මතක මන්දිර – 15

0
5753

“ඔයා ඇත්තටම ඇයි සමුද්‍ර එදා මාව එහෙම දාල ගියේ?” යැයි අසන්නට කාලින්දී හිත සවිමත් කරගත හැකි වූයේ බොහෝ දිනක් සිතා බලා තීරණය කළ පසු ය.

ඇය කිසිදිනක ඒ පැනය තමන්ගෙන් අසනු ඇතැයි සමුද්‍ර බලාපොරොත්තු නොවූ බව හොඳින්ම තේරුම්ගත හැකි වූයේ ඔහු කාලින්දී දෙස බැලූ බැල්මෙන් ය.

ඩිල්මා ටී ලෞන්ජ් වෙතින් සුපුරුදු කෑම බීම ඇණවුම් කර පසු ගෙවීයමින් හිඳින කීවෙනි සැඳෑවදැයි නොදන්නා නමුත් දැන් මෙහි සේවකයන්ට තමන් හොඳින් හුරු පුරුදුය. තවමත් එකිනෙකාට නුපුරුදු තමන් නොවේද?

සමුද්‍ර පැකිලෙන්නෙ තමන් ඇසූ පැනයට පිළිතුරු නැති නිසාවෙන්ද නොඑසේනම් පිළිතුර ගැටගසාගැනීමට කාලය මද බැවින්ද?

“ඒක මමත් තාම මගෙන් අහන ප්‍රශ්නයක් කාලින්දී. මට තාම හිතාගන්න බෑ මම ඇයි එහෙම දෙයක් කරේ කියල”

“මට තාම හිතාගන්න බෑ සමුද්‍ර ඔයා එදා එහෙම දාලා ගියාට පස්සෙ මම මේ වෙනකම් ජීවත්වෙන්න හිත හදාගත්තෙ කොහොමද කියල. මට මැරෙන්නෙ හිතිච්ච වාර අනන්තයි. නොකා නොබී අඬද්දි, රස්සාව දාලා ගෙදර ආවම අපෙ අම්මල තාත්තල මොනතරම් නම් ඇහුවද මගෙන් මොකද උනේ කියල? ඒ වෙලාවට දෙන්න උත්තරයක් නැති හින්දා මම කරේ තව හයියෙන් අඬන එක.

ඔයා යොශාලිව මැරි කරා කියල මිලර් එකේ කට්ටිය ෆොටෝස් ශෙයා කරද්දි, ඔයාට එහා පැත්තෙන් හිටගන්න ඕන මම නේද කියල හිතල මම හිතෙන් කී පාරක් නම් මැරුණද කියල මමවත් දන්නෙ නෑ

මම හිතුවෙ නෑ ආදරේ කරපු, එකට කාpu බීපු, එකට නිදාගත්ත මනුස්සයෙක්ට පුලුවන් කියල තමන් ආදරේ කරපු ගෑණියෙක්ව එහෙම නිකන්ම නිකන්ම් කුණු මාලු කෑල්ලක් වගේ අතෑරල දාන්න”

වචනයෙන් එළියට පිටවූයේ කීමට බලාපොරොත්තුවෙන් හුන් කතාවක් නොවේ. එනමුත් කාලාන්තරයක් පුරාවට අසන්නට බලාපොරොත්තුවෙන් හුන් පැනයකි.

“අපිට ඒ හැමදේම අමතක කරලා ආයෙමත් ජීවිතේ දිහා අලුතෙන් බලන්න බැරිද කාලින්දී?”

“අලුතෙන් ජීවිතේ දිහා බලන්න කියල අපිට අතීතෙ වෙච්ච හැමදේම අමතක කරන්න පුලුවන්ද සමුද්‍ර?”

“අපි අතීතෙ ගැනම හිත හිත හිටියොත් අපිට කවදාවත්ම ඉස්සරහට යන්න පුලුවන්ද?”

ප්‍රශ්නයකට ප්‍රශ්නයකින්ම පිළිතුරු දීම තවත් ප්‍රශ්නයක් ඇසීමට ඇති ඉඩකඩ අහුරාලන බැවින් සමුද්‍ර එසේ අසන්නට ඇත. එනමුත් අතීතය ගැනම සිතමින් තැවෙමින් සිටීම අනාගතයක් දැකීමට ගැටළුවක් බව සත්‍යයක් නොවන්නේද?

අතීතයේ සීටි කාලින්දී සහ සමුද්‍රත් වර්තමානයේ සිටින කාලින්දී සහ සමුද්‍රත් අහසට පොළොව මෙනි. වෙනස් නොවූ එකම සාධකය නම් හිතේ කෙලවරක සඟවා තිබෙන ආදරයයි. ආදරය මුල් කරගෙන තීරණ අරගත් බොලඳ තරුණ විය හැරදමා විත් දැන් බොහෝ කාලයකි. මේ සතුටත් සැනසීමත්, මානසික නිදහසත් ගැන සිතා තීරණ ගත යුතු කාලයයි.

අවසානයේ ආදරය හෝ යම් කිසිවක් නිසා මානසික නිදහස නැතිවන්නේ නම් එයම ප්‍රබල පරාජයක් බව කාලින්දී හොඳින්ම දනී. හැමදේටම වඩා මානසික නිදහස වටින බව තේරුම්ගන්නා අවදියකට ඕනෑම මනුෂ්‍යයකු පරිණත වීමත් සමග පත්වන බව තමන් අත්දැකීමෙන්ම දනී.

සමුද්‍ර තරම් තමා ගැන හොඳින් දන්නා වෙනත් පිරිමියෙකු මෙලොව නැති බව ඇත්තකි. තම සිතුවිලි, හැඟීම් දැනීම්, ආසාවල් සියල්ලම අතැඹුලක් සේ දැනගන්න ප්‍රේමයෙන් වෙලී ගෙවී ගිය කෙටි කාලය තුළට ඔහුට හැකිවිය.

එනමුත් තවමත් තමා සමුද්‍රව නොදන්නවා නොවේද? හොඳින්ම ඔහුව හඳුනනවා යැයි සිතූ කාලයක පවා නොසිතූ නොපැතූ පරිද්දෙන් තමා හැරයන්නට හැකිවුණ සමුද්‍ර කෙනෙකු පිළිබඳව තමා දැනසිටියේ නැත.

වසර ගණනාවකට පසු ජීවිතයෙනුත්, ආදරයෙනුත්, බැඳීම්වලිනුත් බැට කා විත් පැරණි හුරුපුරුදු  සුරක්ශිත නවාතැන්පලේ සදාකාලිකව නවාතැන් ගන්නට විත් හිඳින සමුද්‍රවත් තමා දන්නේ නැත.

කල්පනා කරමින් හිඳින්නට කාලයක් නැත. පමා වී ඔහුව අහිමි කරගන්නටද බැරිය.

“කාලින්දී”

“ම්ම්ම්

“අපිට ආයෙමත් එකතුවෙන්න පුලුවන්ද කියලවත්, නතර කරමු කියන තැනින් ආයෙ පටන් ගමු කියලවත් මම කියන්නෙ නෑ කාලි. මම දන්නව එහෙම අහල වැඩක් නෑ කියල. ඒ නිසා මම මෙහෙම අහන්නම්

අපි මැරි කරමුද?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here