සාගර තරංගා – 8

0
6915

තරංගා සනුකිත් එක්ක දෙණියායේ අයියලාගේ ගෙදර ගොස් සති දෙක තුනක් යන්නට කලියෙන් වර්ක් ෆ්‍රොම් හෝම් කරන්න පුලුවන් රස්සාවක් හොයාගන්න සමත් වුණාය. නර්මදා ඒක ගැන කිව්වේ “මේධංග පිටුපෑවට නංගි දිහා දෙයියො බලනවා” කියාය.

“දෙයියො නොබැලුවට කමක් නෑ අක්කෙ, මං දන්නවා මගෙ කෙල්ලට මගෙයි අයියගෙයි අක්කගෙයි බැල්ම වැටෙන බව මොනවා උනත්” කියා තරංගා කිව්වේ මේ දවස් ටිකට පවා නර්මදා අක්කා පෙන්නූ ආදරයත්, ලෙංගතුකමත් දරාගන්න බැරි තැන ය.

“නංගි දැන් තාම කල්පනා කරන්නෙ කොළඹ ගිහින් නතර වෙන්නද?” කියා භානුක ඇහුවේ රාත්‍රියේ කෑම කන අතරවාරයේය. කොළඹ ගෙදර ඉද්දි සනුකිට කවාගන්න දාහක් නැටුම් නටන්න තරංගාට සිද්ද උනත් මෙහිදී නර්මදා අක්කා සනුකිගේ අම්මාකම කැමැත්තෙන්ම බාරගත්ත හන්දා ආස දෙයක් ආස පිලිවෙලට බඩට දාගන්න එක තරංගාට මහ ගැටලුවක් උනේ නැත.

“යන්න ඕනනෙ අයියෙ. මොක උනත් දරුවගෙ දොස්තර ඉන්නෙ එහේ. අනික අයියෙ අයියලට කියලත් මොන කරදරයක්ද මෙහෙම මම වැටිලා ඉන්න ගියාම. මිනිස්සු අහන ඒවට උනත් උත්තර දෙන්න වෙන්නෙ අයියලටනෙ”

“දොස්තර ඉන්නෙ කොළඹ කියන කාරණාව නම් ඇත්ත. අපිට කරදරයි කියන කතාව නම් බොරුවක් නංගියෙ. මං නම් ඉතාම කැමතියි නංගියි දරුවයි දෙන්නෙ ඔය නොදන්න තැන්වල ඉන්නවට වඩා මෙහෙ ඉන්න එක ගැන. නංගිත් රස්සාව කරන්නෙ ගෙදර ඉඳන් එකේ මට බැරිය නංගිට බැරිවෙලාවට දරුවව බලාගන්න. නේද පුතේ?” කියාගෙන නර්මදා තව බත් කටක් සනුකිගේ කටට ලංකලේ ආදරයෙන් කිරි සුවඳ හමන හිස සිඹිමිනි.

“කවදා වෙනකම් අක්කා ඕක කරන්නද අක්කෙ? මේ දවස් ටිකෙත් අක්කගෙ අතේමයි දරුවා උන්නෙ. අක්කා දරුවත් බලාගෙන ගෙදර වැඩත් කොහොම කරන්නද? අනික අක්කෙ ඇත්තටම අක්කා උනත් මං හන්දා එහෙම වදවලට කරගහන්නෙ මොකටද? ඔක්කොටම ලේසියි අක්කෙ මං කොලඹ ගියාම. දොස්තර ඉන්නෙද, බබාගෙ ලර්නින්ස් සෙන්ටර් එකද ඔක්කොම තියෙන්නෙ එහෙ වෙච්චි කොට. මං කීප පලක්ම බැලුවා. කම්පියුටරෙන් දකිනවා වගේ නෙවෙයිනෙ ගිහිල්ලම තමා බලන්න ඕන ඉතින්”

“යන නොඑන එක නංගිගෙ තීරණේ. අපිට නම් ඇත්තටම නංගිවත් දරුවවත් වැඩියක් නෑ නංගි. මොකෝ මේ ගෙදර වෙන කවුරු කියලද ඉන්නෙ? හැබැයි ඒව නංගි, නංගිගෙ පහසුවයි දරුවගෙ සුබසෙතයි බලලා ගන්න ඕන තීරණනෙ. ඒවට අපි විරුද්ධ වෙන්නෙ නෑ. දැන් ඔය කොළඹ ගෙවල් බැලිල්ල මං කියන්නෙ ගෑණියෙක්ට තනි පංගලමෙ කරන්න ඇහැක් රාජකාරියක් නෙවෙයිනෙ. මම එන්නම් නංගි එක්ක ගිහිල්ලා බලන්න. අක්කට බැරිය ඔය දවසකට පොඩි එක්කෙනාව පරක් කරගන්න”

තරංගා කොළඹ නතර වෙන්න හොඳ තැනක් හොයාගන්න අයියා එක්ක කොළඹ ගියේ සනුකිව අක්කා ළඟ තියාය. මහරගමද, නුගේගොඩද, බොරැල්ලෙද හැම තැනම ගෙවල් හොයන්න මහන්සි වෙන්න වෙච්ච එක ඇත්තකි. ඒත් ඊටත් වඩා මහන්සි දැනුනේ හිතටය.

