පෙඟුණු මල්පෙති 22

“ඔයා ඇයි මට ආදරේ කරන්නේ”

හනි බීච් එකේදී හමුවෙමු යැයි කියා ළහිරු කෙටි පණිවිඩයක් එවා තිබුනේ සැඳෑවේය.

ඇඟට අසනීප යැයි කියා නිදාගන්නට ගිය මිහික ඉතින් අවදිවනු සැක සහිත නිසා ඔහුට කියන්නට හේතු කාරණා නොසොයා මේ ගමන නිදහසේ ගොසින් එන්නට හැක.

එය සිතට සැනසුමකි.

මිහික කතා කරන සෑම මොහොතකම අවස්තාව ශේප් කරගන්නට අවශ්‍ය කරන මායම් සියල්ලම භාවිතා කරන්නට හැකිවීම හොඳ වුවත් සිතේ නොදන්නා කෙලවරක අමුතුම ආකාරයේ වේදනාවක් විටෙන් විට ඇවිත් හිතට කොණිත්තයි.

එය වේදනාවකටත් වඩා බයකි.

මිහික මේ බව දැනගත්තොත් යන්න එකී බයයි.

එය කුස ප්‍රදේශයේ සිට සිතට එන්නේ මහා වායු ප්‍රවාහයක් මෙනි.

හරියට උඩ ගොස් පහලට එන ඔංචිල්ලාවක වාඩි වී සිටින විට බඩට දැනෙන අමුතුම ආකාරයේ හැඟීම බඳු හැඟීමකි එය.

හවස හමුවන්න එන්න යැයි කියා ළහිරු පණිවිඩය එවූ මොහොතේ සිට චරිත්‍රාට තිබුණ ලොකුම රාජකාරිය නම් හවසට ඇඳ පැළඳගෙන යාම සඳහා අවශ්‍ය දෑ සකසා ගැනීමයි.

කොහොමටත් එළියට යනවිට සුන්දරව සැරසෙන්නියකට මෙවන් සුවිශේෂී හමුවකට යනු පිණිස විශේෂයෙන්ම සැරසෙන්නට උවමනා වීම ඉතින් අමුතු කාරණාවක් නොවේ. එය ගැහැණු ගතිය නොවේද? තමා ආදරය කරන පුද්ගලයා හමු වන්නට යන විට හැකි ඉහලම අයුරින් ඉතාම සුන්දරව සැරසීම ඕනෑම යුවතියක්, ගැහැණියක් විසින් කරන්නා වූ දෙයකි.

තද නිල් පැහැති පෙන්සිල් කට් ඩෙනිම් සාය මිහික විසින් එරට සිට එවන ලද්දකි. එවන් ඩෙනිම් සායවල් ලංකාවේ සොයා ගැනීම පවා අපහසුය.

මිමෝසා වෙතින් මිල දී ගත් සැටින් ක්‍රොප් ටොප් එක සුන්දරය. සැහැල්ලු උඩු ඇඳුමක් වුවද එහි කර ගැඹුරට කපා තිබීමෙන් ලැබෙන කාමුක සුන්දරත්වයට චරිත්‍රා ලොල්ය.

ඇසක හැඩය රැගත් කරාබු දෙක සහ එයටම පෑහෙන කර මාලය අරගත්තේ ඕ.ජී.එෆ් හි ටැමීස් ආබරණ හලෙනි.

සිහින් අඩියක් සහිත සෙරෙප්පු යුවලද, මනාව තවරූ අඳුන්, තොල් ආලේපන සහ අනෙකුත් ආලේපන සමග එකතු වූ වත්සුණු ඉතාම සුන්දර තරුණියකගේ රුව කණ්ණාඩිය තුල මවා ඇත.

ඒ චරිත්‍රාගේ සිත කුල්මත් කරන ආකාරයේ සුන්දරත්වයකි.

තමාව රැගෙන යන්නට ළහිරු එන බව පැවසු නිසා පික් මී හෝ ඌබර් කුලී රියක් සොයන්නට කාලය වෙන් කල යුතු නොවේ.

පාලුව මකා ගනු පිණිස ටික්ටොක් වීඩියෝ බලමින් සිටින්නට හැක, ඔහු එනතුරු.

