“ඇයි කියන්න ඔයා මාව අතාරින්නෙ?”
“මම රට යනවා”
“ඉතින් ඇයි මාව අතාරින්නෙ? ඔයා ගිහිල්ල කවදහරි එනවනෙ, ඒ එනකං මම ඉන්නම්, නැත්තං මාවත් එක්කන් යන්න”
“ඒක කරන්න බෑ”
වීදුරුවෙන් ඈත එපිට බලාගෙන, සිගරට්ටුවක් උරමින්, ගලක් මෙන් දැඩිව වචන හසුරුවන සමුද්‍ර ය.
ඇඳ මත නිරිවතින් වාඩි වී සිටින කාලින්දීය.
“ඇයි බැරි යැයි?” තෙවනි වරටත් අසමින්, ඇඳ මතින් ලිස්සා අවුත් සමුද්‍රගේ පසෙකින් සිටගෙන, ඔහුගේ අතකින් සොලවමින් විමසන්නට වන් කාලින්දී ය.
“බැරි අපි ගැළපෙන්නෙ නැති නිසා?”
“ගැළපෙන්නෙ නැති නිසා? ගැළපෙන්නෙ නැත්තං මේ අවුරුද්දකට ළඟ කාලයක් අපි දෙන්න මේ මොනවද කරේ? ඇයි දැන් ගැළපෙන්නෙ නෑ කියන්නෙ?”
“සෙක්ස්වලින් ගැළපුනාට විතරක් මදි, ඔයා හොඳටම දන්නවනෙ අපි දෙන්න අතරෙ ලොකු පරතරයක් තියන විත්තිය”
“දැන් ඔයා මට කියන්නෙ ඔයාට මාව ගැළපුනේ මේ ඇඳේදි විතරයි කියලද? කියන්න සමුද්‍ර, කියන්නනනනනන……… ඔයාට මාව ගැළපුනේ නිදාගනිද්දි විතරද? කියන්නනනනනනන…. කියනවාවාවාවා” යැයි සමුද්‍රගේ උරහිසින් සොලවා අසන්නට තරම් වියරුවක් කොහේ කොතැන සැඟවී හිඳ එළියට මතු වූවාද යන්න කාලින්දීට අදටත් පුදුම ය.
“කෑගහන්න තියාගත්තද මෙතන ගමේ ගෑණියෙක් වගේ? ඔය වගේ හැසිරෙන ගෑණියෙක්ව ගෙදර එක්කං ගියොත් මරුවට තියේවි”
“ඔයා කියන කතා ඉස්සරහ කෑගහන්නෙ අඬන්නෙ නැතුව ඔයා කියන්නෙ මට හිනාවෙන්න කියලද? කාමර ගානෙ එක්කන් එක්කන් යන පාරට මං ආවෙ ආදරෙයි කිව්ව වචනෙ විස්වාස කරල. දැන් ඔයා මොනවද මේ කියන්නෙ?”
“ගෑණියෙක් උනාම දැනගන්න ඕන තමංගෙ සීමාව”
“කොළඹ හතේ ඉපදිච්ච ඔයා මේ ගමක ඉන්න නූගත් මිනිහෙක් වගේ කතාකරන්න එපා සමුද්‍ර. සීමාව දැනගෙන ඉන්න කියන්නෙ, මාත් එක්ක ඒ සීමාව පනින්න ආවෙ ඔයා නෙවෙයිද?’ තනි අතෙන් අප්පුඩි ගහන්න බෑනෙ. ඔයා ඇයි දැන් මේකෙ ඔක්කොම වගකීමයි වැරැද්දයි මගෙ පිටින් දාන්න හදන්නෙ?”
