ප්‍රියංකා දිනාරාත් පුතු සචිනුත් නිදා උන් කාමරයට ගියේ සිය අඩි පොළොවට බර කරමින් හඬක් නොනැඟෙන්නට තරම් ප්‍රවේශම්වය.. අදටත් ඈ විශ්වාස කරන්නේ පිටස්තරයන් කිසිවෙකු සචින් පිළිබඳව හෝ දිනාරාගේ අතීතයේ දුක්මුසු පුවත් හෝ නොදැන සිටිය යුතු බවයි. යුවතියගේ ඇඟට සිය දකුණත තබා දෙවරක් තුන් වරක්ම කතා කළාට පසුව ඇය ඇහැරී සිටියේ දෑස් පිස දමමින්ය.
“ ප්‍රියංකා ආන්ට් මට ගොඩක් වෙලා නින්ද ගියාද..අනේ සොරි”
“ ඔයා කීයවෙනකල් නිදාගත්තත් කමක් නෑ පුතේ. මං ඔයාව ඇහැරෙව්වේ යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා ඒ නිසා.”
“ යාළුවෙක් කවුද හිමාෂාද..”
“ නෑ අකලංක පුතා ඇවිත්..”
“ සර් මේ..මේ වෙලාවේ..”
“ ඔව් මේ ළඟට ආපු ගමන් මාව බලන්න එන්න හිතුනලු.ඔයාට ඇහැරවන්නත් එපා කිව්වා.ඒක හරි නෑනේ පුතේ.මගේ ගෝලයා උනාට දැන් ඒ ඔයාගේ බොස්නේ..ඔලුව පීරගෙන එන්න.
මල්ලි ඇහැරවන්න එපා..”
හිස වනා ඇයට එකඟ වූ දිනාරා ඇඳෙන් නැගී සිටියේ හදිසියේය.ඒ හදිසියේම ඕ කුඩා කණ්නාඩි මේසය ඉදිරිපස නතරව සිය හිස කේ සකසා ගත්තාය. ඇද උන් කුඩා කොට කලිසමත් ඉස්කිනි වර්ගයේ ටී ෂර්ට් එකත් ගලවා තැබූ යුවතිය ඇඳුම් වැටෙහි වූ කහ පැහැති කෙටි ගවුම ඇඟලා ගත්තාය. සුවඳ විලවුන් බිඳු කිහිපයක් තවරා ගත්තාට පසුව දිනාරා යළිත් කණ්ණාඩියට එබුණේ තමා ඔහු ඉදිරිපිටට යාමට තරම් සුදුසු පෙනුමකින් සිටිනවාදැයි හරිහැටිම දැන ගන්නටය.
එහෙත් හදිසියේම ඇති වූ සිතුවිල්ලක් ඇයව එක තැන නතර කරවන්නට සමත් විය. ඕ කුඩා ස්ටූලයෙන් ඉද ගත්තේ ඒ සිතුවිල්ල සිය ගත අඩපණ කර දමද්දීය.
දින කිහිපයක සිට අකලංක තමා දෙස බලන බැල්ම වෙනස් එකක්යයි දිනාරාට හැඟෙන්නට විය.ඔහුගේ මිතුරන් පැමිණ සිටියදී තමාගේ නම ඈඳාගෙන ඔහුට විහිළු කරනු ඇය ඕනෑ තරම් අසා තිබේ.විශ්ව සර් පවා එසේ විහිළු කරනවායැයි පැවසූයේ හිමාෂාය. හිමාෂානම් පවසන්නේම අකලංකගේ මේ සියලු වෙනස්කම් වලට හේතුව තමාම බවය.එහෙත් දිනාරා එය එසේ යැයි සිතන්නට මැලි වූවාය. අකලංක යනු තම ආයතන ප්‍රධානීන්ගෙන් කෙනෙකු මිස මිතුරෙකු නොවේ.
වෙනදාට වඩා වැඩි වේලාවක් ඔහු කාර්යාලය තුළ රැඳී සිටින බවත් ,තනියම කළ යුතු වූ කාර්යයන් වලදීත් තමාව හවුල් කරගන්නට වෙහෙස වන බවත්, එක එක ප්‍රශ්න අසමින් තමාව කතාවට ඈඳා ගන්නට උත්සාහ කරන බවත් දිනාරාට වැටහුම් වූයේ ඊයේ පෙරේදාය.
දින කිහිපයක සිට ඔහුගේ දෑස් බැල්ම තමා පසුපස ලුහුබඳිනවායැයි ඇයට සිතෙන්නට විය. වරක් දෙවරක් නොව කිහිප වරක්ම තමා හිස ඔසවද්දී ඔහු තමා දෙස බලා සිටින අයුරු දිනාරා දුටුවේ නෙත් කොනින්ය.
ඔහුගේ මේ හදිසි ආගමනය ඇගේ සිතට වද දෙන්නට පටන් ගත්තේ එනිසාය.යුවතියගේ සිතට සැකයක ,බියක සේයාවක් කාන්දු වූයේ හෙමි හෙමිහිටය.හිමාෂානම් පවසන්නේ ඔහු නරකයකු නොවන බවය.ගෙවී ගිය කෙටි කාලයේදි යම් තරමක් දුරට ඔහුව වටහා ගත්තත් මිනිසුන් කියවන්නට ඉක්මන් නොවිය යුතුය යන හැඟීම තදින්ම යුවතියගේ සිතෙහි පැලපදියම්ව තිබිණ.කොහොමටත් ඕ පෙම්වතෙකු හෝ විවාහයක් ගැන නොසිතන්නට ගත් තීරණය තවමත් එහෙමමය.ඔහු බිය වූයේ මිතුරන් සේ පිරිමි පාර්ශවය ඇසුරු කරන්නට නොවේ.ආදරය කරන්නටය.පිරිමියෙකු විශ්වාසකර ජීවිතය බෙදා ගන්නටය.
දිගු සුසුමක් මුදාහළ යුවතිය නැගී සිටියේ අකලංකගේත් ප්‍රියංකාගේත් උස් සිනහහඬ විසිත්ත කාමරයෙන් ඇසෙද්දීය.
දිනාරාව දුටු අකලංකගේ නෙතු තත්පර කිහිපයක් පුරා ඒ රුව මත්තේ නතරව තිබෙන අයුරු ප්‍රියංකා නොදකින්නට ඇත.එහෙත් දිනාරා වෙනදා සේම ඒ දෑස් බැල්මෙන් මිදී බිම බලා ගන්නට ඉක්මන් වූවාය.
“නිවාඩු දාලා නිදා ගන්නවා නේද. අපිට කොහෙන්ද ටීචර් මෙහෙම සැපක්..”
“ චුට්ටක් නින්ද ගියා සර්. සර් ඇවිල්ලා ගොඩක් වෙලාද…”
“ නැහැ දැන් විනාඩි දහයක් විතර වගේ.”
“ ආන්ටි මම තේ ටිකක් ලෑස්ති කරන්නද..”
“ එපා දිනාරා ..ආපු ගමන් ටීච මට බිස්කට් පුඩිං එකක් දුන්නා.ඒකට හොඳටම බඩ පිරිලා මම ඉන්නේ.”
“ මම බත් ටිකක් කන්න කිව්වා පුතේ.ඒ උනාට මේ දරුවා කෑවේ නැහැ ඉතින් “
“ මම කාලා ආවේ ටීච..”
“ මැඩම් සර්ල තුන්දෙනාටම කෑම එවනවනේ ආන්ටි.වෙලාවට කෑවද කියලත් හොයලා බලනවා..”
“ ටීච ඇයි දිනාරාටත් පුතේ කියලා කතා කරන්නේ..දුවේ කියලා කතා කරන්නකෝ.”
දිනාරා අකලංක දෙස බැලුවේ ඔහු එසේ අසද්දීය.යළිත් ඒ සිව් නෙතු එකට ගැටෙන්නට විය.
