කෑම මේසය

සඳලි කෑම මේසේ සූදානම් කරලා කුස්සියට ගියේ සැලඩ් එක ගේන්න. ඒ ටිකට කල්පනයි, අම්මලයි ඔක්කොම කෑම කන්න වාඩිවෙලා. සඳලි සැලඩ් එක මේසෙන් තියනකොට කට්ටිය කෑම බෙදාගෙන කන්නත් පටන් අරගෙන. 

“ඔක්කොම එව්වා එකපාර තියනවකෝ හලෝ… අන්තිමේදී කෑවේ මොනවද දන්නේ නෑ….”

කල්පන එහෙම කිව්වාම සඳලි හිනා වුනා විතරයි. ඒත් ඒ හිනාවට යටින් තිබුණ වේදනාව කල්පනගේ නංගීට පෙනුනා

“ඉතින් මේසේ තියෙන කෑම ටික හරියට බලලා බෙදාගන්නවකෝ අයියා..  ඉවරනේ…”

ඊට පස්සේ අය්යයි නංගියි දෙන්නට දෙන්නා කියවගත්තා. සඳලි හවස ගෙදර එනකොට ගෙනාව කිරි හට්ටියත් මේසෙන්ම තිබ්බා. ඊට පස්සේ තමා කෑම බෙදාගෙන වාඩි වුණේ. ඒ වෙනකොට මේසේ පරිප්පු භාජනේ හිස්ම වෙලා තිබුණේ. පරිප්පු නැතුව එක වේලක්වත් හරියට කන්න කැමති නෑ වුනත්, සඳලි බත් කටවල් දෙක තුනක් ගිලලා දැම්මා. 

කුස්සිය අස් කරලා, ඇඟ සෝදගෙන සඳලි කාමරේට යනකොට දහයත් පහු වෙලා. කල්පන හිටියෙර් ටීවී සීරිස් එකක් බලන ගමන්. හිතේ කොච්චරක් කහට තිබුනත්, කල්පන දැක්කම සඳලිට ඒ කහට මඟෑරෙනවා. සඳලි කල්පනගේ උරපත්තට හේත්තු වුණා. 

“පැත්තකට වෙලා පොඩ්ඩක් ඉන්නවකෝ ඕයි… මං මේක බලනවා පේන්නේ නැද්ද ?”

කල්පන මහ හය්යෙන් කෑ ගැහුවා. සඳලි ඉවතට විසි වෙන තරමට වේගෙන් උරහිස් ගසලා දැම්මා. 

දවසින් දවස, දිගින් දිගටම වුනේ එකම දේ. ආදරේ කරන කාලේ හිටපු කල්පන කොහේ ගිහින් ද කියලා සඳලිට හිතාගන්නවත් බැරි වුණා. විවාහ වෙලා මාස තුනක් යනකොට සඳලිට ජීවිතේම එපා වෙල තිබුණේ. 

කල්පනගේ නංගී විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්. අයියගේ වෙනස නිසා අක්කා ඉන්නේ සෑහෙන්නම පීඩනේක කියලා නංගී තේරුම් ගත්තා. සඳලි වැඩට ගිහින් එනකොට මඟ ඉඳලා සඳලිව අල්ලගෙන කතාවකට ඉඩක් හෙව්වත් දවස් දෙක තුනක්ම ඒක මඟෑරුණා. අන්තිමේදී එක දවසක් උදේ ඔෆිස් යන්න කලින්ම පාරේදි නංගී සඳලිව අල්ලගත්තා.

“නිවාඩුවක් දාන්නකෝ අක්කේ…”

නංගී පෙරැත්ත කලාම සඳලිට එකඟ නොවි බැරි වුණා.

“අපි ගෙදරදිත් කෑම මේසේ කෑවේ.. හැබැයි හැමෝම මේසේට වාඩි වෙනකල් කවුරුත් කෑම බෙදාගන්නේ නෑ..

හැමෝටම හැමදේම ඇති වෙන්න තියෙනවද කියලා බලලයි කන්න ගන්නේ…

ඩෙසර්ට් එක වුනත් එහෙමයි…

කුස්සිය අස් කරන වැඩේත් අපි බෙදාගෙන කලේ… ‘

සඳලිගේ ඇස් වලින් කඳූලු බේරුණා.

“කල්පන යාලු වෙලා ඉන්න කාලේ මෙහෙම නෑ නංගී … අපි කොච්චරක් හීන මැව්වද ? ඒත්,එයා දැන් මාව ළඟටවත් ගන්නේ නෑ…

ඉස්සර කාර් එකේ යන විනාඩි දහය, පහළොවටම කොච්චරක් ඉඹිනවද..? දැන් ඉල්ලලාවත් නෑ..  මට කෑ ගහනවා දැවටෙන්නේ එන්නෙපා කියලා ….

මං දන්නේ නෑ…”

නංගී සඳලිව අහගෙන හිටියා. නංගීගේ ජංගම දුරකතනයේ ඇමතුමකින් කල්පන ඒ හැමදේම අහගෙන ඉන්න බවක් නොදැන සඳලි හැමදේම කිව්වා. ඉකි ගහ ගහ ඇඬුවා.

“සමහරවිට, කල්පනට හිතෙනවා ඇති මාව බැන්දේ  අපරාදේ කියලා …. එයාලගෙර් කැම්පස් එකේ ලෙක්චර් කෙනෙක් ඉන්නවලු… එයා ගැන විස්තර මාත් එක්ක හරියට කියනවා..  අර එෆ් බී එකේ පෝස්ට් එකකුත් ශෙයාර් කරලා තිබ්බේ, පහු වෙලා මිනිස්සු හම්බෙන එක මරණීය වේදනාවක් කියලා …”

සඳලි අන්තිමේදී එහෙම කියනකොට නම් නංගී ට කල්පන ගැන පුදුමාකාර කෝපයක් දැනුණේ. ඒ නිසාම ඇමතුම විසන්ධි කරලා, ජංගම දුරකතනයත් විසන්ධි කලා. සඳලිට දිගටම කතා කරන්න දුන්නා.

“එයාට දැන් ඕනි මගෙන් වෙන් වෙන්න වෙන්නැති.. සමහරවිට අම්මත් මට අකමැති ඇති… මං …”

සඳලිට ඉන් එහා කතා කරගන්න බැරුව ගියා. කැම්පස් කාලේ ඉඳන්ම කල්පන වෙනුවෙන් කරපු කැපකිරීම් , දරාගැනීම් වෙනුවෙන් තවදුරටත් තමන්ට හය්යක් නැති බව සඳලිට තේරුණා. අත් හැර පලා යෑම ඇරෙන්න වෙන කිසිම විසඳුමක් නැති බවත් තේරුණා. නංගී එක්ක ඒ ගැනත් කිව්වා.  නංගීටම කල්පන එක්ක කතා කරන්න කියලා කිව්වා.

සඳලි එදා ගෙදර යනකොට, කල්පන ගෙදර ඇවිල්ලා හිටියේ. වාහනේ එලියේ තිබුණා. ඒත් කාමරේ හිටියේ නැහැ. සඳලි නාගෙන කුස්සියට යන්න ආවේ හවසට තේ හදන්න. ඒත් දැකපු දේ එක්ක සඳලි මේසේ පේන මානේදි ගල් ගැහිලා නැවතුණා.

කල්පන කෝපි කෝප්ප වලට කෝපි වක්කරනවා. නංගී කේක් වගයක් කපනවා.

“එන්න දූ…”

කල්පනගේ අම්මා එහෙම කතා කලාම, සඳලි කාන්දමකට ඇඳුණා වගේ ඇවිල්ලා වාඩි වුණා. කල්පන සඳලිගේ කෝපි කෝප්පේට ඉඟි කලා. ඊට පස්සේ කල්පනත් ළඟින්ම වාඩි වුණා. ඊට පස්සේ නංගී තමයි කතාව පටන් ගත්තේ.

“සිකුරාදා නිවාඩු දාන්න පුලුවන් නම්, සඳුදා පෝය… දවස් හතරක රවුමක් දාමු…”

ඊට පස්සේ සන්තෝසෙන් කියව කියව ගමන සැලසුම් කරන කට්ටිය දිහා සඳලි බලාගෙන හිටියේ පුදුමෙන්.

එදා රෑට හදන වෙලාවේ කල්පනත් කුස්සියට වෙලා දැවටි දැවටි හිටියා. සඳලි හිටියෙම දරාගන්න බැරි සතුටක. නංගී එක්ක කීව දුකට අයිති කඳුළු මෙහෙම ක්ශය වෙන විදිය ඇයට හිතාගන්න බැරි වුණා.

“මං නාවල බ්‍රාන්ච් එකට ට්‍රාන්ස්වර් වෙන්න හිතුවේ ..”

සඳලිට එහෙම කියාගෙනමයි කල්පන ඇඳට ආවේ. සඳලි ඒ ඇයිද අහන්නෙ නැතුව හිටියා.

“චාරුණී මට කැමතියි ලු… කැම්පස් කාලේ ඉඳන්ම මට කැමති වෙලාලු හිටියෙ … මට සමාවෙන්න සඳා… මගේ හිතත් පොඩ්ඩක් කලබල වෙලා තිබුණේ… ඒකි සැර්‍ර්න් සැරේ සෑහෙන්නම කොනිත්තන එකෙන් මම කලබල වුණා… “

සඳලිගේ හදවත කුඩුපට්ටම් වෙලා යනවා දැනුණා. ඒත් සඳලි අහගෙන හිටියා.

“මට සමාව දෙනවද ම්?”

සඳලි මුකුත් කිව්වේ නැහැ. 

“මට සමාවෙන්න සඳා… ප්ලීස්….”

කල්පන සඳලිව වැළඳගත්තා. සඳලි ඒ දෑත් අස්සට ගුලි වුණා.

“ආදරේ හිස් තැන් තිබුණම යක්කු පෙරේතයෝ රිංගනවා…”

ෆේස්බුක් මැගසින් එකක තිබුණ ලිපියක් සඳලිට මතක් වුණා. කල්පන එක්ක ජීවිතේ තව අඩියක් ඉස්සරහට තියලා , ඒ හිස් තැන් අහුරලාම දාන්න සඳලි තීරණය කලා.

| අපේක්ෂා ගුණරත්න | 

More Stories

Don't Miss


Latest Articles