ශරදාකාසේ -19

නිශාමනී එසඳි ට කවා පොවා නිදි කොට යහනෙන් බහින කොට ම ශාරද කාමරයට ඇතුළු වෙමින් සිටියේ ය. ඇය ට ඕනෑ වූයේ වහා කාමරයෙන් නික්ම යන්නට ය. දොර දෙසට පියවරක් තබත්දී ම ශාරද ඇගේ වමතේ මැණික් කටුව ළඟින් අල්ලා ගත්තේ ය. නිශාමනී අත ගසා දමා යන්නට උත්සාහ කළ ද එය දඬු අඬුවට හසු වූවා බඳු දැඩි ග්‍රහණයකි. 

“විකාර කරන්නෙපා ශාරද”

ඇය එසේ කියන විටත් ඔහු කාමරයේ දොර වසමින් සිටියේ ය. දොරගුලු ලා යතුර ද අතට ගනිමිනි ශාරද නිශාමනී ගේ අත අත්හැරියේ. ඔහු ගේ දෙතොල් මත ජයග්‍රාහී සිනහවක් විය. ඇය නො රිස්සුමෙන් ඉවත බලා ගත්තා ය.

“දැං මේක දුර ගියා හොඳටම වැඩියි ශාමි”

ඇය සමච්චල් සිනහවකට තොල් කොනක් ඇද කළා ය.

“ඔව්. මුදු මාරු කරන්න තරං දුර ගිහිල්ලනෙ තිබුණෙ”

“මගුලක් කතා කරනව. අර මැක්කගෙ කතාව වගේ කොයි වටයක් ගිහිං හරි ඔතනටමනං එන්නෙ මේක විසඳගන්න වෙන්නෙ නෑ ශමී”

“විසඳගන්න…මගෙ තීරණේ මං කියල ඉවරයි. එක්කො මං දරුවත් අරං ගෙදර ගිහං ඩිවෝස් එක ඉල්ලන්න නඩු දානව”

“මං කිව්වනෙ ළමයව මේ ගෙදරිං කොහෙටවත් ගෙනියන්න බෑ කියල”

“එසඳි නැතුව මං මේ ගෙදරිං එළියට අඩියක්වත් තියන්නෙ නෑ ශාරද. යනවනං යන්නෙ එයා එක්ක. ඔයා එයාව ගෙනියන්න දෙන්නෙ නැත්තං මං ඊළඟ ඔප්ශන් එකත් කියලනෙ තියෙන්නෙ. මේ විදිහට ඉමු. රූම්ස් දෙකක. එච්චරයි”

“ඔච්චර ස්ටබර්න් වෙන්නෙපා”

“මට මේ විදිහ වෙනස් කරන්න කිසිම ඕනකමක් නෑ”

සුසුමක් හෙලූ ශාරද යහන කොනක හිඳ මඳ වෙලාවක් එසඳි දෙස බලා සිටියේ ය. ඔහු ගේ ආඩම්බරය හා අභිමානය නිශාමනී හා එසඳි ය. ලෝකය ඔහු ව පිළිගන්නේ නිශාමනී ගේ සැමියා ලෙස හා එසඳි ගේ පියා ලෙස ය. එතැන පංචලී ට කිසිදු අගයක් නොමැත්තේ ය. තමන් ට වටිනාකමක් ලැබෙන්නේ ද නීත්‍යානුකූල විවාහය මත බව ඔහු නො දන්නවා නොවේ. දැන් මේ ඔහු අසහනයට පත් ව සිටින්නේ ඒ වටිනාකම ඔහු ගෙන් ගිලිහී යනු ඇත කියා ය.

“හරි. ඒ හැම දේකටම මට සමා වෙන්න. ආයෙ එහෙම දෙයක් වෙන්නෙ නෑ”

නිශාමනී සිය සැමියා ගේ මූණ දෙස කෙලින් බැලුවා ය. ඔහු මුහුණෙන් හැඟීම්බර වෙන්නට උත්සාහ කරන බව හැඳින ගන්නට ඇය ට බැරි වූයේ නැත. ඒ කිසිත් සැබෑ හැඟීම් නොවේ. ඔහු හොඳ නළුවෙකු බව ඇය ට මැනවින් වැටහෙන්නේ දැන් ය. ඒ වචන ලස්සන වචන විතර ය. නිශාමනී වසඟ වී සිටියේ ඒ වචන වලට ය. 

“මට සමාව දෙන්නවත් …මට පිළිකුල දැනෙන තැනක තව තවත් ඉන්නවත් ඕන නෑ”

එය හිතුවක්කාර හෝ අරුත්සුන් ප්‍රකාශයක් නොව, ඇගේ හද සන්තානයෙහි ගැඹුරේ උපන් අවංක හැඟීමකි. කිසිදු කලබලයක් හෝ කෝප සහගත රිද්මයක් ඇගේ ස්වරයේ වූයේ නැත. එය බෙහෙවින් නිවුණා වූ හා සිතා බැලීමෙන් පසු එළඹි තීරණයක තානය දැරී ය.

“මට මුණ ගැහෙනකොට ඔයා මොන විදිහක ජීවිතයක් ගෙවපු මිනිහෙක් වුණත්…ඒක මට වැදගත් වෙන එකක් නෑ ශාරද. මොකද මට අතීතය කියන දේ වැදගත් නෑ. මාව මුණගැහෙන්න කලිනුත් ඔයාට අතීතයක් තිබුණා. මටත් එහෙමයි. සම්බන්ධකං ඇති කරගන්න අවස්ථාවක් ලැබුණෙ නැති වුණාට ඔයාට කලින් මගෙ හිත ගිය තැන් තිබුණා. මගෙ හිත නතර වුණ තැන් තිබුණා. ඒක සාමාන්‍යයි. ස්වභාවිකයි. හැබැයි ඔයාට ආදරේ කරන්න ගත්තට පස්සෙවත් ඔයාව බැන්දට පස්සෙවත් මං එහෙම හිතට ගාල කඩාගෙන දුවන්න දීල නෑ. කොහේවත් නතර වෙන්න දීල නෑ. කසාද බැන්දා කියල නෑ. අපේ ඇස් ලස්සන දකිනව. අපිට හැඟීම් දැනෙනව. ඒත් හිනාවකින් ඒ තත්වෙ තේරුං අරං එතනිං නැගිටල යන්න තරං අපි අපිට අවංක වෙන්න ඕනෙ. එහෙම නැතුව පවුල් ජීවිතයක් අරං යන්න බෑ. මං දන්නව…අපිව අගයන..අපිට ආදරේ කරන තැන් වල මොහොතකට හරි හිත නතර වෙනව. සිදුහත් සතර පෙර නිමිති දැකල ගිහි ගේ ගැන කලකිරිල එන ගමං…යශෝදරාට රාහුල ඉපදුණා කියන ආරංචිය ලැබිල තියෙද්දිත්…නිබ්බුත පද කියපු කිසා ට කරේ තිබුණ මාලෙ තෑගි කරල යැව්ව. ඒක ගැන අපිට කොහොම හිතන්න බැරිද…සිදුහත් වුණත් කිසා නිබ්බුත පද කියපු එක ගැන හැඟීමක් ඇති කර ගත්තෙ නෑ කියන්න පුළුවන්ද…හැඟීම් ඇති වෙන්න පුළුවන්. ඒව පාලනය කර ගන්න පුළුවන් වෙන එකයි දක්ෂ කම. මගෙත් එක්ක ජීවත් වෙන ගමන්වෙන ගෑනියෙක්ට හිතෙං හරි බැඳුන පිරිමියෙක්ව මටනං ආයෙ ඕන නෑ ශාරද…මේක මීට වඩා පැහැදිලි කරන්න මට තේරෙන්නෙත් නෑ”

ඇය ට මඳ හති ගතියක් දැනිණ. කොහොමත් දැන් මේ පිළුණු දුගඳ හමනා සම්බන්ධය ඇය ට වෙහෙසකි.

“මං ඔයාට පොරොන්දු වෙනව. ඒ ප්‍රශ්න ආයෙත් ඇති වෙන්නෙ නෑ. පංචලී මැරි කරන්න හදන්නෙ”

පපුව ඇතුළේ උණුසුම් සිසිලසක් ඇය ට දැනිණ. එය ප්‍රීතිමක් හැඟීමක් මත ඇති වූ තත්වයක් නොවේ. ඇකැම් විට පංචලී එවන් තීරණයක් ගෙන ඇතිවා වන්නට පුළුවන. බොහෝ ගැහැනුන් අවසානයේ විවාහ වී ජීවන ගමන එක් ව යන්නට තෝරා ගන්නේ පෙම් කළ මිනිසා ව නොවන බව ඇය අසා තිබේ. වැඩිමනත් ගැහැනුන් පති කුළයට යන්නේ බිඳුණු හදක් දරා ගෙන ය. දිවි හිමියෙන් පෙම් කළ මිනිසා ව අහිමි කර ගෙන ය. බොහෝ විට ඒ අහිමි වීමට හේතුව ඔහු ගේ හිත වෙනතක බැඳීමයි. අප පෙම් කළ මිනිසාව ඊට වැඩි ප්‍රේමයකින් වසඟ කළ ගැහැනියට අපි වෛර කරමු. ශාප කරමු. ඇය ‘වල්’ ගැහැනියක ලෙස ලේබල් ගසමු. හදවතින් මැරී පති කුලයට යන ගැහැනිය ඉන්පසු සිය සැමියා ගැන ද සිටින්නේ බියෙනි. සැකයෙනි. කොයි මොහොතක හෝ ඔහු වෙනතක බැඳෙතැයි රහසිගත බලාපොරොත්තුවක් යටි හිත් වල වේ. එතකොට අපි ඔහු ඇසුරු කරනා හැම ස්ත්‍රියක දෙස ම වපරැසින් බලමු. වෛර කරමු. අප හැරෙන්නට ඔවුන් සැමකෙක් ‘වල්’ යයි සිතමු. අතෘප්තිමත් හා අසහනකාරී තරුණ වියක් ගෙවා අහවර කරමු.

පංචලී තෝරා ගෙන තිබෙන්නේත් බොහෝ ගැහැනුන් ගමන් ගත් ඒ මාර්ගය ම යයි සිතිය නො හැකි ද? මොන යම් හේතු මත හෝ ඇය දීග යන්නේ පෙම් කළ මිනිසා ගෙන් වෙන් ව ය. නිශාමනී ගේ හදවතේ ශෝක කලාපයෙහි ඉකිබිඳුම් හඬක් ඇසෙමින් තිබිණි. එය මේ මොහොතට අයිති ඉකි බිඳුමක් නො විය හැකි ය. එය දුරාතීතයෙන් ඇසෙන්නා වූ ඉකිබිඳුම් සරක් විය යුතු ය.

“ඔයා පංචලී ව බඳින්න”

නිශාමනී දීර්ඝ වූ කල්පනාවක අතර මගක දී කීවාය. සැබවින් එය මිමිණුමක් සරි විය. යමෙකු මෝහන නිද්‍රාවට පත් කළ කල ඔහු සිය අතීතය දිගේ භවාන්තර සංචාරයක යෙදෙමින් කරනා විස්තර කතනයක් සේ ඇගේ හඬ ගුප්ත වූයේ ය. ශාරද ගේ පිරිමි පපුවෙහි අනියත බියක් ජනිත විය.

“මට පංචලීව බඳින්න ඕන නෑ ශාමි. මට ඕනෙ ඔයා. මට ඉන්නෙ එක ගෑනියි…එක ළමයයි…”

නිශාමනී සිටියේ ඒ කතා විශ්වාස කරනා සීමාවෙන් බෝ ඈතක ය.

පංචලී ගේ මව් කොස් තම්බා කරවල හොද්දක් හා පොල් සම්බෝලයක් තනා තිබුණා ය. 

