පුච්චපු වම්බටු ව්‍යාංජනයක් හදමු

ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කරන්න, රුධිරයේ රතු රුධිරාණු ප්‍රමාණය ඉහළ නංවන්න, අනවශ්‍ය බර පාලනය කරන්න, හෘදයේ සහ මොළයේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවත්වා ගන්න උදව් කරන ඒ වගේම ඉතාම හොඳ ප්‍රතිඔක්සිකාරකයක් ලෙසත් ක්‍රියා කරන වම්බටු ප්‍රෝටීන, ෆයිබර්, කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම් වගේම කාබ්ස් හොඳ ප්‍රමාණයක් අඩංගු වම්බටු කියන්නෙ අපි බොහෝදෙනෙක් ප්‍රිය කරන එළවළුවක්. 

බටු ව්‍යාංජනය, තෙම්පරාදුව, බටු සම්බෝල, බටු මෝජු වගේ බටු පිළියෙල කරන විවිධ ක්‍රම තිබුනත් අපි අද ඔන්න ඊට වඩා ටිකක් වෙනස් ක්‍රමයකට බටු හදාගන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි මේ සූදානම් වෙන්නෙ.

පුච්චපු බටු ව්‍යාංජනයක් හදන්න අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල අපි මුලින්ම බලල ඉමු.

අවශ්‍ය ද්‍රව්‍ය

වම්බටු ගෙඩි 02 ක් 

තක්කාලි ගෙඩි 02 ක්

අමු මිරිස් කරල් 02 ක් 03 ක් 

සුදුළූණු බික් 05 ක් 06 ක් 

සිහින්ව ලියාගත් රතුළූණු ගෙඩි 03 ක් 

කරපිංචා ඉත්තක කොළ

ලියාගත් උම්බලකඩ මේස හැඳි 02 ක් 

අබ තේ හැන්දක්

ලුණු කුඩු

කහ කුඩු

කෑලි මිරිස් හෝ මිරිස් කුඩු

ගම්මිරිස් කුඩු

සාදාගන්නා ආකාරය 

මුලින්ම බටු, තක්කාලි, අමු මිරිස් සහ සුදුළූණු හොඳින් සෝදාගන්න.

බටු ගෙඩිය වෙන් නොවෙන සේ පලාගන්න.

(බටු ගෙඩියේ පණුවො ඇති බව හෝ නරක් වී ඇති බව හිතෙනව නම් බටු ගෙඩිය දෙකට හෝ හතරට පලා ඒ ගැන පරීක්ෂා කරන්න ඔබට පුළුවන්) 

ඊළඟට ගෑස් ලිප දල්වා ඒ මත දැල් තට්ටුවක් තබා හෝ දර ලිපේ අඟුරු අස්සට දමා වම්බටු, සුදුළූණු, අමු මිරිස්, තක්කාලි වල පොත්ත කළු පැහැ වන තුරු ඒ මේ අත හරවමින් පුළුස්සා ගන්න.

පුළුස්සා අවසන් වූ සියල්ල ලිපෙන් ඉවතට ගෙන නිමුණු පසු කළු පැහැ කොටස් ඉවත් කරගෙන සියල්ල ගෑරුප්පුවක් ආධාරයෙන් එකට කලවම් කරගන්න.

දැන් භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් දමා තෙල් රත්වන විට අබ, රතුළූණු සහ කරපිංචා එකතු කර ළූණු රන්වන් පාටට බැඳුණු පසු එයට රස අනුව මිරිස් කුඩු, ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු එකතු කර හොඳින් කලවම් කර විනාඩියක් පමණ තබා සාදාගත් වම්බටු මිශ්‍රණය දමා නැවත කලවම් කරගෙන ටික වෙලාවක් තබාගෙන ලිපෙන් ඉවත් කරගන්න.

ඔන්න පුච්චපු බටු තෙම්පරාදුව හදාගෙන ඉවරයි.

තෝසේ, උඳු වඩේ, පරාටා, ඉඳිආප්ප, බත් මේ ඕන දෙයක් එක්ක කන්න රසට කන්න මේ බටු තෙම්පරාදුව හරියටම ගැළපෙනව.

එහෙනම්, හදල බලමු නේද?

සටහන – දුලානි නවෝද්‍යා 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles