මුතු බෙලි හදවත – 33 වන කොටස

ජීවත් වන්නට කෙනෙකු ට ලැබෙන්නේ එක ජීවිතයකි. එය ද මහා දිගු කාලයක් සඳහා සැපයෙන්නක් නොවේ. අප සියල්ල කළ යුත්තේ ඒ කෙටි කාලය තුළ ය. දුක් වෙමින් ද කඳුළු සලමින් ද වෛර කරමින් ද විඳවමින් ද සිටිනවා වෙනුවට ආදරය කිරීම තෝරා ගත හැකි ය. ප්‍රශ්නය නම් මිනිසුන් ආදරය කියා සිතන්නේ කුමක් ද යන්න ය. විකුම් ලා ආදරය සේ ම අනියම් සම්බන්ධතා ද අර්ථ ගන්වන්නේ ලිංගිකත්වය මත ය. නමුත් ආදරය කියා වෙන ම ආත්මීය බැඳීමක් වන බව දැන් ආදිත්‍යා ට දැනේ. ඇය මේ මොහොතේ විඳිමින් ඉන්නේ එය ය.

“ඇයි දුමාල් මට ඔයා කලින් මුණ නොගැහුණෙ..”

ඒ ප්‍රශ්නය තව දුරටත් හිත තුළ හිර කර ගෙන ඉන්නට ආදිත්‍යා  අපොහොසත් වූවා ය. උරහිස වටා වමත යවමින් ඇගේ වමත් බාහුවෙන් අල්ලා ගත් ඔහු ඇය ට ආදරයේ උණුහුම දැනෙන්නට හැරියේ ය.

“මේ තමයි ඒකට හොඳම වෙලාව කියල ඉරණම හිතන්න ඇති. නැත්තං..මට මින්දුල ලැබෙන්නෙත් නෑනෙ”

“අනේහ්!…එයා ඔයාට තාත්තෙ කිව්වොත්…ඔයා කැමතිද එහෙම…”

“මට දැං ජීවිතේම ඔය දෙන්න තමයි ආදි”

ආදිත්‍යා ගේ ඇස් වලින් කඳුළු පැන්නේ ය. මේ වාගේ සමනල තටු හදවත මත සුමුදු තටු සලනා හැඟීමක් මින් පෙර ඇය අත් විඳ ඇත්තේ ම නැත. විවාහක ගැහැනියක පර පුරුෂයෙකු ඇසුරු කිරීමේ පාපය ගැන නො සිතූ ආදිත්‍යා මේ මොහොත උපරිමයෙන් විඳ ගන්නට තීරණයක් ගෙන අත් දෙකෙන් ම කොපුල් තලා වල වූ කඳුළු පොඩි කොට හැරියා ය.

දරුවන් ගේ ක්‍රීඩා අවකාශයේ වූ අංගෝපාංග වලට මින්දුල ගේ පෙර වූ බිය දැන් තරමක් අඩු ය. ආදිත්‍යා සිටියදී ට වඩා, ඒවා සමග ක්‍රීඩා කිරීමේ දී ඔහු දුමාල් ව විශ්වාස කරන බවක් පෙනෙන්නට තිබේ. දුමාල් අසල දී ඔහු සිය බිය පාලනය කර ගන්නා බවක් පෙනෙන්නට තිබේ.

“අම්මි එපාද..”

ආදිත්‍යා පුංචි මින්දුල ව ක්‍රීඩාංගනය වෙත කැටිව යන්නට තනත්දී ඔහු අතකින් ඇය ව තල්ලු කළේ ය. මින්දුල ගේ මුහුණේ වූයේ හැඬුම්බර ස්වරූපයකි. ආදිත්‍යා බිය වූවා ය. මේ වගේ සෙනග පිරි තැනෙක ඔහු කලබල වූවොතින් සනසා නලවා ගැනීම පහසු නැත.

“හරි හරි අම්මි එපා. අම්මි අරහෙං ඉඳං ඉන්නකො. පුතා තාත්ති එක්ක සෙල්ලං කරන්න යං හොඳේ”

ආදිත්‍යා ගේ උදරයේ වූ අතුණුබහන් පෙරළී ගියා සේ ඇය ට දැනිණ. ඕ වහා දුමාල් දෙස නෙතු ඔසවා බැලුවා ය. ඒ හිත තේරුම් ගන්නට ඔහු අසමත් වූයේ නැත. දුමාල් ආදිත්‍යා ගේ හිස් මුදුණේ අතක් තබා එක ඇස් බැල්මක් ඇය ට දුන්නේ ය. නොකියූ කතා දහස් ගණනක් ඒ බැල්මේ තිබී ඇය ට කියවා ගත හැකි විය.

“තාත්ති හොඳයි නේද…”

“තාත්ති හොඳයි නේද..”

මින්දුල හැඬුම යටපත් වෙන්නට හැර උනන්දුවකින් කීවේ ය.

“ඒකනෙ…අපි යං..යං යං…කොල්ලො වුණාම ඉන්න එපැයි ෆිට් එකේ. දුවල යං…”

දුමාල් මින්දුල ගේ අතින් අල්ලා ගෙන පොඩි ළමයෙක් සේ දිව ගියේ ය. ආදිත්‍යා සිනහවකින් සිමෙන්ති බංකුවක් මතට වැටුණා ය. නමුත් ඇස් වලට සතුටු කඳුළක් උණා තිබිණි.

පෘථග්ජන ගැහැනියක වශයෙන් මේ දේවල් ප්‍රතික්ෂේප කරන්නේ කෙසේ දැයි ඇය ට සිතිණ. මේ වගේ ජීවිතයකට ඇගේ හිතේ ලෝබ කමක් වේ.  මීට පෙර විඳ නැති මේ ආදරය කෙරේ ඈ සිත් හි තෘෂ්ණාවක් ජනිත වෙමින් තිබේ.

දියවන්නා ඔයෙහි ජල තලය පිස හමා එන පවන සිහිලැල් වූයේ ය. ඒ සුළඟ මුමුණා කීවේ අද ඈ සතුටෙන් ඉන්නා බවයි. සැබවින් මෙහෙව් පිරිපුන් බවක් මීට පෙර ඇය ට දැනී ම නැත. ආදිත්‍යා සිමෙන්ති මේසය මත නිකට තියා දුමාල් හා මින්දුල සෙල්ලම් කරනා හැටි බලා හිටියා ය. ගැහැනු හිතක් සතුටු කරන්නට කෙතරම් නම් කුඩා දේවල් සෑහේ ද? නමුත් විකුම් වාගේ පිරිමි ජීවිතය සතුටු කරනවා ඒ වගේ සතුටු මන්තර ගැන දැනුවත් අයවලුන් නොවේ. ඔවුන් සිතන්නේ සල්ලි ගස් වලින් කැඩිය හැකි නම් ගැහැනුන් වඳුරන්ටත් පෙම් කරනු ඇති බවයි. එවන් ගැහැනුන් නැතිවා නො විය හැක. නමුත් හැම ගැහැනියක ම එසේ යයි ඉන් අදහස් නො කෙරේ. සල්ලි මිටියක් මේසය මතින් තියා ගියා කියා ආදිත්‍යා වන් ගැහැනුන් තෘප්ත කළ හැකි නම් ඔවුන් ඒ සල්ලි මිටි වලට පයින් ගසා ආදරය තියෙන තැනක නතර වන්නට සිතන්නේ නැත. විකුම් ලා තේරුම් නො ගන්නා සත්‍යය එයයි.

“අද එක්කෙනෙක්ගෙ ඇස් වල තියන සතුට…”

ආමන්තා ආදිත්‍යා ට යාබද සිමෙන්ති බංකුවෙහි හිඳ ගත්තේ, ඇගේ මූණට එබෙමින් එසේ කියමිනි. ආදිත්‍යා සතුටු සිනහව පුළුල් ව නැගෙන්නට හැරියා ය.

