මා හද මට නැති විට – 14

“ඩිවෝස් උනාම ගෑනියෙක්ගෙ වටිනාකම අඩු වෙනව කියල හිතන්නෙ කොහොමද මෝඩස්? දුස්ට මිනිහෙක් ජීවිතෙන් එලෝලා දාන්න හයියක් තියන ගෑනියෙක්ගෙ වටිනාකම අඩු වෙන සමීකරණෙ හැදුවෙ කවුද? විකාර කියවන්න එපා.”

ලාවන්‍යා ඒ බැනුම අසා ගත්තේ සෙනුරිගෙනි.ඒ දුරකථන ඇමතුමකදී රූපලාවණ්‍යගාරයකට යන්නට කළ ඇරයුම ප්‍රතික්ෂේප කළ හන්දා ය. එහෙත් ලාවන්‍යාට එහෙම ගමන් යන්නට දැන් ඇත්තටම හිතක් නැත.

“ජීවිත කාලෙම භවන්තයා විතරක් උඹේ ලස්සන දැක්කම ඇති වගේ මෝඩ කතා හිතන්න එපා.”

සෙනුරි දිගින් දිගටම බැන වදියි. ලාවන්‍යා මන්දස්මිතයක් පමණක් දෙන්නට ප්‍රවේසම් වූවා ය. එහෙත් සෙනුරි සමඟ කතාබහ ලෙහෙසි නැත. ප්‍රාථමික වයසේ දරුවන් සමඟ ගැවසීම හන්දා ඇගේ කට ද ඕනෑවටත් වඩා සද්ද ය.

“ටීවී ප්‍රසන්ටර් කෙනෙක් නේද? ඔයා කොච්චර දක්ෂ වුණත් වැඩක් නෑ. පෙනුම මදි කියලා ඔය ප්‍රෝග්‍රෑම් වලින් හැලෙන්න පුලුවං. මේක එහෙම ලෝකයක්.”

සෙනුරි ඉනික්බිතිව මිතුරිය බියට පත් කරන්නට තීරණය කළා ය. නමුත් ලාවන්‍යාට කියන්නට තිබුණේ වෙනත් කතාවකි. ඇයට ඕනෑ ගුවන්විදුලි නිවේදිකාවක සහ හඬ ශිල්පිනියක මිස රූපවාහිනී නිවේදිකාවක වන්නට නොවේ. ඒ ප්‍රතික්ෂේප කරන්නට නොහැකි ආරාධනාවක් හන්දා කරන කටයුත්තකි. ඒ නිසා රූපවාහිනිය වෙනුවෙන් රූපය රකින්නට ඕනෑ නැත.

“මොනවත්ම හින්දා ලස්සනට ඉන්න ඕන නෑ තමයි. ඒත් ඔයා ඔයා වෙනුවෙන් හරි ලස්සනට ඉන්නෝන.”

සෙනුරි අවසානයට එහෙම පැවසුවේ මිතුරිය ඇයට එකඟ නොවීම ගැන කෝපයෙනි. එය ඇත්තටම කෝප ගන්නට කාරණාවකි. මෙහෙම තමන්වම අත් හැරීම සමාව දෙන්නට නොහැකි වරදකි.

“හරි ඉතිං මම එන්නං. පේෂල් එකක් හරි කරන්න බැරිය.”

ලාවන්‍යා අවසානයේ මිතුරියට පොරොන්දු වූවා ය. පොරොන්දු වූයේ හෙට ඇය සමඟ රූපලාවණ්‍යගාරයට එන්නට ය. හෙට දවස නිවාඩු දවසකි. සති අන්තයේ ඇගේ කටහඬ නැති ගුවන්විදුලියෙන් කිසිම පලක් නැති බවට සමහර යෞවනයන් එවන මැසේන්ජර් පණිවිඩ ලාවන්‍යා සිහි කළේ මඳ සිනාවකිනි. කටහඬට ආදරය කරන්නට ඕනෑ කෙනෙකුට හැකි ය.

