සුරත් විජයවීර දින ගණනාවක දිගු නිහැඬියාවක් තුළ කිමිද සිටියේ ය. අතීතයත් වර්තමානයත් අතරේ ඉතා දිගු වූ වැල් පාලමක් මැද ඔහු බරපතල අවිනිශ්චිත බවක් අත්වින්දා යි කිව හැක.
ඔහු වැරදි ද? සුරත් ඔහුව ම ප්‍රශ්න කළේ ය. ඔහු දැන් වියපත් මිනිසෙකි. නමුත් ඔහු සිය සැබෑ මව්පියන් හඳුනන්නේ නැත. ඉපදුණ දිනයේ ම හෝ ඊටත් පෙර, ඔහු ගේ මව් පියන් කවුරුන් වේවා ඔවුන්ට සිය දරුවා බරක් වී තිබේ. මහ පාරක සපත්තු මසන්නෙකු අස දමා ගොස් තිබෙන්නේ ඒක ය. ඒ ඔහු ගේ වරදක් ද? ඉන්පසු ඔහු කොළඹ කොරියාවක සපත්තු මසන්නෙකු ගේ සෙවනේ ඇති දැඩි වී තිබේ. ඒ ඔහු ගේ වරදක් ද? කුඩා කල පටන් ඔහු ට ඕනෑ වූයේ ලොකු මිනිසෙකු වන්නට ය. හොඳින් හෝ නරකින් හෝ මුදල් උපයන්නට ය. වත්තේ ගෙවල් පේළියේ පිරිමි මත් ද්‍රව්‍ය පාවිච්චි කළහ. මත් පැන් වලට ඇබ්බැහි වී සිටියහ. බොහෝ විට ඔවුන් වියදමට මුදලක් හොයා ගත්තේ කුළී වැඩකිනි. සමහරු නගර සභාවේ කුණු ලොරි වල වැඩ කළහ. සමහරු පිටකොටුවේ කරත්ත වලින් බඩු අදින නාට්ටාමිවරු වූහ. සරත් ගේ ද මුල් ම රැකියාව වූයේ කරත්ත ඇදීමයි. ඔහු ට සිහිනයෙන් සේ සිහි වේ. කරත්තයක් කුළියට ගන්නට පාන්දරින් ම කරත්ත සෙල්වම් වෙත යා යුතුව තියේ. සරත් ගෑස් පහ හන්දියට යන්නේ පයිනි. සෙල්වම් කහ දියර සූදානම් කොට තබයි. නාට්ටාමිවරු කරත්ත වලට කහ දියර ඉස කිලි කුණු දොවා ඒවා ගෙන බඩු පටවාගන්නට ස්ටෝරු වෙත යති. බඩු පටවාගෙන ඒවා කඩ සාප්පු වෙත ගෙන ගොස් බාති. වැඩියෙන් බර ඇද්ද තරමට වැඩිපුර මුදලක් ඉපයිය හැක. ඔවුන් අදින්නේ ඒ වැහැරුණු, කෘෂ, කිසි දා පෝෂණයක් නො ලැබූ ශරීර වලට ඔරොත්තු නො දෙනා බරකි. ජීවිතය කොයි තරම් බර ද යන්න ඔවුන් තරම් දන්නා අය නැති තරමි. හවසට කරත්තයේ කුළිය ගෙවා ඉතිරි වන මුදල මිට මොලවාගන්නා නාට්ටාමි ජීවිතය සිහි වන විට සුරත් ගේ සිරුර කිළිපොලා යයි. ඔහු ලෙහෙසියෙන් මුදල් හරිහම්බ කළ හැකි මත් ද්‍රව්‍ය විකුණන්නෙකුට ලං වූයේ කරත්ත ඇදීමෙන් පසු හවසට දැනෙනා විඩාව දරනු බැරි තැන ය.