“වෙන්නැති”

“ඔයා ඔන්න ඔහොම සතුටෙන් ඉන්න ඕන අක්කෙ”

“දුමාල් පුතාට කිව්ව නංගි…තාත්ති එක්ක සෙල්ලං කරමු කියල. ගෑනු මිනිස්සු තමං වැරදියි කියල දැන දැන ම වැරදි කරන හේතු මෙන්න මේව වෙන්නැති නංගි. ඒ වගේ තැනකිං හිතක් ගලවගන්න….ඕන වුණත් ලේසි නෑ”

“ගලවගන්න ඕනත් නෑ”

ආමන්තා මුරණ්ඩු ලෙස කීවා ය. ඈ සිය සිත් හි දුමාල් පිළිබඳව පිළිසිඳි පෙම් සිතිවිලි හකුළා ගත්තේ අක්කා වෙනුවෙනි. ඔහු ඇය ව සතුටෙන් තබන්නට සූදානම් බව වටහා ගත්තා ට පස්සේ, ඒ සිතිවිල්ල අත් හැර දැමීම මහා අසීරු දෙයක් වූයේ නැත. අනිත් අතට මීට පෙර ද ඇය පෙම් සබඳකමක් පවත්වා අත්දැකීම් තිබේ. අමතක කිරීමේ අමාරුව වන්නේ ටික කලකි. තවත් කෙනෙක් හිතට එබිකම් කරනා තුරු පමණකි. එහෙව් එකේ අක්කා සතුටින් ඉන්නා එක, ඇය ආදරයක් විඳිනා එක ආමන්තා ට අන් සියල්ලට වඩා වැදගත් වූයේ ය. අගනා වූයේ ය.

“ඔයා වැරදියි කියල හිතන්න එපා අක්ක. අර කොල්ලවත් එහෙම හිතන තැනට තල්ලු කරන්න එපා. ඔයාගෙ මහත්තය ඇත්තටම ඔයා ගැන ආදරෙං හිතපු නැති එක ඔයාගෙ වරදක් ද..ඒ යකා ලෝක රූ රැජිණක් කසාද බැන්දත් ඔය තත්වෙ වෙනස් වෙන්නෑ. එළියෙ තව ගෑනු පරාන කීපයක් ඉන්නව. උන්ට ඕනෙ හිත නිවෙන ආදරයක් නෙවෙයි. ශරීර වෙනසක්..ජීවිතේ තියෙනකල් උං ඒ වෙනස හොය හොයා යයි. ඒක ඔයාගෙ වරදක්ද…ආදරේ කියල දෙයක් තියෙනව අක්කෙ. කාලයක් තිස්සෙ ඒක නොලබපු මිනිස්සු…අහම්බෙන් ඒක හම්බ වුණහම අනිත් කොයි දේත් අමතක කරල ඒ පුදුම හැඟීමට ලෝබ වෙනව. ඒක ඔයාගෙ වරදක්ද…හැබැයි වැරදෙන්න පුළුවන් තැන් තියනව. කසාද බැඳපු ගෑනියෙක් ගෙ ජීවිතේ හිස්තැන් තියෙනව කියල දැන ගත්තහම හුඟක් වෙලාවට ඒ හිස් තැන් වලට රිංගන්න හදන්නෙ යක්කු පෙරේතයො කියනවනෙ. ඒ අතිං ඔයා මාර වාසනාවන්තයි. දුමාල් කියන්නෙ දෙවියෙක් වගේ කොල්ලෙක්”

ආදිත්‍යා ගේ නෙත් කෙවෙනි අග ම කඳුළක දැවිල්ල විය. නමුත් ඕ ඒ කඳුළු වලට දිය වෙන්නට ඉඩක් දුන්නේ නැත.

“මං ප්‍රාර්ථනා කරන්නෙ දුමාල් අයිය මින්දුල ට තියෙන ඔය ආදරේ කවදාවත් වෙනස් වෙන්න එපා කියල විතරයි”

“මං දන්නෑ නංගි මේ දේවල් කොහෙන් කොහොම කෙළවර වෙයිද කියල…”

ආදිත්‍යා මහා දිගු සුසුමක් හෙළුවා ය. නමුත් ඒ ගැන ඇගේ වන හිත් බර නම් ඉන් හෑල්ලු වූවා නොවේ!

ඒ හැන්දෑව බෝ සොඳුරු වූයේ ය. ආදිත්‍යා සිය ජීවිතයේ සතුටෙන් ම සිටි දිනය එය විය යුතු ය. මින්දුල ට තාත්තා කියන්නට කෙනෙක් අවසර දීම ඇය ට උහුලා ගත නො හැකි ප්‍රීතිය විය. ඔහු වූ කලී පියා අහිමි කරනු ලැබූ දරුවෙකි. ජීව විද්‍යාත්මක පියා ට තාත්තා කියන්නට, එකී පියා විසින් ම අවසර අහිමි කරනු ලැබූ අසරණයෙකි. මින්දුල ප්‍රථම වතවට තාත්තා කියා කතා කළේ අද ය. ඒ දුමාල් ට ය. ආදිත්‍යා ඒ සිදුවීම කෙසේ නම් අමතක කරන්න ද?

ආදිත්‍යා ගොනු කළ දික්කසාද නඩුව ගැන දැන ගත් විකුම්, දණ්ඩෙන් පහර ලැබූ නාගයෙකු සේ කිපුණේ ය. ඔහු ඒ වෙලාවේ ම පෙර පාසලට පැමිණි අතර, එය වසා තිබුණෙන් ආදිත්‍යා ගේ මහ ගෙදර බලා රිය ධාවනය කළේ ය.

“ආදිත්‍යා…”

දොරකඩ සිට ඔහු කෑ ගසත්දී, යහනත හාන්සි වී සිටි ජයලත් වරුසවිතාන නැගී සිටියේ ය. ඔහු පිටතට එත්දී ආදිත්‍යා විකුම් වෙත ගොස් අවසාන ය.

“මොකද්ද තමුසෙ මේ කරල තියෙන වැඩේ…”

ඔහු ගුගුළේ ගෙදර බිත්ති දෙදරා යන්නට ය. ඔහු ඇවිලෙන ගින්දර ආදිත්‍යා හොඳින් දුටුවා ය. ඇය ට ඕනෑ වූයේ ගිනි අවුළුවා ගන්නට නොව දැනටමත් ඇවිළෙමින් පවත්නා ගින්න නිවා ගන්නට ය.

“මොකද්ද…”

ඈ සන්සුන් ව දෙඩුවේ එනිසාවෙනි.

“තමුසෙට මං කතා කළේ ගෙදර යන්න. තමුසෙ මොකද්ද මේ කරල තියෙන්නෙ…ආ…දික්කසාද නඩු දාල..බම්බුව”

“විකුම්…ඔහොම කෑ ගහන්න එපා බොරුවට. මට කරන්න පුළුවන් හොඳම දේ තමයි මං මේ කළේ..ඒක මටත් හොඳයි ඔයාටත් හොඳයි”

“මොකද්ද ඕයි හොඳේ. තමුසෙ හදන්නෙ මාව නැති කරන්න. මගෙං පළි ගන්න”

ආදිත්‍යා සුසුමක් හෙළුවා ය. විකුම් කියන්නේ කොහොමටත් සිය මතය ම නිවැරදි යයි තහවුරු කරන්නට දඟලනා කෙනෙකු මිස වෙනකෙකුට කන් දෙන්නට සූදානම් අයෙකු නොවේ.

“මොකද්ද දැං ඔයා කියන්නෙ විකුම්…”

ජයලත් ඔවුන් ගේ හඬ ඇහෙන මානයේ ඔබ මොබ සක්මන් කරමින් සිටියේ ය. ලලිතා ගේ හද ගැස්ම උච්ච වී තිබිණි. ඈ වඩාත් බිය වූයේ හෘද රෝගියෙකු වන ජයලත් මේවා නිසා යළිත් ගිලන් වේ කියා ය.

“යමු ගෙදර. මං කියන්නෙ එච්චරයි”

“මං ඔයාට කිව්වනෙ මං එන්නං වෙනම ගෙයක් ගත්තොත් කියල. ඔයාට එහෙම කරන්න බැරි කමක් නෑ. මොකද ඒ ගෙදර ඉඳගෙන ඔයාගෙ තාත්තව හුරතල් කරන්න මට කිසී උවමනාවක් නෑ. අනිත් එක වෙන ගේකට වුණත් මං එන්නෙ ඔයා පුතාට තාත්ත වෙනවනං විතරයි. ඔයාගෙ දරුවට තාත්ත කියල කතා කරන්නවත් ඔයා අවසර දෙන්නෙ නැතුව…ඇයි මං ඔයාගෙ ගෙදරට එන්න ඕනෙ කියලයි මට හිතා ගන්න බැරි”

“ආදී..ආදී…ආදී…”

විකුම් සිය නළල පොඩි කර ගත්තේ ය.

“ඇයි ඔයාට බැරි ඔය ලෙඩ ළමයට වඩා මං ගැන හිතන්න…අපේ අනාගතේ ගැන හිතන්න…”

තවත් ඉවසා ගෙන මේවා අසා ඉන්නට ජයලත් ට හැකි වූයේ නැත. ඔහු අඩියක් තබනකොට ම ලලිතා ඔහු ගේ අතකින් ඇල්ලුවා ය. නමුත් ජයලත් ඒ අත ලිස්සා යන සේ සිය අරමුණ කරා ගියේ ය.

“තමුංගෙ තාත්ත මේ කෙල්ලට අතවර කරන්න ඇවිත්…මොකද්ද තමුං ඒ ගැන ගත්ත ක්‍රියා මාර්ගෙ…මට දැනගන්න ඕන එච්චරයි”

ජයලත් කෙලින් ම විකුම් ගේ මුහුණ බලා ප්‍රශ්න කළේ ය. ඔහු සටකපට ලීලාවෙන් ඒ බැල්ම මගහැරියේ ය.

“තාත්ත ඇවිත් තියෙන්නෙ පුතා රූම් එකේ තනියම ඉන්නව දැකල..මෙයාට මේ මනස්ගාත”

ආදිත්‍යා විකුම් දැවී යන බැල්මකින් බැලුවා ය. ඒ බැල්මත් සමග සිය අවසාන තීරණය ද ප්‍රකාශ කළා ය.

“ඒ කියන්නෙ ඔයා ඔයාගෙ ලීගල් වයිෆ් ව විශ්වාස කරන්නෙත් නෑ කියන එකනෙ…නේද විකුම්…කොහොමත් අපි අතරෙ තිබුණෙ ඒ නීති අයිතිය විතරනෙ. ඔයා මෙච්චර දෙයක් වෙලා තියෙද්දි මාව විශ්වාස කරන්නෙත් නැත්තං…ඒ කියන්නෙ ඒ නීති කෙහෙල්මලෙනුත් ඇති වැඩක් නෑ කියන එකනෙ. අපි ඩිවෝස් වෙමු විකුම්. ඒක මගෙ අන්තිම තීරණේ”

මෙහෙම දෙයක් විකුම් බලාපොරොත්තු වූයේ ම නැත. ඔහු ට සිතුණේ මේ තරම් අවමානයක් තමන් වෙත ගෙනා ආදිත්‍යා ගේ කම්මුල් රත් වෙන පහරක් ගසන්නට ය.නමුත් ඇගේ පිරිවර ඉදිරියේ එහෙම කරන්නට ද ඔහු පසු බෑවේ ය.

“ආහා…ඒ සයිස් එකෙංද දැං එතකොට තමුසෙ එන්නෙ. අපි බලමු ඒක වෙන හැටි..තමුසෙට ලේසි වෙන්නෑ ආදිත්‍යා. නයාට ගහලයි පොල්ල වරද්දගත්තෙ ආ…”

“මටයි දරුවටයි පාඩුවෙ ඉන්න දෙන්න විකුම්. එහෙම නොවුණොත් මාත් නිකං ඉන්නෙ නෑ. වෙච්ච දේවල් එළි කරනව මුළු රටටම. තාත්තල පුතාලට රෙද්දක් ඇඳං පාරට බහින්න බැරි වෙන්න. ඒත් ඉතිං එහෙම කරන්න දෙන්නම ලැජ්ජාවක් තියෙන මිනිස්සු නෙවෙයිනෙ…නේ…”

ආදිත්‍යා දෙස තත්පර කිහිපයක් රවා ගෙන බලා සිටි විකුම් වේගවත් ගමනින් පිටත් වූයේ ‘බලාගමු’ යන තර්ජනාත්මක ප්‍රකාශයෙනි. ඔහු ගේ රිය හඬ දමාගෙන නික්ම ගිය පසු ආදිත්‍යා පුටුවක් මතට වැටුණා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles