ඒ ලස්සන ම රාත්‍රියකි. ගඟුල් ඇවිදින් තිබුණේ පාරුල් ජීවිත කාලයේ දී අසන්නට පතා උන් ලස්සන ම ආරංචිය අරගෙනයි. පසු දා ලොන්ඩරි වත්තේ ගෙවල් හිමිකරුවන්ට පවුල් වශයෙන් සලකා මහල් නිවාසයේ ගෙවල් බෙදා දෙන සහතික පත් නිකුත් කිරීමට නියමිත වූයේ ය.
සමහර දේවල් සතු වී තිබෙත්දී නො දැනෙන හැඟීමක් එය තව දුරටත් නැතය යන තත්වය තුළ දී දැනෙන්නට ගනී. ලොන්ඩරි වත්ත තව දුවරටත් ඔවුන්ගේ වාසභවනය නොවේ ය යන හැඟීම ද පාරුල් තුළ දැනවූයේ එහෙව් සංකාවකි. ඒ අඹ සෙවනේ බංකුව මත හිඳ ඔවුන් කතා කරමින් හිඳිනා අවසාන දින කිහිපය ඒ වනු ඇත. එයින් මතුවට කොහොමටත් රිදී ගේ පවුල ලොන්ඩරිවත්තට අයිති නොවේ. ලොන්ඩරි වත්තේ මිනිසුන් සමගින් මහල් නිවාසයක ජීවිතයක් ඔවුන් ගේ ජීවිත වලට උදා වන්නේ නැත.
“ඉක්මනට පොඩි මංගල්ලයක් අරං උමා කෙල්ලව අපේ ගෙදරට කැන්දං යනව මහත්තයො. අද උමාගෙ ගෙදරත් එක්ක අපි ඒ ගැන කතා කරගත්ත”
කුඩා මිදුලේ, පවුලේ පුංචි සතුටු සමාගමය අතරේ ජුලී ගඟුල් ට මතක් කළා ය.
“ඒක හොඳයි. නැත්තං චන්දුලට කොහොම වුණත් පාරුට තනිකං දෝසෙ හැදෙයි”
“ඒ වුණාට මන්නං කියන්නෙ ඒකට ඉක්මං වෙන්න ඕන නෑ කියලයි. මොනා වුණත් රාජයිය ජීවිතේ පටං ගත්ත විතරනෙ. අපි බඳින එකෙන් එයාගෙ ජනප්‍රියත්වෙ අඩු වුණොත් එහෙම…”
චන්දුල උමා ට රැව්වේ ය. එතෙකින් බිම බලාගන්නට ඇයට සිදු විය.
“එහෙම පරක්කු කරන්න ගිහිං වෙන කෙල්ලෙක් මෙයාට කොක්ක ගැහුවොත් එහෙම”
පාරුල් සිනහ වෙවී විහිළුවක් කළා ය.
“ඔව්. ඒක නිසා ඉක්මනට අල්ලල බැඳගන්න එක කෝකටත් හොඳයි උමා”
ගඟුල් ඇවිලෙන ගින්නට පිදුරු දැම්මේ ය.
“දැනුත් මං කියන්නෙ රාජයියට තවපාරක් හිතන්න කියලයි. එකපාරක් නෙවෙයි සියපාරක් හරි හිතන්න. මාව මදි වුණොත් දවසක…”
චන්දුල ගෙන් නැවත ද ඇයට රැවුමකි. පාරුල් බංකුවේ ඇයට වම් පසින් උන් උමා ගේ ගෙල වටා දෑත ම යැව්වා ය.
“තව වචනයක් කතා කළොත් රාජාගෙන් කනව කොහොමද දන්නවද…”
කොයි මුවෙහිත් නැගුණේ සිනහවකි. උමා ඇස් වල කඳුළු අතරින් සිනහ වූවා ය.
