එතැන් පටන් මිලීනා තම ලේලියට සැලකූයේ දියණිය තනතුරෙහි තබාගෙනය.එපමණක් නොව කේතකීටත් කුඩා දියණියටත් අසාධාරණයක් කළ තම පුත්‍රයා පුත්‍ර තනතුරෙන් ඉවත් කරන්නට පවා ඈ පසුබට නොවුණාය.ඔහු තමාට මියගිය දරුවෙකු හා සමානයැයි මිලීනා පසු කලෙක කිහිප දෙනෙකු හා පවසා තිබිණ.ඉදහිට දිනක කසුන් වලව්වට දුරකතන ඇමතුමක් ලබා ගත්තත් මිලීනා දුරකතනයට නාවාය..අන් දරු දෙදෙනාම ඔහු හා හිතවත්කම් පැවැත්වූයේ මිලීනාට හොර රහසේය.අදටත් ඒ කතා බහ එලෙසටම සිදුවනවාදැයි යන්නවත් මිලීනා නොදනී. ඒ සිදුවීමෙන් වසර දහ අටක් ,දහ නවයක් ඉක්ම ගොස් අවසන්ය.එහෙත් අදටත් මිලීනා ලෝකයා හමුවේ පවසන්නේ තමාට එක පුතෙකුත් දියණියන් දෙදෙනෙකුත් ඇති බවය.
පසු කලෙක සිය නෑනන්ඩියගේත් සැමියාගේ සොයුරාගේත් ඔහුගේ බිරිඳගේත් කෙනෙහිලිකම් වලට ලක්වන කේතකී දිනාරාවත් රැගෙන වෙනමම නිවසක පදිංචියට යන්නේ මිලීනාගේ සම්පූර්ණ කැමැත්ත ඇතුව නොවේ .එහෙත් වලව්ව තුළදී ඇයට සිදුවූ අකටයුතුකම් බොහෝමයක් පිළිබඳව මිලිනා දැනගන්නේ පසුවය.
විවාහ යෝජනා කිහිපයක් පැමිණියත් කේතකී ඒවා ප්‍රතික්ෂේප කරන්නේ දිනාරාට අයහපතක් වේයැයි බියෙන්ය.මිලිනාට එදා සිටම උවමනාව වූයේ කේතකීව විවාහ කරවන්නටය. ඒ ඇගේ වලකීමෙන් නිදහස් වියයුතු නිසා නොව ඒ සිතෙහි වන තනිකම නිසාම ඇයව වරදක බැඳේයැයි වූ සැකය නිසාය.
යළිත් වසර දහසයකට පසුව කේතකීට මේ විවාහ යෝජනාව ගෙන එන්නේ මිලිනා විසින්මය. ඒ ඇගේ දුරින් ඥතෙීවන සොහොයුරෙකුගේ පුතෙකි..ප්‍රථම විවාහයෙන් තනි වූ තරුණයෙකි.
තමා මියගිය පසු කේතකීත් දිනාරාත් මෙලොවෙහි තනි වේයැයි බියක් ඈ තුල විය..ඒ සියල්ලටම වඩා ඈ අපූරු තර්කයක් ගෙන එන්නට සමත් වූවාය.
” සුදු මැණිකෙත් තව අවුරුදු හතර පහකින් කසාඳ බැදලා යන්න යයි..එදාට ඔය ළමයා තනි වෙයි..තාම තරුණ වයසේ..මාත් මැරිච්ච කාලෙක මොකද වෙන්නේ. හැඟිම් දැනීම් හංගන් ඉන්න එක ලේසි පහසු වැඩක් නෙමෙයි කියලා මං දන්නවා දරුවෝ..
දැන් නෙමෙයි මගේ මේ වයසට එද්දී ඔය ළමයටත් තේරෙයි කනිකම කියන්නේ මොකක්ද කියලා. කතා කරන්න කෙනෙක් ඕනේ .තමන්ගේ සිතුවිලි බෙදා ගන්න කෙනෙක් ඕනේ. වතුර උගුරක්, බෙහෙත් පෙත්තක් අරන් දෙන්න කෙනෙක් ඕනේ…”
අත්තම්මා එසේ පවසද්දී අම්මාගේ තනිකම ගැන ඕනෑවටත් වඩා සිතන්නට පටන් ගත්තේ දිනාරාය…
ප්‍රේමය විෂයෙහි ආගන්තුක වුවත් ගැහැණු සිතක හැඟීම් දැනීම් ගැන හොද අවබෝධයක් ඇයට විය..අම්මා තමා වෙනුවෙන් සිය හදවත අගුළු ලා වසා තිබුණායැයි සිතත්දී දිනාරාට ඉවසුම් නොවූයේ එනිසාය..එනිසාම ඕ අත්තම්මා හා එකඟ වූයේ ඒකමතිකවය.
