දෙදෙනා අතර නිහඬව ගතවගිය කාලය තත්පර ගණනාවක් වුවත් එය වසර ගණනක් සේ අකලංකට දැනෙන්නට විය.ඇය තීරණයක් ගත යුත්තේ ඉවසිල්ලේය.එනිසාම අකලංක කිසිවක් නොකියා නිහඬවිය.
මේ ඉන්නේ ගුණවත් මිනිසුන් බව දිනාරා දනී.ඒ දැන ගැනීමේ හරි අඩක් ප්‍රියංකාගෙන්ය.අනිත් අඩ ආයතන ප්‍රධානීන් සේ ඔවුන්ව ඇසුරු කිරීමෙන්ය.බාප්පලා, නැන්දලා මෙතරම් ඔළුව උදුම්මාගෙන සිටින්නේ ඇයිදැයි දිනාරා කිහිප වරක්ම සිතුවේ ඔවුන් දෙස බලාගෙනය. එනිසාම තව දුරටත් ඔහුව වෙහෙස කිරීම යුතු නොවේයැයි දිනාරා සිතුවාය.දිගු සුසුමක් මුදාහැරියාට පසු සිය හඬ අවධිකල යුවතිය.හෙමි හෙමින් අකලංකගේ දෑත් වලින් තම දෑත් මුදා ගත්තාය.
“ මම ඉන්නේ කවදාවත් මැරි කරන්නේ නැහැ කියන තීරණයක…ඒ තීරණය වෙනස් කරන්න මට බැහැ සර්.ඒකට සාධාරණ හේතු තියෙනවා.”
නිහඬව ගෙවී ගිය තත්පර ගණනාවකට පසුව දිනාරා මිමිණූයේ බිම බලාගෙනය.නුවර උපකාරක පන්තිය යද්දී තරුණයන් කිහිප දෙනෙකුම මේ අයුරින් ඇගේ ආදරය පතා ආ බව දිනාරාට සිහි වූයේත් ඒ හදිසියේමය.එහෙත් ඔවුන්ට පිළිතුරක් දෙන්නට ඈ මෙතරම් කල් ගත්තේ නැත.මෙතරම් ලතැවුනේද නැත.මේ සා බියෙන් සැකයෙන් බලා සිටියේද නැත. ඒ අවස්ථාවන් වලට වඩා මේ මොහොතේ ඕ හදවත අභ්‍යන්තරයෙන්ම කැළඹී උන්නාය..
“දිනාරා කමක් නැද්ද මං ඒකට හේතු ඇහුවට..”
“ මට ඒ දේවල් කා එක්කවත් කියන්න බෑ සර්.අනේ ප්ලීස්.. සර් හිතන්න මාව සර්ට ගැලපෙන්නෙ නෑ කියල.”
“ මොනවද දිනාරා ඒකට හේතු.සාමාන්‍යයෙන් මිනිස්සු හිතන විදිහේ සල්ලි, දේපළ එහෙමද..එහෙම නැත්නම් ඔයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද. ඒ කිසි දෙයක් නෙමෙයිනම් ඔයා අත්තම්මා කතා කරන කෙනෙක්ව මැරි කරන්න බලාපොරොත්තුවෙන්ද ඉන්නේ …එහෙමනම් උත්තරය හරි සරලයි දිනාරා ඒ එකක්වත් මට ලොකු දේවල් නෙමෙයි.මට ආපහු හැරෙන්න එකම එක හේතුවයි ඔතනින් තියෙන්නේ.ඒ ඔයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න එක..”
“ නෑ සර් ඒ එකක්වත් නෙමෙයි.ඊට වඩා සාධාරණ හේතුවක් මට තියෙනවා මැරේජ් එකක් ගැන නොහිතා ඉන්න.”
“ ඒක කවදාවත් වෙනස් නොවෙන තීරණයක්ද දිනාරා “
“ ඔව් සර්..ඒ නිසා මං ගැන පුංචිම හරි බලාපොරොත්තුවක් තියාගන්න කියලා සර්ට කියන්න මට බෑ..”
අකලංක දිගු සුසුමක් මුදාහැරියේ ඇගේ දෑතින් අතහැරී ගිය තම දෑත් සුක්කානම මතින් තබා ගන්නා ගමන්ය.
යළිත් දෙදෙනා අතර වූයේ නිහඬ බවකි.ඒ නිහඬබව බිඳින්නට තරම් සුසුමක්වත් දෙදෙනාගෙන් පිට නොවූ තරම්ය.
