සාගර තරංගා – 6

0
1272

“තාත්තගෙ ආදරේ ලැබුණනම් සමහර විට සනුකි මීට වඩා සන්තෝසෙන් ඉන්නයි, ඉක්මනට ලෝකෙට හැඩගැහෙන්නයි තිබ්බා” කියා තමන් කොච්චර නම් වාර ගණනාවක් හිතා තිබේද කියාත් තරංගාට නොහිත ඉන්න පුලුවන් උනේ නැත. තරංගා සනුකිත් ඇයව වඩාගත් ඒ තවමත් නමවත් අහගත්තේ නැති මිනිසාත් පිටුපස වන් ගෝල් ෆේස් මෝල් එකෙන් එලියට එන තුරුම ඇවිද ආවේ ඒ කල්පනාව ඔස්සේය. 

“මේ….මේ. මට අමතක උනා ඔයාත් එක්ක මං ආවෙ කියලා. මම මේ වාහනේ එලියට දාලා දැන් ටිකක් දුර ඇවිල්ලා ඉන්නෙ. ආයෙ හරවගෙන ට්‍රැෆික් එකේ එන්නත් බෑනෙ. ඔයා ටුක් එකක් දාගෙන එන්න” කියා මේධංග කිව්වයින් පස්සේ තමන්ට කියන්න හෝ අහන්න දෙයක් නැති බව තේරුම් ගත්ත තැන තරංගා දුරකතනය තැබුවාය. හිත ඇතුලෙන් ගඟක් පිරෙන්න කඳුලු වක්කරන්න හැකියාව තිබුනත් තරංගා  කිසිත් වෙනසක් නොපෙන්වා සනුකිව වඩාගෙන උන් ඒ මිනිසා වෙත නෙතු පාකලාය.

“පොඩි අර්ජන්ට් වැඩක් ඇවිල්ලා හස්බන්ඩ්ට හදිසියේ යන්න වෙලානෙ. මම පික් මී එකක් දැම්මා. අනේ තැන්ක්ස් මෙයාව මෙච්චර වෙලා වඩාගෙන හිටියට, මට දෙන්න බබාව, පික් මී එක දැන් ලඟ තියෙන්නෙ මිස්ටර්” කියා සනුකිට තමන්ගේ තුරුලට එන්න අත පෑවද සනුකි වඩා තදින් ඒ මිනිසාගේ උරහිසේ එල්ලෙද්දී තරංගා උන්නේ කරකියා ගන්න දෙයක් නැතුවය. අනෙක් අතට කවුරුන් හෝ මතින් පිටකරන්නට පුලුවන් අන්දමේ දුකකුත් තරහකුත් හිත අස්සේ තද කරගෙනය.

“ඔයා කොච්චර ට්‍රයි කරත් මං හිතන්නෙ මෙයා නම් අද මගෙ අතෙන් ගැලවෙන්නෙ නැති පාටයි. ඉෆ් යූ ඩෝන්ට් මයින්ඩ් අයිල් වෝක් යූ ගයිස් ටු ද එන්ට්‍රන්ස්. එතනදි වෙහිකල් එකට නගිනකම් නෙ වඩාගෙන ඉන්න තියෙන්නෙ, නේද බෝනික්කි” කියා ඔහු ආයෙම වරක් පියවර තබා යද්දී තරංගා කලේ රොබෝවරියක මෙන් තමන්ගේ ශරීරය ඔහු පස්සෙ ගෙන යන එක පමණකි.

පික් මී රිය පැමිණ වන් ගෝල් ෆේස් එකේ එන්ට්‍රන්ස් එක ලඟ නතර කරගෙන ඉන්නා බව පික් මී ඇප් එකෙන් පෙන්වද්දී සනුකිව තමන් වෙත ගන්නට ආයෙම වරක් අත දිගු කරත් සනුකි අම්මා අතට එන්න කැමැත්තක් දැක්වුවේ නැත.

සනුකි මුලින් කාරයට නගින්නට පවා අකමැත්තක් දැක්වුවත් ඔහුගේ වචනවල රැඳී තිබුන කුමක් හෝ විග්‍රහ කරන්නට අපහසු ලයාදර බවක් සනුකිව ඔහුගේ අතෙන් තරංගාගේ අතට මාරු කරන්නට හේතු විය.

“ආයෙ අපි හම්බුවෙමු පුතා හරිද? අංකල් එන්නම්කො ඔයාව බලන්න. අංකල් ආවෙ නැත්තම් ඔයා එන්න අංකල්ව බලන්න” කියා සනුකිට සුරතලයෙන් කියූ ඔහු වාහනයේ දොර පරිස්සමෙන් වසා දමා තරංගාට අත වනද්දීත් තරංගා කලේ සිනාවකින් සංග්‍රහ කල එකම පමණි.

