සඳක් තනියම – 17

0
6880

අකලංකට වරෙක දැනෙන්නට වූයේ තම ජීවිතය නමක් නොදන්නා පාටකින් වර්ණවත් වන අයුරකි.  උදෑසන පැමිණ කාර්යාලයට ඇතුළුවන සෑම වතාවකම කාර්‍යාල කාමරය තුලින්  දැනෙන පිච්චමල් සුවඳට හුරු විලවුන් සුවඳ සිය පෙනහළු පුරා ආඝහනය කරන්නට ඔහු පුරුදුව උන්නේය..ඉන්පසු සොඳුරු  සිනහවකින් මුව සරසාගෙන තම අසුනෙන් නැගිට 

 “ ගුඩ් මෝර්නින් සර්… “ යැයි පවසන යුවතියගේ දසුන තමාගේ මුළු දවසම සුභ දවසක් කරනවායැයි  අකලංක සිතුවේය.සෑම උදෑසනකම මේසය මත වන වීදුරු බඳුනෙහි කානේෂන් මලක්, ලිලී මලක් ,රෝස මලක් හෝ ඩේලියා  මලක් විය. කාර්යාලයේ එක බිත්තියක් පිරෙන්නට සකසා  තිබූ ලී අල්මාරිවල පිළිවෙලකට ඇසිරූ  ෆයිල් කවර දශමයකින්වත් එහා මෙහා වී නැත.වෙනදා සේ මිටි ගණන්, කඳු ගනන්  මේසය මත ෆයිල් කවර නොවිණ.සැබෑ වෙනසක් ඇතිවී තිබුණේ කාර්යාලය කාමරය තුළ පමණක් නොවේ යැයි අකලංක සිතුවේය.ඒ වෙනස තම සිතුවිලිවලටත් බලපා තිබුණේ පුදුමාකාර ලෙසය. 

තරුණයා ප්‍රියංකාට දුරකථන ඇමතුමක් ලබාගත්තේ කාර්යාලයෙන් පිටවී ආපසු පැමිණෙන්නට සිතා වාහනයට නැගුනාට පසුවය..සිත වෙහෙස වී සොයන්නේ මොනවාදැයි ඔහුට  නොතේරේ.

“ ඉතින් කොහොමද පුතේ….කොල්ලට කාලෙකට පස්සේ මාව මතක් වෙලා.මට නිතර කතා නොකළට මං මගේ කෙල්ලගෙන් විස්තරනම් හැමදාම අහනවා.”

“ අප්පේ.. කෝල් එක ගතපු ගමන් හිතුනා මං කෝල් කලේ  අපරාදේ කියල..”

“ ඒ මොකද දරුවෝ…”

“ ටීචවනං අමතක වෙන්නෙ නෑ මගේ හුස්ම තියෙන කල්. අර ටීචර්ගේ කෙල්ල මං ගැන ගෙදර ඇවිල්ලා විස්තර කියනවනම් ඒවා එච්චර හොඳ ඒවා වෙන්න බෑ නේ.ඔය කෙල්ල මා එක්ක තරහ ඇති.”

“ අනේ පුතේ නෑ…කෙල්ල මට තවම නං වරදක් කියලා නෑ. ටිකක් කම්මැලියි කියලා නම් කියලා තියෙනවා හැබැයි.”

“ ඒක වෙන්න බෑ…”

“ ඉතින් කොහොමද පුතේ.අම්මා, තාත්තා ,අයියා ,අක්කා ඔක්කොමලා සනීපෙන්ද..”

“ ඔක්කොම හොඳින් ටීචර්..ටීචර්ට කොහොමද.”

“ මමත් හොඳම හොඳින් ඉන්නවා.දැන් ඉතින් මට පාළු නෑ..”

“ දිනාරා ඉන්නවනේ නේද…”

එයා ඉන්නා තැනක පාළුවක් නොවේයැයි කියන්නට සිතුණත් ඔහු එවදන් ගිල ගත්තේ සිනහමුසුවය.

