(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
“මගේ කසාදෙ කවදා හරි කැඩෙන්නෙ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි මගෙ නැන්දම්මා නිසා”
සෙෂන් එකට ආව පලවෙනි දවසෙ මාධවී කිව්ව පලවෙනි වචන ටික තමයි ඔය. නැන්දම්මා ලේලි ප්‍රශ්න කියන්නෙ අපිට අරුම පුදුම දේවල් නෙවෙයිනෙ. නිතරම අහන්නා දකින්න ලැබෙන කතාවක් නෙ. නිතරම අහන්න දකින්න ලැබෙන නැන්දම්මා ලේලි ප්‍රශ්නෙකින් උනත් දෙයක් ඉගෙනගන්න තේරුම්ගන්න පුලුවන්කමක් තියෙන බව දන්න හන්දමයි මම මාධවීගෙ කතාව දිගටම අහන්න හිතුවෙ.
“මොකද්ද වෙච්ච ප්‍රශ්නෙ?”
“මමයි භානුකයි මැරි කරලා දැන් අවුරුදු පහක් විතර. අපේ බබාට අවුරුදු තුනයි. අපි කසාද බැඳලා මුල් දවසෙ ඉඳලම හිටියෙ භානුකලගෙ මහගෙදර. භානුකගෙ තාත්තා නෑ. අම්මා ඉන්නව එහේ. තව එයාගෙ ඩිවෝස් වෙලා ගෙදර ආව අක්ක ඉන්නව.
ප්‍රශ්න ඇත්තටම පටන් ගත්තෙ උයන්න කරන්න ගිහින්. එහෙ අම්මයි අක්කයි උයන කෑම මෙලෝ බල්ලෙක්ට කන්න බෑ. කන මිනිස්සු ලෙඩ්ඩු කියල හිතාගෙන දියට තමයි ඔක්කොම උයන්නෙ. අපේ ගෙවල් වල එහෙම උයල පිහල පුරුදු නෑ. ඉන්පස්සෙ මං පොඩ්ඩ පොඩ්ඩ වෙනම උයාගන්න පටන් ගත්ත.
ඒකටත් සෑහෙන්න කතා අහන්න උනා. මං භානුකගෙ සල්ලි කන්න ආවය. හම්බ කරන ඒව වියදම් නොකර පුතාගෙ සල්ලි කනව අරක මේක කියල. මං ඇහුනෙ නෑ වගේ හිටිය. මොකද ඒව සැපයි මට අර දිය රහ ලෙඩ කෑම තුන් වේලම කනවට වඩා”
“ඔයා එයාලා එක්ක කතා කරලා බැලුවෙ නැද්ද දෙගොල්ලන්ටම හරියන විදියට උයමු කියන්න? හස්බන්ඩ් මොකද කිව්වෙ ඔයා වෙනම උයන්න ගත්තම”
“මං කිව්වෙ නැතුව හිටියෙ නෑ. මං මුලින් හිමින් කිව්වා. ඒව කිව්වමත් වැරදිකාරයා උනේ මං. ඕනවට වඩා කෑමවලට තුනපහ ලුණු මිරිස් දාලා සතියක් කන්න ඇහැක් ඒව දවසෙන් ඉවර කරනවය කියලා. මං ඕවා භානුකට කිව්ව කියල වැඩක් උනෙත් නෑ. මං ඒව කිව්වම එයා කිව්වෙ “අම්මල එක්ක රණ්ඩු වෙන්න එපා, වයසක මිනිස්සුනෙ, ඔය ඕව ඉවසන්න” කියලා. කොහොමහරි අන්තිමේ මං උයන ඒව කන්නෙ මං විතරයි. භානුකටත් ලොකු එයාලගෙ අම්මයි අක්කයි උයන දිය හොද්ද තමයි”
“බබා ලැබෙන්න ඉද්දි මොකද වුණේ? එයාලා උදව් කරාද?”
“උදව් කරා. නැත්තෙ නෑ. කරපු ඒවත් කියන්න ඕනනෙ නොකරපු ඒවම කියනවට වඩා. ඒ උනාට කියන කයි කතන්දර වල නම් අඩුවක් උනේ නෑ අම්මගෙයි අක්කගෙයි. කොයි වෙලාවත් මම භානුකට කියලා ආස දෙයක් ගෙන්නගෙන කෑවත්, මං ආස දෙයාක් උයන් කෑවත් ඒකෙ වරදක්මයි කිව්වෙ, භානුකගෙ සල්ලි තමයි මං ඒ කන්නෙ කියල.
මට හිතාගන්න බෑ මං කොහොමද ඒව ඔක්කොම ඉවසන් උන්නෙ කියලා”
“දරුවා හම්බුණාට පස්සෙ කොහොමද එයාලා ඔයාට සැලකුවෙ?”
“කිසි වෙනසක් නෑ. දැන් මේ ගෙවිච්ච අවුරුදු ගාණම මම ඔය කතන්දර ඉවසන් උන්නු එක තමයි කරේ. දරුවට ආදරෙයි. නැත්තෙ නෑ. ඒ උනාට කියන කතාවල නම් කිසිම අඩුවක් නෑ. මට දරාගන්න බැරිම තැන තමයි මම කවුන්සලින් වලට ආවෙ. මට පිස්සු වගේ. මට පිස්සු හැදුණොත් ඔය යක්කු අස්සෙ මගෙ දරුව අසරණ වෙන හන්දමයි මං මේ ආවෙ”
“ඔයාලට හිතෙන්නෙ නැද්ද මහගෙදරින් අයින්වෙලා වෙනම හිටියනම් හොඳයි කියලා?”
“මං කිව්වා මැඩම්, දහ පාරකට වඩා කිව්වා භානුකට. එයා කැමති නෑ අම්මගෙ හිත රිදෙයි කියල. මගෙ හිත රිදෙන එක, මගෙ ඔලුවට කරදර දාන එක ඒව එයාට ප්‍රශ්න නෑ. එයාට හොඳ පුතා වෙලා හිටියනම් ඇති අම්මගෙ තුරුල්ලට වෙලා”
ඒ සෙශන් එකෙන් පස්සෙ මාධවී ගෙදර ගියේ භානුක මොනවා කිව්වත් මහගෙදර ජීවිතේ තමන්ට හොඳක් කරන්නෙ නැති බව තේරුම් අරගෙන. තමන් දෙදෙනා අතර ප්‍රශ්න ඇතිවෙන්නෙ මේ මහගෙදර ජීවිතය නිසා කියන එක තේරුම්ගන්න මාධවීට අපහසු වුණේ නෑ. තාම බැඳල අවුරුදු පහක් වගේ වෙන්නෙ. අපිට වෙනස් වෙන්න බැරිකමක් නෑ. ඒ නිසාමයි භානුක් එනවනම් ඒවි නැතිනම් නේවි, ඒ මොක උනත් තමන්ගෙයි දරුවගෙයි සුබ සෙත උදෙසා එලියට බහිනවා කියන තීරණේ මාධවී ගත්තෙ.
මහගෙවල් වලට ටිකක් කිට්ටුවෙන් පොඩි ගෙදරකට යන්න මාධවීට අමාරු උනේ නෑ. මාධවී දරුවා එක්ක මහ ගෙදරින් එලියට බැහැලා යද්දි භානුකට මහ ගෙදර රැඳෙන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. ඒ විදියට තමයි මාධවී තනි අතෙන් ගහන්න පටන් ගත්ත අත්පුඩියට භානුකගෙනුත් සහය ලැබෙන්න පටන් ගත්තෙ.
මුල් දවස්වල නොහොඳ නෝක්කාඩු තිබ්බට දැන් මාධවී භානුකයි දරුවා එක්ක තමන්ගෙම තැන සන්තෝසෙන් ඉන්නවා. භානුක අම්මව අක්කව බලල එන්න මහ ගෙදරට ගොඩවෙනවා. සබඳතා දෙකම සුරක්ෂිතයි.
ඉතින්,
සමහර වෙලාවට අපි හිතනවා සබඳතාවයක් ඇතුලෙ අපිට තනි අතෙන් අත්පුඩි ගහන්න බෑ කියලා. ඒත් බැරි නෑ. සමහර සබඳතා රැකගන්න නම් දෙන්නගෙන් එක්කෙනෙක්ට හරි ඉස්සෙල්ලා අඩියක් තියන්න වෙනවා. ඒ අඩිපාරෙ අනිත් කෙනා ටිකක් පහුවෙලා හරි ඒවි.
කෑගහලා, රණ්ඩු වෙලා ප්‍රශ්න විසඳගන්න යනවා වෙනුවට තනි අතෙන් හරි අත්පුඩියක් ගහලා බලන්න යන්න.
සමහර විට ඒක වැඩකරනවා වෙන්න පුලුවන්!
මේ වගේ අවස්තාවකදී ඔබ මානසික උපදේශන සහයක් බලාපොරොත්තු වනවා නම් රශ්මි රාජපක්ෂ මහත්මිය සම්බන්ද කරගැනීම සඳහා Smartlady Admin වරියක සම්බන්ද කරගන්න පුලුවන්!