“මම ඔයාට ආදරේ කරේ ඔයා මාර වෙනස් කැරැක්ටර් එකක් නිසා”

ළහිරු දොඩමලු වූයේ කාරය නාලන්දාරාම පාරෙන් මහා මාර්ගයට දමා දකුණට හැරී කොළඹ දෙසට ගමන් ගන්නා අතර වාරයේය.

“වෙනස් කෙනෙක් කිව්වේ?”

මේ ප්‍රශ්න චරිත්‍රාට අමුතු හෝ අලුත් දේවල් නොවේ.

මෙයට පෙර ඇය හා කෙටි දිගු සබඳතා තබා ගෙන හුන් සියල්ලම පාහේ ඇයව තෝරාගන්නටත්, ඇයව අගයන්නටත් යොදාගත් පාඨය වූයේ “ඔයා අනිත් අයට වඩා වෙනස් කෙල්ලෙක්” යන්නය. ඉතින් එහි තේරුම ඇසූ විට ළහිරුට දෙන්නට තිබෙන්නෙත් ඔවුන් දුන් ආකාරයේ පිළිතුරක් බව චරිත්‍රා හොඳින් දන්නවා වුවත් එය නැවත නැවත ඇසීමට ඇය ආසා කරයි.

මිහිකට අනුව තමා ඔහුට ආදරය කරන්නෙ මවකට මෙනි.

වෙනත් තරුණියකට නම් එය මහා ආඩම්බර විය හැකි කාරණාවක් වුවද චරිත්‍රාට අනුව නම් ඒවා “බොලඳ ප්‍රේමවන්තයින් ආදරේ ගැන දකින විදිහයි”.

ඇය ආසා කලේ අනිත් සියලුම කාන්තාවන්ට තරගයක් දෙමින් ඔවුන්ට වඩා වෙනස්ම කෙනෙකු ලෙස ඔවුන් ආදරය කරන, ඔවුන් හිමිකරගෙන සිටින පිරිමි හද සන්තානයේ ගැඹුරුම කෙලවරක නිදා හිඳින්නටය.

අවශ්‍ය නිමේශයක අවදි වූ අවුත් ඔවුන්ගේ මනස සහ සිරුර උණුසුම් කරවන්නටයි.

ඇයට අනුව ගැහැණු කම යනු එයයි.

“ඔයා අනිත් අය වගේ නෙවෙයිනෙ. හරිම ඕපන් මයින්ඩඩ්. මාර ෆෝවර්ඩ්. මම ඒකට කැමතියි. මම ආස නෑ ඔය බොරු අහිංසක කම් පාන අයට. එහෙම අය අවංක නෑ. ඔයා වගේ කෙලින් කතා කරන මිනිස්සු එක්ක බය නැතුව ආශ්‍රය කරන්න පුලුවන්”

“එතකොට ඔයා මාව මේ ආශ්‍රය කිරීමක් තමයි කරන්නේ? එහෙමද?”

එයට ලැබෙන්නට අවශ්‍ය පිළිතුර ප්‍රශ්නය ඇසූ චරිත්‍රා ළඟම ඇත.

එහෙත් ඒ පැනයට පිළිතුර ළහිරුගේ මුවින් අසනවා තරම් ආසාවක් චරිත්‍රාට තවත් නැත.

“මම ඔයාට ආදරෙයි.ඔයා ඒක දන්නවනෙ”

ඉතින් සතුටු වන්නට එයට වඩා තවත් කාරණාවක් අවශ්‍ය නැත.

සුන්දරම සිනහවක් මුව මත පළඳවාගෙන වාහනය හසුරුවන ළහිරු මොනතරම් නම් කඩවසම්ද?

ඇඟටම ඇලුණු සුදු පැහැ ටී ශර්ටයෙන් මනාව හැඩවුණු සිරුර ඉල්පී පෙනෙන්නේ ඔහුව බඳා තම ගතට තුරුලු කරගෙන උණුසුම විඳීමේ ආසාවකින් චරිත්‍රාගේ සිත කලබල කරවමිනි.

හනි බීච් හී සුවපහසු අසුනක හිඳගෙන සිටින ළහිරුගේ උකුල මතින් හිස තබාගෙන දෑස් පියා හුන් චරිත්‍රාට කල්පනා කරන්නට බොහෝ දේ තිබේ.

පෙර දිනයක මුහුණු පොතේ දුටු පෝස්ටුවක් ඇයට මතක් වූයේ අහම්බයෙනි.

ආදරය ජීවිතය පුරාවට හමුවනා අවස්තාවක් තුනකි.

