“මට මහ එපා වීමක් දැනෙනවා ජීවිතේ ගැන”
වාසුකී ෆේස්බුක් වෝල් එකේ ඔන්න ඔය වචන ටික ලියලා ආපහු පාරක් මකලා දැම්මා. ඒ “නිකන් මොකටද තමන්ගෙ ප්‍රශ්න අනුන්ට කියන්නෙ” කියලා හිතිච්ච හන්දා. අනිත් පැත්තටම “ඇත්තටම මට තියෙන ප්‍රශ්නෙ මොකද්ද කියලා” වාසුකී නොහිතුවා නොවෙයි.
ඇත්තටම තමන්ට ප්‍රශ්නයක් නැති බවත්, ප්‍රශ්නෙ තියෙන්නෙ හිත ඇතුලෙ බවත් වාසුකී දැනගෙන උන්නා. වාසුකීට තිබුනෙ ඕනම කෙනෙක් ඉරිසියා කරන අන්දමේ ලස්සන ජීවිතයක්. නිසි වයසෙදි ඉගෙන ගෙන, උපාධිය කම්ප්ලීට් කරලා, හොඳ රස්සාවකුත් තියෙද්දි, ඊටත් එහා හොඳම හොඳ මහත්තයෙක්ව කසාද බඳින්න ලැබිච්ච එකේ වාසුකීට තව තියෙන ප්‍රශ්න මොනවද කියලා මිනිස්සු අහාවි කියන බය වාසුකිගෙ හිත අස්සෙ තිබ්බා.
ඇත්තටම වාසුකීට සන්තෝසෙන් ඉන්න කාරණා තිබ්බා ඕන තරම්. ගේ පිරිසිඳු කරගන්න, කුණු පොදක් නැතිවෙන්න අස් පස් කරලා ලස්සනට වාසුකී ආස විදියටම ගේ තියාගන්න ශාන් හොඳටම උදව් කරා. ඇත්තටම හොඳම හොඳ සැමියෙක් කියලා කියන්න පුලුවන් මනුස්සයෙක් තමයි ඔය ශාන්.
එච්චර දේවල් තිබිලත්, එච්චර සන්තෝස වෙන්න කාරණා තිබිලත් වාසුකීට කියන්න තේරෙන්නෙ නැති මොකක් හරි ලෙඩක් හිත අස්සෙ තිබ්බා.
ඒක සමහරවෙලාවට ශාන් හිනා උනත් එලියට පනිනවා වගේ ලෙඩක්. වැඩ ඇරිලා, පන්සල වගේ තියෙන ගෙදරට එන්න බෑ කියලා හිතිච්ච අන්දමේ ලෙඩක්. වෙනදා වගේ පොතක් පතක් කියෝලා, නෙට්ෆ්ලික්ස් බලලා, ආස කෑමක් උයන් පිහන් ඉන්න බෑ කියලා හිතෙන විදියෙ ලෙඩක්. කොහේ හරි ගියානම් හොඳයි කියලා හිතිච්ච. අනිත් අතට අනේ කොහෙවත් යන්න බෑ කියලා හිතිච්ච ලෙඩක්.
වාසුකී කියි වෙලාවෙත් හිතුවෙ “මොන කරුම ජිවිතයක්ද මං මේ ගෙවන්නෙ” කියලා උනාට මොකෝ යටි හිත දැනගෙන උන්නා එහෙම කරුමයක් නම් මෙතන නැති වග.
“ඔයා මොකක් හරි අවුලකද බබා?” කියලා ශාන් වාසුකීගෙන් ඇහුවෙ දවස් කීපයක් තිස්සෙ වාසුකී පොඩි දේටත් තරහා ගන්නවා, මොකක් හරි කියාගන්න බැරි දුකක අවුලක ඉන්නවා කියලා තේරිච්ච හන්දාමයි.
“නෑ” කියලා මහ එපාවෙච්ච තාලෙට වාසුකී ඇදලා පැදලා කිව්වට මොකෝ නෑ කිව්ව වචනෙ පිටිපස්සෙ ඔව් කියලා කියන්න වාසුකීටත් නොතේරෙන හේතුවක් තියෙන බව ශාන්ට තේරුනා.
“මේ දවස් වල වැඩ කොහොමද? ඔෆිස් එක කොහොමද? ෆ්‍රීලාන්ස් බාරගත්ත වැඩ කොහොමද?” කියලා ශාන් හීන් සැරේ ඇහුවෙ ප්ලෑන් එකක් හිතේ තියාගෙන. වාසුකී ඒ ප්‍රශ්නවලට පවා උත්තර දුන්නෙ නිකන් වෙන කරන්න දෙයක් නැති හන්දා උත්තර දෙනවා වගේ උනාට ශාන් පොඩ්ඩක්වත් තරහා ගත්තේ නම් නෑ.
ඒ ප්‍රශ්නවලට ලැබිච්ච උත්තර වලින් මේ දවස්වල ඔෆිස් එකෙ වැඩයි, ෆ්‍රීලාන්ස් වැඩයි ගොඩක් හන්දා වාසුකී ඉන්නෙ පිරිච්ච, කලබල වෙච්ච ඔලුවකින් බව ශාන්ට තේරුනා.
“නෙක්ස්ට් වීකෙන්ඩ් එකේ සන්ඩේ පොඩි වැඩකට එලියට යන්න වෙනවා, ඔයාට සැටඩේ වැඩ ටික ඉවර කරගන්න ඇහැකිද ෆ්‍රීලාන්ස් මොනා හරි තියෙනම්?” කියලා ශාන් වාසුකීගෙන් ඇහුවෙ ඔන්න ඔය අතරෙ.
“කොහෙද යන්නෙ?”වාසුකී ඇහුවෙ අර යන්න තිබ්බනම් හොඳයි ඒත් අනේ කම්මැලියි කියලා හිතෙන්න හිතුවිල්ල හිතට ආව හන්දා.
“අර තිවාලගෙ ගෙදර ලන්ච් එකක්. කලුතර එන්න කිව්වා කට්ටියටම” කියලා ශාන් කිව්වෙ හීන් හිනාවක් දෙතොල් අතර නලියද්දි ඒ හිනාව වාසුකීට නොපෙනෙන්න හංග ගන්න ගමන්.
“මං එන්නම ඕනද?” කියලා වාසුකී ඇහුවා.
“කසාද බැන්ද මනුස්සයෙක් ඉතින් එහෙම තනියෙන් යන එක කැතයි නේද දෙන්නටම ඉන්වයිට් කරාම” කියලා වෙනදට නැති විදියට ශාන් කියද්දි වාසුකීට ඒත් පුදුමත් හිතුනා. ඒත් ඔන්න ඔහේ ඕන දෙයක් කියලා සෙනසුරාදා එයා ඔක්කොම වැඩ පල ටික කරලා ඉවරකරගත්තා. කොටින්ම සඳුදා ඔෆිස් අඳින්න ඕන ඇඳුම් පවා ලෑස්ති කරලා තිබ්බා.
වාහනේ සදර්න් හයි වේ එකේ කලුතර එක්සිට් එකෙන් එලියට නොදාන කොටයි, ශාන් ගෙ මුණෙ ඇඳිච්ච හිනාවයි දැක්කම තමා මේක මේ ශාන් ප්ලෑන් කර සර්ප්‍රයිස් රෝඩ් ට්‍රිප් එකක් වග වාසුකීට තේරුණේ.
අහංගම පැත්තට ගිහින්, ලස්සන රෙස්ටුරන්ට් වලින් එක එක කෑම ජාති කකා, මූදෙ නාලා, බීච් එකේ හාන්සි වෙලා කතා කර කර ඉඳලා පැය ගාණක් ගෙවලා ගෙදර ආවෙ ගෙදරින් ගිය වාසුකී නෙවෙයි.
කාලෙකට කලින් සන්තෝසෙන් උන්නු, හිනාවෙච්ච ගමන් උන්නු වාසුකී.
“තැන්ක්‍යු” කියලා වාසුකී ශාන්ට එදා රෑ නිදියන්න යන ගමන් ස්තුතිවන්ත උනා තමන්ව එහෙම ගමනක් එක්කරගෙන ගිය එක ගැන. රිලැක්ස් වෙන්න උදව් කර එක ගැන.
“කියන්න බැරි ලෙඩ තියෙනවනෙ ගෑණුන්ට. ඒව තේරුම්ගත්ත දවසට තමා පිරිමියෙක්ට හස්බන්ඩ් කෙනෙක් වෙන්න පුලුවන්” කියලා ශාන් විහිලුවට කියන ගමන් වාසුකීව තව හයියෙන් පපුවට තුරුලු කරගත්තා.
ReplyForwardAdd reaction |