සඳක් තනියම – 26

0
6008

තේජා ප්‍රියංකාට දුරකථන ඇමතුමක් ලබාගත්තේ උදෑසන නිවසේ වැඩ කොටස නිමා වූවාට පසුවය. ඒ කතා බහ විනාඩි හතළිහකටත් වඩා වැඩි වූයේ දෙදෙනාම නොදැනුවත්වය. 

ප්‍රියංකා උන්නේත්  සිත් හොඳකින් නොවේ.මිලීනාගේ පාර්ශවයෙන් ඇගේ යෝජනාව සාධාරණයැයි සිතුනත් ඉන් දිනාරාට  හොඳක් වේයැයි සිතන්නට ඈ මැලි වූවාය.ප්‍රියංකා තේජා සමග ඒ සිතුවිලි බෙදා ගන්නට සිතුවේ  ඈ අකලංක පිළිබඳව විශ්වාසයෙන්ම තමා හා යමක් කතා බස්  කළ නිසාය.

“ මම මේ ළඟදි පුතාගේ හඳහනක් බැලුව ප්‍රියංකා ටීච. එතකොට  කියවුනෙත් විවාහ කටයුත්තක් කරල දෙන්න මේ තමයි සුදුසුම කාලේ කියලා. බලන් ඉදිද්දී මේ දරුවා වෙනස් වුණා.මගේ හිතට ඒක හරි සතුටක්. වැරදි වැඩක් නොකලට නරක වැඩක් නොකලට පිරිමි දරුවෝ ජීවිතේ  වගකීම් අවබෝධ කරගන්නේ නෑ කියන එකත් අම්මලට තාත්තලාට හරි බයක් නේ ටීච “

“ මම තේජාට කලිනුත් කිව්වනේ විශ්ව පුතාට වඩා ටිකක් ප්‍රමාද වුණාට අකලංක පුතත් ඉක්මනින්ම තමන්ගේ යුතුකම් වගකීම් තේරුම් ගනියි කියලා..”

“ ඒක ඇත්ත. ඇත්තටම මම ටීචගේ  ඒ වචන ගැන විශ්වාස කළා.සමහර වෙලාවට මටත් වඩා මගේ දරුවාව ටීච තේරුම් ගත්තනේ.”

“ ඉදිරියටත් ඒ හැම කටයුත්තක්ම තේජාගෙයි මහින්ද මහත්තයාගෙයි  හිත සතුටු වෙන තරමටම සුබ විදිහට සිද්ධ වේවි.”

“ නර්මදා දවත් එක්කනේ හැමදේම කියන්නේ.දුවත් හෙමිහිට අහලා තිබුණා.එහෙම විශේෂ කෙනෙක් ගැන හිතේ බලාපොරොත්තුවක් නැහැලු.ඒ හින්දා මම හිතුවේ ටීච අපි උනන්දු වෙලා කෙනෙක් හොයන්න  කියලා.එතකොට ටික කාලයක් ආශ්‍රය කරලා බලලා පුතාටත් පුළුවන්නේ තීරණයක් ගන්න.”

“ ඒක හොඳටම  හොඳයි තේජා…මහින්ද මහත්තයා මොකද කියන්නේ?”

“ එයා නං කියන්නේ අපි හදිසි නොවී ඉමු කියලා.මටත් හදිසියක් නෑ.දැන්මම කෙනෙක් බලන එක වරදක් නෑ.ඕවා බලලා හොයලා ටිකක් ඇසුරු කරලා තේරුම් ගන්නකොටත් ටික කාලයක් ගත වෙනවනේ..”

“ ඒකනම් ඇත්ත තමයි…මටත් මේ වගේම සිදුවීමකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ ..”

“ ඇයි ප්‍රියංකා ටීච එහෙම කිව්වේ…”

“ අපේ දුව දිනාරාටත් එයාගේ අත්තම්මා සුදුසු තැනකින් විවාහයක් කරල දෙන්න ඉක්මන් කරනවා.ඒ උනාට ඒක මගේ හිතට මහා බරක්..”

“ බරක් කිව්වේ….”

“ ඔය දිනාරා දුව ටිකක් සල්ලි තියන උඩරට වලව් පෙළපතකට අයිති දරුවෙක්.ඒ ආත්තම්මා ලඟනේ මේ දරුවා හැදුනේ.ඉතින් ඒ  ආත්තම්මා හිතනවා දිනාරාගේ ජීවිතේ හැම තීරණයක්ම ගන්න අයිතිය තියෙන්නේ එයාට කියලා. පරණ අයනේ ටිකක් අමුතුයි හිතන විදිහ.දැන් විවාහ කටයුත්තක් සූදානම් කරන්න තමයි ලෑස්තිය.ඒ උනාට ඒ තීරණය නිවරදිම තීරණය කියලා මට හිතෙන්නේ නෑ..”

“ ඇයි ටීච එහෙම කියන්නේ “

“ ඒ මිනිස්සු මුල් තැන දෙන්නේ තමන්ගේ පෙළපතටයි , මුදල් වලටයි විතරයි.”

“ ඒකත් එහෙමද…එහෙනම් මේ දරුවට වැරදි කෙනෙක් හොයලා දෙයිද දන් නෑ..”

“ ඒකම තමයි මටත් බය.දුව තවම මේ ගැන දන්නෙ නෑ.එයා හරි වෙනස් දරුවෙක්.හරි පරිස්සමට ජීවත් වෙන දරුවෙක්නේ..”

“ හරි පුදුමයි ඒ දරුවා කා එක්කවත් සම්බන්ධයක් නෑ කිව්වම.එච්චර ලස්සන දරුවෙක්.”

“ අනේ නෑ තේජා..අම්මා නැති වෙනකල්ම අම්මා අස්සට වෙලා හිටපු කෙල්ල ඔය.ඊට පස්සේ ඉතින් එහෙම දේකට යොමු වෙන්න කාලයක් තිබුනේ නෑ.අම්මා නැති වෙච්ච දුකෙන් හිටියා මිසක්කා..”

“ දිනාරා දුව අකමැති කෙනෙක උනොත් අත්තම්මට කියන්න පුළුවන් නේ..”

“ එහෙම දරුවන්ගේ කැමැත්ත අකමැත්තට මුල්තැන දීලා වැඩකටයුතු කරන මිනිස්සු නෙමෙයි ඒ..”

“ඒක හරි අසාධාරණයි. දරුවන්ගේ කසාද ඇතුලේ එයාලට ගැලපෙන කෙනා කීරණය කරන්නේ ඕනේ  එයාලා.”

“ ඒ ඇත්ත තේරුම් ගන්න ඒ මිනිස්සු කැමති නැහැ.දිනාරා පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් ඇති කර නොගන්නා විදිහට වැඩ කරන්න මමත් වගබලා ගන්න ඕනේ කියලා තමයි කිව්වේ.”

“ ඒ දරුවාට දැන් අවුරුදු විස්සක් වගේ ඇති නේද.”

“ විසි එකක් තේජා…”

“ එහෙම දරුවෙකුට පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් ඇතිකර ගන්න එපා කියලා අපිට කියන්න බැහැ..තමන්ට ආදරේ කරන තමන්ව රැකබලා ගන්න පුළුවන් හොඳ දරුවෙක් තෝරගන්න කියලා විතරයි අපිට කියන්න පුළුවන් “

“ දිනාරා දුවනම් දැන්ම එහෙම දෙයක් ගැන හිතයි කියලා හිතන්න අමාරුයි.මට බය තියෙන්නේ මේ දරුවා අත්තම්මට තියෙන කීකරුකම හින්දා අත්තම්මා කියන දේකට කැමති වෙලා ජීවිතේම අපායක්  කර ගනී කියලා.”

“ මටත් හරි දුක හිතුණා  ඒක ඇහුවහමනම්. ප්‍රියංකා ටීච,  දිනාරා වෙනුවෙන් ඕනෑම දේකට මමත් ඉන්නවා.අපේ මහින්දයි ලොකු පුතයිත් දිනාරා දුව ගැන හරිම පැහැදීමකින් ඉන්නේ.⁣මේ කොල්ලා ගෙන්නම් වචනයක් ගන්න අමාරුයිනේ.”

“ බොහොම ස්තූතියි තේජා ඒ වචන වලටත්.මගේ හිතටත් ලොකු හයියක් ලැබුණා ඒකෙන්.”

සම්පූර්ණයෙන්ම සැහැල්ලු වී ගිය මනසකින් නොවූවත් ප්‍රියංකා දුරකථනය තැබුවේ සැනසුම් සුසුමක් මුදාහරි මින්ය.ඊයේ රාත්‍රියේ වූ දුරකථන සංවාදය ගැන දිනාරා වරින් වර ප්‍රශ්න කළත් ප්‍රියංකා ඒ සෑම විටකම සිනහවකින් ඇයව මඟහරින්නට උත්සාහ දැරුවාය.එහෙත් ඇගේ සිත රිදී තිබුණේ උපරිමයෙන්මය. මිලිනා නොකියා පැවසූයේ දිනාරා කොළඹ සිටියදී අනවශ්‍ය සම්බන්ධයක පටලැවුනහොත් එහි වගකීම තමා විසින් පවරා ගත යුතු බවය.එහි වූයේ ඉල්ලීමකට වඩා තර්ජනයක්යැයි ප්‍රියංකා සිතුවාය. මිලීනා දිනාරාට සැබවින්ම ආදරය කරනා බවට අවිශ්වාසයක් නොවේ.එහෙත් ඇගේ විවාහය කටයුතුවලට මැදිහත්වීම තමා විසින් නොකළ යුතු දෙයක් යැයි තවමත් ඇයට නොතේරෙන්නේ මන්දැයි ඈ සිතුවේ පුදුමයෙන්ය.

========******======********=======

සැවොම එක්වන  රාත්‍රී කෑම මේසය මතින් කට්ලට් බඳුන ගෙනවි තැබූ තේජා තම සැමියාගේ  වම් පසින් අසුන් ගත්තේ අඩුපාඩු කිසිවක් ඇත්දැයි යළිත් වරක්  සොයා බැලුවාට පසුවය. ප්‍රියංකා විසින් සකස් කර එවා තිබූ මැලේ අච්චාරුවටත්, කෙසෙල් මුව සීනි සම්බෝලයටත්, වම්බටු  මෝජුවටත් ගැලපෙන පරිද්දෙන් කහබතක්, කළුවට ඉවූ   කුකුල් මස් ව්‍යාංජනයක්, කට්ලට් බැදුමක් හා අල කිරි හොද්දක් සකස් කලේ ඇය විසින්මය.

“ ප්‍රියංකා ටීචගේ   මේ කෙසෙල් මුව සීනි සම්බෝලේ අපිට අලුත් ප්‍රඩක්ට් එකක් විදිහට ඉස්සරහට ගෙනියන්න පුළුවන්.මේක අලුත් දෙයක් නොවුනට තාම කිසිම කෙනෙක්ගෙන් මේ ප්‍රඩක්ට් එක එළියට ඇවිත් නෑ.”

මහින්ද පැවසූයේ තේජා ඔහුට ප්‍රියංකා එවා තිබූ කෙසෙල් මුව සීනි සම්බෝලය බෙදද්දීය.මින් පෙරත් කිහිප වතාවක්ම ඈ ඔවුන් වෙනුවෙන් ඒ සීනිසම්බෝලය සකස්කර එව්වාය.

“ එහෙනම් අපි තේජටත් කියමු මේ සැරේ ඉවෙන්ට් එකට ඇප්ලිකේෂන් එකක් දෙන්න කියලා.”

“ එහෙම හොඳ නෑනේ…අපි තේජාත් එක්ක හෙමින් මේ ගැන කතා කරමු.ඇත්තටම ඒක හරි රසයි “

තේජා නර්මදාගේ පිඟානට තවත් බත් හැන්දක් බෙදුවේ ඇය ‘ ඇති අම්මා ‘ යැයි පවසද්දීය. ඉදහිට  දිනක කුඩා දියණිය කෑම මේසයට අසුන් ගත්තත් අද ඈ වේලාසනින්ම ආහාර ගෙන නින්දට ගියේ දහවල නොනිදා උන් නිසාය. අම්මා මල්ලියක ගෙන එනවායැයි ඇයට පවසා තිබුනේ අකලංකය.දැන් කෙල්ලට ප්‍රශ්න ගොඩකි.

“ ඒක නෙමෙයි…තේජා අද  මමත් එක්ක හරි පුදුම කතාවක් කිව්වා දිනාරා ගැන.”

තේජා එසේ පවසද්දී අකලංක වූයේ අල කිරි හොදි ස්වල්පයක් තම පිඟානට බෙදා ගැනීමේ සූදානමින්ය.ඔහුත් නොදැනුවත්වම අතැඟිලි වලින් ලිස්සා ගිය හැන්ද ස්ලං… හඩ නංවමින් මේසය මත වැටුණේ කිරි හොදි  ස්වල්පයක් සුදු පැහැ ඇතිරිල්ල මත විසිර යන ලෙසය.

කලබලව ඔහු දෙස බැලූ නර්මදාත් විශ්වත් මුහුණින් මුහුණ බලා ගත්තේ එකවරය. ඒ හා සමඟම මේසය යටින් තම කකුල ඉදිරිපසට දිගු කළ විශ්ව සොහොයුරාගේ කකුල පාගා ඔහුට සන්සුන් වන්නයැයි  පැවසූයේ සිය දෑස් වලින්ය.

කොහොමටත් ඉඳහිට අකලංකගෙන් මෙවන් කලබලකාරී ස්වරූපයන් දිස්වන නිසා තේජාට හෝ මහින්දට එය අමුත්තක් නොවන්නට ඇත. තේජා  දිගින් දිගටම  දිනාරාගේ විස්තර පැවසූයේ ඒ නිසාය.

“ ඒ ළමයා නුවර පැත්තේ වලව්වක ළමයෙක්ලු. වලව්කාරයෝ නිසා එයාව බලා ගන්න අත්තම්මා ටිකක් තද ඩිෂිශන්ස්ලු  ගන්නේ. ඉතින් ප්‍රියංකාට වෝර්න්  කලාලු  දිනාරාගේ මැරේජ් එක ගැන තීරණ ගන්න පුළුවන් එයාට විතරයි කියලා.”

“ ඒකට මොකටද  ප්‍රියංකාට වෝර්න් කරන්නේ .ප්‍රියංකාට කොහොමත් ඒ ළමයාගේ ජීවිතය ගැන තීරණ ගන්න බැහැනේ.අනික පොඩි ළමයෙක් නෙමෙයිනේ.”

එවර පැවසූයේ මහින්දය.

“සමහරවිට දිනාරා ආත්තම්මාගෙන් අවසරයක් නැතුව එයාගේ මැරේජ් එකට බෝයි කෙනෙක් තෝර ගනියි කියලා හිතලා වෙන්න ඇති එහෙම කියන්න ඇත්තේ.”

“ඒ ළමයා පොඩි ළමයෙක් නෙමෙයිනේ තේජා..”

“ ඒකම තමයි මහින්ද ප්‍රියංකා කියන්නෙත්.දිනාරා හරි පිළිවලට ජීවත් වෙන ළමයෙක්ලු.ඒ වගේම තමන්ගේ පාඩුවේ ජීවත් වෙන ළමයෙක්ලු.එහෙම කෙනෙක්ගෙ ජීවිතේ එයාට නොගැලපෙන කෙනෙක් ළඟ ගිහිල්ලා නතර වෙයි කියලා තමයි ප්‍රියංකා බයෙන් ඉන්නේ.ඒ තරම් තැලිලා පොඩිවෙලා හැදුණු ළමයෙක් නෙමෙයි වෙන්න ඇතිනේ..ඒක තමයි මහින්ද ඒ ළමයගේ පෙනුම.මං ඔයාට එදාම කිව්වනේ හරි ආඩම්බරකාර තේජස් පෙනුමක් තියෙන්නේ කියලා..වලව්වක ළමයෙක්නේ.”

“ හ්ම්..හරි දක්ෂ ළමයෙක්..හොඳ කෙනෙක් මුණ ගැහෙන්න ඕනේ..”

“ ඒ උනාට දිනාරා ආතම්මට හරි ආදරෙයිලු.එයා අත්තම්මා ගන්න තීරණයකට එකඟ නොවී ඉදියි කියලා හිතන්න අමාරුයි කියලා තමයි ප්‍රියංකා කියන්නේ. ඒ උනාට ඒ අත්තම්මා මුල් තැන දීල වැඩ කරන්නේ දරුවන්ගේ කැමැත්තට නෙමෙයිලු.සල්ලියි  ඒගොල්ලන්ගේ වලව් පෙළපතට ගැලපෙන කෙනෙකුයි තමයිලු බලන්නේ. ප්‍රියංකා හරි බයෙන් ඉන්නේ දිනාරාගේ ජීවිතේ ගැන.මාත් එක්ක කතා කරද්දිත් ඇඬුණා.”

“ඒකනං සාධාරණ බයක් තමයි.ඒ ළමයට නොගැලපෙන දරුවෙක් හම්බ වුනොත් නිකං ප්‍රශ්න ඇතිවෙනවා..” 

විශ්ව, නර්මදා  හෝ අකලංක සම්බන්ධ නොවූ මේ කතාබහ ඇති වූයේ තේජාත් මහින්දත් අතරේ පමණි. අතරමගදී  ‘එක්ස්කියුස්මී ‘යැයි අවසර පැතූ  අකලංක නැගී සිටියාය.ඔහු මේසයට වාඩි වෙද්දී පිගානට බෙදාගත් එකම එක බත් හැන්දත් එලෙස පිඟානෙහි ඉතිරිව තිබිණ.

“ ඔයා හරියකට කෑවේ නෑනේ පුතේ…”

යනුවෙන් තේජා පවසද්දී “ ඇති අම්මා…මං හවස කෑවේ…” යැයි පවසා ඔහු පියගැටපෙළ නැඟුනේ අඩියට දෙකටය.

( යළිත් හමුවෙමු ආදරයෙන් ..)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here