පළමු අවස්තාව නම් පාසල් වියේ දී නොඑසේනම් ඉතාම ලාබාල වියකදී හමුවනා ප්‍රේමයයි.

එය කතාවක නොඑසේනම් චිත්‍රපටයක පෙන්නුම් කරනා ආකාරයේ ඉතාම බොලඳ, එහෙත් සිතට බරක් ගෙන නොඑන ප්‍රේමයකි.

ඉතාම සුලු ආකර්ෂණීය හේතුවක් පාදක කරගෙන ගොඩනැගෙන එකී ප්‍රේමය එලෙසින්ම සිතෙන් ගිලිහී යයි.

ජීවිතයත්, ආදරයත් ගැන බොහෝ දේ කියා දෙන ප්‍රේමයක් හමුවන්නේ දෙවන අවස්තාවේදීය. මේ ප්‍රේමය ප්‍රේමයක්ම දැයි කියා සැක සංකා පහල වන මට්ටමටම සිත් බිඳීම්, රිදීම් ඇති කරමින් අවසාන වන අතර ජීවිතය පුරාවට එහි නටඹුන් හද සුසානයේ තැන්පත් වී තිබීමට බොහෝ ඉඩ ඇත.

ජීවිතයේ සියලු ලතැවුල් නිවා දමමින්, සිත සැනසුමට පත් කරන්නා වූ ප්‍රේමයක් හමුවන්නේ තෙවන අවස්තාවේදීය. ඒ “මේ තමයි මම හොයපු කෙනා, මෙයාව තමයි මම බඳින්නෙ” යන සිතුවිල්ල සිත තුළ ඇතිකරලමිනි.

එහෙත් චරිත්‍රාට මේ ආදර කතාවල් පිළිබඳව කිසිදු හැඟීමක් නැත.

ඇයට අනුව ආදරය යනු පිරිමියෙකුට ගැහණියකගේ සියලු ඕනෑ එපාකම් කිරීමට ඇති හැකියාවයි. ගැහැණියකට නම් තම සුන්දරත්වයෙන් පිරිමියෙකු වශී කරගත හැකි වීමයි.

එහෙත් එසේ සිතූ ගැහැණියක පවා වෙනස් කරන්නට පුලුවන් වූ ආදරයේ මියුරුම වදන් ළහිරු ලඟ තිබේ.

ඒ අලුත් අත්දැකීමකි. අලුත් ජීවිතයකි. ඉතින් මුහුණු පොතේ අක්කලා නංගිලා කියන්නාක් මෙන් “ලස්සන කෙල්ලට ලස්සනට පිපෙන්නට වසන්තය ඇවිත් තිබේ”.

සැඳෑ අහසේ ලා රත් පාට ගැනත්, රන් පැහැ සේද සලුවකින් ගස් වැල් වසාගෙන ඇති හිරුගේ අවසාන රැස් කදම්බයන් ගැනත් කියමින් සිත සෙමින් පිරිමිදින අතරම තම අතැඟිලි වලින් ගෙල පිරිමදින ළහිරුගේ උණුසුම් ස්පර්ෂයන් චරිත්‍රාගේ දෙනෙත් පියවා තිබේ.

ආදරය මේ තරම්ම සුවදායකද?

මේ චරිත්‍රා කෙදිනකවත් දැන හුන් ආදරයක් නොවේ. වෙනස්ම ආදරයකි. ප්‍රභාත්, ධනංජය, මිහික කිසිවකු ළඟ නොතිබූ අන්දමේ ආදරයකි. ළහිරු ළඟ පමණක්ම තිබේ යැයි සිතෙන ආදරයකි.

සති අන්තයේ දවසක සැඳෑ කාලය බැවින් හනි බීච් හි සියලුම ආසන පිරී ඇත.

තැනක පෙම් යුවලකි. තවත් තැනක මිතුරු හවුලකි. එහෙත් කෙළවරම මේසයක හිඳ ඈතින් පෙනෙන වරාය නගරය සහ ඉන් ඉහල අහස දෙස බලා ආදරයේ පරම සුවයන් විදින ළහිරුට සහ චරිත්‍රාට ඔවුන්  බාධාවක් නොවේ.

“ඔයා කැමතිද මම දීපු රින්ග්  එකට?”