“ඔයා විතරද ඉන්නෙ?” කියා අහන මිනිස්සුන්ට “මමයි මගෙ බබයි” කියා කිව්වට පස්සෙ ඒ ප්‍රශ්න එතනින් නතර නොවන බවත් “ඇයි මහත්තයා නැද්ද? මහත්තය නැති බබෙක් ඉන්න අම්මා කෙනෙක්ව නවත්තගන්න එක ටිකක් කරදරයි. පොඩි ලමයි ඉන්න අයව ගන්න අපි ආස නෑ” වගේ දාහක් කතන්දර අහන්න වෙද්දී “මං ගත්තෙ හරිම තීරණයද? මේධංගගෙන් ඩිවෝස් වෙන එක, සිංගල් මම් කෙනෙක් වෙන එක ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද?” කියා නොහිත ඉන්න තරංගාට පුලුවන් උනේ නැත.

සනුකිව බලාගන්න උවමනා හන්දා ගෙදරටම වී කරන්න පුලුවන් රස්සවක් හොයාගන්න එකත්, දෙදෙනාටම පහසුවෙන් ප්‍රශ්නයක් නැතුව ඉන්න පුලුවන් නිහඬ නිස්කලංක තැනක් හොයාගන්නත් වෙහෙස වෙන්න වෙච්ච එක ඇත්තකි.  ඒත් මේධංග කොච්චර පිටුපෑවත් හිත හොඳ මිනිස්සු තවමත් ලෝකෙ ඉන්න බව ඇත්තක් කරමින් තරංගාට වර්ක් ෆ්‍රොම් හෝම් කරන්න පුලුවන්, දෙදෙනාටම සුවපහසු ජිවීතයක් ගෙවන්නට හැකි අන්දමේ වැටුපක් ලැබෙන රස්සාවක් හොයාගන්නත්, කොළඹ වුනත්, නිහඬ, නිස්කලංක ගස් කොලං පිරිච්ච පුංචි ගෙයක් හොයාගන්නත් අමාරු වුණේත් නැත. 

දරුවන්ට උගන්න විවාහ කර දී රට රටවල් වලට යැවූ විශ්‍රාමික ගුරු යුවලකගේ ගෙදරක උඩු මහල තරංගා වෙනුවෙනුත් සනුකි වෙනුවෙනුත් විවර වූයේ ඒ අනුවය. පල්ලෙහා තට්ටුවේ සිට වෙනම එන්ට්‍රන්ස් තියෙන නිසාත්, කුඩා කාමර දෙකම ගස් කොලං වලින් වටවෙච්ච උද්‍යානයට විවර වෙන ඒ පුංචි නිවස තුල තමන්ටත් සනුකිටත් තාවකාලිකව උනත් මේධංගගේ ගෙදරට වඩා සතුටෙන් සැනසිල්ලෙන් ඉන්න හේතුවක් වනු ඇති බව තරංගා හිතුවේ දාහක් බලාපොරොත්තු හිතේ තියාගෙනය.

“දූ දරුවා එක්ක එන්නෙ කවද්ද කියලා අපිට කෝල් එකකින් දැනුම් දෙන්න, අපි පොඩ්ඩක් අස්පස් කරලා තියන්නම්” කියා ඒ විශ්‍රාමික ගුරු යුවල කිව්වේ දෙණියායේ ඉඳන් කොලඹ ගෙවල් හොයන්න ඇවිත් හෙම්බත් වී උන්නු අයියාටත් නංගීටත් සීතල බීම වීදුරුවකින් සංග්‍රහ කරමිනි.

තරංගා එදා ආපහු දෙණියායේ ගියේ ඒ සන්තෝසය හිතේ රඳවගෙනය. තමන් කොළඹ නතරවෙන්න තැනක් ගත්ත බවත්, ඒ විස්තර මේධංග එක්ක කියන්න ඕන නැද්ද කියා හිතෙන් පෙරලි කර කර උන්නු තරංගා මේධංගට දුරකතන ඇමතුමක් ගත්තේ එදා රැයේය. මේධංග දුරකතනයට සම්බන්ධ වුනේ බොහෝ වෙලා ගොසින් බව ඇත්තකි. එහෙත් ඒ දුරකතනය ඈතක තිබ්බ හන්දා නොවේ. මේ ඇමතුම ගන්න ඕනද කියා හිත දෙපැත්තට වැනෙමින් තිබුන නිසාවෙන් ය.

“ඔව් කියන්න” කියා මේධංග ඇමතුමට සම්බන්ධ වෙච්ච නොසැලකිලිමත් සොබාවයම මේ කෝල් එක ගත්තෙ අපරාදෙ කියලා හිතෙන්න හේතුවක් උනත් තරංගා ඇමතුමේ රෑඳී උන්නාය.

“මං කියන්න ගත්තෙ මං ආපහු කොළඹ එනවා කියලා”

“ඇයි මහලොකුවට උඩ දාගෙන ගියේ ඔක්කොම එපා කියාගෙන නේද?”

“මං එන්නෙ ඔයාගෙ ගෙදරට නෙවෙයි, මම ඉන්න තැනක් හොයාගත්ත. මොක උනත් තාම ලියවිල්ලකට හරි මගෙ මනුස්සය හන්දයි, මගෙ දරුවගෙ තාත්ත හන්දයි ඒ යුතුකම ඉස්ට කරන්න මං කතාකරේ”

“අනේ තරංගා මේ මට නම් ඔයාගෙන් කිසිම යුතුකමක් ඉස්ට වෙන්න ඕන නෑ. ඉටුවෙච්ච දේවල් හොඳටෝම ඇති. අනික මං මේ සද්ද නැතුව ඉන්නෙ මගෙ හිත වෙනස් වෙලා කියලා නම් හිතන්න එපා. මං ලෝයර් කෙනෙක්ට කතා කරලා තියෙන්නෙ. ඒ මනුස්සයා කතා කරාම බොරුවට නිකන් තව ඇද පැද ඉන්නෙ නැතුව ඔයාගෙ පැත්තෙන් වෙන්න ඕන දේවල් ටික රෙඩි කරන්න.

ගෙදරකවත් නැති ගෑණියෙක්ව ඇඟේ එල්ලගෙන ඉන්න ඕන නෑ මට” කියා මේධංග කියද්දී තරංගා බැණගත්තේ තමන් ටමය. 

“මහ පුදුම අමනුස්ස මිනිහෙක්නෙ දෙයියනේ” කියා නර්මදා අක්කා කම්පා උනේ කුස්සිය අස් කරන ගමන් තරංගා ඔය කතාව කිව්වාමය.

“මගෙනෙ අක්කෙ වැරැද්ද. අමනුස්සයා කියලා දැන දැනම පොඩි හරි මනුස්සකමක් ඇති කියලා හිතාගෙන කතා කරපු එකයි මං කරපු වරද. මගෙ මෝඩකමයි වැරැද්දයි හින්දා නේන්නං අක්කෙ මෙච්චර කාලයක්වත් මම ඔය අම්මගෙයි පුතාගෙයි ඔක්කොම අමනුස්සකම් දරාගෙන හිටියෙ” කියා තරංගා නර්මදා එක්ක කතා කරද්දී කුසුමලතා මේධංග අසලට ලං වුනේ මේධංග දැන් දුරකතනයෙන් ඇමතුවේ තරංගාට බව ඇහිච්ච හන්දාය.

“තරංගා නේද කතාකලේ” කුසුමලතා හීන් සැරේ සෙටියෙ වාඩි වෙලා දුරකතනය දිහා බලන් ඉන්න පුතාගෙන් ඇසුවාය.

“හ්ම්” මේධංග ඊට වඩා දෙයක් කියාවි කියා කුසුමලතා බලාපොරොත්තු උනත් ලැබිච්ච උත්තරේ ඕන් ඔච්චරය.

“මොකද්ද දැන් ඔයාලා දෙන්න අතරෙ වෙන්නෙ? දික්කසාද වෙනවා කියලා ඒ මනුස්සයා ගෙයින් ගියා. අනේ මන්දන්නෙ නෑ ලමයො මට ඇත්තටම තේරෙන්නෙ නෑ මේ නහින දෙහින කාලෙ මට දකින්න ලැබිලා තියෙන්නෙ මොනවද කියලා”

“දික්කසාදෙ? දික්කසාදෙ දෙනවා මං. අම්ම බලන්නකො තව ටික දවසකින් ඕකිට ලමයත් උස්සගෙන අඬාගෙන එන්නෙ වෙන්නෙ මං ලඟට. අඬාගෙන. අන්න ඒ දවස වෙනකම් තමා මම ඉන්නෙ” කියා මේධංග හීන් හිනාවක් නැගුවේ දුරකතනය දෙස බලාගෙනමය.

ඒ හිනාව අස්සේ බොහෝ කතන්දර සැඟවී තිබෙන බව තේරුණ නමුත් ඒ ගැන මේධංග විමසන්න හයියක් කුසුමලතාට තිබ්බේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here