මේ විවාහය සඳහා කේතකී කැමති වූයේ තමාගේම බලකිරීමට බැව් දැන උන් නිසා මිලීනාට වූයේ අන් සියල්ලන්ටම වඩා වැඩි වේදනාවකි.
එදවස කේතකී තිස් තිස් පස්වන වියෙහි වූවාය.දිනාරා දහහත්වන වියෙහි වූවාය. ඇයට ජීවිතය පිළිබඳව වූයේ මනා අවබෝධයක් විය. විටෙක ඒ කේතකීටත් එහා ගිය අවබෝධයකි.අත්තම්මා නිහඬව ගෙවීගිය සටනට ඇය හවුල් වූයේ එනිසාය..මිනිස් හැඟීම් හඳුනා ගැනීමේ පුදුමාකාර ශක්තියකින් යුතුවූ යුවතිය තමාව සන්සුන් කරගත්තා පමණක් නොව කේතකීගේ ජීවිතයත් අලුත් මාවතක ගමන් කරන්නට වෙහෙස වූවාය.
අවසන කාලිංග කාරියවසම් හා කේතකීගේ විවාහය සිදු වූයේ ජයසුන්දර වලව්වේදීමය. මිනිසුන් විවිධ දේ කතා වූ බව දිනාරාත්, මිලීනාත් දනී. ජයසුන්දර වලව්ව තුලම මේ විවාහය දෙස සමච්චල් සහගතව බැලූ අය උන් බවද මිලීනා දැන උන්නාය.සෝපහාස සිනහවල් අපහාස වදන් අනන්තවත් ඇසිණ.එහෙත් ඕ කිසිඳු අයුරකින් පසුබෑවේ නැත.ඒ සිතෙහිවන එකම උවමනාව වූයේ ප්‍රමාද වී හෝ කේතකීගේ ලෝකයට ආදරණීය සහකරුවෙකුගේ රැකවරණය ලබා දෙන්නටය.
සැබවින්ම කාලිංග කාරියවසම් මහත්මා ගතියෙන් යුතු පිරිමියෙකු විය.ඔහු කේතකීට යහපත් ස්වාමිපුරුෂයෙකු වූවා පමණක් නොව දිනාරාට යහපත් වැඩිහිටියෙකුද විය. ඔවුන් සතුටින් ජීවත් වනු දකිද්දී මිලීනාට වූයේ තමා මහා බරකින් නිදහස් වූවාවන් සැනසුමක් සේම තමා බොහෝ බැරෑරුම් වූ යුතුකමක් ඉටුකලා වන්වූ සතුටකි.
” අම්මේ……කාලිංග කියනවා එයා කැමතියි කියලා එයාටම කියලා දරුවෙක් ඉන්නවනම්.ඒ වගේම එයා පොරොන්දු වෙනවා අම්මේ කිසිම විදිහකින් දිනාරාට වෙනස්කමක් සිද්ධ වෙන්නේ නෑ කියලා…එයා ආසාවෙන් ඉන්නවා පුතෙකුට…”
” ඉතින් දරුවෝ ඕක මගෙන් අහන්න දෙයක්ද..කමන්ගේ ලෙයින් හැදුණු දරු පැටියෙක්ගේ මුණ බලන්න මොන පිරිමියාද අකමැති.ඕක තමයි පවුලක් ශක්තිමත් වෙන බැඳීම. ඉදලා හිටලා පව් ගෙවන්න මේ ලෝකෙට ඉපදෙන කරුමක්කාරයන්ට තේරුම් ගන්න බැරි උනාට…”
” මිනිස්සු මොනව නොකියයිද අම්මේ..සුදු මැණිකට දැන් අවුරුදු දහ අටක්.අවුරුදු දහ අටක දුවෙක් ඉන්න අම්මා කෙනෙක්ට තව දරුවෙක් හම්බවෙන්න ඉන්නවා කියලා දැනගත්තහම මිනිස්සු හිනාවේවි. ඒක විහිළුවක් …”
” මිනිස්සු මොනව කියනවද නොකියනවද කියලා අපිට වැඩක් නෑ.අපිට කන්න බොන්න දෙන්නේ අපි ජීවත් වෙන්නේ මිනිස්සුන්ගෙන් නෙමෙයි..උඹලා දැන් සතුටින් ඉන්න කුරුළු කූඩුවක් වගේ…ඒ කැදැල්ල සම්පූර්ණ වෙන්න පුතෙක් හිටියට කමක් නෑ.අවුරුදු තිස් හයක් කියන්නේ මහ වයසක් නෙමෙයි.තවත් මේ දේවල් කල් දාන්න හොඳ නෑ..අපි හොඳට හිටියත් නැති උනත් මිනිස්සු කියන්න ඕන දේවල් කියනවා…උඹ තීරණය කරපං මිනිස්සුන්ගේ කටවල් වහනවද පවුල් ජීවිතය රැක ගන්නවද කියලා..පිරිමි ආසයි තමන්ට දරුවෙක් දෙන ගෑණිව රැකගන්න ඊට පස්සේ පිරිමියෙක්ගේ හිතේ තමන්ගේ ගෑණි වෙනුවෙක් දරුවගේ අම්මා වෙනුවෙන් උපදින්නේ පුදුමාකාර ගෞරවයක්..”
” අනේ අම්මේ මට සුදු මැණිකෙගේ මූණ බලන්න ලැජ්ජ හිතෙයි එහෙම දෙයක් වුනොත් “
” මං හිතන්නේ නෑ කේතකී.සුදු මැණිකේ කියන්නේ අපිට වඩා හරි වෙනස් විදිහකට ජීවිතය දිහා බලන ළමයෙක්…මං හිතන්නේ මේ ගැන විවෘතව සුදු මැණිකෙත් එක්ක කතා කලොත් හොඳයි..මිනිහගේ පැත්තෙන් කියලා නෑයෙක් සහෝදරියක් ඒ දරුවට නැති කොට.අම්මගේ පැත්තෙන් කියලා පණ ඇති මනුස්සයෙක් නැති කොට.තාත්තා වෙනස් උනත් එක බඩවැල කඩාගෙන ආව සහෝදරයෙක් ඉන්න එක මොනතරම් වටිනවද…”
” අනේ අම්මේ මං කොහොමද දරුවගේ මූණ බලාගෙන එහෙම දෙයක් කතා කරන්නේ…”
” මං කතා කරන්නම්.මං උඹලට උපදෙසක් දීපු විදිහට කතා කරන්නම්..”
දිනාරාට එදා අත්තම්මාත් අම්මාත් අතර සිදුවූ මේ කතාබහ ඇසුණේ අහම්බයෙන්ය.ඒ අහම්බය ජීවිතයේ තමාට සියල්ල අහිමි කරවන තරම් අහඹුවක් වේ යැයි ඈ කෙදිනකවත් සිතුවේ නැත…
සංජීවගේ ත්‍රී රෝද රථය වලව්ව වත්තට හරවනු යුවතිය දුටුවේ එවේලෙහිය.ඕ ගමන් මළු කිහිපය ඔසවාගෙන ආලින්දයට ගෙන ගියේ සොයුරාගේ ඇඳ වටා කොට්ටා කිහිපයක් තැබුවාට පසුවය.පුංචි අම්මා ගස්සාගෙන නිවස තුලට ඇවිද යද්දී යළිත් දිනාරා ගෙතුලට ඇවිද ආවේ සංජීවට ඇවැසි විස්තර පවසා මුදල් නෝට්ටු දෙකකුත් ලබා දුන්නාට පසුවය.
ඈ යළි කාමරයට යනවිට සොයුරා එහි උන්නේ නැත..කුඩා මේසය මත වු කිරි බෝතලයත් එහි නොවුණි.එහාපස වූ අත්තම්මාගේ කාමරය දෙසින් ඔහුගේ හැඬුම් හඩ ඇසෙද්දී සැනසුම් සුසුමක් හෙලූ දිනාරා ජංගම දුරකතනය අතට ගත්තේ ප්‍රියංකාට ඇමතුමක් ලබා දීම සඳහාය..
” මමත් ඔයාට කතා කරන්න පුතේ හැදුවේ…හෙට උදේම ඔහෙන් පිටත් වෙනවා නේද..”
දිනාරා සම්පූර්ණ විශ්වාසය තැබුවේ ඒ දයාබර වදන් මතය..ජයසුන්දර වලව්වෙන් පිටව යන්නට සිතුවාට ඇයට කොතැනක යන්නදැයි හැඟීමක් නොවූ තරම්ය..අවසන ප්‍රියංකා සිහි වූයේත් අහඹුවෙනි.