“ ඒකනේ පුතේ…කොහොමද ඉතින් මගේ කෙල්ල. අම්මටනම් කතා කරපු වෙලාවේ කිව්වා හොඳින් වැඩ කරනවා කියලා මහින්ද මහත්තයා කිව්වලු . පුතා තමයි හරියටම දන්නෙ. මොකද පුතානේ එයාගේ බොස්.”

“ කියන්න තරම් වරදක් නෑ ටීච.මගේ තමයි වැරදි තියෙන්නේ”

“ අනේ නෑ පුතා එහෙම  වරදක් කිව්වේ නැහැ. පුතා එක්ක යාළුවෙක් වගේ වැඩ කරන්න පුළුවන් කියලා හරි සතුටින් එයා ඔෆිස් එන්නේ.”

“ මං සමහර වෙලාවට මගේ ඔක්කොම වැඩ දිනාරා පිට පටවනවා. එයාට  මහන්සි ඇති ටීචර්.”

“ කෙල්ල එහෙම කතාවක් කිව්වේ නෑ පුතේ. සතුටින් වැඩ කොටස කරනවා.මට ඉගෙන ගන්නත් ගොඩක් දේවල් තියෙනවා කියලා නිතරම කියනවා..ඒක ලොකු දෙයක්නේ පුතේ “

“ ටීචර් බලල යන්න පුළුවන් තරම් ඉක්මනට එන්නම්.අම්මත් කිය කියා හිටියේ එන්න ඕනෙ කියලා.”

“ අනේ නෑ පුතේ ඒකට හදිස්සි වෙන්න ඕන නෑ.පුතා හොඳට වැඩ ටික කරගෙන යන්නකෝ.පහුගිය දවස්වල පුතා ඔෆිස් එකේ වැඩ මග හරිනවා  කියලා අම්මත් හිටියේ ටිකක් හිතේ කරදරෙන්. මං දන්නව පුතේ , අනිත් දරුවන්ට වඩා හොඳ නරක තෝරගන්න ශක්තියක් ඔයාගේ හිතේ තියෙනවා කියලා. තාත්තා මේ දේවල් ගොඩනැගුවේ අමාරුවෙන්.ඔය දෙන්න වෙනුවෙන් ආරක්ෂා කළේ අමාරුවෙන්. දැන් අපි එයාලට මානසික සුවයක් දෙන්න ඕනේ කාලේ පුතේ මේ..”

“ මට තේරෙනවා ටීචර්..අයියා හැම දෙයක්ම බලලා හොයලා කරන නිසා මම නිදහස් කියලා මට හිතුනේ. මං කොහොමටත් සැහැල්ලුවෙන් ඉන්න කැමති කෙනෙක්නේ.. ඒත් පහුගිය දවස් ටිකේ ඔෆිස් එක ඇතුලෙදි මට තේරුණා මගෙන් කෙරෙන්න ඕන ලොකු වැඩ කොටසක් දන්නෙම නැතුව මගහැරිලා  කියලා. අයියට පැවරිලා තියෙන රාජකාරීත් එක්ක එයා මගේ වැඩ කොටසක් කලේ අමාරුවෙන් කියලා.හැම තිස්සේම එයා මාව රැක ගත්තා..”

“ හරියට හරි පුතේ…තමන්ගේ අතින් දැනුවත්ව හෝ නොදැනුවත්වම වරදක් නේද වෙලා තියෙන්නේ කියලා තේරුණා නේද.”

“ ටීචර් ඉස්සර වගේ..මට ඉස්කෝලේ මතක් උනා.”

“ඇයි පුතේ එහෙම කියන්නේ

“ නැහැ…ටීචර් අපිට කවදාවත් ගහලා බැනලා වැරදි පෙන්නුවෙ නෑ.ටීචර් වචන තුන හතරක් කතා කරද්දි ඉබේටම අපේ වැරදි ටීචර් ඉස්සරහා පිළිගන්න අපිට සිද්ධ වුණා..ඉස්සර අපි වරදක් කරලා කාගෙන් හැංගුනත් ටීචගෙන් හැංගෙන්න බෑ.”