ඔහු ට ලොකු මිනිහෙකු වන්නට ඕන විය. කෙසේ හෝ ඔහු එය කළේ ය. නම් වෙනස් කළේ ය. බලය සොයාගත්තේ ය. කුරුඳු වත්තෙන් වලව් පන්නයේ ප්‍රභූ නිවෙසක් මිල දී ගත්තේ ය. ඒ දේවල් උපයා සපයාගන්නට කෙතරම් වෙහෙසක් දැරුවා ද කියා දන්නේ ඔහු විතර ය.
“මොන බොරුවක් කරලහරි මං ඔයාටයි ගඟුල්ටයි ලස්සනට සමාජෙට මූණ දෙන්න පුළුවන් තත්වයක් හදල තිබ්බ. ඒක ලේසියෙන් කරපු දෙයක් නෙවෙයි. හුඟක් දුක් විඳල කරපු දෙයක්. මං එහෙම නොකළනං ගඟුල්ට ඔය ගමන ඔයතරං ලේසි වෙන්නෑ. එච්චර අමාරුවෙන් මං ගොඩනගපු දේවල්… ගිනි දවාලෙ ගිනිතියල දාන්නෙපා කියලයි මං කිව්වෙ. නිර්ධා ඔය පාර්ලිමේන්තුව ඇතුළෙ වුණත් කුළ මල ප්‍රශ්න තියනව කියල ඔයා දන්නවද… ඒව දන්නැති නිසයි අපේ පුතණ්ඩියත් ඔහොම හැසිරෙන්නෙ”
අවසන සුරත් සිය ප්‍රියම්බිකාව ඉදිරියේ පාපොච්චාරණයක් කළේ ය.
“අපි ඉන්නෙ ඒ බමුණු මත වෙනස් කරන්න ඕන යුගයක සුරත්. ඒකයි මං කවදාවත් ඔයාගෙ ඒ අතීතය ගැන ඇහුවෙ නැත්තෙ. අතීතෙ කරපු දේවල් ගැන නෙවෙයි මිනිස්ටර් කෙනෙක් විදිහට ඔයා දැන් කරන දේවල් තමයි මං විවේචනය කළේ. ඒත් තරුණ ආවේගෙට පුතාට එයාව පාලනය කරගන්න බැරිවෙන්න ඇති. විරුද්ධ වුණා කියල පුතා එයාගෙ තීරණේ වෙනස් කරන්නෑ සුරත්. ඒක නිසා අපි එයාගෙ හයියට ඉමු. එතකොට ඒගොල්ලොන්ට මේ ලෝකෙ වෙනස් කරන්න ලේසියි”
“එයා කැමති දෙයක් කරන්නයි කියන්න”
නිර්ධා ගේ මුහුණේ ඉසිහින් සිනහ රැල්ලක් නැඟිණි. සුරත් විජයවීර ඒ තරම් පහසුවෙන් පස්සට අඩියක් තැබුවේ සරත් ජයධරන් ට ඇති බියටයි. තමන්ගේ ම අතීතය කෙරේ වන බියටයි!
ඉඩ පහසුකම් ඇති ගෙදරක උන් දා සිට ජීවත් වී නැති පරම්පරා තුනකට අයිති පුරුක් තුනක් වන ජුලී, රිදී හා පාරුල් ට ඒ නව නිවස සදෙව් ලොවක් සේ දැනිණ. නමුත් එහි ඔවුන් ගේ ජාන සංයුතියට ම කාවැදී තිබි පුරුදු වලට ඉඩක් නොවීම පාරුල් ට කෙසේ වී ද වැඩිහිටි ස්ත්‍රීන් දෙදෙනා ට පහසුවක් වූයේ නැත. ඇතැම් උදයක ජුලී කලබලෙන් අවදි වූයේ “හොඳටම එළිය වැටිල. රෙදි ටික වැලට දැම්මෙ නෑ නේද රිදියො” කියා අසාගෙන ය. ලොන්ඩරි වත්තේ දී අව්වට දැවීමත් දවස පුරා රෙදි අපුල්ලමින් වේලමින් මදිමින් ගෙවූ කටුක ජීවිතයත් කරදරයක් හෝ කරුමයක් ලෙස දැනුණු අවස්ථා වී ද දැන් මුළු ආත්මය ම ඉල්ලා සිටින්නේ ඒ ජීවිතයයි. දවස පුරා ම මහත් අලස බවක් දැනේ. කන්නට යමක් උයා පිහා ගැනීම හැරුණු කොට ලොකුවට කරන්නට වැඩක් නැත. ලොන්ඩරි වත්තේ දී ඉගිළුණ දවස දැන් ගෙවෙන්නේ ඉබි ගමනේ ය. එතකොට ඒ ජීවිතය කෙතරම් පහසු ද කියා සිතේ. අතක් පයක් නො සොල්වා නිකං ඉන්නා එක මොන තරම් අසීරු ද?