“අපි ඉස්සර ප්‍රේමකීර්ති මහත්තයගෙ කටහඬට එහෙම හරිම ආදරෙයි. ඉස්සර ඉතිං ඔය රේඩියෝවල කතා කරන අය අපි දැකලත් නෑනෙ. ඒත් විජයට ගාමිණීට වඩා ප්‍රේමකීර්ති ගැන මටනම් මොකක්දෝ ආදරයක් තිබ්බා.”

අම්මා දිනක් එසේ පැවසුවා ය. දැන් එහෙම නොපෙනී හිඳින්නට අසීරු ය. නාලිකාවේ ෆේස්බුක් පිටුවෙන් ඇගේ වීඩියෝ පවා මුදා හැරෙයි. හඬ මුසු කරන අලුත් කොරියන් ටෙලි නාට්‍යය ගැන ද අදාළ රූපවාහිනි නාලිකාවෙන් විශාල ප්‍රසිද්ධියක් ලබා දේ.

ඒ හන්දා ලාවන්‍යා කියන්නේ ලස්සන කෙල්ලක බව නොදන්නා කෙනෙක් නැත!

එහෙත් ඇයට හඬ හෝ රූපයට පෙමින් බැඳෙන්නන් ඕනෑ නැත. භවන්ත ඇයට ආදරය කළ දවස් අමතක වන තරමට ඈත බව ඇත්තකි. එහෙත් ඔහු පවා ප්‍රේම කළේ ඇගේ රූපයට බව ලාවන්‍යා දන්නී ය.

ලාවන්‍යා තරුපිරි අහස දෙස බලමින් සිතිවිලි අතර අතරමං වූවා ය. කරන්නට ඕනෑතරම් දේවල් තිබේ.පාරමී ඇයට කියවන්නට කියමින් වාහනය පිරෙන්නට පොත් රැගෙන ආ බව ද ඈ දුටුවා ය.අනුත්තරා  අලුත්ම චිත්‍රපටියක් බාගත කර එය පුදුමාකාර සිනමාත්මක ගුණයකින් යුතු එකක් බවට පාරම් බා තිබේ.නමුත් ලාවන්‍යාට කිසිවක්ම කරන්නට සිතක් නොයේ.කිසිවෙකුට නොකීවාට ඇය ප්‍රේමයෙන් ආතුරව ය.සමහර හින්දි චිත්‍රපටවල ආදරය ඇති වූ උමතුවෙන් මෙන් ගයන නටන කෙල්ලන්ට හිනැහීමේ විපාක ලාවන්‍යාට දැනෙන්නේ දැන් ය.එසේ උමතුවකින් මෙන් මිදුල පුරා නටන තරමට ලාවන්‍යා ප්‍රේමණීය හදවතකිනි.උමතුවකිනි.ඇය මඟ බලා සිටියේ තේජ සඳැල්ලට එනතුරු ය.ඔහු එතැනට එන්නට ප්‍රමාද වෙද්දී ඇයට දැනුණේ සාංකාවකි.ඔහු තරුපිරි අහස දෙස බලා ප්‍රමාද වන්නේ කුමක් හෝ ගැටළුවකදැයි ලාවන්‍යා බියපත් වූවා ය. කුඩා ලියෝන් අසනීපයෙන් නම් ඒ වග ඔහුට කියන්නට තිබිණ. අසල්වැසියන් ඉන්නේ උදව්ව පිණිස ය.

“මං ජීවිතේ ගැන රිස්ක් ගන්නවා තමයි.මේ ජොබ් එක පවා මම පටන් ගත්තේ රිස්ක් එකක් අරන්.ඒත් ආදරේ ගැන රිස්ක් ගන්න මං හරිම බයයි ලොකූ. ඔයාලා දැන් කාලෙකින් මගේ ඇත්ත හිනාවක් දැකලා නෑ.මං හිනාවෙනවා, ඒත් ඒක හරිම ව්‍යාජ හිනාවක් කියලා පවා ඔයාලා දැන ගත්තේ කොයි කාලෙකින්ද ලොකූ.මං සදාකාලෙටම සුව නොවිච්ච තුවාලයක් දරාගෙන ජීවත් වෙයි.මං ඒකට හරිම බයයි. ඒත් ලොකූ ඕක තමයි ඇත්ත.”