“ එහෙම උනේ  ඔයාල මට ආදරේ උන නිසා පුතේ.”

“ ඒකනේ..අමතක කරන්න බැරි..මං ටීචර්ගෙන් දෙයක් අහන්න හිටියේ.”

“ මොකක්ද පුතේ..”

“ මට දිනාර කිව්වා ටීචර් දැන් නිවාඩු දාලා ගෙදර ඉන්නෙ කියල.අසනීපයක් එහෙම නෙමෙයි නේද.”

“ අනේ නෑ පුතේ. මට හිතුනා පොඩි විවේකයක් ගන්න ඕනේ කියලා.”

“ එහෙමනම් කමක් නෑ.  මොනවා හරි  උදව්වක් ඕන වුනොත් මට නොකියා ඉන්න එපා. එහෙනම් මං තියන්නම් ටීචර් බුදු සරණයි.”

“ මගේ කෙල්ල  ඔයා ගාවට  එව්වේ ගොඩක් විශ්වාසයෙන්. එයාට කොහෙවත් වැඩ කරල පුරුද්දක් නෑ. ඒ නිසා වරදක් උනත් ඉවසීමෙන් කියලා දෙන්න පුතේ..බුදු සරණයි මගේ පුතාටත්..”

‘ එයා මටත් ජීවිතේ කියා දෙනවා..’ යැයි කියන්නට සිතුණත් එවරත් අකලංක තම වදන් ගිල ගත්තේය. 

මුලින්ම දුරකථනය විසන්ධි වී  ගියේ එහා පසින්ය. හෙමින් හෙමින් මාර්ගයට අවතීර්ණ කරගත් වාහනය අකලංක විසින් ඉදිරියට පදවා ගෙන ගියේ දිනාරා ගැන කල්පනාවේය. මෙවේලෙහි වේගවත් ගමනක් නොවේ.ඇස් වාට්ටුව ඉදිරිපස වන මල් කඩ පසු කරද්දී ඔහුට යළිත් සිහි වූයේ දිනාරාය. කාර්යාලයේ කා අතරත් දැන් ඈ ප්‍රසිද්ධය.

“ ලඟදි ඡන්දේ ඉල්ලන්නවත් බලාපොරොත්තු වෙනවද….”

දිනක් ඔහු ඇසුවේ කාර්යාල කාමරයට පිවිසෙන්නට පෙර ඇයව හමු වූ අතරමගකදීය.

“ ඇයි සර්….”

“ නෑ හැමෝටම හිනා වෙවී එන්නේ…නොමිලේ දෙන්න පුළුවන් එකම දේ බෙදනවා වගේ.”

ලැජ්ජාවෙන් රතුව ගිය යුවතිය බිම බලා ගත්තේ සිනහ සෙමින්ය.

දිනාරාගේ මව පියාත් නොමැති බවත් ඇය හැදී වැඩී තිබුණේ අත්තම්මා සමග බවත් අකලංක හා පැවසූයේ තේජාය. ඒ ඇය ප්‍රියංකා ටීචර්ගෙන් දැනගත් විස්තර වන්නට ඇතැයි අකලංක සිතුවේය.

“ පව් සමහරවිට ඒ ආච්චි අම්මත් නැති උනාද දන්නෙ නෑ..කොළඹට ආවේ..”

යනුවෙන්  තමාටම මුමුණාගත් තරුණයා වාහනය නතර කලේ දියණිය වෙනුවෙන් යමක් මිලදී ගන්නටය.

මාසයක පමණ ඉහතදී  දියණිය පෙර පාසලට  ඇතුළත් කර තිබිණ. උදෑසන සොහොයුරා හෝ අකලංක සමඟ පෙර පාසලට යන ඇයව දහවලට නිවසට රැගෙන යන්නේ නර්මදාය..අකලංක නිවසට ගිය පසුව ඇයට දැන් පවසන්නට ඕනෑ තරම් දේ වේ. වැඩිපුරම වූයේ අලුත් යහළුවන් ගැන විස්තරය.

*****-***—–******——*****——******—-

සචින්ගෙ උපන්දිනය යෙදී තිබුණේ ඉරිදාය. එනිසා නිවාඩුවක් ගැනීමෙහි අවශ්‍යතාවයක් දිනාරාට   වූයේ නැත.සෙනසුරාදා  දිනයේ සිට නිවස පිරිසිදු කළ ප්‍රියංකා ඔහු වෙනුවෙන් අහල පහළ දරුවන්ට බෙදා දීම  සඳහා පැණි රස කෑම වර්ග කිහිපයකුත් තෑගි බෝග කිහිපයකුත් ගෙනවිත් තිබිණ. තොප්පියක හැඩය ගත් උපන්දින කේක් ඒක ගෙන ආවේ හිමාෂාය. ඇය වේලාසනින්ම පැමිණ ප්‍රියංකාට  එකතු වූයේ  කැමැත්තෙන්මය. රාත්‍රී ආහාරය සඳහා කහ බතකුත් , වම්බටු මෝජුවකුත් ,කුකුළු මස් ව්‍යාංජනයකුත් අල කිරි හොද්දකුත් කට්ලට් සහ පපඩම් බැදුමකුත් විය . කුඩා විසිත්ත කාමරය  සරලව සරසමු යැයි යෝජනා කළේ හිමාෂාය.ඈ කේක් එකේ නිල් පැහැයෙන්ම ඒ සඳහා අවශ්‍ය දෑ ගෙනැවිත් තිබිණ.

මේ කිසිවකට ප්‍රියංකා දිනාරාගේ මුදල් ලබා ගත්තේ නැත.  අධ්‍යාපනය සඳහා වියදම් කළ පසු ඉතිරි මුදල් සියල්ලම දිනාරාගේ  ගිණුමේ ඉතිරි විය යුතු බව ඈ කීහිප  වරක්ම දිනාරාට අවධාරණයෙන් පැවසුවාය. තමාටත් සොයුරාටත් හිසට සෙවනක්, සැනසිලි සහගත ජීවිතයත් , ආරක්ෂාවක් , මව් සෙනෙහසක් දී  නොනැවතුණු ඇය තම ධනය පවා නිර්ලෝභීව වියදම් කරමින් පෙර සංසාරයක පුරුද්දක් සේය.

“ ඔයා හරි වාසනාවන්තයි දිනාරා. දරුවෙකුට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නැති වෙනවා කියන්නේ එයාගේ ජීවිතේ කවදාවත් මොනම දෙයකින්වත් පුරවන්න බැරි හිස් තැනක් ඇතිවෙනවා කියන එක. ඒත් ඔයාගේ ජීවිතේ එහෙම නෙමෙයි.ඒ හිස්තැන හරි ලස්සනට ප්‍රියංකා ආන්ටි  පුරවනවා.ඔයා විතරක් නෙමෙයි ප්‍රියංකා ආන්ටිගෙන්  දවසක් හරි ඉගෙන ගත්තු හැම දරුවෙක්ම වාසනාවන්තයි කියලා මට හිතෙන්නේ..මටත් දැන් මෙහේ නවතින්න හිතිලා තියෙන්නේ”

ඇයව හමු වූ මුල්ම දිනයේදී පවා හිමාෂා පැවසුවේ එ⁣සේය.