“ඕගොල්ලො නෑ කියන්නෙ මට මාත් නෑ තමයි. ඒත් එහෙමයි කියල… දවසක රාජයියට මාව අතාරින්න හිතුණොත් කියල දැං බයයි මං. එහෙම වුණොත් මට ඕගොල්ලො කවුරුත් නැතුව යයි”
“පිස්සුද ගෑනියෙ ආ… මිරිකනව බෙල්ල මෙහෙමම. ඔයා නැතුව අපේ පවුල සම්පූර්ණ නෑ කියල ඔයා දන්නවනෙ උමා”
ඒ පුංචි රාත්‍රී භෝජන සංග්‍රහය දිව බොජුනක් සරි වූයේ ය. ඔවුන් ගේ ගෙදර ප්ලාස්ටික් පුටුවක හිඳ බත් පත අත මත තබාගෙන කෑම කන්නේ සැබවින් ම නගරාධිපති තුමා දැයි ඇතැම් විට පාරුල් ට විශ්වාස කරගත නො හැකි තරමි. ජීවිතයේ ඇතැම් සිදුවීම් යනු විශ්වයේ ප්‍රාතිහාර්යයන් ය. සොබාදහම ප්‍රාතිහාර්ය පාන්නේ ඉවසිලිවන්ත හා විශ්වාසනීය මිනිසුන් ගේ ජීවිත මතයි. ඔවුන් ගේ අතීතය දෙස ආපසු හැරී බලත්දී එහි ඉවසීම හැරෙන්නට වෙන යමක් නොවූ තරමි. දරා ගැනීම් හැරෙන්නට ලැබූ දෙයක් නොවූ තරමි. කෙසේ වෙතත් ඒ ඉරණම් පරීක්ෂාවෙන් අනතුරුව ලැබිය යුතු දේවල් ලබා දෙන්නට දෛවය තීරණය කොට තිබේ.
“නංගි ගැන බයක්වත් බරක්වත් හිතේ තියාගන්නැතුව අනිත් වැඩ ටික හොඳට කරගන්න චන්දුල. ඒ ප්‍රශ්නෙ හෙමිහිට විසඳෙයි”
රෑ බෝ වී නික්ම යාමට පෙර ගඟුල් චන්දුල ට සිහිපත් කළේ ය. ගඟුල් ගේ රිය වෙතට පාරු හා උමා සමගින් චන්දුල ද පසු ගමන් ගියේ ය. ඔහු නික්ම ගියේ තවත් ටික වෙලාවක් හිටියා නම් යන රහසිගත සිතිවිල්ල පාරුල් තුළ ඔඩුදුවත්දී යි.
ඒ රැයෙහි ගඟුල් සිය පියා සමගින් මඳක් කතා කරන්නට සිතුවේ ය. සුරත් ගිලන් වීමෙන් පසු ඔහු ඒ කතා වලට ගියේ ම නැත. නමුත් සත්‍යය යනු හිරු සේ ම නිරාවරණය වෙත්දී බබලනා දෙයකි. සත්‍යයට ඇති සැටියෙන් මුහුණ දිය යුතුව තියේ.
“හෙට ෆ්ලැට් එක ලොන්ඩරිවත්තෙ මිනිස්සුන්ට පවරනව තාත්තෙ. ඒ වැඩේ කරගන්න මට මාර ෆයිට් එකක් දෙන්න වුණා. කොහොම හරි මං දිනුව. හෙට චාම් උත්සවේකින් ඒක කෙරෙනව”
සුරත් ට එකවර කියන්නට යමක් සිහි වූයේ නැත. ඔහු පුතා ගේ වෑයම ට එරෙහි ව සටන් කළේ ය. නමුත් ඔහු පැරදී තිබේ. ගඟුල් ජයග්‍රහණය අත්පත් කරගෙන තිබේ.
“අපිට ඔයා ගැන ආඩම්බරයි පුතා”
සුරත් ගේ හිස් තැන නිර්ධා වහා පිරවූවා ය. ඇය කවදත් කළේ එයයි. ඔවුන් ගේ විවාහය යෝජිත එකක් වූව ද නිර්ධා ඒ තුළ ක්‍රියාත්මක වූයේ වගකීම් සහගතව ය. පවුල යනු මිහිමත වන උත්තරීතර ම හා ශුද්ධ වූ ඒකකය යයි ඇය විශ්වාස කළා ය. දැන උගත් ගැහැනියක ලෙස හැඟීම් වලට වඩා බුද්ධියට ජීවිතය තුළ අවස්ථාව ලබා දිය යුතු යයි ඇදහුවා ය. ඇගේ මාර්ගය තුළ ඇයට හමු වූයේ ශාන්තිදායක ගමනාන්තයන් ය. සුරත් වන් පුරුෂයෙකු සමග විවාහ වීමට ඇයට තිබූ එක ම හේතුව එය දෙමාපියන් ගේ කැමැත්ත වීමයි. නමුත් ගඟුල් විජයවීර යන මාහැඟි වස්තුව ඇයට ලැබුණේ ඔහු නිසාවෙනි. එබැවින් නිර්ධා ඔහු ගේ යහපත පැතුවා ය. ඔහු යහ මගෙහි ගමන් කරවනු වස් විටින් විට අනතුරු ඇඟවීම් කළා ය. ඔහු ගේ වැරදි වැරදි ලෙස ම හුවා දක්වමින් නිවැරදි වන ලෙස තදින් සිටියා ය. ඒ ස්ත්‍රී පෞරුෂයට සුරත් තුළ වූයේ ගෞරවනීය බියකි. නමුත් ඔහු කිසි සේත් ඇය කැමති දේශපාලකයා නොවුණා ය. දේශයට පෙමින් බැඳෙනා දේශපාලකයෙකු ගැන බිජුවට ඇය නිරන්තර ගඟුල් ගේ හදවතේ පැළ කළේ එබැවිනි.