“ ඒ වචනේ මගේ කටට හුරු නෑ පුතේ.උගන්නන්න පටන් ගත්තයින් පස්සේ ගෑණු දරුවෝ ඉන්න එකම එක ඉස්කෝලෙකයි මට වැඩ කරන්න හම්බ වුණේ.ඒක තමයි මගේ පළවෙනි එෆොයිමන්ට් එක.පදිය තලාව පැත්තෙ ඉස්කෝලයක්.ඊට පස්සේ දිගටම වැඩ කලේ මෙන්න මේ වගේ දඟ කොල්ලො ඉන්න ඉස්කෝලවල…”
“ ටීච අපි වගේ ළමයි එක්ක වැඩ කරලම වෙන්න ඇති ඉවසීම පුරුදු වෙන්න ඇත්තේ.ඉස්සර අපේ අම්මා කියනවා මේ කොල්ලෝ දෙන්නෙක් බලාගන්න එක මට යුද්ධයක් වගේ අනේ අර ඉස්කෝලේ ටීචර්ස්ලා ළමයි හතළිහක් පනහක් කොහොම බලාගන්නවද කියලා.”
“ ඒකනං ඇත්ත…දන්නවද පුතේ..පිරිමි ඉස්කෝලෙක වැඩ කරන ගුරුවරියක් කියලා කියන්නේ ජීවිතේ ඕනම අභියෝගයක් දිනන්න පුළුවන් කෙනෙක් කියන එක.මේ කොල්ලෝ ඒ තරම් දඟයි, අණ්ඩපාලයි..ඉතිං පුතේ..අම්මා ,තාත්තා ,අක්කා, අයියා මේ හැමෝම සනීපෙන්ද.”
“ ඔක්කොමලා හොඳින්..ටීචට කියන්න සතුටුදායක ආරංචියකුත් තියෙනවා.”
“ ඒ මොකද්ද පුතේ ඒ…”
“ අක්කා ආපහු ප්‍රෙග්නන්ට් වෙලා..දැන් ඉතින් ගෙදර මල් වත්ත වගේ..”
“ අනේ ඒක මොන තරම් සතුටුදායක ආරංචියක්ද.අක්කටයි දරුවටයි දෙන්නටම බුදු සරණයි. එහෙනම් පුතේ අද හොඳ දවසක් අපිට විශ්ව පුතාගේ නෝනට කෑම ටිකක් යවන්නත් පුළුවන්.”
“ අද එපා ටීචර් වෙන දවසක යවමු.අද මම මෙහේ ආව කියල දැනගත්තොත් මගේ ඔළුවේ කෙස් ටිකවත් ඉතුරු වෙන්නෙ නෑ.”
අකලංක එසේ පැවසූයේ උස් හඬින් සිනහසෙන අතරේය.එහෙත් ප්‍රියංකාත් දිනාරාත් මුහුණෙන් මුහුණ බලා ගත්තේ දෑස් විසල් කරගෙනය.ඔහුට මෙහි පැමිණෙන්නට තහංචි බාධා තිබූ බව දෙදෙනාම දැන උන්නේ නැත. ප්‍රියංකාගේ සේම දිනාරාගේත් දෑස් විසල්ව තිබිණ.
“ ඇයි පුතා එහෙම කිව්වේ…”
අකලංක සිය දෑස් සඟවන්නට උත්සාහ දැරුවේ ප්‍රියංකා එසේ ඇසුවාට පසුවය.තම මුවින් පිට වූයේ පිට නොවිය යුතු වදන් පෙළක් බව ඔහුට සිහි වූයේත් ඒ හදිසියේය.
“ නෑ… නෑ.. මම තනියම ආව කියල අපේ අම්ම දැනගත්තොත් බැණුම් අහන්න වෙනවා.අම්මත් හැම තිස්සේම කියනව ටීචගෙ ගෙදර එන්න ඕනෙ කියල..මටත් කීප දවස කිව්වා එක්කරගෙන යන්න කියලා..”
“ ඔව් මටත් කිව්වා තමයි එන්න ආසාවෙන් ඉන්නවා මේ දරුවෝ එක්කෙනෙකුටවත් ඒකට වෙලාවක් නෑ කියලා.”
අකලංක සැනසුම් සුසුමක් හෙලුවේ තම වදන්වල අරුත ප්‍රියංකා හරිහැටි වටහා නොගත්තායැයි වැටහුණු පසුවය.තවදුරටත් එහි රැදී සිටීමේ අසීරුකමකින් ඔහු පෙළෙන්නට පටන් ගත්තේ එතැන් පටන්ය.කොහොමටත් ඔහු හැඟීම් හංගාගෙන කතා කරන්නට දන්නා අයෙකු නොවේ.
“ ටීච…එහෙනම් මම ගිහිල්ලා එන්නම්..දිනාරාට මහන්සිනම් හෙටත් නිවාඩුවක් ගන්න කමක් නෑ.හිමාෂා ඉන්නවනේ “
“ එපා සර් මට එහෙම මහන්සියක් නෑ.ඒක පොඩි දානයක්.ඔක්කොම කලේ ප්‍රියංකා ආන්ටි.”
“ දිනාරා ලොකු වරදක් ටීච කළේ.එයා තාත්තව දානෙට හවුල් කරගත්තට මාව ඒ දානෙට හවුල් කරගත්තේ නෑ.”
“ අනේ පුතා ඉතින් තාත්තගේ දේවල් පුතාගේ දේවල් කියලා වෙනසක් නෑනේ.අපි ඒ සල්ලි වලින් ආරාමයට අවශ්‍ය කරන සනීපාරක්ෂක ද්‍රව්‍ය ගෙනිච්චා.ඒක ලොකු පිනක් පුතා..”
අකලංක ප්‍රියංකාගේ දෙපාමුල පහත් වූයේ දෑත් එක් කරගෙනය.දෑස් තෙත් වූයේ දිනාරාගේය. ඔහුයන මග බලා උන් ප්‍රියංකා ආපසු හැරුණේ ඔහු පිටව ගොස් විනාඩි කිහිපයකට පසුවය.
“ එදා වගේමයි මේ දරුවා…”
ඇය එවර පැවසූයේ සිනහ මුවින්ය.කොහොමටත් අකලංක ගැන කතා කරන සෑම වේලාවකම ඈ උන්නේ ඒ සිනහවෙන්මය.
*******=======********======****=====
හිමාෂාගෙන් දුරකථන ඇමතුමක් පැමිණියේ සවසය.දානමය කටයුත්තට සහභාගි වීමට ඇයටත් වුවමනාව විය.එහෙත් දෙදෙනාම එකවර නිවාඩු ලබා ගැනීම යුතු නොවේයැයි අවසන ඕ සිතුවාය.
“ මගේ පංගුව අරන් තියාගත්තා නේද…”
දානයේ වැඩකටයුතු ගැන ඕ විනාඩි කිහිපයක් යනතුරුම කතා කලාය..මේ දිනවල ඇගේ පෙම්වතා කාර්‍යාලීය කටයුත්තකට දකුණු පළාතට ගොස් සිටි හෙයින් රාත්‍රියේ කාලයේවත් පැමිණ යන්නට හැකියාවක් නොවේයැයි ඈ පෙර දිනයක ප්‍රියංකාට පවසනු දිනාරා අසාගෙනය.ඉඳහිට දිනක දිනාරාට දුරකථයෙන් කතා කරන යුවතිය ප්‍රියංකාටත් වදනක් දෙකක් කතා නොකොට ඇමතුම නිමා කරන්නේ නැත.
“ දෙයක් කියන්නම් මට විහිළු කරන්නේ නෑ කියලා පොරොන්දු වෙන්න..”
“ මටත් දෙයක් නං කියන්න තියෙනවා.ඉස්සෙල්ලා ඔයාගේ දේ කියන්නකො බලන්න.කවුද විහිළු කරන්නේ.. මම විහිළු කරන්නේ නෑ මම දේවල් කියන්නේ ඇත්තටම තමයි..”
“ අනේ යන්න ඔයා හරි නරකයි..අකලංක සර් ඇවිත් ගියා හවස..”