දික්කසාදයෙන් පසු නැවතත් ජීවිතය ගැන සිතන්නැයි ඇයට පැවසුවේ ලොකු අක්කා ය. වැඩිදුර අධ්‍යාපනය වෙනුවෙන් පොඩි අක්කා වෙතට යන්නටත් අනතුරුව හීන් සීරුවේ තවත් ආදරයක් ගැන සිතන්නටත් ලොකු අක්කා යෝජනා කළේ ආදරයෙනි. එතැනදී ලාවන්‍යා ඇගේ සැබෑ හැඟීම් මුදා හැරියා ය.

ඒ මොහොතේ ඇයට ඇත්තටම ආදරයක් ඕනෑ වූයේ නැත!!

ජීවිතය තනිව ගෙවන්නට ලාවන්‍යා හිත හදා ගනිමින් සිටියා ය. නමුත් හෘද අභ්‍යන්තරයෙන් එන කැළඹීම වෙනත් කතාවක ඇරඹුමකි. ඇය ආදරයෙන් උමතු වන්නට පටන් ගෙන තිබේ. නිර්වාන් මෙන් හැඩ ඇති කොලුවෙකු ජීවිතය වටා දැවටෙමින් ජීවිතය තුළට පිවිසෙන්නට අවසර ඉල්ලද්දී තේජට ආකර්ෂණය වීමට හේතුව ඇයටම හිතා ගන්නට නොහැකි ය. ඔහු දරුවෙකු ඉන්නා තාත්තෙකි. ඇයට වඩා දස වසරක්ම වැඩිමහලු මිනිසෙකි. ඇයටත් වඩා ලාබාල නිර්වාන්ට ඇත්තේ නිදහස් ජීවිතයකි. ඔහුට ළංවී ඔහුගේ පතිනිය වන්නේනම් රාත්‍රී වැඩසටහන් වලින් මිදී රේඩියෝ රස්සාවට සමු දෙන්නටත් ඕනෑනම් ඔහු සමඟම පොඩි අක්කා වෙත යන්නටත් හැකි බව ලාවන්‍යා දනියි. එහෙත් නිර්වාන් හැඟීම් උතුරන සජීවී කොලුවෙකි.ගල් පිළිමයක් වගට පත් වූ තමන් තේජ වැනි නිස්කලංක චරිතයක් ජීවිතයට අලවා ගැනීමේ උමතුවෙන් පසුවෙන බව ලාවන්‍යාට වැටහේ.

“ආදරේ කරන මනුස්සයා තමන්ගේ කරගන්න එච්චර හිතන්න එපා මෝඩයෝ.මං නම් මට ආදරේ දැනිච්ච කිසිම කෙනෙක්ව මඟ ඇර ගත්තේ නෑ.එක ආදරයක් මත්තෙ නහිනවද එහෙම නැත්තං නොගැළපෙන බවක් හිතුණොත් එතනින් අයින් වෙලා හොඳ තැනක රැඳෙනවද කියන එක ඔයාගෙ තීරණයක්. ඔයා එක පාරක් ඒ තීරණේ ගත්තනෙ. ආයේ ආයේ වුණත් ඒක ගන්න ඔයාට බැරි නෑ.”

ඇගේ කාර්යාල මිතුරියක වන හංසි එහෙම පැවසුවේ අද හවස ය. ඒ තේජගේ නමක් ගමක් නොකියා කාට හෝ ආදරය කරන්නට සිතෙන වග ලාවන්‍යා කියද්දී ය.

එහෙත් දිගින් දිගටම තෝරා ගැනීම් කරමින් හිඳින්නට නොහැකි ය. ජීවිතයට හොඳටම මහන්සි බවත් ඉසිඹුලන්නට තැනක් ඕනෑ බවත් ලාවන්‍යාට සිතෙයි.

(ලාවන්‍යා වෙනුවෙන් හොඳ ප්‍රතිචාර ලබා දෙනවාට ස්තූතියි. කතාව ගැන ඔබේ අදහස් මට බොහොම වටිනවා. ඒ නිසා අදහස් ලියා යන්න.)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles