සඳක් තනියම – 27

0
5723

බාප්පාගේ දියණියගේ මංගල උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ කුවීන්ස් හෝටලයේය.

ඉන් පෙර දෙදවසක්ම වත්තේ වැඩ කරන සේවකයන් උදෙසා වලව්වේ දිවා ආහාරය සූදානම් කරන්නට නියමිතව තිබිණ.අත්තම්මා පවා සියල්ල අමතක කරමින් ලියානාගේ  විවාහ උත්සවය සඳහා සූදානමින් සිටියාය. මනාළියගේ ඇඳුම් තේරීම සඳහා මනාලයාගේ මවත් , නැන්දාත් ඉන්දියාවට ගොස් පැමිණියේ මින් මසකට ඉහතදීය. දිනාරා මේ සියල්ල දැන ගත්තේ අත්තම්මාගෙන්ය.

දිනාරාට කිසි දිනක වලව්වට අයත් දේපළ ගැන ආසාවක් වූයේ නැත.අම්මාටත් ඒ අයුරේ ආසාවක් නොවූ බව විශ්වාසය.එහෙත් තමාගේ යැයි සිතන මිනිසුන් සමග එක්ව  ජීවත් වන්නට, කතාබහ කරන්නට,  දුක සැප බෙදා ගන්නට අසාවක් ඇගේ සිතෙහි සැමදාමත් විය.විවාහයට සහභාගී වීම සඳහා කුවීන්ස්  හෝටලයට හෝ ආරාධනා කළා නම් තමාගේ සිත සතුටින් උද්දාමයට පත්වනු ඇතැයි දිනාරා සිතුවාය. මේ සා වෛර කරන්නට තරම් තමා ඔවුනගෙන් උදුරා ගත්තේ කුමක්දැයි ඇයට  අදටත් නොතේරේ..අඩු තරමේ තේ ෆැක්ටරිවල වැඩ කරන සේවකයන් තරමටවත් තමා ඔවුනට නොවටිනා කෙනෙක් යැයි සිතා දිනාරා සිත හදාගත්තේ රැයක් නොනිදාම කඳුළු සැලුවාට පසුවය. කුඩාකල එක්ව සෙල්ලම්කල සොයුරියට , මොයුරාට පවා තමාව අමතක වූයේ කෙසේදැයි දිනාරා සිතුවේ මවිතයෙන්ය.වලව්වේ සේවකයන් වෙනුවෙන් සූදානම් කරන සාතයේදීවත් තමාව සිහි නොවීම පුදුමයකි.වලව්වෙන් පිටව ආවාට පසුව තමා ඔවුනට සම්පූර්ණයෙන්ම පිටස්තර පුද්ගලයෙකු බවට පත්ව සිටී.

“ කුවින්ස්  හෝටලයට ආරාධනා කරලා තියෙන්නේ ජෝඩුවගේ  යාලුවන්ටයි බාප්පගෙ හිතවත් බිස්නස් කරන අයටයි විතරයි.කොළඹිනුත් සෑහෙන්න පිරිසක් එනවලු.මට ඕන විදිහට සිද්ධ වෙන වැඩ නෙමෙයිනේ සුදු මැණිකේ.ඒගොල්ලන්ට ඕනෙම දෙයක් කරගන්න දීලා  මං මගේ යුතුකම ඉෂ්ට කරලා බලාගෙන ඉන්නවා.”

අත්තම්මා පැවසූයේ ⁣එලෙසය.

“ මේ මගුල් ගෙදරින් පස්සේ සුදු මැණිකෙගේ මගුල් ගෙදරටත් අපි ලෑස්ති වෙන්න ඕනේ.ක්වීන්ස්  හෝටලේ මගුල නොගත්තට ඒවත් හරි විදිහට හරි පිළිවෙලට කරන එකයි මගේ බලාපොරොත්තුව”

අත්තම්මා එසේ පවසද්දී දිනාරා වෙව්ලා ගියාය..නාඳුනනා පිරිමියෙකුට ජීවිතය බාරදී  සැනසිල්ලේ හුස්මක් ගත හැකි වෙතැයි  ඈ සිතුවේ නැත.ඒ සියල්ලටම වඩා දිනාරා විවාහයට බියය.

“ අත්තම්මේ   මට මැරි කරන්න බැහැ.මම මල්ලිත් එක්ක ඉන්නවා.මේ ජීවිතයේ මට හොඳයි.එහෙම නැති උනොත් මල්ලිත් පවු.”

එවර දිනාරා පවසද්දී මිලීනා කෝප ගත්තාය. ඇය නිරතුරුවම විවාහයක් ගැන නොසිතනවායැයි පැවසීම මිලීනාගේ සිතට එක්කර තිබුණේ බියකි.දුකකි.