“වැරැද්ද ඔයාගෙ හින්දා. මෙච්චරයි ආයෙ ඔයා මට කතා කරන්න එපා. කතා කරල බ්ලැක්මේල් කරන්න තියාගත්තොත් ඔයාව මට්ටු කරන්න මට විදියක් හොයාගන්න බැරි විත්තිය ඔයා නොදන්නව නෙවෙයිනෙ. ඒ හන්දා යූ ස්ටේ විතින් යුවර් ලිමිට්ස්” කියමින් පුටු බාපතේ එල්ලෙමින් තිබුණු යට කලිසම සහ ඩෙනිම් කලිසම ගෙන හැඳගත් සමුද්‍ර දෙස අරමුණක් නොමැති දෑසින් බලා සිටි කෙල්ලක කාලින්දීට තවමත් අමතක කරලන්නට නොහැක.
ගැළපීම් ගැන කතා කරන අම්මාත් නොගැළපීම් ගැන කතා කළ සමුද්‍රත් ඉදිරියේ තමන් අදටත් අසරණය.
ඩිජිටල්කරණය වූ ලොවක, කාන්තාවකගේ කන්‍යාභාවය සොයන පිරිමින් සුලබ නොවූවත්, තමන් ඇසුරු කරන්නන් අතුරෙන්, තමාට සැබෑවටම පෙම් කරන, අතීතය ගැන නොසොයන නොතැවෙන හදක් සොයාගැනීම අපහසු නොවන බව කාලින්දී නොදන්නවා නොවේ.
නමුත් හදවත පුරා ඔඩු දුවමින් සිත අප්‍රාණික කළා වූ පළමු ප්‍රේමයේ විරහ වෛරසය, අලුත් පෙමකට සිත තුළ පැළවෙන්නට ඉඩ නොතබයි.
එයටත් එහා කාලින්දී පෙළන්නාවූ සන්තාපය වන්නේ විශ්වාසයේ බිඳ වැටීමයි.
ආදරය කරන පෙම්වතුන් දෙපළක් හෝටල් කාමරයක තනි වී ආලිංගනයේ යෙදීම හෝ, ආදරයකින් තොරව හෝටල් කාමරයක යමෙකු සමග රැය පහන් කිරීම වසර ගණනාවක් තිස්සේ කොළඹ ජීවත් වූ, සිදාදියේ දුහුවිල්ල වැදුණු පොළවක මුල් අදින්නට තනන කාලින්දීගෙ හිතට අරුමයක් නොවුණත්, ඒ හිතෙහිම එක් පසෙක සැඟවී හිඳින කොළඹින් බොහෝ දුර බැහැර මිහින්තලයේ උපත ලැබූ ගමේ කෙල්ලකට අරුමයක් බවත්, සදාචාර සම්පන්න නොවන බවත් කාලින්දී නොදන්නවා නොවේ.
වෘත්තිමය ජීවිතයේ ඉහළට යන්නට ඇති පඩිපෙළ ඉතා සවිමත් එනමුත් සාමකාමී ගමනකින් යමින් හිඳින්නියක, තම පෞද්ගලික ජීවිතයේ ඉදිරියේ දෙදණ බිම ඔබා හිඳ හඬාවැටෙන බව දන්න වුන් අල්ප ය.
ජීවිතයේ අනෙක සුළි සුලං කුණාටු වලදී නොඉදිරී, සවිමත්ව මුහුණ දුන් රූස්ස ගසක් පවා බිමට උදුරා දමන මහ විසල් කුණාටුවක් කෙදිනක හෝ පැමිණේ.
දුක නම් සමණලියක සේ පියඹා යායුතු වියේදීම අත්තටු අහිමි වීමයි.
ආදරය නම් විශ්වාසයත්, ගෞරවයත් එක පමණට මුසු වී දෝරේ ගලා යුතු හැඟුමකි. එක්වීම මෙන්ම වෙන්වීමද ගෞරවාන්වියයුතු මානසික සංසිද්ධියකි.
රාගය මුල්කොට ගෙන ආදරය යැයි වරදවා වටහාගන්නා හැඟීම් ඉදිරියේ සිත බිඳුණෝතින් යළි නැගී සිටීම කෙතරම් අපහසුද?