“ ඉස්සර ප්‍රියංකා ටීචර් පන්තියට ආවහම පාඩම විතරක් නෙමෙයි කරන්නේ.අනිවාර්යයෙන්ම විනාඩි හතක් අටක් අරගෙන අපිට ජීවිතයට එකතු කරගන්න මොනවම හරි දෙයක් කියනවා.ඒ චූටි චූටි දේවල් ගොඩක් හිත්වල ලියවුනා .සමහර තැන්වලදී ප්‍රායෝගිකව ජීවිතය අත්හදා බලද්දි මුලින්ම අපිට මතක් වුනේ ටීචර්. මං විතරක් නෙමෙයි. ටීචර්ගෙන් ඉගෙන ගතපු හැම ළමයෙක්ටම තමන්ගේ අම්මව අමතක කරන්න බැහැ වගේම ටීචර් අමතක කරන්නත් බැරුව ඇති.”

දිනාරාට  සිහිපත් වූයේ පෙර දිනක අකලංක කාර්යාලයේදී පැවසූ වදන්ය.දැන් යම් අදහසක් සිතුවිල්ලක් හෝ යෝජනාවක් දෙදෙනා අතර හුවමාරු කරගන්නට තරම් ඔවුන් හිතවත්ය.ඉඳහිට කාර්යාලයට කඩා වදින ඔහුගේ  මිතුරන්ද දිනාරා හා  වදනක් දෙකක් කතා කරන්නේ හිතවත්වය.

“ මොකද තනියෙන් හිනා වෙන්නේ ගමේ බෝයිෆ්‍රෙන්ඩ් මතක් උනාද…”

හිමාෂා ඇසුවේ යෙහෙළියගේ මුහුණට වැටී තිබූ කෙහෙරැල්ලක් කන පිටුපස රඳවාලන ගමන්ය.

“ එහෙම කෙනෙක් ගමේ හිටියනම් මෙහේට එන්නෙ නෑනේ ගමටම වෙලා එයා ලඟට වෙලා ඉන්නවා මිසක්කා “

“ එහෙනම් දැන් මෙහෙන් කෙනෙක් හොයාගන්න තියෙන්නෙ.ඇත්තටම කාව මතක් වෙලාද හිනා ගියේ.”

“කාවවත් මතක් වෙලා නෙමෙයි අනේ.. අකලංක සර් කියපු කතාවක් මතක් වුනා.”

“ඒ මොකක්ද ඒ..”

“ ප්‍රියංකා ආන්ටි  ගැන..ආන්ටි ඉස්සර ඉස්කෝලෙ උගන්වන කොට සබ්ජෙක්ට්  එක විතරක් නෙමෙයිලු  කරන්නේ.විනාඩි හතක් අටක් අරගෙන ජීවිතයට ඕන වෙන මොනවා හරි පොඩි දෙයක් කියලා දෙනවලු.සර් කියනවා…සමහර දේවල් ප්‍රායෝගිකව කරන්න යද්දි ටීචර්ගේ ඒ වචන මතක් වෙනවා  කියලා.”

“ ආ ….ඉතින් ඕක එච්චර දුරදිගට කියන්නේ නැතුව අකලංක සර්ව මතක් උනා කිව්වනම් ඉවරයිනේ..සර්ගේ යාළුවෝ ඔයාව සර්ට අල්ලලා විහිළු කරනව නේද.”

“මට ඇහිලා නෑ…”

“ඇහිලා නැද්ද ඇහෙන්නෙ නෑ වගේ ඉන්නවද..විශ්ව සර්රුත් සමහර වෙලාවට අකලංක සර්ට ඔයා ගැන කියලා විහිළු කරනවා.”

“ අනේ පිස්සු…”

“පිස්සු නෙමෙයි කෙල්ලේ…මටත් වෙලාවකට හිතෙනවා අකලංක සර් වෙනස් වුණේ ඔයා ඔෆිස් එකට ආවට පස්සේ කියලා.”

“ මොනවද අනේ ඔයා මේ කියන්නේ. කාට හරි ඇහුනොත් මගේ ජොබ් එකත් නැති වෙනවා.”

දිනාරාගේ ජංගම දුරකථනය නාද වූයේ දෙදෙනාගේ කතාවට විරාමයක් තබමින්ය.ඇමතුම වලව්වේ රියදුරාගෙන්ය.

(යළිත් හමු වෙමු දයාබරව )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here