“ සුදු මැණිකේ කිසිම ගෑනියෙකුට මේ ලෝකෙ තනියෙන් ජීවත් වෙන්න බැහැ.විශේෂයෙන් තනිවෙච්ච සුදු මැණිකෙලා වගේ අයට තමන්ගේ කියන්න කෙනෙක් ඉන්න ඕනේ.මට බය තිබුණෙත් ඔය මනුස්සය ලඟ නවතින්න යද්දි සුදු මැණිකේ ඕන නැති දේවල් ඔලුවට දා ගනියි කියලා.සුදු මැණිකේ ඔය වගේ බරපතල තීරණ ගන්න පටන් ගත්තෙ ප්‍රියංකා ළඟට ගියාට පස්සේ. ප්‍රියංකා කිව්වද ගෑණියෙක්ට කසාදයක් ඕනෙ නෑ කියලා.. එහෙම තනියෙන් ජීවත් වෙන්න තීරණ ගන්න හීනෙකින්වත් හිතන්න එපා.ඒකට සුදුසු කෙනෙක්  බලන්න මම කෙනෙක්ට පවරලයි තියෙන්නේ…”

“ අනේ ආත්තම්මේ මං කවුරුවත් හින්දා ඒ තීරණේ ගත්තා නෙමෙයි..අම්මට උනත්..”

“ අම්මට උනත් කියලා සුදු මැණිකේ අදහස් කලේ මොකක්ද..අම්මා උනත් ඒ තීරණේ ගන්න තිබුනේ කලින්..එහෙනම් සතුටින් ජීවත් වෙනවා…ඔය ප්‍රියංකා තමයි කොයි වෙලාවෙත් අම්මා එක්ක ෆෝන් එකෙන් කුටු කුටු ගගා අම්මගේ ඔළුවටත් ඕන නැති දේවල් දැම්මේ..”

“ අත්තම්මේ  මං එහෙම මැරිකලොත් මල්ලිව බලා ගන්නේ කවුද.”

“ ඒකටත් සුදුසු වැඩ පිළිවෙළක් මං හදන්නම්.මගේ ඇස් දෙක පියවෙන්න කලින් සුදු මැණිකේ පිළිවෙලක් වෙන්න ඕනේ.එහෙම නැති උනොත් මට මැරෙන්නවත් නිදහසක් නැතිවෙයි.ඒක මගේ වගකීමක්.යුතුකමක්..”

දිනාරා කිසිත් නොකියා සිටියේ අත්තම්මා පවසන වදන්  පිළිගත් නිසා නොවේ.තවදුරටත් ඇය හා වාද කර ඇගේ සිත රිදවිය නොහැකිකම නිසාය.අත්තම්මාට යමක් තේරුම් කර දෙන්නට උත්සාහ කරනා  සෑම විටකදීම ඈ කෝප ගත්තේ ප්‍රියංක ආන්ටී සමඟින්ය.

පෙර දින රාත්‍රියේ ඇය ප්‍රියංකා ආන්ටී සමඟ කතා කරන්නට ඇත්තේත් තමාගේ විවාහය ගැන විය යුතු යැයි දිනාරා සිතුවාය.අදටත් ප්‍රියංකා ආන්ටී පවසන්නේ දෙවන වර විවාහයකට ඇතුළත් නොවූයේ  නම් අම්මා තවමත් ජීවත්වන බවය. ඒ විවාහය සඳහා අම්මාගේ කිසිදු කැමැත්තක් නොවූ බව දිනාරා දැනගත්තේ පසු කාලයකදී ප්‍රියංකා  පැවසූ කතාවලින්ය. බොහෝ කාන්තාවන් තම දුක ,සතුට, සිතුවිලි අංශුමාත්‍රික අඩුවක්වත් නොවී බෙදා ගන්නේ තම යෙහෙළියන් සමඟය.අම්මා තමාත් අත්තම්මාත් දැන උන්නාට වඩා වැඩියමක් ප්‍රියංකා ආන්ටී  සමග කතා කරන්නට ඇතැයි දිනාරාට විශ්වාසයෙන්ම සිතන්නේ එනිසාය.

======#######=======######======

විශ්වත්  නර්මදාත් තෙවන මහලට නැගුනේ නිදා උන් දියණිය අසල සිටින්න යැයි මෙහෙකාරියට පැවසුවාට පසුවය.

“ මේ යකා  මොන පිස්සුවක් නටයිද දන්නේ නෑ.”

විශ්ව එසේ පැවසූයේ උඩුමහළ  අඳුරුව තිබෙනු දකිද්දීය.

“ මල්ලී දිනාරාට  හරි ආදරෙයි  විශ්ව.ඒක එදා එයත් එක්ක කතා කරද්දි මට දැණුනා.අනික අපි හොඳටම දන්නවනේ එයා කවදාවත් එහෙම ගෑණු ළමයෙක් ගැන කතා කරලා නෑ කියලා”

“ ඒක ඇත්ත. ඒ උනාට ඉතින් ඉවසීමෙන් වැඩ කරන්න ඕනනේ. දැක්කනේ  ඩිනර් ටේබල්  එකේදි වෙච්ච දේ.අම්මට ඒක නොදැණුනාට  තාත්තා හිටියේ මූ  ගැන හොඳ අවධානයෙන්. මේකා නැගිටලා යද්දිත් තාත්තා බලාගෙන හිටියා.”

“ මට ඒක එච්චර නෝට් උනේ නෑ විශ්ව.මල්ලි කලබල වුණා..එයා එහෙම හැඟීම් හංගන්න දන්න කෙනෙක් නෙමෙයිනේ.”

“ බලාගෙන බබා ඔයාව හැප්පෙයි කොහේ හරි.මේ යකා ලයිට් ඔක්කොම ඕෆ් කරගෙන මොනවා කරනවද මන්දා.”

අවසන දෙදෙනාට සොහොයුරාව හමුවූයේ අඳුරු සඳැල්ලේ සිටගෙන සිටියදීය.බිත්තිය කෙළවරක වූ විදුලි පහන දැල්වූයේ විශ්වය. සඳැල්ලේ සුදු යකඩ වැටට දෑත් තබා පහතට එබී උන් තරුණයා අසලට මුලින්ම ගියේ නර්මදාය.

“ මෙහෙම පොඩි දේවල් වලින් කලබල වෙලා බෑ.තව ටිකෙන් හැමදේම අම්මටයි තාත්තටයි නෝන්ඩි වෙනවා.”

“ මොනවද හලෝ මම කරන්න ඕනේ.දිනාරා වලව්වේ තියා එයා මහ රැජිණගේ දුව උනත් මට ප්‍රශ්නයක් නෑ.මට මේවට නම් මළ පනිනවා..එයා කැමති නැත්නම් කොහොමද එහෙම එයාට මැරේජ් එකක් කරලා දෙන්නේ.”

“ මල්ලි….ඒක එයාගේ තීරණයක්. දිනාරි තවම ඒකට කැමතියි කියලවත්.එහෙම මැරේජ් එකකට ලෑස්ති වෙලාවත් නැහැ නේ.ප්‍රියංකා ආන්ටිත්  අම්මට කියලා තිබුණේ එයා තවම එහෙම දෙයක් ගැන බලාපොරොත්තු වෙන්නේ නෑ කියලා..”

“ ඒ වගේම කියල තිබුණනෙ අත්තම්මා කියන ඕන දේකට කැමති  වෙනවා කියලයත්..”

ඔහු උන්නේ කෝපයෙන්ය.

“ ඒ ළමයා අහිංසකයිනේ මල්ලි.අනිත් එක අම්මත් නැත්තං තාත්තත් නැත්තං එයා හිතනවා එයාට ඊළඟට ඉන්න එකම වැඩිහිටියා එයාගේ අත්තම්මා කියලා.ඔයාගේ හිතේ තියෙන දේවත් ඔයා එයා ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලවත් එයා දන්නේ නෑ.ඔයා කලබල වෙන්න ඕනේ ඔයා මැරි කරනවා කියලා පොරොන්දුවක් දීල තියෙද්දී අත්තම්මා එයාට කෙනෙක් හොයනවනම්..”

“ හරි.. දැන් මොකද්ද මට කරන්නේ කියන්නේ….”

“ කරන්න කියන්නෙද …කරන්න කියන්නේ ඉස්සරවෙලා කොන්ද පණ තියෙන මනුස්සයෙක් වගේ දිනාරා එක්ක කතා කරන එක..ඊට පස්සේ අම්මයි තාත්තයි එක්ක කතා කරනවා.ඊට පස්සේ ප්‍රියංකා ආන්ටි එක්ක කතා කරනවා.ඊටත් පස්සේ ඔය කියන වලව්වට ගිහිල්ලා ඒ මිනිස්සුත් එක කතා කරනවා.”

සදැලේ එක් කෙළවරකට වී දෑත් පපුව මත තබාගෙන බලා උන් විශ්ව දෙදෙනා අසලට පැමිණියේ  එසේ පවසමින්ය.

“ අනේ මන්දා බ්‍රෝ….එයාට මාව දැනෙනවා.මට ඒක තේරෙනවා..ඒ උනාට දැනෙන් නෑ වගේ ඉන්නවා..”

“ එයා අකමැත්තක් පෙන්නන්නෙත් නෑනේ.”

“ ඔව් එහෙමත් නෑ ඉතින්..”

“ හරි.. අද හෙටම දෙන්නම හොඳ මූඩ් එකක ඉන්න වෙලාවක දිනාරාට කතා කරනවා..ඒකට තමුසෙට අයිතිය තියෙනවනේ..”

“ අයියේ.. අම්මයි තාත්තයි….”

“ ඉස්සර වෙලා තමන්ගේ පැත්තෙන් වැඩේ ගොඩ දාගන්නවකෝ.ඒක වෙන කාටවත් කරන්න බැරි දෙයක්නේ.අම්මයි තාත්තයි එක්ක  මං කතා කරන්නම්. අනික වලව්කාරයෝනේ  අකමැති වෙන්න හේතුවක් නෑනේ.”

එවර විශ්ව තම සොයුරාගේ පිටට තට්ටු කලේ උස් හඬින් හිනැහෙනා අතරේය.

“ මාත් හෙට ඔෆිස් එකට එන්නම්. මේ පොඩි පොඩි දේවල් වලට කලබල වෙන්න එපා. අපි ඉන්නවනේ..”

නර්මදා  පැවසූයේ අකලංකගේ හිසකේ අවුල් කරමින්ය. 

“ මං ඒ වගේ දේවල් වලදි මාර විදිහට අවුල් යනවා බ්‍රෝ. මං දන්නෑ…මට දිනාරා ඕනේ  කියන හැඟීම මාර විදිහට පපුවට වද දෙනව.මං මේ වගේ දේවල් වලට අලුත් හලෝ.මට ඒක මාර පීඩනයක්..මට ඕනේ තමුසෙලා දෙන්නා වගේ ලස්සනට ජීවත් වෙන්න…”

“ අපි ඒවට ඒ කාලේ   අලුත් තමයි.ඒ උනාට මීට වඩා පිළිවෙලකට දෙයක් ගලපගන්න අපිට මොළේ තිබුණා.පිස්සු කෙලින් එපා බං..හැමදේම හරියයි රිලැක්ස් වෙයං..”

“ ඒකනේ විශ්ව…මෙයා හරියට අපි උපන් දවසේ ඉඳලම ලව් කරලා වගේ අපිට එක එක දේවල් කියන්නේ ..ඉස්සර වෙලාම ඉවසීම පුරුදු කරගන්න.ඔයා ලඟ  ඉවසීම නෑ කියල තේරුනොත් ඒක  තමයි ඔයා රිජෙක්ට් වෙන්න පළවෙනිම හේතුව වෙන්නේ.”

“ හරි හරි ප්‍රේම චක්‍රවර්තිලා කියනවනම් මං ඒ විදිහටම ඉන්නම්කෝ.හැබැයි දෙන්නම එකතුවෙලා මගේ වැඩේ ගොඩ දාලා දුන්නෙ නැත්නම්..”

“ ඇයි උඹ මෙතනින් පනින්නද..”

“ නෑ උඹව  උස්සල දානව පහලට..”

“ අපි යමු බබා නිදාගන්න…අන්තිමට මුන්ගේ ලව් හින්දා අපිටත් මේ ගෙදර ටිකට් කැපෙයිද දන්නෙ නෑ.”

“ අපෝ එහෙම වෙන්නේ නෑ.මෙයා නැන්දම්මව  ෂේප් කරගෙන ඉන්න විදිහට අපි දෙන්නට එළියට බහින්න උනත් බ්‍රෝ මෙයාට එළියට බහින්න වෙන්නේ නෑ.”

එවර අකලංක පැවසූයේ උස් හඬින් හිනැහෙමින්ය . සොහොයුරාට පහරක් ගැසූ නර්මදා තම සැමියාගේ දකුණතින් අල්ලා ගත්තේ ඔහුට අවනතවය. 

“ මට පාලුයි කෙල්ලේ…අපේ අක්කයි අයියයි ඉන්නවා වගේ ආදරෙන් මට ඔයත් එක්ක ජීවත් වෙන්න ඕනේ.ඒකට ඔයා මං ලඟට එන්නම ඕනේ.වෙන කාටවත් ඔයාව අයිති වෙන්න මම ඉඩ දෙන්නේ නෑ.ඒ ලස්සන ජීවිතේදී මට මැවෙන්නේ ඔයාම විතරයි..”

එවර ඔහු මද හඬකින් මුමුණා ගත්තේ තමාටමය.

( යළිත් හමු  වෙමු ආදරයෙන්…)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here