“ ආ. මම හිතුවා…”
“ මොනවද “
“ මෙතන ඇවිලි ඇවිලි ඉඳපු විදිහට ගෙවල් පල්ලෙහායින් හරි යයි කියලා…”
“ අනේ ඒකනේ කියන්නේ…සර් ආවෙ මාව බලන්න නෙමෙයි ප්‍රියංකා ආන්ටි බලන්න.ඉස්සරත් සර් එහෙම ඇවිත් තියෙනවා.අනික මේ ළඟට ආපු ගමන් තමයි ඇවිත් තියෙන්නේ.”
“ මේ කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා හිටගන්නකෝ..”
“ ඇයි…”
“ කණ්ණාඩියෙන් පේන ඔය සුදු ලස්සන මූණ දිහා බලාගෙන අහන්න ඇත්තටම අකලංක සර් ආවේ ප්‍රියංකා ආන්ටි බලන්නද කියලා.”
“ එහෙම තමයි ඉතින් කිව්වේ..”
“ මෝඩ කෙල්ලේ..කවුද ඇත්ත කියන්නේ. උදේ මම ඔෆිස් එකට යනකොට සර්ගේ මූණ මැලවිලා.සෙකට්‍රිගේ ටේබල් එකයි චෙයාර් එකයි දිහා බලාගෙන මොනවදෝ හිතනවා..ඉඳපු ගමන් තනියම හිනහත් වෙනවා..”
“ අනේ අපි මේ කතාව නතර කරමු.ඔයා දන්නවනේ මට ජීවිතේ හිතන්න ඊට වඩා දේවල් තියෙනවා. අනිත් එක මං කොහොමටවත් මගේ ජීවිතයට කෙනෙක් ළං කර ගන්නේ නෑ කියන තීරණයක ඉන්නේ.මං ඒකට හරි බයයි..මට ඕනේ නිදහසේ ජීවත් වෙන්න…”
“ අකලංක සර්ලා විශ්ව සර්ලා නරක මිනිස්සු නෙමෙයි.අනික අකලංක සර් ඔෆිස් එකට එන්න කම්මැලි උනාට , යාළුවොත් එක්ක රස්තියාදු ගැහුවට , මේ ඔෆිස් එකේ ඉන්න එකම ගෑණු ළමයෙක් දිහාවත් වැරදි ඇහැකින් බැලුව කියලා කවදාවත් අපි අහලා නෑ..එයාලා හරි ඩීසන්ට් ෆැමිලි එකක්.”
“ ඒ සේරම ඇත්ත වෙන්න පුළුවන්. ඒත් මං හරි අමාරුවෙන් හිත හදාගෙන ජීවත් වෙන කෙනෙක්. මගේ අම්මට හැමදේම නැති උනේ පිරිමි නිසා.මං පිරිමින්ට වෛර කරන්නේ නැහැ.ඒ උනාට පිරිමියෙක්ගේ ජීවිතේකට ලංවෙලා මගේ හිතේ තියෙන සැනසීමවත් නිදහසවත් නැති කරගන්න මං කැමති නෑ..එහෙම කෙනෙක්ට ආදරේ කරලා කවදකහරි තනි වෙන්න උනොත් මට මොනව වෙයිද කියලා මංවත් දන් නෑ..මම මේ ජොබ් එක කරන්නේ හරි ආසාවෙන්. මං බයයි මේ ලැබුණු දේවල් නැති කරගන්න.”
“ හරි කෙල්ලේ අපි ඒ ගැන පස්සේ කතා කරමු.මං කියන්නේ ඒ කෙනා අකලංක සර් වෙන්න ඕනේ නැහැ.ඔය හිතට හෙමින් හෙමින් ඕපන් වෙන්න ඉඩ දෙන්න ඕනේ කෙල්ලේ.එහෙම නැතුව හැඟීම් හිරකරගෙන ඉන්න ගියහම වේදනාව වැඩියි. හැම මනුස්සයෙක්ම එක වගේ නැහැ..”
අවසන හිමාශා පැවසූයේ මද හඬකින්ය.
( යළිත් හමුවෙමු දයාබරව ….)