“නගරාදිපතිතුමාගෙං තට්ටු ගෙදරිං ගෙයක් ඉල්ලගත්තනං කියල හිතෙනව බං. එහෙ ඉද්දි මොනා වුණත් එක පවුලක් වගේ මහ සෙනගක් හිටියනෙ. මෙහෙම තාප්ප දාල මනුස්සයෙක් පේන්නැති ගෙදරක තනියම ජීවත් වෙනවයි කියන්නෙ… මටනං පිස්සු වගේ”
ජුලී වෙතින් පිට වූයේ ඔවුන් ගේ අවංක හැඟීමයි.
“ඒත් අපේ කොල්ලයි කෙල්ලයි දෙන්නම රෙදි අපුල්ලන එවුං නෙවෙයිනෙ අම්මෙ. අපි කොහොමහරි උන්ට හරියන විදිහට ජීවත් වෙන්න පුරුදු වෙමු. උමා කෙල්ල ආවහම දවල් දවසෙ මේ පාළුව නැති වෙලා යයි”
රිදී ඇයට හිමි වූ ජීවිතයේ හැම මොහොතක් ම වඩාත් සුදුසු තත්වයෙන් භාර ගැනීමේ පුරුද්ද තව දුරටත් නඩත්තු කළා ය. තමන්ගේ අය සතුටෙන් සිටිනු දැකීම සිය සතුට යයි සිතීම ප්‍රගුණ කළා ය.
දැන් හැම හවසක ම වෛද්‍ය පීඨයේ සිට පාරුල් ගෙදර එන්නේ ගඟුල් සමගිනි. ලොන්ඩරි වත්තේ දී ට වැඩි නිදහසකින් ඔහු ට එහි හැසිරිය හැකි වේ.
“ඒ වුණත් මං ආසයි අප්ප ඒ ගෙවල් පේළි වලට”
ගඟුල් පවා කියන්නේ එසේ ය.
“ඔව් අනේ. මට හැමතිස්සෙම මතක් වෙනව අපේ ගේ ඉස්සරහ තිබුණ බෝගන්විලා වැල. ආත්තම්ම කියල තියෙන්නෙ ඒක සෙදෝනා ආච්චි හිටවන්න ඇති කියලයි. හැමදාම මල් වියනක් උස්සං හිටපු මල් වැල”
“ලොන්ඩරිවත්තෙ ගෙවල් ඩෝසර් කරන දවසෙ මං ඒ පැත්තටවත් ගියෙ නෑ. ඒත් ඉතිං එහෙම තමයි. අපි නොස්ටැල්ජියා එක්ක හිටියට නාගරික සංවර්ධනය කියන දේට එද්දි අවශ්‍යතාවය මත පරණ ගොඩනැගිලි අයින් කරන්න වෙනවනෙ. අනිත් එක කොහොමත් ඒව තිබුණෙ මනුස්ස වාසෙට සුදුසු තත්වෙක නෙවේනෙ”
“ඒ අයට වඩා හොඳ ගෙදරකුයි බේසික් සැනිටරි ෆැසිලිටීසුයි ලැබෙන දවසක් ගැන මං සෑහෙන කාලෙක ඉඳං හීන දැක්ක. ඔයා ඒක කරල දීපු නිසා දැන් මගෙ හිත නිදහස්”
පෞද්ගලිකත්වයට වඩා පොදු භාවය සැනසිලි සහගත ය. මානව වර්ගයා වෙනුවෙන්, මිනිසෙකු ලෙස ඉපිද ගෙවනා කෙටි කාලය තුළ යම් කිසි මෙහෙවරක් සිදු කිරීමට හැකි වීම මානවවාදී වටිනාකම් දල්වයි.
