මතක මන්දිර – 10

0
4605

“අපි හිතනවා සමහරුන් අපිට ලංවෙන්නේ ආදරේ නිසා කියලා.එයා කතාබහ කරන විදියෙන්, එයාගේ හැසිරීමෙන්, එයා හිනාවෙන විදිය,බලන විදිය මේ වගේ දේවල් වලින් අපි හිතනවා එයා එහෙම කරන්නෙ එහෙම හැසිරෙන්නෙ එයාගේ හිතේ අපි ගැන ආදරයක් තියෙන නිසා කියලා.

සමහරු ඉන්නවා ආදරයක් හිතේ එහෙම තියාගෙන ඉඳලා ඒ ඒ අවස්තාවන්ට අනුව බොහොම ප්‍රේමණීය විදියට හැසිරිලා අන්තිමට කියනවා මගේ හිතේ එහෙම හැඟීමක් නැහැ, නැත්තම් මේක හරියන දෙයක් නෙවි කියලා.එතනදි අර මුළු හද පත්ලෙන්ම ආදරය කරපු  අනිත් පාර්ශ්වයට මොන වගේ හැඟීමක් දැනෙනවද කියල හිතන්නෙ නෑ, කොටින්ම හිතන්න උත්සාහ කරන්නෙත් නෑ. ” අවුරුදු ගාණක් මේක අරන් ගිහින් නැවතුනානම් ඔයාට මීට වඩා දුක හිතෙවී,ඊට වඩා හොඳයි දැන්ම මේක ඉවර උන එක” කියන බොහොම සම්ප්‍රදායික කිසිම ගත යුත්තක් නැති ගැලවිජ්ජාවට කියන මේ වචන ටික කියල බේරිලා යන්න එයා හදන්නෙ

සමහරවිට එදා සමුද්‍ර වුණත් කරන්නැත්තෙ එහෙම දෙයක් වෙන්නැති කාලි”

සමුද්‍ර නැවත කතා කළ බවටත්, ඉන් පසු දිනකට කෙටි පණිවිඩයක්, කෙටි දුරකතන ඇමතුමක් පවා එවන්නට පෙළඹෙන බවටත් කේසර සමග බෙදාගන්නට කාලින්දීට හැකිවුනේ දිවා ආහාරය එක්ව ගන්නා අතරතුරය.

එනමුත් එම කෙටි පණිවිඩ, දුරකතන ඇමතුම්වලට තමන් පිළිතුරු දෙන බවත්, පෙර මෙන් ඔහු අමතන තුරු නොඉවසිලිමත්ව හදවත බලා හිඳින යුරුත් පවසන්නට ඇයට වචන ගළපාගන්නට නොහැකි වූයේ එවදන් පැවසුවෝතින් කේසර එයට දෙන පිළිතුර කුමක්දැයි දැනටමත් හොඳාකාරවම දන්නා බැවිනි.

නිහඬව කේසර ලබාදෙන උපදෙස් අසා සිටීම නුවණට හුරු ය. එක් පසෙකින් මිතුදමේ නාමයෙන් තමන් යළිත් වරක් වේදනාවට පත් විය හැකි මං අහුරාලන්නට උත්සුක වන කේසරය.

අනික් පසින් වසර හතකට පසු අහම්බෙන් හමු වූ තම සිත ලැඟුම් ගත් කුළුදුල් ප්‍රේමවන්තයාය.

රැවටුවද හැරගියද, තම සිතත් ගතත් පළමුවෙන්ම නිරුවත්ව රස බැලූ පළමු පෙම්වතා ය.

ඔහුව මගහරින්නට හිතට තවමත් නොහැකිය.

“දාලා යන්න හේතු හොයන මිනිස්සු අතරේ, හැමදාමත් ලඟ ඉන්න හේතු හදන මනුස්සයෙක් ලැබෙන්නෙ බොහොම කලාතුරකින්, ඉතාම වාසනාවන්ත කෙනෙකුට.හමුවීම් වෙන්වීම් කියන්නෙ මේ ජීවිත ගමන ඇතුලත සිදුවන බොහොම සුලබ දෙයක්.

අහම්බෙන් වගේ මුනගැහෙනවා, හිතුවෙවත් නැති විදියට ලංවෙනව අන්තිමේ නොකියාම යන්න යනවා

සමුද්‍ර අවුරුදු ගාණකින් දැක්කෙ නැතිවුනත් ඔයාට තවමත් එයාව අමතක කරන්න බැරිවෙලා තියෙනව කියන එක අපි දෙන්නම දන්න දෙයක්නෙ කාලි.

මිනිහගෙ ලයිෆ් එකේ මොන මොන විදියෙ ඕල්ටරේශන්ස්, චේන්ජස් වෙලා තියෙනවද කියන්න මම දන්නෙ නැහැ.

සමහරවිට මිනිහ ඇත්තටම ඔයාව එහෙම දාලා ගියපු එක ගැන වොරි වෙනව වෙන්න පුලුවන්. ඒත් එහෙම හිතල ඔයා ආයෙමත් එයාට ලංවෙන එකෙන් ආයෙ පාරක් ඔයාගෙ හිත කැඩුණොත් මේ ගොඩනගාගත්ත දේවල් ආයම ඒ විදියට කන්ටිනිව් කරගන්න ඔයාට පුලුවන් වෙන්නෙ නෑ. ඒ නිසා මම කියන්නෙ ඒ රිස්ක් එක ගන්න එපා.

සමුද්‍ර නිතර නිතර කතාකරද්දි ඔයාගෙ හිත වෙනස් වෙන්න පුලුවන්, ඒ නිසා ඔයා ඒක එයාට කියල හරි නොකිය හරි එයා ඔයාව ඇප්‍රෝච් කරන්න හදන හැම විදියක්ම කොහොමහරි නතරකරන්න.

මම මෙහෙම කියන්නෙ ඇත්තටම ඔයා එයා නිසා කඩා වැටුණ විදිය මම දැක්ක නිසා. මට ඕන නෑ ඔයා ආයෙමත් ඒ පේස් එකට යනව දකින්න”

කා අහවර වූ කෑම පෙට්ටි සෝදා, සර්වියටයෙන් පිසදමා අසුරා ගන්න අතරතුර එසේ පැවසූ කේසර කෑම කාමරයෙන් පිටවී යන තුරුත් බත් පත අනමින් සිටි කාලින්දීට බඩගින්නක් නොතිබුණ තරම් ය.

ඒ හිත පිරී ඇති නිසාවෙන්ද හිත හිස් වී ඇති නිසාවෙන්ද යන්න ප්‍රශ්නයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here