සාගර තරංගා – 23

0
2944

“මේධංග මල්ලි දික්කසාදෙ දෙන්න බෑ කියලා කිව්වෙ මොනව හිතේ තියාගෙනද දන්නෙ නෑ නේද නංගි?” 

නර්මදා තරංගා එක්ක කතාව පටන් ගන්න හිතුවෙ පස්සෙන්දා උදේ පාන්දර උයමන් කරන්න අවදි වෙච්ච වෙලාවේය. දෙණියායේ හීතලට දවාල වෙනකම් නිදාගන්න පුලුවන්කම තිබ්බත් හිතේ කිසි සැනසීමක් නැති හන්දා තරංගාට ඇඳට වී ඉන්න නිස්කාංසුවක් තිබ්බේ නැත. උදේ පාන්දර ඇහැරිච්ච තරංගා කුස්සියට යද්දිත් නර්මදා අක්කා උන්නේ කිරි උණුවෙන්න ලිපේ තියා උදේට කිරිබත් හදන්න හාල් ගරන ගමන් ය.

“එයාමනෙ අක්කෙ මට ගෙදරින් යන්න කිව්වෙ. එයාමයි දික්කසාදෙ ඕන කිව්වෙ. එහෙම එකේ එයාට දැන් මේ හදිසියෙ ඔහොම කියන්න හේතුවක් මට හිතාගන්න බෑ. එහෙම හේතුවක් තිබ්බත් මං ආයෙ ඒ ගොං වැඩේ නම් කරන්නෙ නෑ. මට එයා නැතුව උන්නු මාස ගාණෙ තමා අක්කෙ ඇත්තටම තේරුනේ මොන තරම් අපායකද මං ඉඳලා තියෙන්නෙ කියලා”

“මට ඔක්කොටම වඩා බය නංගි තමන්ගෙ දරුවට අච්චර කැත කතා කිව්ව මනුස්සය ඔය දික්කසාදෙ වැඩ ඉවර වෙන්න කලිනුයි ඉන් පස්සෙනුයි නංගිට මොන මොන කරදර කරාවිද කියලා. අනික නංගි කොළඹ ඉන්නෙත් තනියෙන්. අපේ කියල කවුරුවත් ඇත්තෙත් නෑ. රස්සාව ගෙදර ඉඳන් කරාට පොඩ්ඩිගෙ ඉස්පිරිතාල ගමන් හන්ද නංගිට මෙහෙ ඇවිල්ල ඉන්න හැටියකුත් නෑනෙ. මට ඇත්තටම තියෙන්නෙ ඒ බය. අයියයි මායි ඉන්නෙත් විනාඩියෙන් දෙකෙන් එන්න ඇහැක් දුරකත් නෙවෙයිනෙ”

“මං හිතන්නෙ නෑ අක්කෙ මේධංග මටයි දරුවටයි එහෙම කරදරයක් කරන්න ඇවිල්ලා නිකන් තමන්ගෙ ඔලුවට නිස්කාරණේ කරදරයක් දාගනිවි කියල. එහෙම දෙයක් උනත් ඉතින් ඒ වෙලාවටනෙ බලන්න වෙන්නෙ” කියා තමන් ඒ කාරණාව ගැන එච්චර නොහිතන බව අක්කාට පෙන්නුවත් මේධංග මොන විදියෙ නැටුමක් නටාවිද කියන බය තරංගාගේ හිතේ නොතිබ්බා නොවේ.

තරංගා ඉරිදා සනුකිවත් අරගෙන ආපහු කොළඹ එන්න උදේම ලැස්ති වුණාය. සනුකිව අරගෙන අර්ලි ඉන්ටවෙන්ශන් ප්‍රෝග්‍රැම් එකට යන්න තියෙන්නෙ හවස තුනට හන්දා උදේ අටට විතර දෙණියායෙන් පිටත් වුණාම කොළඹ ගොස් නවාතැනටත් ගොස් සනුකිගේ ඇඟ පත සෝදා අලුත් ඇඳුමක් අන්දවාගෙනම යන්න පුලුවන් කම තිබේ.

මේධංග බලන් උන්නෙ ඔන්න ඔය දවස එනකම් ය. තරංගා දරුවාව ඉස්සර ඉස්පිරිතාලයට අරගෙන ගියේ දවල් දෙකට විතර බව මේධංගට මතකය. ඒ ඉරිදා දවසක් බව මේධංගට හොඳටම මතක මීට මාස කිහිපයකට කලින් දවසක තරංගා මෙන්සස් හැදී හොඳටම අමාරුවෙන් උන්නු වෙලාවක සනුකිව ඉස්පිරිතාලෙට එක්කරගෙන යන්න බැරිද කියා තමන්ගෙන් අහපු වෙලාවකය.

“තමුසෙට විතරද දැන් මේ ලෝකෙ ඕක හැදෙන්නෙ? අවුරුදු තිස් ගාණක ගෑණියෙක් වෙලත් හැම මාසෙම හැදෙන ලෙඩේ අමාරුව විඳගන්න බැරිද? ඉරිද විතරයි නිදහසේ ගෙදරට වෙලාවත් ඉන්න පුලුවන්කම තියෙන්නෙ. එහෙම එකේ මට තව ළමයි උස්සගෙන ඉස්පිරිතාල ගාණ රිංගන්න කියන්න එපා” කියා තමන් එදා කිව්ව බව මේධංගට මතක් වුණත් ඒ කිව්ව වචනයක් ගැනවත් මේධංගට පසුතැවීමක් නැත. 

මේධංග එදා තමන්ගේ කාර් එක ගෙදර තියා තරංගාව ෆලෝ කරන්නම රෙන්ට් එකට බයික් එකක් ගත්තේය. බයික් එකකින් කෙනෙක්ව හෝ ඕනම වාහනයක් ෆලෝ කරන එක ලේසි වැඩක් බව මේධංග හිතුවේය. මේධංගට හරියටම තරංගා ඉස්පිරිතාලයට එන වෙලාව මතක නැති හන්දා දහවල් එකහමාරෙ විතර ඉඳ ඉස්පිරිතාලය ලඟ ටැග් ගැහෙන්න වුණේය. ඉස්පිරිතාලෙ ඇතුලට ගොස් “ඕටිසම් හැදිච්ච ළමයින්ට තියෙන ප්‍රෝග්‍රැම් එක කීයටද පටන් ගන්නෙ” කියා අහන්න හිතුණත් කොහෙන් හෝ කඩන් පාත් වෙන තරංගා තමන්ව දකින එක තමන්ගෙ ප්ලෑන් එක කඩාකප්පල් කරන්න හේතුවකි. අනෙක් අතට මූණ නොපෙනෙන්න හෙල්මට් එක දාගෙන ඉස්පිරිතාලෙ ඇතුලට යන එකත් කරන්න පුලුවන් දෙයක් නොවේ. හිතට කොච්චර තරහා උනත් මේධංග ඒ නිසාම දහවල් එකහමාරේ ඉඳ ඉස්පිරිතාලෙ ලඟ උන්නේය.

“ඕන මගුලක් කරගනින් කියල අතෑරල දැම්ම නම් ඉවරයි” කියල හිතුනත් ඒ අතාරින්න කලින් හෝ තරංගා මේ දරුවව ඉස්පිරිතාලෙට පෙන්නන්න එක්කරගෙන එන ගමන අවසානයේ නගින්නෙ කාගෙ වාහනේටද කියල දැනගන්න තියෙන උනන්දුව ඊට වැඩිය. තමන් එපා කියා එලියටබැද දැම්ම කුණු මලු දෙක කැමැත්තෙන් වාහනේට නග්ග ගත්ත මිනිහ කවුද කියා දැනගන්න මේධංගට තියෙන උවමනාව ඔක්කොටම වඩා වැඩිය.

“මොකෙක් හරි ලොන්තයෙක් වෙන්නැති. හොඳ වලකට වැටෙන්න වගේ යන්නෙ අම්මයි දුවයි දෙන්නම. හිතන් ඉන්න ඇත්තෙ මගෙ ඇස්වලට වැලි ගහලා පත්තිනි අම්මා වගේ රඟපාන ගමන් දික්කසාදෙ ඉල්ලගෙන නඩලං නටන්න. මං රෙදි ගලවනව හැමෝම ඉස්සරහ පත්තිනි අම්මගෙ. ලෙඩ ළමයා කරඬුව වගේ උඩ තියන් යද්දි මිනිස්සු රවට්ටගන්න පුලුවන් කියලනෙ හිතන් ඉන්නෙ” කිය කිය හිතමින් මේධංග ඒ පැය එකහමාර දෙක ගෙව්වේ බොහොම අමාරුවෙන් ය. තරංගා පික් මී එකක ඇවිත් බැස්සේ අන්න ඒ වෙලාවේය. දරුවවත් වඩාගෙන පර්ස් එක දිග හැර පික් මී රියදුරාට සල්ලි දුන් තරංගා ඉස්පිරිතාලෙ පඩි නැග ඇතුලට යනවා බලා උන් මේධංග ඉන් විනාඩි කිහිපයකට පස්සේ ඉස්පිරිතාලේ ලොබියට ගොස් එතන කවුන්ටරයේ උන් ගැහැණු ළමයෙකුගෙන් අර්ලි ඉන්ටවෙන්ශන් ප්‍රෝග්‍රැම් එක ඉවර වෙන වෙලාව අහගත්තේය. ඒ වෙලාව එනතුරු එතන හිටගෙන ඉන්න එක තේරුමක් නැති හන්දා ඉස්පිරිතාලේ දොරටුව ඉස්සරහින් පාරෙ එහා පැත්තෙ තිබිච්ච කැරවෑන් ෆ්‍රෙශ් එකට ගොස් තේකක් බොන ගමන් මේධංග කල්පනා කලේ තරංගා නැග යන වාහනයේ මිනිසා ඇත්තටම කවුරු වෙන්න පුලුවන්ද කියාය. අනෙක් අතට එදා ගාමිණී දැක්කෙ තරංගා වගේ වෙන කෙනෙක් නම් හෝ එහෙමත් නැත්තම් ඇත්තටම තරංගාව එක්කරගෙන යන්න ඇවිත් උන්නේ මස්සිනා කාරයා නම් තමන් මේ ආව ගමනවත් මේ වැය කල කාලයෙන්වත් මලාට තේරුමක් නැති බවත් මේධංග දනී.

ඔය ඔක්කොටම ඒත් උත්තර දැනගන්න පුලුවන් මේ වෙලාව නාස්ති කරොත් පමණක් බව දන්න හන්දාම මේධංග එතනට වී තේ දෙකක්ම බිව්වේය. අනතුරුව ඉතුරු වෙලාව යන තුරු බයිසිකලයට හේත්තු වී ටික්ටොක් බැලුවේය. විඩෙන් විඩේ ඇස් උස්සා තරංගා ඉස්පිරිතාලෙන් එලියට එනවාද කියා මග බැලුවේය.

අර්ලි ඉන්ටවෙන්ශන් ප්‍රෝග්‍රැම් එක පටන් ගන්නේ කම්ප්‍රිහෙන්සිව් ඇසෙස්මන්ට් එකකින්‍ ය. ඒකෙදි දරුවා පසුගිය කාලය පුරාවට පෙන්වූ හැසිරීම් රටා, දුර්වලතා සහ ඉම්පෘව්මන්ට්ස් ගැන කතා බස් කරනු ලබයි. ස්පීච්, ඔක්‍යුපේශනල් තෙරපි සහ බිහේවියර් ගැන දරුවන්ව සහභාගි කරගෙන දරුවන්ගේ දෙමව්පියන් සමග කතා බස් කිරීමක් සිදු කරයි. 

ඉන්ඩිවිඩුවලයිස්ඩ් ෆැමිලි සර්විස් ප්ලෑන් එකක් නොහොත් IFSP එකකට දරුවන්ව සහ දෙමව්පියන්ව යොමු කරන්නේ ඉන් පසුවය. දරුවන්ගේ කමියුනිකේශනල් ස්කිල්ස් දියුණු කරන ස්පීච් තෙරපි, එදිනෙදා ජීවිතයට අවශ්‍ය ලයිෆ් ස්කිල්ස් ආදිය කියාදෙන ඔක්‍යුපේශනල් තෙරපි,පොසිටිව් බිහේවියර් කියාදෙන සෝශල් ස්කිල්ස් වලට උදව් වෙන ඇප්ලයිඩ් බිහේවිය ඇනලයිසිස් (ABA) වැනි ටෙක්නික්ස් ආදිය කියාදෙන බිහේවියර් තෙරපි මෙන්ම දරුවන්ගේ අම්මලට සහය ලබා දෙන පේරන්ට් එඩියුකේශන් සහ සපෝට්ද මෙහිදී ලබා දේ.

එමෙන්ම දරුවාගේ දියුණුව ගැන සොයා බලන්න සහ ඩිවලොප්මන්ට් මයිල්ස්ටෝන්ස් වලට ලඟාවෙනු පිණිස IFSP එක ඇඩ්ජස්ට් කරගන්න රෙගියුලර් මොනිටරින් සහ ඇඩ්ජස්ට්මන්ට් ද මෙහිදී සිදුකෙරේ.

සනුකිගේ සෙශන් එක ඉවර වුණයින් පස්සේ සනුකි වෙනදාට වඩා හොඳට දැන් දේවල්වලට රෙස්පොන්ඩ් කරන බව දැනගන්නට ලැබීමේ සන්තෝසයත් එක්ක තරංගා ඉස්පිරිතාලෙන් එලියට ආවේ ඇත්තටම සන්තෝසයෙනි. ඒ සන්තෝසය මූණෙන් විසිරෙන එක වලක්වාගන්න තරංගාට උවමනා උනේ නැත. සනුකි හන්දා මේ හිනාවෙන්නෙ ගොඩක් කාලෙකට පස්සෙය. 

එහෙත් ඒ සතුට විනාස කරන්න බලාගෙන මේධංග එලියෙ ඉන්න බව නොදන්න හන්දාම සාගරගේ දුරකතනයේ සිට තරංගා ගේ දුරකතනය වෙත ඇදී ආ ඇමතුමට තරංගා සම්බන්ද වුණාය.

“එදා මං ඔයාව පික් කර තැනින්ම අදත් ගන්නම් තරංගා” කියා සාගර කිව්වාම සනුකි ගැන දැනගන්න ලැබුණ සතුටු හිතෙන ආරංචිය හම්බුනාට පස්සෙම කියන්න හිතාගෙන තරංගා ඉස්පිරිතාලෙන් එලියට බැස්සාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here