම ගලාගෙන යන ජලය එක්ක යන්නේ නැහැ.
මේක ඇත්තටම කරන්න පුලුවන් ද ?
පහුගිය ඕස්ට්‍රේලියානු තරඟයට නදීෂා ගේ මේ සැලසුම දත්‍ත ආකාරයෙන් සහ ත්‍රිමාණ රූපිවත් ඉදිරිපත් කලාට පස්සේ, තරඟ සංවිධායකයන් විසින් ඇයට දැනුම් දීලා තියෙනවා තරඟය තුළ ඉදිරියට යන්න නම් ඒ සැලසුම ක්‍රියාත්මක මට්ටමට පත් කරන්න අවශ්‍ය බව. ඒ කියන්නේ තරඟය පැවැත්වෙන දවස වෙනකොට මේ සැලැස්ම නිශ්පාදනයක් විදියට නිර්මාණය වෙන්න ඕනි. කොහොම හරි නදීෂා ඒ අභියෝගයත් පිළිගන්නවා. දවස් විස්සක් වගේ කාලෙකින් ඇගේ හිතවත් කිහිප දෙනෙක් එක්ක එකතු වෙලා ඇය ඒ ඉලක්කය ජය ගන්නවා.
ඒ අනුව මේ ස්මාර්ට් කාණුව සති දෙකකින් අම්බලන්ගොඩ ප්‍රදේශයේ බටපොළ සැන්මාර්ක් කියන ආයතන පරිශ්‍රයේදී සාර්ථක නිර්මාණයක් විදියට එළිදැක්විලා තියෙනවා. ඒ නිශ්පාදනය සාර්ථක වීම, ඕස්ට්‍රේලියාවේ ගුඩ් ඩිසයින් අවෝර්ඩ් තරඟාවලියේ ජයග්‍රහණය තහවුරු කරනවා.
ඇගේ වර්තමාන සිහිනය
ඇය කියන විදියට දැන් ඇයට අවශ්‍ය මේ ස්මාර්ට් කාණුව පොළවේ ප්‍රායෝගිකව පැල වෙන එක. ඒ කියන්නේ ලංකාවේ අවශ්‍ය තැන් වල මේ ස්මාර්ට් කාණුව හදන එක. ඇය කියන විදියට හැම තැනකටම ස්මාර්ට් කාණුව අවශ්‍ය වෙන්නේ නැහැ. “කුණු හිරවෙලා වතුර ගලාගෙන යන එක අඩාල වෙන තැන් වලට විතරයි මේ ස්මාර්ට් කාණු අවශ්‍ය” ඇය කියනවා.
මේ විදියට අවශ්‍ය තැනට ස්මාර්ට් කාණුව සකස් කිරිම වෙනුවෙනුත් ඇයට සැලැසුමක් තියෙනවා. මේ ස්මාර්ට් කාණුව හදන්න කැමති ඒ ඒ ප්‍රදේශවල ඉන්න මිනිස්සු එකට එකතු වෙලා, තමන්ගේ දැනුම, ශ්‍රමය සහ සම්පත් වැය කරලා තමන්ගෙ නගරයට කාණු පද්ධතිය හදාගන්නවා. අවශ්‍ය සියලුම තාක්ෂණය දෙන්න ඇය සූදානම්.
Build Your Own City Drain
නදීෂා අවුරුදු එකොළහක් තිස්සේ පර්‍යේෂණ කරලා දකින හීනය දැන් අපි ඔක්කොම එකතුවෙලා සැබෑ කරගන්නයි ඕනි. ඒ වෙනුවෙන් ඇයම අදහසක් ඉදිරිපත් කරනවා. ඔබේ නගරයේත් මේ සුහුරු කාණුවක් සැකසෙන්න ඕනි කියලා හිතෙනවා නම්, මෙන්න මේ පිළිවෙලට පෙළගැහෙන්න කියලා ස්මාර්ට් ලේඩි වෙනුවෙන්ම විශේෂ කතාබහකට එකතු වෙලා නදීෂා චන්ද්‍රසේන මහත්මිය කිව්වා.