“ කෙල්ලෙකුට එහෙම ඉන්න බෑ දිනාරා.මොකක්ද ඒකට හේතුව..ප්ලීස්…මට කියන්න..”
අකලංක අවසානයේ පැවසූයේ තව එකම එක වරක් හෝ උත්සාහ කරනවා යැයි සිතාගෙනය.ඔහු උන්නේ මුළු ලෝකයම තමාගේ දෙපා මුල කඩා වැටුණු ගණනටය.මේ ප්‍රතික්ෂේප කිරීම ඔහුගේ සිතෙහි ඇති කළේ ලැජ්ජාවක් නොව දුකකි. පරාජිත හැඟීමකි.
“ අපි යමු දිනාරා…..”
තවදුරටත් මේ නිහඬබව දැරිය හැකි කමත් ඇයට වූයේ නැත.සැබවින්ම එය වේදනාවකි.
ඔහු උත්සාහ දැරුවේ වාහනය ක්‍රියාත්මක කරන්නටය.
එහෙත් ඉන් පෙර ඉස්සර වූ දිනාරා
‘ චුට්ටක් ඉන්න සර්…’ යැයි පැවසූයේ මද හඬකින්ය.
“ කියන්න දිනාරා…”
“ අපි ඉන්නේ ලොකු වැඩක් කරන ගමන්.මේක දැන් අපේ ඩිවිෂන් එකේ හැමෝගෙම සතුට වෙලා.ඒ හැමෝටම ඕනකම තියෙන්නේ මේ වැඩේ සක්සස් වෙලා මහින්ද සර්ගෙන් , විශ්ව සර්ගෙන් හොඳ කමෙන්ට් එකක් ගන්න..ඒ වගේම තමයි මේක මහින්ද සර් , සර්ට දීපු පළවෙනි අභියෝගය.අපි මේක දිනන්න ඕනෙ සර්..සර් මේ වෙලාවේ මට පොරොන්දු වෙන්න ඕනේ මේ ප්‍රශ්නෙ නිසා අවුල් වෙන්නේ නැහැ කියලා.කවදහරි මට මේ දේවල් සර්ට කියන්න පුළුවන් දවසක් එයි..වෙන කිසිම කෙනෙකු ජීවිතයකට මම සම්බන්ධ වෙන්නේ නෑ මට ඒ පොරොන්දුව විතරක් සර්ට දෙන්න පුළුවන්..සර්..මං මේ සර්ව රිජෙක්ට් කලා නෙමෙයි..”
“මට තේරෙන්නේ නෑ දිනාරා.ඇත්තටම මට මේ වෙලාවේ දැනෙන්නේ මං අහසේ ඉඳලා පොළොවට කඩාගෙන වැටිලා වගේ හැඟීමක්.මං විතරක් නෙමෙයි දිනාරා, මගේ අයියා, අක්කා..අපි තුන්දෙනාම තමයි එකතු වෙලා තීරණය කළේ ඔයා තමයි අපේ ගෙදරට පායන්න ඕන හඳ කියලා “
“ මට කවදාවත් ආදරණීය පවුලක අත්දැකීමක් ලැබිලා නෑ.ඒ නිසා මං සර්ලගේ ඒ ලස්සන හැඟීම්වලට හරි ආදරෙයි…මට තනියෙන් ඉන්න ඕන සර්. මට ඒකට ඉඩ දෙන්න..මට පොරොන්දු වෙන්න සර් මේ ප්‍රශ්නෙ හිතේ තියාගෙන ආපහු පරණ විදිහට නිදහසේ ජීවත් වෙන්න උත්සාහ කරන්නේ නෑ කියලා. ගෙදර හැමෝගෙම හිත්වල තියෙන සතුට නැති වෙලා යයි.මම ගැනත් එයාලට වෛරයක් ඇතිවෙයි.අපිට මේ වගේ හිනා වෙලා කතා කරන්න බැරිවෙයි සර්…ඒ මට පොරොන්දු වෙන්න සර්..”
තත්පර කිහිපයක් ගතව යනතුරුව ඔහු ඈ දෙස බලා සිටියේ දෑස් විසල් කරගෙනය.ඇය මේ ඉල්ලන්නේ කුමනාකාරයක පොරොන්දුවක්දැයි ඔහුට නොතේරේ.විශ්වාසය යුවතිය වෙව්ලමින් උන්නාය.ඔහුට තව දුරටත් තම නිහඬබව රැකිය නොහැකි වූයේ එනිසාය.
“ මං පොරොන්දු වෙනව දිනාරා.ඒ වගේම මම පොරොන්දු වෙනවා කවද හරි දවසක මගේ හිතේ මේ හිස් වෙච්ච තැන පුරවනවා නං ඒ ඔයා විතරමයි කියලා.”
ඔහු ඇගේ හිස මත සිය දකුණත තැබුවේ ඒ දෑස් දෙසම බලාගෙනය.ඒ දෑස්වල දිළිසෙමින් තිබුනේ කඳුළකි..යුවතිය සඟවන හේතුව කුමක්දැයි අසා ඇයට වද දෙන්නට තරම් සිතක් ඔහුට වූයේ නැත.
“ කාලය ගොඩක් දේවල් වෙනස් කරයි සර්..එදාට පොරොන්දුවකට කොටු වෙන්න එපා..මාව ත්‍රීවිලර් එකක දාන්න…”
“ මට ඒක කරන්න බැහැ දිනාරා…දැන් කළුවර වෙලා.මම ඔයාව ගේ ළඟින් ඩ්‍රොප් කරන්නම්..”
“ විශ්ව සර්ට වගේම නර්මදා අක්කටත් කියන්නේ මට සමාවෙන්න කියලා.
සර්…අපි කවදාවත් මෙහෙම දෙයක් කතා නොකළ ගානට සතුටින් වැඩ කරමු.”
අකලංක ඇයට එකඟව හිස වැනුවේය..කෑ ගසා හඬන සිත ඇය ඉදිරියේ පහදා දෙන්නට හැකි වුවත් ඔහු එසේ නොකළේය.මේ තමා ජීවිතයේ ලැබූ ලොකුම පරාජය බව විශ්වාසය.වටිනාම අහිමිවීම බවත් විශ්වාසය.එහෙත් ඔහු බිඳ නොවැටී සිටින්නට ඇයට පොරොන්දු දුන්නේය. මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයට පැමිණෙන තුරුම දෙදෙනාගෙන් එක් අයෙකුවත් එකඳු වදනක්වත් කතා නොකළ තරම්ය. යුවතියගේ හීල්ලුම් ස්වරය ඔහුව උපරිමයෙන්ම දුකට පත්කර තිබිණ.
“ පරිස්සමෙන් ගෙදර යන්න.මෙතන සර් හිටියත් වෙන කවුරුහරි හිටියත් ඒක වෙනසක් වෙන්නේ නැහැ සර්.ඒක මගේ පුද්ගලික කාරණයක් මිසක් සර්ගේ දුර්වලතාවයක් නෙමෙයි. ඒ නිසා සර් මේ ගැන මෙතනින් එහාට හිතන්න එපා..ප්ලීස්..සර්..”
“ ඉට්ස් ඕකේ..දිනාරා..ඔයා මේ තරමට පසු තැවෙන්න එපා..”
“ හෙට උදේටත් වෙනද වගේ ගුඩ් මෝර්නින් කියලා හිනාවෙලා අපි අපේ වැඩ කොටස කරමුද..ඒක මගේ ඉල්ලීමක්. එහෙම නොවුනොත් මට සර්ට මුහුණ දීලා වැඩ කරන්න අපහසු වෙයි “
“ මං ඔයාට මේ ගැන කතා කරද්දිම කිව්වනේ ඔයා මොන තීරණය ගත්තත් මම ඒකට එකඟයි කියලා. අනිත් පොරොන්දු වගේම ඒ පොරොන්දුවත් මං කඩ කරන්නේ නැහැ..”
ඉස්සර වූයේ ඔහුගේ මහත්මා ගතියය.කොහොමටත් ඈ සමඟ කෝප ගන්නට සිතක් ඔහුට නොවූවේය.
“ ස්තුතියි සර් මාව තේරුම් ගත්තට..ප්‍රියංකා ආන්ටි එක්ක මේ ගැන සර් කතා නොකර ඉන්නවනම් මම කැමතියි.”
“ මං එහෙම කරන්නම්…”
අකලංක පැවසූයේ අපහසුවෙන් ළගා කරගත් මදහසක් මුව මත තබාගෙනය.ඒ කියනා පරිද්දෙන් සියල්ල අමතක කර දමන්නට හැකියාවක් ඔහුට වූයේ නැත.එහෙත් ඔහු එසේ කරන්නට ඇයට සපථ වූවේය.
ආපසු පැමිණි තරුණයා වාහනය නවතා ගත්තේ විහාර මහා දේවී උද්‍යානය අසල පෙර උන් තැනමය. උද්‍යානයම ගිලගෙන තිබෙන අඳුර මකන්නට තැන් තැන්වල දල්වා තිබූ බිදුලි පහන් සමත්ව තිබුණේ නැත.
දිනාරා තමාව ප්‍රතික්ෂේප කළේ ඇයි දැයි සිතන්නට අකලංක උත්සාහ නොකළේය.ප්‍රතික්ෂේප කිරීමට තරම් තමා තුල අඩුපාඩුවක් නොවූ බව ඔහුට විශ්වාසය. එය ඇය ගෙන තිබූ ස්ථිර තීරණයකි.ඒ සා දැඩි තීරණයක් ගන්නට හේතු වන්නට ඇතැයි සිතෙන ඇය සැඟවූ සත්‍යයත් කුමක්දැයි ඔහු සිතුවේ පුදුමයෙන්ය.මේසා සියුමැලි යුවතියක පිටුපස වේදනාකාරී කතාවක් වේයැයි සිතන්නට තරුණයා බිය විය..සුව පහසු වනසේ අසුනට බරව දෑස් පියාගත් තරුණයා දෑස් පියා ගත්තේ දෑස් රිදවූ කඳුළකට ඔහේ ගලා යන්නට ඉඩ දෙමින්ය.රහසේ හෙලන පිරිමි කඳුළක වන වේදනාව ඔහු මේ හැඳින්නේ පළමු වරටය.කාලය ගෙවී ගියේ ඔහුත් නොදැනුවත්වමය.
තරුණයා දෑස් හැරියේ දිගින් දිගටම නාදවන ජංගම දුරකතනයේ හඬටය.දිනාරා හා කතා කරන්නට පෙර නිහඬ කර දැමූ දුරකථනයෙහි ඇමතුම් දොළහකි. ඇමතුම් හතක්ම වූයේ සොයුරාගෙන්ය.නර්මදාත් ඇමතුම් තුනක් රැගෙන කිබිණ.
සුසුමක් මුදාහැරි තරුණයා සොයුරාගේ අංකයට ඇමතුමක් ලබාගත්තේය.
“ කොහෙද ඕයි තමුසෙ ඉන්නේ…කී පාරක් ගත්තද..”
“ සොරි බ්‍රෝ ඇහුණේ නෑ..”
“ කොහෙද ඉන්නේ..”
“ ගෙදර එන ගමන් අයියේ ඉන්නේ..”
“ එන ගමන් කියන්නේ කොයි හරියෙද..”
“ ටවුන් හෝල් හරියේ.”
“‘තමුසෙ හොඳින් නේද… මොනවද සිද්ධ උනේ..දිනාරා ඇයි හවස ඔෆිස් එකේ හිටියේ..මං සිකියුරිටි එකට කතා කලා.උඹ එළියට ගිහිල්ලා තියෙන්නේ දිනාරාත් එක්ක..මල්ලි මොකද උනේ..”
“ වැඩ වගයක් තිබුණා.ඊට පස්සේ මම දිනාරාව බ්ලොක් කළා..”
“ ඊට වඩා වැඩි දෙයක් වෙලා තියෙනවා උඹ කොහෙද ඉන්නේ.. මම ඔතනට එන්නද..”
“ එපා බ්‍රදර්…ගෙදර ඉන්න. අක්කත් බලන් ඉන්නේ උඹ ගෙදර එනකල්.මං එනවා..ෂුවර්..ඉක්මනට එනවා.”
“ හරි..කීය වෙයිද..”
“ පැය භාගයක් දියං මට. “
“ හරි..උඹ පැය බාගයක් ඇතුලත නාවොත් මං ඔතනට එනවා..”
දුරකතනය මුලින්ම විසන්ධි වූයේ එහා පසින්ය. තත්පර කිහිපයක් පමා වූ තරුණයා වාහනය පණ ගන්වා ගත්තේ දිගු සුසුමක් මුදා හැරියාට පසුවය.
ශාන්ති විහාර් දෙසට වාහනය පැද වූ අකලංක නිවසට ගියේ නර්මදා ප්‍රිය කරල අල තෝසේ කිහිපයකුත් මිලදී ගත්තාට පසුවය..
( යළිත් හමුවෙමු ආදරයෙන්..)