ඒ මේ ජයසුන්දර වලව්ව දෙදරා ගිය දිනකි.තමාත් , සොයුරාත් මේ වලව්වෙන් පිටවිය යුතු බව නැන්දාත් , බාප්පාත්, පුංචි අම්මාත් එකහෙළාම පවසද්දී තමා අසරණව බැලුවේ අත්තම්මා දෙසය.අත්තම්මාගේ මුහුණෙහි එදා දුටු අසරණකම දිනාරා මින් පෙර කවදාවත් දැක තිබුනේ නැත.සම වයසේ වූ බාප්පාගේ දරුවන්වත්, අඩු තරමින් වලව්වේ මෙහෙකාරියන්වත් තමාගේ පාර්ශවයේ වූයේ නැත.
” කේතකීව බන්දලා දුන්නනේ..දැන් ඒකිගේ ළමයා හැදෙන්න ඕනේ ඒකිගේ අප්පා ගාව මිසක් මේ වලව්වේ නෙමෙයි.අපේ දරුවෝ මෙතන ඉන්න ඕනේ..මේක අනාථ මඩමක් කරගත්තේ අම්මා.දැන් පව් ගෙවන්න වෙලා තියෙන්නේ අපිට.”
නැන්දා කෑ ගැසුවේ වලව්ව දෙදරා යන්නටය.ඈ අපේ දරුවන්යැයි හැදින්වූයේ සොහොයුරාගේ දරුවන්ය..
බාප්පාගේ දියණිය ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකරගෙන උන් තරුණයාගේ දෙමව්පියන් කේතකීගැන උපහාසයෙන් කතා කිරීම මේ ගැටුමට හේතුව විය..
අවසන ඕ ප්‍රියංකාට කතා කලේ මාස ගණනක් වූ දරා ගැනීමේ සීමාව නොදැණුවත්වම පසුවද්දීය.
දිගු සුසුමක් මුදා හළ යුවතිය කාමරයේ සිසාරා බැල්මක් හෙළුවේ සිය දෑස් වලින් එකම රූප රාමුවකට මඳක් විසල් වූ කාමරය හසුකරගන්නා පරිද්දෙන්ය.දිනාරාට මේ කාමරය තුළ වූයේම අඳුරු මතකයන්ය. කේතකී ඇයවත් රැගෙන මෙම නිවසින් පිටවද්දී දිනාරාට වයස අවුරුදු හතකි. එදත් මෙම නිවසේ උඩුමහලේ සම්පූර්ණ ආධිපත්‍යය පතුරාගෙන උන්නේ බාප්පත් ඇගේ බිරිඳ වන සෞම්‍යාත්ය.එවකට ඔවුන්ගේ වැඩිමහල් දියණියගේ වයස අවුරුදු තුනකි. සෞම්‍යා පුංචි අම්මා යළිත් වරක් ගැබිනියකව උන්නාය.අද සේම එදත් නැන්දා සිටියේ ඔවුන්ගේ පාර්ශවයේය.
” ඔයාගේ නැන්දා එයාගේ අම්මා එක්කවත් සතුටින් සමාදානයෙන් ජීවත් වෙන්න පුළුවන් උන කෙනෙක් නෙමෙයි.ඒ උනාට මට රිද්දන්න එයා සෞම්‍යා පුංචි අම්මට එකතුවෙලා ඉන්නවා..මිනිස්සු සම්බන්ධකම් ගොඩ නගාගන්නේ එහෙමයි සුදු මැණිකේ.ඒවට හේතු තියෙනවා…”
අම්මා වරෙක ඇය හා එසේ පැවසුවා දිනාරාට මතකය.මදක් විසල් වූ පහත මාලයේ වන මේ කාමරය මවත් පියාත් විවාහයෙන් පසු නිවසට පැමිණෙද්දී අත්තම්මා විසින් ඔවුනට වෙන්කර දුන් කාමරයයි..
තමාගේ සේම අම්මාගේත් කඳුළු , සුසුම් එකසේම දරා ගන්නට ඇත්තේ මේ කාමරයේ හිස් සුදු බිත්ති හතරයැයි දිනාරාට සිතුනේ එවේලෙහිය.
ඒ හිස් සුදු බිත්තිවලට තනි රකින්නට එල්ලා තිබූ මදක් විසල් වූ එකම සේයාරුව කේතකීගේත් දිනාරාගේත් එකකි. තත්පර කිහිපයක් ගතව යනතුරුත් ඕ හිස් බැල්මකින් එදෙස බලා උන්නාය.දුකත්, සතුටත්, කඳුලත් එකසේ දරාගත් මේ කාමරයට සමුදීමේ ලෝබකමක් ඇයට දැනෙන්නට විය. දිනාරා කවදත් මේ ජයසුන්දර වලව්වේ තේජවන්ත බවට ප්‍රිය කළාය.පිටතින් පෙනෙද්දී එය පළාතම එළිය කරමින් බැබළෙන සඳක් සේය.නිවසෙහි ගිනි පිටතට නොදෙන්නට සෑම විටකම වග බලා ගත් අත්තම්මා අදටත් ඒ තේජවන්ත බවට ජීවය දෙමින් සිටී.නිවසතුල කොතරම් ගැටුම් ඇති වුවත් ඒවා දුරදිග නොගියේ ඇගේ ඒ සෘජු මැදිහත්වීම නිසාය.ඒ දරා ගැනීමේ ශක්තිය පුදුමාකාර එකක්යැයි දිනාරා විශ්වාස කලේ එනිසාය.
වලව්වේ උඩුමහලට දිනාරා ගොස් තිබුණේ හත් අට වරක් පමණි.ඒත් ඒ මේ මෑත කාලයක නොවේ..වලව්ව තුළ අස්සක් මුල්ලක් නෑර ඇවිද යමින් ඒ මතක හිත අස්සේ ගුලි කරගන්නට ඕනෑකමක් වුවත් දිනාරා එසේ කරන්නට බිය වූවාය.පුංචි අම්මා දිනාරාට උඩුමහල තහනම් කලේ මේ කිසිවක් ගැන දැනුමක් තේරුමක් ඇති වියකදී නොවේ.ඒ අම්මා සමග ඈ මේ නිවසින් පිටවන්නට පෙරදීය.
ඉන්පසු කාලයක නැන්දා විසින් පරිහරණය කළ පහත මාලයේ කාමර දෙකකුත් කුඩා විසිත්ත කාමරයකිනුත් නාන කාමරයකිනුත් යුතු වූ කොටස ඇයට තහනම් කලාපයක් විය.
දිනාරා ජීවත් වූ මේ කොටසේ වූයේ ඇගේ මේ කාමරයත් අත්තම්මාගේ මදක් විසල් වූ කාමරයත් විසිත්ත කාමරයත්ය. සියල්ලන්ටම ආහාර සැකසුණු මුළුතැන්ගෙය අයත් වූයේත් මෙම කොටසටය.මුළුතැන් ගෙයි වැඩ කටයුතු කළේ දමිළ ගැහැණියකි..වරින් වර ඇයත් එකිනෙකාගේ වුවමනා එපාකම් වලට එහෙටත් මෙහෙටත් විසි වන අයුරු දිනාරා බලා සිටියේ මහත් වූ සංවේගයකින්ය.
අම්මා මිය ගියේ තමා තනිකර නොවේ
එසේ වූවානම් සියල්ල ඉවසා දරා සිටින්නට හේතු කාරණා තිබිණ.
එහේ වර්තමානයේ යහපත් දියණියක ලෙස සොයුරියක ලෙස ඇයට ඉටු කරන්නට වගකීමක් විය.
සැබවින්ම දිනාරා නම් සියුමැළි , සංවේදී යුවතියට ශක්තිය වූයේ ව පසු ඇයට ලැබුණු ඒ සහෝදරකමයි..ඔහු නිසාම දිනාරා යළි ඉපදෙමින් උන්නාය..
පිරිමි දරුවෙකුගේ පෞරුෂත්වය නිර්මාණය වීමට ඔහු ඇතිදැඩිවන පරිසරය විසල් බලපෑමක් එල්ලකරනා බැව් දිනාරා දැන සිටියාය.මේ වලව්ව තුල ඊට කිසි සේත්ම ගැලපෙන පරිසරයක් නොවේ..ඔහුගේ සිතෙහි වෛරය , ක්‍රෝධය වපුරන්නටවත් , තමා අන්ත.අසරණ අනාථයෙකුබව හඟවන්නටවත් දිනාරාට උවමනා වූයේ නැත.
” කවදාවත් ඔය වලව්වේ එක වැලි කැටයකටවත් මං ආස කලේ නෑ සුදු මැණිකේ..මං දැක්කේ හරි පුංචි හීනයයි.ඒ හීනෙත් මට නැති වෙලා ගියාට පස්සේ මට තිබුනේ ඔයා එක්ක ගුලි වෙලා සැනසීමේ ජීවත් වෙන්න උවමනාවක් විතරයි..”
අම්මා එදවස පැවසූවා දිනාරාට මතකය.ඇත්තටම ඇයට තිබුනේ පුංචිම පුංචි හීනය.
( යළිත් හමුවෙමු ආදරයෙන්….)