ඇත්ත ජීවිතේ මෙලෙසින්ම මේධංග රැඳී උන්නා නම් කියන හිත රිද්දන සිතුවිල්ලක අතරමංව උන්නු තරංගාට “මං එයාගෙ නමවත් ඇහුවෙ නැති එක ගැන ඒ මනුස්සය මොනවා හිතුවද දන්නෙ නෑ” කියා කල්පනා උනෙත් කුලී රිය වන් ගෝල් ෆේස් මෝල් එකෙන් බොහෝ දුරක් ආ පසුවය.

ගෙදර යනතුරුත් මේධංග තමන්වත් සනුකිවත් අමතක කර දමා මෙන් ආපහු ආ එක ගැන දහසක් දේ හිතමින් තරංගා හිතුවේ “නෑ මම මේධංග එක්ක රණ්ඩු වෙන්නෙ නෑ” කියා ය. එහෙත් සනුකිව වඩාගෙන ගේ ඇතුලට යද්දී සාලෙ පුටුවක වාඩි වී තේකක් බොමින් ෆෝන් එක දිහා බලාගෙන ඉන්න මේධංගව දැක්කම මේධංගව මරාගෙන මැරෙන සිතුවිල්ලක් හිත අස්සට ආ එක වරදක් නැති බව තරංගා හිතුවාය.

“මොකද්ද මේධංග ඔයා ඒ කරපු ජරා වැඩේ?” කියා තරංගා මේධංගව විමසුවේ සනුකිව කාමරයෙන් පරිස්සමට තබා එන ගමන් ඇයට සෙල්ලම් කරන්න සෙල්ලම් බඩු ටිකකුත් ලං කර දීලාය. 

“ඕකෙ ඔච්චර කෑගහන්න දෙයක් නෑනෙ. මට වැඩ එක්ක අමතක උනා. අනික මේ මහ දුරක් නෙවෙයිනෙ. පික් මී එකක් දාගෙන එන්න බැරිකමක් නෑනෙ. ඔය දැන් ආවෙ” මේධංග කිව්වේ එක මොහොතකටවත් දුරකතනයෙන් ඇස් දෙක එලියට ගන්නේ නැතුවය. 

“කෑගහන්න දෙයක් නෑනෙ? කෑගහන්න දෙයක් නැත්තෙ කියන්නෙ තමුන්ට අමතක උනේ හොර ගෑණිවයි හොර ළමයවයි නෙවෙයි මිනිහෝ තමුන්ගෙ කසාද ගෑණිවයි, දරුවවයි. අමනුස්සයෙක් වගේ කතා කරන්න එපා මේධංගඅමනුස්ස වැඩ කරලා. මේ අවුරුදු ගාණම මම ඔයායි ඔයාගෙ අම්මයි කියන ජරා කතා ඔක්කොම අහගෙන හිටියා. මට විතරක් කිව්ව කතා නම් තව කමක් නෑ. තමුන්ගෙ දරුවට ඔයාලා කිව්ව කතා පවා මම අහගෙන හිටියා. 

ඒ දරුවා ලෙඩ දරුවෙක් උනේ මගෙන් වරදෙන් කියලා කියන්නෙ කොහොමද මේධංග? මගේ පව්කාරකමට තමුන් වගේ මිනිහෙක් බැඳගත්ත එකේ ඒ දරුවට ලෙඩ වෙන්න උනෙයි, මේ වගේ අපායක, තමුන් වගේ තාත්තෙක්ට දාව ඉපදෙන්න උනෙයි කරුමක්කාරකමට වෙන්න බැරි ද?

එච්චර දේවල් අහගෙන, හැම මල හත්තිලව්වම තනියම කරගෙන ඉන්න මාවයි දරුවවයි මග දාලා එන පව්කාරයෙක්ව කසාද බැඳගන්න වෙච්ච එකයි මේධංග කාලකණ්ණිකම, පව්කාරකම. ඔයා නෙවෙයි පව් කරලා තියෙන්නෙ මමයි මගෙ දරුවයි. අපියි පව්කරලා තියෙන්නෙ, අපි.

හම්බුවෙච්ච වෙලාවෙ මැරිලා යන්නෙ නැතුව, තමුන් වගේ මිනිහෙක්ට තාත්තේ කියාගෙන ඉන්න වෙච්ච එකම ඇති මනුස්සයො මගෙ දරුවට ආත්ම ගාණක් විඳවන්න.අම්මලා කියන දේ අහන්නෙ නැතුව මාව කසාද බැන්ද එක වැරදියි කියලා තමුන්ගෙ අම්මා කියනවා නේද? ඔව් මේධංග ඇත්ත ඇත්ත. හැබැයි වැරැද්ද උනේ මට. අඩුම ගානේ, අඩුම ගානෙ අම්මලා හොයලා දුන්න මිනිහෙක්ව බැඳගත්තා නම් අඩුම ගානෙ ඒ මිනිහ මට මොන විදියට සැලකුවත් මං මූට ආදරේ නෑනෙ කියලා හිතලා හරි මට හිත හදාගන්න තිබ්බා.” 

තරංගා එක හුස්මට කියාගෙන කියාගෙන ගියේ දවසක් දෙකක් නොව අවුරුදු දෙකකට ආසන්න කාලයක් තිස්සේ හිතේ හිරකරගෙන, වාං දමන්නට මෙන් උන් දුකක් වචන කරය. ඒ වචන අස්සේ තිබ්බේ කෝපයක් කියා මේධංගත්, කුස්සියේ ඉඳන් ඔක්කොම දේවල් අහගෙන උන්නු කුසුමලතාත් හිතුවත්, ඒ හැම වචනයක් අස්සේම හැංගී තිබුනේ අවුරුදු ගාණක් තිස්සේ දරාගත්ත, එහෙත් දරාගන්නට අපහසු වෙච්ච සාගරයක් බඳු වේදනාවක් බව දැන උන්නේ තරංගා පමණකි.

“මොකද්ද ළමයො මේ කෑගැහිල්ල, කොහෙ හරි ගිහින් ආවොත් ඇත්තන් මාරාවේස වෙලානෙ එන්නෙ? හරියාවිද ඉතින් ඔහොම ගෙදරකට” කියාගෙන කුසුමලතා කුස්සියෙන් එලියට ආවේත් ඔන්න ඒ මොහොතේය. වෙනදාක නම් නැන්දම්මා මොන දේ කිව්වත් තරංගා සද්ද නැතුව එතන මග හැර යනවා උනත් අද උන්නේ එහෙම ලේසියෙන් මග ඇර යන අන්දමේ තරංගා කෙනෙකු නොවේ.

“හරියාවිද? හරියාවිද කියලාද අහන්නෙ? දැන් මෙච්චර දවසක් මේ ගෙදරට වැරදිලා තියෙන්නෙ මං හින්දා නේද? එතකොට මේ ගෙදර උන්නු මිනිස්සු හින්දා මේ ගෙදරට හරි ගිය එක විතරම නම් වෙලා තියෙන්නෙ මට මෙහෙම කෙල වුනේ කොහොමද? ආහ් කියන්නකො බලන්න, මං ආසයි දැනගන්න. කොහොමද කියන්න මටයි මගෙ දරුවටයි මෙහෙම කෙල වුනේ, ආ කියන්න ඉතින් කියන්න” කෙස්ස අවුල් කරගෙන දාඩිය දාගෙන කතාකරමින් උන් තරංගා අත් දෙක සොලවමින් මේධංගගේ ටී ශර්ට් එක අල්ලගෙන මේධංගව සොල්ලමින් එහෙම ඇහුවාය.

“කට වහගනිං. කට…… වහගනිං” වේගයෙන් තරංගාව සෙටියට තල්ලු කරමින් මේධංග කිව්වෙ ඇඟිල්ල උරුක් කරගෙනය.

“මගේ ගෙදර මගෙන් කකා බිබී ඉන්න ගමන් මට සද්ද දාන්න තමුන් කවුරු කියලද හිතන් ඉන්නෙ? උඹ දැනගනිං, ලෙඩ ලමේක් හදාගෙන, මගෙ ජීවිතේ කාලකණ්ණි කරන ගමන් තව තමුන්ගෙ හයිරංකාරකං මෙතන කියවන්න තියාගන්න එපා.

මට ඕන නං මං වන් ගෝල් ෆේස් එකේ නෙවෙයි තමුන්වයි තමුන්ගෙ ලෙඩ ළමයවයි දෙන්නම පාරට ඇදලා දානවා සත්තු වගේ. මෙච්චර දවසක් මං මේ කාළකණ්ණිකම ඉවසන් ඉඳියා. ඩිවෝස් කරනවා තමුන්ව මං. තමුන්ටයි  අර කාලකණ්ණියටයි  යන එන මං නැතිකරනවා මම ඩිවෝස් කරලා දාලා.

තමුන් කොච්චර නෑ කිව්වත් ඔය ළමයා ලෙඩෙක්. ලෙඩ ලමේක්ට තාත්තා වෙලා මට මගේ ජීවිතේම විනාස කරගන්න ඕන නෑ. කරුණාකරලා ලෑස්ති වෙනවා ඩිවෝස් වෙන්න. මොන මල කරුමයක්ද ඕයි මේක?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here