චන්දුල ගේ හා උමා ගේ විවාහය නිමිති කොටගෙන කුඩා සාද දෙකක් පැවැත්විණ. ලොන්ඩරිවත්තේ ජනතාව වෙනුවෙන් එක් දිනයක සංග්‍රහයක් කෙරිණි. ක්ෂේත්‍රය තුළ දී හැඳිනගත් චන්දුල ගේ විශේෂ මිතුරන් වෙනුවෙන් ද ගඟුල් ගේ පවුලේ අය හා පාරුල් ගේ වෛද්‍ය පීඨ මිතුරු කැළ වෙනුවෙන් ද අනිත් දවස වෙන් වූයේ ය. මේ විශේෂ දවසට සිසිර ට ද ආරාධනා ලැබිණි. විශේෂත්වය වනුයේ සුරත් විජයවීර පවුලේ කෙනෙකු ලෙස මේ අවස්ථාවට සහභාගී වීමයි. එපමණකුදු නොව පවුලේ වැඩිහිටියෙකු ලෙස ඔහු අවශ්‍යතා විමසා බලා කළේ ය. චන්දුල හා උමා මධුසමය සඳහා දින කිහිපයකට නික්ම ගිය පසු පාරුල් හා වැඩිහිටි ස්ත්‍රීන් දෙදෙනා අලුත් ගෙදර තනිව රැඳිය යුතු බැවින් ඔවුන් ට සිය නිවසට පැමිණෙන ලෙස ආරාධනා කළේ නිර්ධා ය. රිදී ඊට අදිමදි කළා ය. ඔවුන් ව ඇමති නිවසට තරම් නොවෙතැයි හීන මානය ඊට හේතුවයි.
“ගෑනු පරාන තුනක් තනියම මේ ගෙදර ඉන්නවට වැඩිය එහෙම හොඳයි තමයි. මොකද මේක දන්න කියන මිනිස්සු අතරෙ හිටපු පළාත නෙවෙයිනෙ. පැත්තත් අලුත් අසල්වැසියොත් අලුත්. හදිස්සියකට හරි කතා කරල අපේ ඉලන්දාරිය එනකල්ම ඉන්න වෙනවනෙ”
රිදී ගේත් ජුලී ගේත් කුළෑටිකම තුනී වී ගියේ සුරත් විජයවීර ඔවුන්ට එසේ ඇරයුම් කළ කල ය. ගිලන් ව සිටි කාලයෙහි ඔහු ජිවිතය ගැන බොහෝ පාඩම් තමන් විසින් ම ඉගෙනගෙන තිබිණ. ජීවිතයකට වඩාත් වැදගත් වනුයේ බල තන්හාව නොව සැනසිලිදායක සැඳෑ සමයකි. පරම්පරා කිහිපයකට ප්‍රමාණවත් තරමට ඔහු මුදල් හදල් හරිහම්බ කරගෙන තිබේ. ඉතිරි කාලය චිත්‍රපටයක් බලාගෙන සින්දුවක් අසාගෙන විවේකී විශ්‍රාම දිවියක් ගෙවනා එක සුවදායක වනු ඇති බවට අවබෝධය මේ අවස්ථාවේ හෝ ලැබීම සතුටට කරුණකි. මීළඟ මහ මැතිවරණයේ දී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් නොවී විශ්‍රාම ගැනීම ඔහු ගේ අපේක්ෂාවයි. එවිට තරුණ අපේක්ෂකයෙකු හට ඒ අවස්ථාව ලැබෙනු ඇත. මේ, තරුණ අදහස්, ජවය හා අපේක්ෂාවන් මාතෘ භූමිය විසින් ඉල්ලා සිටින යුගයකි!
පාරුල් බලාපොරොත්තු නොවූ පහසු හැඟීමක් අමාත්‍ය නිවහනේ දී හිතට දැනිණ. විජයවීර පවුල ඔවුන් ට තමන්ගේ ම අය සේ හැඟෙනා ලෙස හැසිරුණ බැවිනි. විශේෂ පුද්ගලයෙකු ද එහි වූයේ ය. ඒ සරත් ජයධරන් ව හදාගත් පියා වන ජයධරන් ය. ඉතා මහළු වයසේ සිටි හෙතෙම ඇමති නිවසට පැමිණියේ කැමැත්තකින් නොවේ. ගඟුල් විසින් ඔහු ව ගෙන එනු ලැබුවේ බලයෙන් සේ ය.
“අනේ මට මේ ඉන්න විදිහ හොඳයි පුංචි මාත්තයො. මං දෙයක් කිව්වනං ඒ කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙවේ. දෙයියම්ප”
ඔහු ව රියෙහි නංවාගෙන එන අතරේ ජයධරන් අපමණ වාර ගණනක් බැගෑපත් වූයේ ය. නමුත් දැන් ඔහු ඇමති නිවසේ පිරිසිඳු ඇඳුම් ඇඳ කා බී නා සතුටෙන් සිටී.
“මොනා තිබුණත් අපේ කොරියා වත්ත වගේ නෑ මාත්තයො”
දවසකට කීප වතාවක් ම ඔහු එහෙම කියයි.
පාරුල් ලා ඇමති නිවසෙහි නතර වී අවදි වුණ ප්‍රථම උදයේ පුරුද්දට වාගේ අම්මලා දුවලා තේ හදන්නට මුළුතැන්ගෙයට ගියහ. ඒ වන විටත් මුළුතැන්ගෙයි සේවකයන් තේ සූදානම් කොට අවසන් ය.
“නගරාධිපතිගෙ තේ එකත් එහෙනං ඔයාම ගිහිං දෙන්නකො”
නිර්ධා ගඟුල් ගේ තේ එක සහිත බන්දේසිය පාරුල් අතට දුන්නා ය. වෙනදාට එය රැගෙන යන්නේ ඇයයි.
ගඟුල් සිටියේ යහන බදාගෙන ය. පාරුල් දොරට තට්ටු කරත්දී ඔහු ‘එන්න’ යි කීවේ ද ඒ අම්මා කියා සිතාගෙනයි.
“මෙහෙම නිදාගෙන පුළුවන්ද මුළු කොළඹක් බලාගන්න තියන මනුස්සයෙක්”
පාරුල් ආඩපාලියක් කීවා ය. ගඟුල් නොසැලී නිදි ලෙස සිටියේ ය.
“නැගිටින්නකො අනේ. මට වැඩි වෙලාවක් රූම් එකේ ඉන්න බෑනෙ”
පාරුල් තේ බන්දේසිය මේසය මතින් තබා යහන වෙතට පැමිණියා ය.
“නැගිටලනෙ ඉන්නෙ. තේ එක බොන්නකො. ඔහොම කොහොමද නගරාධිපති කෙනෙක්”
ඒත් ගඟුල් සෙලවුණේවත් නැත.
“නැගිටින්නකො. ඔන්න මං යනව එහෙනං”
එහෙම කීවත් ඔහු එසේ ම සිටියෙන් පාරුල් යන්නට හැරුණා ය. එතකොට ම ඇගේ අතක් ඔහු ගේ අතකින් තදට ඇල්ලිණි. පාරුල් ට සමතුලිතතාවය පාලනය කරගත නො හැකි ව ඔහු වෙතට ඇදී ගොස් යහනෙහි ඔහු මත පතිත වූවා ය. ගඟුල් වහා ම ඈ වටා සිය දෑත් යවමින් ඇය සිය සිරුරට තද කොට ගත්තේ ය.
“ඒ… යි… මොකද්ද අප්ප මේ කරන්නෙ… මාව අතා… රින්න…”
රහස් හඬකින් මුමුණමින් පාරුල් ඔහු ගේ ග්‍රහණයෙන් මිදෙන්නට හැදුවා ය. නමුත් ඒ පිරිමි හයිය ළඟ ඕ පිහාටුවක් සේ සියුමැළි වූවා පමණකි.
“ඔහොම ටිකක් ඉන්න”
ඈ තුරුල් කරගත් වන ඔහු නෙතු පියාගත්තේ ය.
“කව්රුත් එයි අනේ… අතාරින්නකො…”
“අල්ලගත්තෙ අතාරින්න නෙවෙයිනෙ සුදු නෝනා”
බොරු නිදිමත අමතක කළ ගඟුල් පාරුල් ගේ තැතිගත් මුහුණ දෙස බලා ආදර සිනහවක් පෑවේ ය.
“උමාත් බැන්දනෙ… දැං ඉතිං කවද්ද අපි බඳින්නෙ… ම්…”
“ඔයාගෙ අම්ම හරි තාත්ත හරි ආවොත්නං මාව බඳින්නෙ ගස් හොඳේ. හිතුවක්කාර නොවී මට යන්න දෙන්න”
“තව චුට්ටක් ඉන්න”
“පාරූ…”
රිදී ගේ ඒ ඇමතුම් හඬ කාමරයේ දොරකඩින් නැගුණේ ඒ මොහොතේ ම ය. ගඟුල් ගේ ග්‍රහණය ලිහිල් විය. පාරුල් යහනෙන් පැන්නා සේ ය.
“මේ කෝල් එකක්”
පාරුල් ඉක්මන් කොට දුරකතනය ගත්තා ය. ඇමතුම වෛද්‍ය පීඪයේ මිතුරියකගෙනි.
“පසන්ව අරෙස්ට් කරල”
“පසන්ව අරෙස්ට් කරල… ඇයි ඒ…”
ඇසිල්ලකින් ගඟුල් ද යහනෙන් පැන සිටියේ ය.
“මදූ කියල කොල්ලෙක්ට පිහියෙන් ඇනල. කතාව යන හැටියට මේ දෙන්න ගේ කුරුල්ලො. පසන්ට අයින් වෙන්න ඕන වුණත් මදූ ඒකට ඉඩ දෙන්නෑලු. ඒකලු ඔහොම කරල තියෙන්නෙ”
තේ කෝප්පයෙන් උගුරක් බොමින් විත් ගඟුල් පාරුල් ගේ උරහිස වටා අතක් දමාගත්තේ ය. දුරකතනය සංවාදය නිමා වී ද පාරු සිටියේ තිගැස්සීගෙනයි.
“එහෙම තමයි නේද… තමං කරන දේවල වගකීම තමුන්ට ගන්නම වෙන වෙලාවක් එනව”
පාරුල් යන්තමින් සිය හිස ගඟුල් ගේ පපුවෙහි ස්පර්ශ කළා ය. හිතට දැනෙන්නේ බියක් ද සහනයක් ද කියා වෙන්කොට හැඳිනගන්නට ඇය උත්සාහ කළේ නැත.
ඉරණම හෝ කර්මය හෝ විශ්වය තුළ ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ බව නො පෙනුණ ද එහි ප්‍රතිඵල දිනෙක දැකිය හැකි වේ. මනුෂ්‍යත්වයක් ලැබීම තුළ මිනිසුන් ලෙස ක්‍රියා කළ යුතු වන්නේ එබැවිනි.
-සමාප්තයි.