ළහිරු ඇසුවේ චරිත්‍රාගේ වමතේ රැඳී ඇති මුදුව සෙමෙන් කරකවිමිනි. ඇයගේ අතැඟිල්ලේ ප්‍රමාණය ගැන සිතෙන් ගණන් තබා ගෙන ගොස් පර්ල් ස්ටුඩියෝ වෙතින් මිළ දී ගත් ඒ මුදුව ඇයගේ අතට මනාව පෑහේ.

“ඔව්. ඒකනේ මම ඒක දාගෙන ඉන්නෙ. මම ආස නෑ රින්ග්ස් දාන්න. ඒත් මේ රින්ග් එක හරිම ලස්සනයි”

“ඔයා ආස නම් එච්චරයි”

මේ කතාවන් අතරතුර හදවතේ කොහේ හෝ තැනකවත් මිහික ගැන ජායාවක්වත් නොතිබූ බව චරිත්‍රාට සැක නැත.

“ඔබ එක් අයෙකු සමග සිටියදී තවත් අයෙකු පිළිබඳව සිතක් පහළ වේ නම් කරුණාකර පළවෙනියා අතහැර දෙවනියා තෝරාගන්න. මක්නිසාද යත් ඔබ පළවෙනියාට සැබෑවටම ආලය කරා නම් දෙවනියකු ගැන ඔබ සිතන්නේ නැති බැවිනි” යන කියමන සැබෑවක් බව චරිත්‍රා විශ්වාස කරයි. මිහික වෙනුවෙන් ළහිරුව අත හැරීමෙන් තමාටවත් මිහිකටවත් අත් වන කිසිදු සැනසුමක් හෝ සතුටක් නොවේ.

ඉතින් ඔහුගේ සුබ සිද්ධිය උදෙසා තමාගේ ජීවිතයෙන් ඔහුට යන්නට අවසර දීම හොඳ බව චරිත්‍රා සිතට ඒත්තු ගන්වමින් උන්නේය.

“යමෙකුගේ සතුට වෙනුවෙන් ඔබ ඔහුව අතාරින්නේ නම් ඒ සැබෑ ආදරයයි” බව මුහුණු පොතේ චරිත්‍රා ලියා තැබුවේ ඒ සොඳුරු ප්‍රේමණීය සැඳෑව අවසානයේ ළහිරුගේ රියෙහි නැගී නවාතැන වෙත නික්ම යද්දීය.

තමා මිහිකව අත හරින්නේ ඔහුගේ හොඳම වෙනුවෙනි. තමාගේ සිත වෙන අතක බැඳී තිබියදී මිහිකව මේ සබඳතාවයේ සිර කරගෙන හිඳීම යුතු නොවේ. වඩා වැදගත් වන්නේත්, වඩා උචිත වන්නේත් සැබෑ ආදරයේ නාමයෙන් ඔහුට තමාගෙන් ඈත්ව යන්නට ඉඩ දීමයි.

එය සිදු කිරීම සඳහා කටයුතු සලසා ගන්නේ කෙසේද යන්න ගැන පැහැදිළි ක්‍රමයක් චරිත්‍රා නොදැන හුන්නාය.

එහෙත් “අපි දෙන්න මෙහෙම තැන් දෙකක ඉඳගෙන රිලේශන්ශිප් එකක් කරලා වැඩක් නෑ මිහික. ඔයාට මාව ඕන වෙලාවට මම ඔයා ළඟ නෑ. මට ඔයාව ඕන වෙලාවට ඔයා මගෙ ළඟ නෑ. එහෙම සම්බන්ධයකට තේරුමක් තියෙනවද කියල මට හිතාගන්න බෑ.

අනිත් අතට ඔයා මාව ඔහෙට ගෙන්න ගන්න ඕන කිව්වට මට එක වෙලාවකට හිතෙනව මම ඇයි මගෙ කියන හැමදේම දාල එන්නෙ කියල.සම්බන්ධයක් ඇතුලෙ හැම තිස්සෙම කැපකිරීම් කරන්න ඕන ගෑණිමද?”

මෙවන් වචන කිහිපයක් ඒ කතාබහ අරඹන්න සහ තමන්ට අවශ්‍ය විදියට කතාබහ මෙහෙයවන්නට උපකාරයක් වනු ඇත.

සැබෑ ආදරය වෙනුවෙන් “මිහිකව නිදහස් කරනු පිණිස” චරිත්‍රා පිඹුරුපත් සැකසුවේ එසේය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles