ශරදාකාසේ -16

එදිනත් නිවාඩු ගත හැකි ව තිබිණි නම් ඇතැම් විට ශාරද රැකියාවට නො යා ඉන්නට තිබිණ. ඔහු ගේ හිතත් හිසත් පැටළුම් ජාලයක් විය. විශේෂයෙන් ම නිශාමනී දරුවා ද ගෙන ගෙදරින් පිට ව යන්නට ගෙන තිබූ තීරණය ඔහු බලාපොරොත්තු වූ එකක් නොවේ. ශාරද හිතුවේ ම හිතේ වන කේන්තිය පහ ව ගිය පසු නිශාමනී යළි සන්සුන් වනු ඇත කියා ය. දික්කසාදය ගැන ඇය කියවන්නට ගත් කතාව ගැන ඔහු සැලකිලිමත් වූයේ ම නැත. ඒ, කිසි දා ක ඇයට එසේ කළ නො හැකි යයි ඔහු තුළ වූ විශ්වාසය නිසා ය. නිශාමනී යනු උගත් ගැහැනියක වූවා ට විවාහයත් සමග කුසයට ආ දරුවා, ඇයට රැකියාවක් ගැන වූ ආශාව සිහිනයක් ම කොට ඈතට පළවා හරින ලදී. හිතුවක්කාර විවාහයෙන් පසු ඇගේ දෙමාපියන් ඈ අතැර දැමූව ද, නිශාමනී සත් මස් ගැබිණියක ව සිටියදී පුද්ගලික රෝහලක දී උනුන් මුණ ගැසිණ. දාරක ස්නේහය තව දුරටත් යටපත් කර ගන්නට ඔවුන් සමත් වූයේ නැත. ඒ අනුව ඉනික්බිති නිශාමනී ඉඳහිටක මහ ගෙදර ගියා ය. නමුත් ශාරද නො ගියේ ය.කිසි දාක ඇගේ දෙමව්පියන් වෙතින් ඔහු ට එහි පැමිණෙන්නයි ඇරයුමක් ලැබුණේ ද නොවේ. 

දරුවා කැටුව නිශාමනී යළි මහ ගෙදර ගියොත් ඇය ව ඉතා කැමැත්තෙන් පිළි ගැනෙනා බව ශාරද ඉඳුරා දැන සිටියේ ය.

එදා පංචලී ශාරද ව මගහරිමින් සිටියා ය. හිතේ අවුල් බව වූවත් ඔහු ට ඒ බව දැනිණ.

“මොකද්ද වෙලා තියෙන්නෙ…”

ශාරද ට ඇගෙන් එසේ විමසිය හැකි වූයේ අවශ්‍ය රාජකාරී කතා බහකට ඇය ඔහු ගේ කියුබිකල් එකට ආ වෙලාවේ ය.

“මොකද්ද…”

ඔහු අදහස් කරන්නේ කුමක්දැයි දැන දැන වුව ඈ එසේ විචාලේ ප්‍රශ්නයෙන් මගහැර යනු වස් ය.

“ඔයාට මොනා හරි කියන්න තියනවද…”

එක අතකට එය කියා අවසන් කරනා එක හොඳ ය කියා පංචලී ට ද සිතිණ. ඇය ශාරද ඉදිරියේ වන අසුන ඇද එහි හිඳ ගත්තා ය.

“මං අම්මට කැමැත්ත දුන්නා”

ඒ වචන ටික ඇගේ උගුරෙන් පිට වූයේ අසීරුවෙනි. ශාරද අසුනේ ඉදිරියට නැඹුරු ව මේසයට බර වී ඇගේ මුහුණට එබුණා ය. ඔහු ගේ නළලේ වූ රැලි බලා සිටියේ ප්‍රශ්නාර්ථයෙනි. 

“ඒ කිව්වෙ…”

“එයාල කැමති කෙනෙක්ව බඳින්න”

මුලින් ම දුටු දා ඇගෙන් ඔහු දුටු අවිහංසක පෙනුම මේ මොහොතේත් නො වෙනස් ව තිබිණ. ශාරද සුසුමක් හෙළා අසුනේ පසු පසට බර වූයේ ය. පංචලී ඇගේ ලොකු ඇස් පෙති විදා බැලුවා ය. 

“ඇයි ඔයාට ඔච්චර හදිස්සි කසාදයක් බැඳ ගන්න…”

ශාරද ගේ ඒ අසාධාරණ පැනය පංචලී තුළ කේන්තියක් ඉපිදවූවවත්, ඇය ඉවසිලිවන්ත වූවා ය. ඔහු ගේ විඩාපත් දෑස්, කුටුම්භයීය අර්බුධ නිහඬව ම මුත් ඇයට කියා පෑවේ ය.

“මට හදිස්සියක් නෑ”

ඇය මුදු සිනහවකින් තෙපළා ය.

“හැබැයි අපේ ගෙදර මිනිස්සුන්ට හදිස්සියි”

“මගෙ ඔළුව ගිනි අරං තියන වෙලාවෙ ඔයත් ප්‍රශ්නම ගේන්න එපා පංචලී. මං බලාපොරොත්තු වුණේ මේ වගෙ වෙලාවක ඔයා මගෙ ළඟින් ඉඳං හිත හදයි කියලයි”

“මේ සම්බන්දෙ තව කොච්චර දුර ඇදං ගියත් තේරුමක් නෑ කියල මටත් දැං තේරිලයි තියෙන්නෙ ශාරද”

“මගුලක්ද ඕයි කියන්නෙ…”

ඔහු අතක් මිට මොලවා මේසයට ගැසුවේ ය. පංචලී ඒ හැසිරීම ගැන කලබල වෙන්නට ගියේ නැත.

“මං බැඳපු කෙනෙක් කියල ඔයා දැනගෙනයි හිටියෙ පංචලී. ගෙදර ප්‍රශ්න විසඳගන්න ඕන මං”

එවර ඔහු හඬ තානය වෙනස් කළේ යළිත් ඇගේ අනුකම්පාව තමන් වෙතට යොමු කර ගත යුතු වන නිසාවෙනි.

“මට චුට්ටක් දවස් දෙන්න. මං ඔයාගෙ ප්‍රශ්නෙ විසඳනව”

එතෙක් සන්සුන් ව උන් පංචලී ගේ ඉවසීමේ සීමා ඉක්ම ගියේ ඉනික්බිති ය. 

“ඔයා කොහොමද ශාරද මගෙ ප්‍රශ්න විසඳන්නෙ…ඔයාගෙ කසාද ජීවිතේ ඇතුළෙ තියෙනවයි කියපු ප්‍රශ්න විසඳගන්න බැරුවනෙ ඔයා ඔය ඉන්නෙ..ඔව් මං දැනං හිටියා ඔයා බැඳල කියල. ඒ වුණත් ඔයාට ආදරේ කළා. ඔයා ඒක දන්නවනෙ. ඉස්කෝලෙං අස් වෙච්ච ගමං මෙතන ට්‍රේනිං එකට ආපු චූටි කෙල්ල මං. රටේ ලෝකෙ කිසි දෙයක් දන්නෙ නැතුව…ඔයා මගෙ ජීවිතේට ඇතුල් නොවි හිටියනං මං ඒ ආදරේ හිතේ ම තියාගෙන ඉඳී. හරි. කොහොම හරි වරදක් වුණානෙ. මට අත පිහිද ගන්න ඕන නෑ. අපි දෙන්නම ඒ වරදෙ හවුල් කාරයො. හැබැයි දැන් මට එදා නොතේරුණ දේවල් තේරෙනව ශාරද. මමත් කෙල්ලෙක්. ආදරේ කරන්න පුළුවන් තමයි ඕන කෙනෙක්ට. ඒක නිදහස් හැඟීමක්. ඒත් මටත් ජීවිතයක් තියෙන්න ඕන. මටත් අනාගතයක් තියෙන්න ඕන. මාත් ආසයි ලස්සන පවුල් ජීවිතේකට. මාත් ආසයි ලස්සන දරුවෙක් දෙන්නෙක් හදාගෙන සාමාන්‍ය අම්ම කෙනෙක් වගේ සරල ජීවිතයක් ගත කරන්න. ඒත් කවදද මට ඒව ලැබෙන්නෙ…කොහොමද මට ඒව ලැබෙන්නෙ…ඔයාට කවදාවත් ඒ දෙන්නව අත් අරින්න බෑ. මං කවදාවත් කියලත් නෑ මං නිසා එයාලව අත් අරින්න කියල. ඒත් අන්තිමට මට මොකද වෙන්නෙ ශාරද..”

විටින් විට පංචලී ගේ උගුර හිරවිණ. වචන ගිලී ගියේ ය. නමුත් ඕ හිතට නැගි දේ වලින් අඩක් හෝ කියා ගැනීමේ උත්සාහයක් ගත්තා ය. සමහර දේවල් කාලයක් තිස්සේ ම හදවතට බර වෙමින් හා රිදුම් ඇති කරමින් හිත තුළ හිර වී තිබි කාරණා ය. මුළු ලෝකය ම ඇගේ ප්‍රේමය ඉදිරියේ ‘අනියම්’ කියනා සීල් එක ගසනා බව ඇය දැන සිටියා ය. හරියට පියෙකු නො මැති දරුවෙකු ඉදිරියේ ‘අවජාතක’ යන ලේබලය ගැසෙනවා මෙනි. නමුත් පියෙකු නොමැතිව දරුවෙකු ජනනය වන්නේ නැත. ප්‍රේමය ද නියම් හෝ අනියම් ලෙස ඛාණ්ඩ කළ නොහැකි ය.

“කසාද බැඳපු ගෑනියෙක් හරි පිරිමියෙක් හරි වෙන තැනක නතර වුණ ගමං ‘අනියම්’ වෙන්නෙ ඒ කසාදෙ පාට්නර් කියලයි මං හිතන්නෙ. මොකද කසාදෙ ඇතුළෙ මොකක් හරි හිස් තැනක් තිබුණ නිසයි එතනිං රිංගල යන්න පුළුවන් වෙන්නෙ. ගිහිං නතර වෙන්නෙ ‘නියම’ තැන වෙන්න ඕන”

එදා පන්සල ළඟ අවන් හලේ හිඳ කතා කරන ගමන් නිශාමනී කීවා ය. ඇගේ පැත්තෙන් ඇයට දැනෙන්නා වූ හීන මානය ම පංචලී ට ද නො දැනෙනවා නොවේ.

“මං ගෙයක් අරං දෙන්නං. ඔයා ඒකෙ පදිංචි වෙන්න. මං ඔයාව අත් අරින්නෙවත් අමතක කරන්නෙවත් නෑ. වෙන මට කරන්න දෙයක් නෑ කියල ඔයා දන්නවනෙ…”

පංචලී හී ගසක් සේ නැගී සිටියා ය. ඇගේ ඇස් වල වූයේ ශාරද දවා අළු කළ හැකි විදිහේ ගින්දරකි. 

“ඔයා කියන්නෙ මගෙ මුළු ජීවිතේම  ඔයාගෙ හොර ගෑනි විදිහට ගෙවල මැරිල යන්නයි කියලද…”

ඔහු ගේ මුහුණට එබී ගෙන ඇය කළ අභියෝගය ඉදිරියේ ශාරද ගොළු ගැසී දුර්මුඛ ව ගියේ ය. පංචලී වේගවත් ගමනෙන් ඔහු ගේ කුටියෙන් නික්ම ගියා ය. 

නිශාමනී එදා කල්පනා කළේ ඒ උගුලෙන් ගැලවෙනා හැටියක් ගැනයි. ශාරද එසඳි ව සිය වාසිය වෙනුවෙන් පාවිච්චි කිරීම ඇය ට ඉහිළුම් නො දෙන්නකි. ඔහු ට ඕනෑ දෙයක් කරපුදෙන් කියා දියණිය කැටිව ගෙදර යන්නට පුළුවන. නමුත් එතකොට ශාරද නිකං බලං ඉන්නේ නැති බව නිශාමනී දනී. ඔහු සිය පරාජය මුවහ කර ගනු වස් ඕනෑ ම නින්දිත ක්‍රියාවකට පසු නො බසිනු ඇත. එයින් සිදු වන්නේ පාඩුවේ සිටිනා තාත්තා ද අනවශ්‍ය ප්‍රශන වලට පැටලීම ය.

ශාරද වේලාසන ගෙදර ආවේ ය. පංචලී නිසා අවුල් වූ සිත ගෙදරින් සනහා ගන්නට ඔහු ට ඕනෑ වී තිබිණ. හෙතෙම ටික වෙලාවක් එසඳි සමගින් සෙල්ලම් කළේ ය. ඊළඟට අලුත් පෙම්වතෙකු වාගේ කුරුමානම් අල්ලා, නිශාමනී රෑ කෑම පිසිනා මුළුතැන්ගෙයට පිවිසියේ ය.

“ඔයා තීරණේ වෙනස් කර ගත්ත නේද…”

ඒ කට හඬෙහි වන්නේ කෙතරම් ව්‍යාජ ආදර බර බවක් දැයි ඇය ට වඩා හොඳින් දැනෙන්නේ දැන් ය. මීට පෙර ඇය මේ වාගේ චාටු ආදර බස් වලට කෙතරම්  නම් රැවටෙන්නට ඇත්ද? ආත්ම අසරණ කමක් ඇය ට දැනිණ.

“මොන තීරණේ ගැනද ඔය අහන්නෙ..”

ඇය වඩාත් දැඩි ව විමසුවා ය.

“ඔයා ගෙදර යන්නෙ නෑනෙ…”

නිශාමනී පිළිතුරක් නොදී නිහඬ වූවාය.

“හරි අපි ඔය ඔක්කෝම අමතක කරමු. ඔයාට තේරෙනවනෙ…එසඳි අපි දෙන්නගෙම..එයාට අපි දෙන්නම ඕනෙ. එයා වෙනුවෙන් අපි ඩිවෝස් එකක් ගැන කතා නොකර ඉමු”

“මං එකඟයි”

ශාරද ගේ මූණේ මලක් පිපිණි. සැබවින් ම ඔහු ගේ හිතට සැනසිල්ලක් දැනුණේ ය.

“හැබැයි ඒ එසඳි වෙනුවෙන් විතරයි. එයා වෙනුවෙන් මං ලෑස්තියි මගෙ ජීවිතේ අපායකට දාන්න. ඩිවෝස් එකක් ඕන නෑ. හැබැයි ශාරද එක කන්ඩිශන් එකක් උඩ”

“කන්ඩිශන් එකක්…”

“අපි මැරෙනකල්ම ඉන්නෙ මේ විදිහට. කාමර දෙකක. ඔයාට ආයෙ කවදාවත් මගෙ ජීවිතේට ලං වෙන්න බෑ. එසඳිගෙ අම්මයි තාත්තයි විදිහට අපි කාමර දෙකක දෙපැත්තක අපේ ජීවිත ගෙවනව. ඒ වගේම ඔයාට ඕන කෙනෙක් එක්ක ඕන විදිහට ජීවත් වෙන්න පුළුවන් මං ඒව හොයන්නෙත් නෑ බලන්නෙත් නෑ මට අදාලත් නෑ. ලීගලි ඩිවෝස් නොවුණට මං මගෙ හිතෙන් ඔයාගෙන් ඩිවෝස්ඩ්. එච්චරයි”

එය වූ කලී තීරණාත්මක ප්‍රකාශයකි. විවාහක බිරිඳක ඒ වගේ ප්‍රකාශයක් නිකුත් කරනවා කියන්නේ ම එතැන වන බිඳ වැටීමෙහි ස්ථිරසාර බව විදහා දැක්වීමකි. අසරණ කමින් දිය වී වැගිරෙමින් සිටි ශාරද, කෝපය නමැති සළුවෙන් ඒ මුවහ කර ගත්තේ ය.

“මේකිට ඔල්මාදෙ. එතන කොහෙද ඕයි කසාදයක් තියෙන්නෙ….මං ඔය කොන්දේසි වලට එකඟත් නෑ මට ඒව අදාලත් නෑ”

ඔහු අඩි පොළොවේ හප්පමින් මුළුතැන්ගෙයින් පිට ව ගියේ ය. කාර්යාලය නිම වී නිවසට පැමිණි ආකාස සිලි බෑගයක ලූ අලි පේර ගෙඩි කිහිපයක් ද අතැතිව කුස්සියට එමින් සිටියේ ය. ශාරද ට ඔහු ආලින්දය මැද දී හමු විය. අය්යා ගේ මූණ හොඳ නැති බව ආකාස ගේ එක ම බැල්මට හසු විය. ඔහු පසු පස ද හැරී බලමින් කුස්සියට ගියේ ය.

නිශාමනී එළවළු කපමින් පිටු පා සිටියා ය. ඇය පිටුපසින් ගොස්, ඇගේ ඇස් ඉදිරියෙන් අලි පේර බෑගය පැන්ට්‍රී කබඩ් එක මතින් තැබුවේ ය. නිශාමනී ලස්සන සිනහවකින් හැරී බැලුවා ය. ඒ ඇගේ ප්‍රියතම පළතුර බව ආකාස දැන සිටියේ ය.

“මගදි දැකල ගත්තෙ. හොඳ ඇවකාඩෝ ටිකක්”

“ඔයා කන්න ආසයි කියල මතක් වුණා”

යි ඔහු නො කියා සිටියේ හිතා මතා ම ය. නිශාමනී ස්තූතියි කීවේ නැත. නමුත් බෝ කලකට පසු කවුරුන් හෝ ඈ කැමති දෙයක් ගෙනැවිත් දීමේ සතුට ඒ ඇස් මත මොනවට සනිටුහන් ව තිබිණ. 

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

(අ)හිමි සිහින -233

අද විශේෂ දවසක්. ඔබ එක්ක මගේ ජීවිත කතාව මේ අවුරුද්ද පුරා මම බෙදාගත්තා. අනේක හැලහැප්පීම් කඩාවැටීම් නැගීසිටීම් දරාගැනීම් එක්ක ආපු මගේ ජීවිතබ්කතාවේ...

නිබ්බුත ගීත -30

මල්ලී හා මා අතරේ වසර තුනක පමණ වයස් පරතරයක් වේ. ඒ නිසා මා කුඩා කල පවා මට ඔහු දැනුණේ කුඩා දරුවෙකු සේ...

නිබ්බුත ගීත -29

මේ ජීවිතයට මම අතිශය ආදරය කරමි. ජීවත් වූ මේ කෙටි කාලයට ජීවිත සිය ගණනක් ජීවත් වූවා සේ මට දැනේ. එය දුක ද...

සුහදිනි – 78

ජය ඝෝෂා නැඟෙමින් තිබුණේ පරාජය පිළි නොගන්නා රසිකයන්ගෙනි.හඹා යා යුතු ඉලක්කය දිගු දුර එකකි.එහෙත් එය නොහැකි ඉලක්කයක් ද නොවේ.අහස් තමන්ගේ ඉනිම ඇරඹුවේ...

(අ)හිමි සිහින -232

මිනිස්සුන්ට විවිධ අදහස් මති මතාන්තර තියෙන්න පුලුවන්.ඒ මිනිස්සු රූපයෙන් පමණක් නොවෙයි අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මයෙන් මනුෂ්‍යත්වයෙන් ධනයෙන් බලයෙන් යසසින් ආදරයෙන්, කරුණාවෙන් වගේ  සියලු දෙයින්...