“දවාලෙ ඉතුරු බතුත් රත් කරල ඇති. කාහං”

පංචලී ඇඟ සෝදා ගෙන විත් කුස්සියේ දොරකඩ සිටගෙන සිටිත්දී ඇය කීවේ මොහොතක් දියණිය දෙස බලා සිටීමෙන් පසු පපුව පුරවා ගත් හුස්මකිනි. යාන්තං ඇඟිල්ලක් කැපුණත් මහ මෙරකට ගෙන කඳුළු සැලු කෙල්ල, දරුවෙකු කුසට විත් තිබියදී මේ විදිහට මහාමේරුව සේ නො සැලී බලා සිටින්නේ කෙසේ ද කියා ඇය ට තේරෙන්නේ නැත. ඇගේ කෙසඟ සිරුරේත් දුර්වල හිතේත් එහෙව් ශක්තියක් ගැබ් ව ඇතැයි විශ්වාස කරන්නට අම්මා තවමත් සූදානම් නැත. කොයියම් මොහොතක හෝ දියණිය හඬා ගෙන ඇය වෙත විත් යමක් කරන්නයි කියනු ඇත. අම්මා ගල් ගැසී සිටින්නේ ද එතුවක් ය.

“අම්ම තාත්තට කිව්වද…”

පංචලී බෙලෙක් පිඟානට කොස් ටිකක් බෙදා ගන්නා ගමන් මව විමසුවා ය.

“කොහොම කියන්නද…”

අම්මා ගේ වචන දුක් ගීතයක් සේ වූයේ ය.

“ලෙඩ ගානෙ ඉන්න මනුස්සය වෙච්චි…පපුව පැලිල මැරෙයි”

පරඬැල් පතක් සේ පංචලී ද සැලී නො ගියා නොවේ. නමුත් මේ දුර්වල වී දියාරු වී දිය වී වැගිරිය යුතු වෙලාවක් නොවන බව ඇය ඇගේ ම හිතට කියා දුන්නා ය.

“ඇයි අපි මෙහෙම දේකට එච්චර බය වෙන්නෙ අම්මෙ…”

“උඹ මගෙං කුණුහරුප අහගන්නෙ නැතුව හිටපං”

යක්ෂාවේශ වූ අම්මා පංචලී ගේ මූණට වචන වලින් දමා ගැසුවේ දත් මිටි කමිනි. නමුත් ඇය සිය සන්සුන් ස්වරූපය වෙනස් නො කළා ය.

“තාත්ත කෙනෙක් ඉන්නවනං හොඳයි තමයි. ඒත් නෑ කියලත් ලොකු අවුලක් නෑ අම්මෙ. අම්ම කෙනෙක්ට පුළුවන් දරුවෙක් හදන්න. තාත්ත නොහිටියනං අම්ම ඒක කරන්නෙ නැද්ද…මිනිස්සු කියන කතා වලට බීරි වෙලා ඉන්න මං හිත හදාගෙන ඉන්නෙ අම්මෙ. අනිත් අතට මිනිස්සුන්ට ඔය කොයි දේත් මතක තියෙන්නෙ ටික දවසයි. තාත්තල මැරුණහම තනියම දරුවො හදා ගන්න අම්මල වීරවරියො වෙන්නයි තාත්තෙක් ලෝකෙට පෙන්නන්න බැරි දරුවෙක් හදන අම්ම කෙනෙක් අවලං ගෑනියෙක් වෙන්නයි බෑ අම්මෙ”

“අනේ මට තේරෙන්නෑ උඹ කියන අපබ්‍රංස. කොහොමත් මං උඹ තරං ඉගෙන ගත්ත ගෑනියෙක් නෙවෙයිනෙ. එක අතට බඩට නොකා හරි උඹට උගන්නපු වැරැද්ද මේ. මං වගේ නූගත් ගෑනියෙක් වුණානං ලැජ්ජාවට බයට හරි ඔහොම ඔලමොට්ටලකං නොකර ඉන්නව. මට තේරෙන්නෑ දෙයියනේ ඉස්සරහට අපි රටට ලෝකෙට මූණ දෙන්නෙ කොහොමද කියල”

පංචලී නිසොල්මනේ කරවල හොදි හා සම්බෝල සමග කොස් කෑවා ය. එහි ඇය ට දැනුණේ දිව්‍යමය රසයකි. මේ ඇගේ ප්‍රථම දොළදුක් කෑම වේලයි. 

“මට අම්මලව තේරෙනව. මං ට්‍රාන්සර් එකක් ගන්න හිතුව වෙන බ්‍රාන්ච් එකකට. අලුත් ජොබ් එකක් හොයනවට වැඩිය ඒක ලේසියි. එහෙම වුණොත් අපි යමුද අම්මෙ…”

අම්මා හිසේ අත ගසා ගත්තා ය. මේ ඔවුන් මතක කාලයක ජීවත් වූ ගම ය. මේ ගමේ ඔවුන් නො දන්නා මිනිසෙකු නැත. පාරට බැස්සොත් කොහේ හෝ වත්තකින් පිටියකින් ගඩා ගෙඩියක් කඩාගෙන විත් තම්බා කුස් පුරෝ ගන්නට පුළුවන. නො දන්නා ඉසව්වක ගොස් ජීවත් වෙන්නට හිතනවා කියන එකත් ඇය ට පෙනෙන්නේ මහ භයානක අත්දැකීමක් ලබන්නට යනවා සේ ය. නමුත් අවිවාහක කෙල්ල ගේ කුස මෝරත්දී මෙගම ජීවත් වීම ඊටත් වඩා භයානක විය නො හැකි ද?

“මට හරි ආසයි අම්මෙ මේ පැටිය ලොකු කරන්න. මට මැවිල පේනව එයාගෙ හිනාව…හුරතල් කතාව…එයා වැටි වැටි ඇවිදිනව…මට ඒ හැම දේම හැබැහින් විඳ ගන්න ඕන අම්මෙ. මට ඒකට හයිය තියනව. බැරිම වුණොත් මං මිඩ්ල් ඊස්ට් හරි යන්නං. අම්ම ලස්සනට පැටියව හදන්න. අපි එහෙම කරමු අම්මෙ. අනේ හා නේද…”

සිය කේඩෑරි ළැම ට නැවතත් මව් කිරි එරී බර වෙනවා සේ අම්මා ට දැනිණ. ඇන තියා ගෙන ම කරවල හොද්දට හැන්ද දැමූ ඕ තොමෝ පංචලී ගේ කොස් පිඟාන මතට එය වත් කළා ය.

“හොඳට කාහං”

එපමණක් කියූ ඕ එතැනින් නැගිට ගියා ය. පංචලී ගේ මුවගට මඳහසක් ආවේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

(අ)හිමි සිහින -233

අද විශේෂ දවසක්. ඔබ එක්ක මගේ ජීවිත කතාව මේ අවුරුද්ද පුරා මම බෙදාගත්තා. අනේක හැලහැප්පීම් කඩාවැටීම් නැගීසිටීම් දරාගැනීම් එක්ක ආපු මගේ ජීවිතබ්කතාවේ...

නිබ්බුත ගීත -30

මල්ලී හා මා අතරේ වසර තුනක පමණ වයස් පරතරයක් වේ. ඒ නිසා මා කුඩා කල පවා මට ඔහු දැනුණේ කුඩා දරුවෙකු සේ...

නිබ්බුත ගීත -29

මේ ජීවිතයට මම අතිශය ආදරය කරමි. ජීවත් වූ මේ කෙටි කාලයට ජීවිත සිය ගණනක් ජීවත් වූවා සේ මට දැනේ. එය දුක ද...

සුහදිනි – 78

ජය ඝෝෂා නැඟෙමින් තිබුණේ පරාජය පිළි නොගන්නා රසිකයන්ගෙනි.හඹා යා යුතු ඉලක්කය දිගු දුර එකකි.එහෙත් එය නොහැකි ඉලක්කයක් ද නොවේ.අහස් තමන්ගේ ඉනිම ඇරඹුවේ...

(අ)හිමි සිහින -232

මිනිස්සුන්ට විවිධ අදහස් මති මතාන්තර තියෙන්න පුලුවන්.ඒ මිනිස්සු රූපයෙන් පමණක් නොවෙයි අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මයෙන් මනුෂ්‍යත්වයෙන් ධනයෙන් බලයෙන් යසසින් ආදරයෙන්, කරුණාවෙන් වගේ  සියලු දෙයින්...