සුරත් ලෙඩ පිටින් දමා නිහඬව ම සිටියා ය. මේ අම්මාත් පුතාත් දෙදෙනා ම ඔහු ව හොඳට ම බියවද්දා තිබේ. ගඟුල් ඊයේ පෙරේදා සරත් ජයධරන් කෙනෙකු ගැන ඇසුවේ ය. මීට කාලයකට පෙර, නිර්ධා ගේ අත් බෑගය තුළ තිබී ඔහු ට සිය ගැටවර වියෙහි ඡායාරූපයක් හමු විය. එය හරි අහම්බයෙන් දකින්නට ලැබුණකි. ඒ පින්තූරය තිබුණේ ඔහු ගේ පසුම්බියෙහි ය. සුරත් වහා පසුම්බිය දිගහැර බැලුවේ ය. නමුත් ඔහු ගේ සේයාරුව එලෙස ම තිබේ. සුරත් ගේ හදවත ගැස්සී ගියේ එදා ය. නිර්ධා ට ඒ ඡායාරූපය කොහෙන් ද? වත්තෙන් පැන යන විට ඔහු අතීතයෙන් කියා ගෙන ගියේ ඒ ඡායාරූපය පමණකි. යන්තමින් දැලි රැවුල වැවීගෙන එන කාලයේ ඡායාරූපගාරයකට ගොස් එය ගත්තේ ඔහු ව හදාගත් මව තංගමනී ය. ලැබුණු පිටපත් දෙකෙන් එකක් සුරත් ගේ පසුම්බියෙහි තිබිණි. අමතක කොට අත්හැර දැමූ අතීතය සිහිපත් කරනා සංකේතයක් ලෙස හෝ ඔහු ට තිබුණේ එපමණකි. නමුත් නිර්ධාට එය කොහෙන් ද? ඒ ගැන විමසන්නට ඔහු බිය වූයේ ය. එබැවින් කිසි දාක ඔහු ඇගෙන් ඒ ගැන විමසුවේ නැත. ඉනිතින් ඒ වූ කලී තවමත් නො පිපිරූ ගිනි කන්දකි.
“තාත්තෙ… මිනිස්සු දුප්පත් වෙලා ඉපදෙන එක ඒ මිනිස්සුන්ගෙ වරදක් නෙවෙයි. හැබැයි ඒ විදිහටම මැරිල යනවනං ඒකයි වරද. කොයි විදිහට හරි තැනකට ආවට පස්සෙ තමන්ගෙම අතීතෙ ගැන ලැජ්ජ වෙන්න ඕනත් නෑ කියලයි මං හිතන්නෙ. තාත්තත් කොතනක හරි වැටිල පැළවෙලා පොළොවට හොඳට මුල් අල්ලපු ගහක්. පාරුල් වුණත් දවසක එහෙම වෙයි. අතීතෙ දිහාවට හැරිල දැන් ඉන්න තැන ගැන ආඩම්බර වෙන එන හරි සුන්දර දෙයක් තාත්තෙ… දැන් ඉන්න තැන ඉඳල අතීතෙ ගැන හිතල ලැජ්ජ වෙනවට වැඩිය…”
ගඟුල් කියන්නට තතනන්නේ කුමක් දැයි හරියට ම නො වැටහුණත්, ඔහු ට සිය නරාවළක් වන් අතීතයේ සෙවනැලි අහු වී ඇති බවක් සුරත් ට දැනිණ. වෙනදා වාගේ වහළ උඩ යන්නට ගොරවන්නට තරම් ආත්ම ශක්තියක් මේ වෙලාවේ තිබුණේ නැත. ඊටත් වැඩිය ප්‍රතිප්‍රහාර එල්ල කළ හැකි අවි ආයුධ දැනටමත් ඔවුන් අතට පත් වී ඇති බව ඔහු ට දැනේ.
“තාත්තෙ. අපි ජයධරන් සීයව ගෙදර එක්කං එමු. මොනා වුණත් එයා ඔයාව හදාගත්ත මනුස්සය. ඔයා මේ විදිහට ජීවත් වෙද්දි… ඒ මනුස්සය ඒ විදිහටම මැරිල යන එක පව්”
සුරත් තිගැස්සුණේ ය.
“තාත්ත කලබල වෙන්නෙපා. මං තාත්තගෙ පුතා කියල දැනගත්තහම එයා මාත් එක්ක කතාකළා. ඒ මනුස්සය තාත්තට තාමත් ආදරෙයි… එයාගෙම පුතෙක්ට වගේ”
සුරත් ගේ දත් ඇඳි එකට තද වී තිබිණ. ගඟුල් මේ කතා නිර්ධා ට හෝ කියා තිබුණා නොවේ. නමුත් ඇය ඔය කතාවේ එක පැත්තක් දැනගත්තේ මීට වසර ගණනාවකට පෙරයි. ඒ මුල්ලේරියාව මානසික රෝහලේ වෛද්‍යවරියක ලෙස සේවය කරත්දී ය. එහි නේවාසිකව උන් තංගමනී ළඟ තබාගෙන නිතර බලනා ඡායාරූපයක් දැක ඇය තිගැස්සී ගිය මුල් ම මොහොත මේ දැනුත් නිර්ධා ට සිහි කරගත හැක. ඒ, එම සේයාරුව ම සුරත් ගේ මුදල් පසුම්බියෙහි තිබෙනු ඇය දැක ඇති බැවිනි.
“පුතා. මගෙ පණ. මාව දාල ගියා. මං එයාට වැරදි කළේ නෑ. මං පණ වගේ ආදරේ කළා. ඒ වුණාට මාව දාල ගියා”
තංගමනී ඒ සේයාරුව දෙස බලමින් නිතර දෙඩවූයේ එයයි. නිර්ධා ට මෙය බරපතල ගැටළුවක් වූයේ ය. ඇගෙන් වසන් කළ දැවැන්ත රහසක් සුරත් ළඟ ඇති බව පෙනෙන්නට තිබිණ. ඊට ඇගේ ප්‍රතිචාරය කෙසේ විය යුතු දැයි නිර්ධා කල්පනා කළේ තනිව ය. සුරත් විසින් ඔහු ගමන් කළ යුතු මාවත තනාගෙන තිබේ. භෞතික වශයෙන් අත්පත් කරගත යුතු සියල්ල නො අඩුව අත් කරගෙන තිබේ. එබැවින් කාලයේ වැලි තලා අතරේ සැඟවී ගිය පරණ කුණු නො අදින්නට ඇය සිතින් සිතාගත්තා ය.
නමුත් තංගමනී ගේ මරණයෙන් පසු නිර්ධා ඒ සේයාරුව ඈ සන්තක කරගන්නේ යම් කිසි දිනයක අවශ්‍ය වුණොත් කියා සිතාගෙනයි. වතාවක් ඇගේ අත් බෑගයේ තිබී සුරත් විජයවීර දකින්නේ සරත් ජයධරන් ගේ ඒ සේයාරුවයි.
මෙතෙක් කල් පවුල තුළදී ද පොරවාගෙන උන් සිංහ හම ගැලවී ගොස් ඇති බව සුරත් ට ස්ථිර ලෙස ම පැහැදිලි ය. ඔහු ගේ හෘද රෝගය ගැන නිර්ධා කල්පනා කළේ වෛද්‍යවරියක ගේ සිතිණි.
“ඔයා සරත් වුණත් සුරත් වුණත් ගඟුල්ගෙ තාත්ත. ඒක වෙනස් වෙන්නෑ. අනික කොතනකින් ආවත් ඔයා ගොඩනගපු හැම දේම අපිට වටිනව. ඔයාගෙ ඇමතිකම හැමදාම මං විවේචනය කළත් ඔයාගෙ අතීතය විවේචනය කරන්න මට ඕන්නෑ සුරත්. අපි පුතාටත් එයා කැමති තැනිං පටන්ගන්න අරිමු. එයා හොඳ ගමනක් යනව කියල මට විශ්වාසයි. ඔයාගෙ වගේම එයා මගෙත් පුතානෙ”
තමන් හැම පැත්තෙන් ම කොටු වී ඇති සෙයක් සුරත් විජයවීර ට දැනෙමින් තිබිණ.