බර අඩු කරන උදෑසන ආහාර වට්ටෝරු 

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කරද්දී පෝෂණීය ගුණයෙන් යුතු උදෑසන ආහාර වේලට හිමිවෙන්නෙ ඉතාම වැදගත් ස්ථානයක්.

විශේෂයෙන්ම ඔබ නීරෝගී වෙන්න උත්සහ කරනව නම්, ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගන්න උත්සහ කරනව නම් සහ ප්‍රබෝධමත් වගේම ශක්තිමත් වෙන්න උත්සහ කරනවා නම් උදෑසන ආහාර වේල කියන්නෙ ඔබේ දවසට ලබාගන්න වැදගත්ම ආහාර වේල වීමේ වැඩි ඉඩකඩකුත් තියෙනවා.

ඔබ දවස ආරම්භ කරන්නෙ කොහොමද කියන කාරණාව දවසේ ඉතිරිය ගත වෙන්නෙ කොහොමද කියල තීරණය කරන්න වැඩි සම්භාවිතාවක් තිබීම ඊට හේතුව විදිහට සඳහන් කරන්න පුළුවන්.

අද අපි ඔබත් එකක් බෙදාගන්න සූදානම් වෙන්නෙ බොහෝදෙනෙක්ට සාර්ථක ප්‍රතිඵල ලබාදුන්න උදෑසන ආහාර වේල් සඳහා සුදුසු කෑම වට්ටෝරු කීපයක් ගැනයි.

Banana Omelette 

අවශ්‍ය ද්‍රව්‍ය 

කෙසෙල් ගෙඩියක්

බිත්තර 02 ක් 

ඕට්ස් මේස හැඳි 03 ක් 

පීනට් බටර් මේස හැඳි 01 ක් 

බෙරි කෝප්ප ½ ක් 

සාදාගන්නා ආකාරය 

ගෑරුප්පුවක ආධාරයෙන් කෙසෙල් ගෙඩි හොඳින් පොඩිකර බිත්තර සහ ඕට්ස් සමඟ හොඳින් කලවම් කරගන්න.

මේ මිශ්‍රණය බිත්තර ඔම්ලට් සාදන ආකාරයට පිසගෙන බෙරි හෝ පීනට් බටර් සමඟ ආහාරයට ගන්න.

Avocado Toast 

අවශ්‍ය ද්‍රව්‍ය 

කුරක්කන් හෝ සම්පූර්ණ ධාන්‍ය වලින් සැකසූ පාන් පෙති 02 ක්

අලිගැටපේර ගෙඩියක්

මේදය රහිත ග්‍රීක් යෝගට් / යෝගට් මේස හැඳි 02 ක්

තල ඇට තේ හැඳි 01 ක්

වේලන ලද වට්ටක්කා ඇට තේ හැඳි 01 ක්

වේලන ලද කැන්බෙරි තේ හැඳි 01 ක් 

සාදාගන්නා ආකාරය 

මුලින්ම පාන් පෙති දෙකේ යෝගට් ගාගන්න.

ඊට උඩින් සිහින්ව පෙති කපන ලද කෝ පොඩි කරගන්නා ලද අලිගැටපේර අතුරා ගන්න.

ඔබේ කැමැත්ත මත තල ඇට, වට්ටක්කා ඇට හෝ කැන්බෙරි අලිගැටපේර උඩින් ඉසගෙන ආහාරයට ගන්න ඔබට පුළුවන්.

Banana oat pancake 

අවශ්‍ය ද්‍රව්‍ය 

ඕට්ස් පිටි කෝප්ප ½ ක් 

පොඩිකරන ලද කෙසෙල් ගෙඩියක්

පොල්කිරි කෝප්ප 01 ක්

පොල්තෙල් තේ හැඳි 01ක් 

බේකින් සෝඩා තේ හැඳි ½ ක්

ලුණු කුඩු බිඳක්

සාදාගන්නා ආකාරය 

මුලින්ම පොඩි කරගත් කෙසෙල් ගෙඩි පොල් කිරි සහ පොල්තෙල් හොඳින් කලවම් කරගන්න.

ඊළඟට එයට ඕට්ස්, බේකින් සෝඩා සහ ලුණු ස්වල්පයක් එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න.

දැන් භාජනයක් රත්වීමට තබා භාජනය රත්වූ පසු මිශ්‍රණයෙන් මේස හැඳි 02 ක් දමා පෑන් කේක් සාදාගන්න.

උඩ පැත්තේ බුබුළු මතුවන විට ප්‍රවේශමෙන් අනෙක් පැත්ත හරවා දෙපැත්තම රන්වන් පාට වන තුරු තබා පෑන් කේක් පිසගන්න ඔබට පුළුවන්.

එක් පෑන් කේක් එකක් සඳහා මිශ්‍රණයෙන් මේස හැඳි 02 ක් පමණක් ප්‍රමාණවත් වේ.

Egg salad sandwich 

අවශ්‍ය ද්‍රව්‍ය 

සම්පූර්ණ ධාන්‍ය වලින් සැකසූ පාන් පෙති කීපයක්

කුඩාවට පෙති කපාගත් තම්බපු බිත්තර 02 ක්

ග්‍රීක් යෝගට් මේස හැඳි 02 ක්

පොඩි කරගත් අලිගැටපේර ගෙඩි ½ ක්

අබ ක්‍රීම් තේ හැඳි 01 ක්

පෙති කපාගත් ලොකු ලූණු ගෙඩි භාගයක්

ගම්මිරිස් සග ලුණු කුඩු

සාදාගන්නා ආකාරය 

පාන් පෙති හැර ඉතිරි සියල්ලම භාජනයකට දමා හොඳින් කලවම් කරගන්න.

මිශ්‍රණයෙන් ස්වල්පය බැගින් පාන්පෙති මත තබා ඔබ කැමති නම් drill හෝ lettuce කොළයක් සමඟ ආහාරයට ගන්න පුළුවන්.

Choco oats

අවශ්‍ය ද්‍රව්‍ය

ඕටස් කෝප්ප ⅔ ක්

පොල්කිරි කෝප්ප ⅔ ක්

පීනට් බටර් මේස හැඳි 01 ක්

චොකලට් කුඩු මේස හැඳි 01 ක්

කෙසෙල් ගෙඩියක්

ස්ට්‍රෝබෙරි අහුරක්

කුඩු කරන ලද වෝල්නට්ස් මේස හැඳි 01 ක්

සාදාගන්නා ආකාරය 

මුලින්ම භාජනයක් ලිපතබා එයට ඕස්ට් සහ පොල්කිරි එකතු කර නටවා ගන්න.

පොල්කිරි නටන විට ගින්දර හොඳටම අඩුකර කෙසෙල් ගෙඩිය එකතු කරගෙන කෙසෙල් ගෙඩිය පොඩිකරමින් කලවම් කරගන්න.

ඔබ කැමති ප්‍රමාණයට මිශ්‍රණය උකුවූ පසු ලිපෙන් ඉවත් කර චොකලට් කුඩු එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න.

දැන් මේ මිශ්‍රණය භාජනයකට දමා ස්ට්‍රෝබෙරි, පීනට් බටර් සහ වෝල්නට්ස් උඩින් අතුරා ආහාරයට ගන්න ඔබට පුළුවන්. 

-සටහන – දුලානි නවෝද්‍යා- 

Related Articles

Don't Miss


Latest Articles