1. සමීක්ෂණයක් කරන්න – මෙතැනදි සුහුරු කාණුවක් ස්ථාපනය වෙන්න අවශ්‍යය කියලා ඔබ හිතන තැන සිතියම් ගත කරගන්න ඕනි
2. විෂය ප්‍රවීණයන් එකතු කරගන්න- ප්‍රදේශයේ ඉන්න ඉංජිනේරුවන් , සැලැසුම් ශිල්පීන් සහ තාක්ෂණික ශිල්පීන් එකතු කරගෙන ඔබේ සිතියම විශ්ලේෂණයට ලක් කරගන්න ඕනි. ඒත් එක්කම වියදම් සැලැසුම් සහ කාල රාමුව සකස් කරගන්න ඕනි.
3. අවසරය ලබා ගැනීම – ප්‍රාදේශීය සභාව, නගර සභාව හෝ ඔබ අයත් වෙන පරිපාලන කොට්ඨාසයේ අදාල අවසර ලබා ගැනීමේ කටයුතු කරන්න ඕනි.
4. නිශ්පාදනය සැලසුම් කරගන්න – මෙතනදී හැමෝම ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙන ක්‍රමවේදයක් තමයි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ, ඉංජිනේරුවන්, සැලසුම් සහ තාක්ෂණික ශිල්පීන් ඔවුන්ගේ දැනුම ස්වෙච්ඡාවෙන් ලබා දෙනවා. අමුද්‍රව්‍ය සපයන්න පුලුවන් අයත් ඒ වෙනුවෙන් දායකත්වය ලබා දෙනවා. ඒ වගේම සංවේදක(සෙන්සරස්) සම්බන්ධයෙනුත් එහෙමම ස්වෙච්ඡා කණ්ඩායමක් ඕනි. ව්‍යාපෘතියේ කළමනාකරණය වෙනුවෙන් හැදෙන කණ්ඩායමක් මේ සියලු කටයුතු සමායෝජනය කරලා අවසානයේ අදාල බළධාරින් වෙත බාරදීමේ වගකීම දරන්නත් ඕනි
5. නඩත්තුව සහ අධීක්ෂණය
සමාජ මාධ්‍ය පදනම් කරගෙන තමයි නඩත්තු සහ අධීක්ෂණ කටයුතු කෙරෙන්නේ . එතනදී සංවේදක වලින් එන දත්ත සමාජ මාධ්‍ය පිටුවක යාවත්කාලීන වෙනවා. ස්වෙච්ඡා කණ්ඩායමක් ඒ ගැන අවධානයෙන් ඉඳලා, ඝණ අපද්‍රව්‍ය නිසා කාණුව අවහිර වෙලා යන මොහොත ගැන සමාජ මාධ්‍ය පිටුවෙන්ම ඒ ගැන දැනුවත් කරනවා. එතකොට අනවශ්‍ය විදියට ඝන අපද්‍රව්‍ය එකතු වෙලා කාණු උතුරලා ඔබේ නගරය යට වෙලා යන තත්ව අවම කරගන්න ඔබටම කටයුතු කරන්න පුලුවන්.
Build Your Own City Drain” initiative (BYOCD) කියන හෑශ් ටැග් එකෙන් ඔබට මේ ගැන වැඩි විස්තර මුහුණු පොත තුලින් දැනගන්නත් පුලුවන්.
ඉතින්, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් තවමත් ස්තූතිවන්ත වෙන, නිදහස් අධ්‍යාපනයේ උපරිම ප්‍රයෝජන අරගෙන, ඒ වෙනුවෙන් ආයේ ආයෙම ලංකාව වෙනුවෙන් බොහෝ දේ කරන්න උත්සාහ කරන මේ අභිමානනීය ලක් දියණිය ට ස්මාර්ට් ලේඩි අපෙත් ආදරණීය උත්තමාචාරය. ජය වේවා නදීෂා අක්කේ..!!
| අපේක්ෂා ගුණරත්න |