මතක මන්දිර – 12

0
4641

“අපි දෙන්න බ්‍රේක් අප් වෙලා මාස තුනකින් වගේ තමයි මගේ වෙඩින් එක තිබුණෙ. යොෂාලිව මීට් වුනේ ප්‍රපෝසල් එකකින්. එයා ඒ වෙද්දිත් ඔස්ට්‍රේලියාවල පී.ආර් එකත් අරගෙන තිබුනෙ”

පළමුවෙන් මේසයට ආ හකුරු මිශ්‍ර පොල් කිරි තේ බඳුන හෙමි හෙමින් තොල ගාමින් අතීතයේ සුවඳ රැඳි මතකයන් දිගහරින්නට ඇරඹුවේ සමුද්‍ර ය.

ඉතාම ධනවත් ව්‍යාපරික පියෙකුගේ දියණියක වන යොෂාලි හුරු පුරුදු වූ උන් ගති පුරුදු, හැසිරීම් රටා, ජීවන රටාව මුල් කාලයේ ආඩම්බර වීමට කරුණක් වුවත් පසුකාලීනව එම කරුණුම ඔවුන්ට වෙන් වීමට මූලික හේතුවක් වන බව පවසන්නට තව හෝරා කිහිපයක්ම සමුද්‍ර වැය කර තිබිණි.

හිස්වන බඳුනෙන් බඳුන ආහාර හෝ පානයන් පුරවාගනිමින් සමුද්‍රව අසා හිඳින්නට කාලින්දීට අවශ්‍ය වූයේ ඒ දුක්බර අතීතයේ දී එක් දිනෙක හෝ සමුද්‍රට තමාව මතකයට නැගෙන්නට ඇතිදැයි සිතමිනි.

“යොෂාලිව අපෙ අම්මලට, අපෙ ෆැමිලි එකට මොනතරම් මැච් වුණත් මගෙ ලයිෆ් එකට එයාව මැච් වෙනෙ නෑ කියල තේරෙද්දි අපි කසාද බැඳල අවුරුද්දකුත් ගෙවිල ගිහින්. තවදුරටත් එයාගෙ රුටීන් එක දරාගන්න බැරි තැනමයි මම ඩිවෝස් එක ඉල්ලුවෙ. මම ලංකාවට ඇවිල්ල, ද්වේශ සහගත ලෙස අතෑර යාම කියන කාරණාව යටතේ එයාට මට විරුද්ධව ඩිවෝස් එක දාන්න කියල කිව්වෙත් මම.

යොෂාලි එයාගෙ යාලුවො එක්ක රෑට ක්ලබ් ගානෙ යද්දි, මම නූඩ්ලස් එකක් හදාගෙන, තනියම නෙට්ෆ්ලික්ස් බලද්දිත් මම කල්පනා කරා ඇත්තටම ඇයි මම ඔයාව අත ඇරියෙ කියල. ඔයාව මැරි කරානම් ඇත්තටම මම මහන්සි වෙලා එද්දි ඔයා කෑම හදල තියාවි, මට මහන්සි උනාම ඔලුව අතගාවි කියලත් මම හිතුව කාලි. මම ඇත්තටම හරියට සෆර් කරා. යොෂාලි මාව ගණන් ගන්නෙ නැති නිසාටත් වඩා ඔයාව මතක් වෙන හැම සැරේම. මට සමහර වෙලාවට ඇඬුනා, මං අන්තිමට ඔයාව මීට් වුන දවසෙ ඔයා මගෙ කකුල් දෙක ළඟ වැටිල අඬපු හැටි මතක් වෙලා. මම කල්පනා කරා ඇයි මම ඔයාව එහෙම ලැජ්ජ නැති විදියට රැවැට්ටුවෙ අතෑරියෙ කියල. මට ඔයාව අතාරින්න ඕන නම් මට ඇත්තටම ඒක ඊට වඩා හොඳ විදියට කරන්න තිබුණා නේද කියල මම කල්පනා කරා කාලින්දී”

වීදුරුවෙන් එපිට පෙනෙන ආකාසය දෙස බලමින්ම සමුද්‍රගේ කතාබහට සවන් දුන් කාලින්දී උන්නේ සිත තුළින් මහා පෙරළියකය.

වසර කීපයකට පෙරාතුව තමාව මහෝඝයක හෙලා ගිය පෙම්වතා නැවත පැමිණ තිබේ. තමා හැර යෑම පිළිබඳව ඔහු දුක්වන බවටත්, ජීවිතයේ බොහෝ අසීරු අවස්තාවලදී තමන්ව මතක් වූ බවත් ඔහු දැන් පවසයි.

එවදන් අග රැඳී ඇති ආයාචනය, ඇරයුම තමන්ට තේරුම් ගත නොහැකි නොවේ.

එනමුත් ආපසු හැරිය හැකිද? ආපසු හැරී බැලුවාමුත්, නැවතත් අතීතයේ සිදූ වූ දේවල්ම නොවේයැයි සිතිය හැකිද?

වත්කම් උගත්කම්වලින් තමන් ඔහු හා කෙතරම සමපාත වුවත් තමන් තවමත් මිහින්තලයෙන් කොළඹ ආ ගොඩේ කෙල්ලය. සිල්ලක කඩ හිමිකරුවෙකුගේ සහ ගෘහණියකගේ දියණිය ය.

එකී අසමානකම් යළිත් දිනෙක අනාගතයේදී මතු විය නොහැක්කේද?

හකුරු මුසු වූ උණු තේ කෝප්පයෙන් බිඳලිය නොහැකි අමිහිරි බවක් හදවත පුරා රැඳී ඇත.

කියන්නට දේවක් කොතෙක් තිබුණ ද ඒවා වචනවලට හරවාලන්නේ කෙසේද යන්න තවමත් පැනයකි.

“ඇත්තටම ඇයි සමුද්‍ර ඔයා මාව ඒ විදියට දාලා ගියේ” යැයි අසා හඬා වැටෙන්නට හැකි වූවානම් හිත පුරවා හිඳින අමිහිරි මතක අමතක කරන්නට ඉඩ තිබුණි.

එනමුත් මේ තමන් එසේ කඩා වැටිය යුතු මොහොතක් නොවේ.

ගින්නෙන් පිලිස්සී, ගින්නෙන්ම උපත ලද ෆීනික්ස් කිරිල්ලියක මෙන් හිස සාඩම්බරයෙන් නගා පියඹා යා යුතු කාලයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here