සඳක් තනියම – 37

0
6863

“ එහෙමනම් ඒ ළමයට වෙන බෝයි කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන් “

“ එහෙම එකකුත් නෙමෙයි අම්මා.”

“ කවුද  ඔය ගර්ල් අර එයා සොසයිටි එකේ වැඩවලට  ආශ්‍රය කරන ගෑනු ළමයි දෙතුන් දෙනාගෙන් එක්කෙනෙක්ද.”

“ නෑ අම්මා..”

“ අපි දන්න කෙනෙක් නෙමෙයිද…”

“ අපි දන්න කෙනෙක් තමයි.ඒත් අම්මා  මේක අහල හිත කලබල කරගන්න එපා.දැන් ඒ දෙන්නා සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යනවා.මල්ලි ඒ ගර්ල්ට  ගොඩක් ආදරේ කළා ඒක අපි දන්නවා.අම්මා එයා මීට කලින්  කවදාවත්  විහිළුවටවත් ගෑණු ළමයෙක් ගැන කතා කරලා තිබුණේ නෑ.එයාට හිත හදාගන්න ටික කාලයක් යයි.අපි ඒ කාලයට ඉඩ දෙමු අම්මා.මල්ලි මැරි කරන්නෙ නෑ කියන තීරණයක ඉන්නවා වෙන්න බැහැ.අම්මා මේ හදිසියේ එයාට ගර්ස්ලා හොයන හින්දා එයා  ඒකෙන් බේරෙන්න එහෙම කියන්න ඇති.සමහරවිට තවමත් එයා ඒ ගර්ල් ගැන බලාපොරොත්තුවෙන් ඇති.අපි කොහොමත් තව ටික කාලයක් එයාට දෙමු අම්මා..එහෙම නේද විශ්ව”

නර්මදා  තම සැමියා දෙස බැලුවේ ඔහු තමාව අනුමත කරාවියැයි සිතමින්ය.

“ අම්මා බය වෙන්න එපා. මම මල්ලි ගැන බලන්නම්.”

“ පුතා ඔය කියන ළමයා දිනාරා නෙමෙයි නේද..”

එවර තේජා ඇසුවේ තිදෙනා අතර පැතිරගිය නිහැඬියාවකට පසුවය.

නර්මදාත් විශ්වත් යළිත් මුහුණෙන්  මුහුණ බලා ගත්තේ තේජා එසේ පවසද්දීය.තේජා යනු දරුවන් ගැන ඉවක් වූ මවකි. 

“ අම්මා ඒ දිනාරා තමයි..මල්ලි කියපු දේවල් එක්ක බලනකොට ඒ ළමයට අකමැති වෙන්න හේතුවක් අපිට තිබුනෙත් නෑ අම්මා.අම්මට මේ දේවල් හංගන්න හිතුවා නෙමෙයි. ඒත්  දිනාරා එක කතා කරනකල් අම්මට මේ කිසිම දෙයක් කියන්න එපා කියලා තමයි මල්ලි කිව්වේ. දිනාරා කවදාවත් මැරි කරන්නේ නෑ කියලා මල්ලිට කිව්වට පස්සේ අපි හිතුවා මේ දේවල් අම්මා එක්ක කතා නොකරම ඉන්න.”

“ අම්මා…”

විශ්ව සිය බිරිඳ අසලින්  නැගිට ගොස් තේජා අසලින් අසුන් ගත්තේ එසේ පවසමින්ය.

“ ආපහු.. ආපහු මේ දේවල් අපි කතා කරනවා කියලා කියන්නේ මල්ලිට ඒක වදයක් වෙනවා.මිනිහා හිත හදාගන්න උත්සාහ කරනවානම් ඒක වැළකෙනවා.දැන් ඒක අතීතයක් විතරයි කියලා හිතලා අපි හැමෝම අමතක කරන්න ඕනේ.දිනාරත් තමන්ගේ පාඩුවේ එයාගේ වැඩ කොටස කරනවනේ.මල්ලිත් මේ ඉවෙන්ට් එක වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙනවා.මොනවා උනත් එයා හරි ට්‍රැක් එකට වැටිච්ච එකම ඇති.මේ වගේ දේවල් මිනිස්සුන්ගේ ජීවිතවල වෙන්න ඕනෙ කියල මං විශ්වාස කරනවා අම්මා.එතකොට තමයි එයාලා තව අඩියක් හරි ඉස්සරහට තියන්නේ.”

එවර විශ්ව පැවසූයේ විශ්වාසනීය ස්වරයකින්ය.තේජා උන්නේ කල්පනාවකය.

“ අම්මා අපි මේ දේවල් නිසා දිනාරා එක්ක තරහ ගන්න එක තේරුමක් නෑ කියලා මට හිතෙනවා.එයා කියනවනං එයාගේ පැත්තෙන් මැරේජ් එකක් ගැන නොහිතන්න සාධාරණ හේතු තියෙනවා කියලා ඒක වරදක් නෙමෙයි අම්මා.වරද එයා මල්ලිත් එක්ක එෆෙයාර්  එකක් තිබිලා අතරමග ඒක නතර කරලා දැම්මනම්..විශ්ව ඇහුවා දිනාරාව වෙන ඩිවිෂන්  එකකට මාරු කරලා දෙන්නද කියලා.නමුත් මල්ලි ඒකට කැමති වුණේ නෑ.එයාට ඕනේ හැම දෙයක්ම ආපහු සාමාන්‍ය තිබුණු තත්වයටම පත්කරගන්න..”

“ නෑ…දුව මං මේ කල්පනා කලේ  දිනාරා වගේ ළමයෙකුට  අපේ  පුතාට අකමැති වෙන්න තරම් හේතු මොනවද කියලා.දිනාරා කියන්නේ කවුද අකලංක කියන්නේ කවුද…”

“ අපි දන්නෙ නෑනේ අම්මා එයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා.ඒ දෙන්න මේ වෙද්දී පරණ පුරුදු විදිහට වැඩ ටික කරගෙන යනවනම් අපි කලබල වෙන එක තේරුමක් නැහැ.ඒ නිසා අම්මත් මේ ගැන හිතන්න එපා.මල්ලිට ගර්ස්ලා හොයන්න හදිසි වෙන්න එපා.තව ටික කාලයක් එයාට දෙන්න.”

“ ඔව් අම්මා…සමහරවිට එයාගේ ජීවිතේට හම්බවෙන්න තිබුණු හොඳම  කෙනා දිනාරා නොවෙන්න පුළුවන්..”

“ ඒ ළමයට එයාගේ අත්තම්මා මඟුල් හොයනවා.අත්තම්මගේ  හිත රිද්දන්න බැරිකමට සමහරවිට ඒ මොකකට හරි කැමති වෙන්න හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන්.”

“ ඔව්.. වෙන්න පුළුවන් අම්මා..”

“ මල්ලි  හිත හදා ගනීද…”

“ අනිවාර්යයෙන්ම . ඌ එක තැනක එල්ලිලා ඉන්න කෙනෙක් නෙමෙයි .එයාට මේ වෙලාවේ දිනාරාට  මුහුණ දීලා පරණ විදිහටම වැඩ කරගෙන යන්න පුළුවන් කියලා කියන්නේ අපේ මල්ලිගෙ හිත හරි දියුණුයි.වෙන කොල්ලෙක්නම් මේ වෙලාවේ කරන්නේ දිනාරාට රස්සාව එපා කරවන එක.ඒ ළමයගෙන් පළි ගන්න එක.එහෙම නැත්නම් ඒ ළමයා අසරණ කරලා තමන්ගේ ඕන එපාකම් ඉෂ්ඨ කරගන්න එක.ඒත් මල්ලි ඒ එකක්වත් කලේ නෑ..”

“ අම්මා එයා විශ්වට කිව්වෙත්  දිනාරාට පුරුදු විදිහට තමන්ගේ වැඩ ටික නිදහසේ කරගෙන යන්න ඉඩ දෙන්න කියලා. අපේ මල්ලි හරි හොඳයි අම්මා.අම්මා බය වෙන්න එපා.එයා ඉක්මනට හිත හදා ගනියි…”

නර්මදා එසේ පැවසූයේ තේජාගේ දකුණතින් අල්ලාගෙන. ඇගේ දෑස් වල කඳුළු පිරී තිබිණ.තේජා තමාගේ දකුණත විශ්වගේ දෑත්වලින්  මුදාගෙන ඒ කොපුළක් මත තැබුවාය.

“ ඔය දෙන්නම මල්ලිට හරි ශක්තියක්. ඒක මම දන්නවා.තාත්තා හරි සතුටෙන් ඉන්නේ ලොකු පුතාගේ තීරණ ගැන.තාත්තවත් මමවත් දිනාරාට  ඒ වගේ තනතුරක් දෙන්න හිතුවේ නෑ.ඒත් ලොකු පුතා තමයි හදිසියේ  තීරණය කළේ මල්ලි වෙනුවෙන් සෙක්‍රට්‍රිකෙනෙක් ගන්න ඕනේ කියලා. ඒ තීරණය හරි සාර්ථකයි පුතා..හැමදාම ඔයා ගත්තේ ඒ වගේ සාර්ථක තීරණ..”

“ මං බලාගෙන හිටියා  අම්මා.. මල්ලි හිමාෂා එක්ක සමහර වැඩ කරද්දී හිමාෂාගෙන්  මල්ලිට බේරෙන්න බැරුව ගියා.ඒත් හිමාශා මගේ වැඩ වලටත් බිසී වෙද්දී එයාට සමහර තැන්වලින් මල්ලිව අතෑරුනා…මොකද සෙක්‍රට්‍රි කෙනෙක් තමන්ගේ වැඩ කොටස හරියට කරනකොට එයාගේ බොස්ටත් වැඩ මගඇරලා යන්න බැරි වෙනවා.එවෙලේ මට දිනාරා  ගැන තිබුණෙ එකම එක විශ්වාසයයි. ඒ එයා ප්‍රියංකා ආන්ටිගේ රිලේෂන් ⁣ කෙනෙක් කියන එක විතරයි.මං කියපු විදිහට හිමාෂා එයාට  වැඩ ඉගැන්නුවා.ඇත්තටම අපි නොහිතපු විදිහට දිනාරි හරි  ඉක්මනට හැමදේම අල්ලගත්තා.දිනාරා  හරි දක්ෂ ළමයෙක් අම්මා.පිළිවෙලක් තියෙන ළමයෙක්.ඕනම කෙනෙකුත් එක්ක ගණුදෙනු කරන්න පුළුවන් සංයමයක් තියෙන ළමයෙක්.දිනාරි වලව්වක ළමයෙක් නම් එයාගේ ෆැමිලි බෑක්‍ග්‍රවුන්ඩ් එකත්  නරක වෙන්න විදිහක් නෑ.ඒකයි අම්මට තාත්තට නොකියා උනත් මල්ලිගේ අදහසට අපි එකඟ වුණේ.”

“ ඔයාලා වැරදි නෑ පුතා.ඔයාලා තුන්දෙනා මේ විදිහට එකට ඉන්න එකම ඇති..මම හැම තිස්සෙම හිතන්නේ අන්න ඒ සහෝදරකම් වලට , යාළුකම්වලට ගෞරව කරන කෙනෙක් මේ පවුලට ලැබෙන්න ඕනේ කියලා..දැන් ඩොක්ටර් ගාවට යන්න වෙලාවත් හරි නේ ලොකු පුතා.ඔයා එහෙනම් දුවත් එක්ක යන්න.දෝණි  එළියේ  සෙල්ලම් කරනවා.මම එයාට මොනවා හරි කවන්නම්. දැන් මේ ගෙදර මගේ තැන මං ඔයාට දීලා ඉවරයි දුව.ලොකු පුතා, මල්ලිව, තාත්තව ,මාව කවද හරි දවසක මේ ගෙදරට චූටි පුතා කසාද බැඳලා එන දරුවාව මේ හැමෝම ඔයා බලාගන්න ඕනේ..”

තේජා නර්මදාගේ හිස  සිප ගත්තේ පහත මාලයට යාමට පෙරය. දරු දෙදෙනා අසලින් සමුගත්තත් ඈ උන්නේ සිත් හොඳකින් නොවේ.ඔවුන් කුමක් පැවසුවත් ඈ සිතෙහි වූයේ දුකකි..වටිනා යමක් තමාට අහිමිව ගියා බඳු වේදනාවක් ඇයට දැනෙන්නට විය.ඒ සිතුවිල්ල කුමක්දැයි වරින් වර  සිතුවත් ඊට පිළිතුරක් සොයන්නට තේජා අපොහොසත් විය.

අගමැතිතුමා හමුවන්නට ගිය අකලංකත් මහින්දත් නිවසට පැමිණියේ එකටමය. උත්සවයට වූයේ තවත් සතියකටත් වඩා අඩු කාලයකි.කර්මාන්ත ශාලාවේත් කාර්යාලවලත් සේවක සේවිකාවන් සඳහා තිලිණපත් ප්‍රධානය සිදුවන්නේත් එදිනය.මෙවර එම කර්තව්‍ය අන් කවරදාටත් වඩා ගලප්පත්ති නිවසට විශේෂ එකක් විය.

******-========******======******====

“ප්‍රියංකා ආන්ටි..  මේ ඉවෙන්ට් එකෙන් පස්සේ මම ඔෆිස්  එකෙන් අයින් වෙන්න රෙසිග්නේෂන්  බාර දෙන්න හිතුවා.ඒක ආන්ටිගෙයි මහින්ද සර්ගේ  ෆැමිලි එකයි අතර තියෙන ප්‍රෙන්ඩ්ෂිප් එකට  බාධාවක් වෙන එකක් නෑ නේද..”

ප්‍රියංකා  තිගැස්සී ගියේ යුවතිය එසේ අසද්දීය. දෙදෙනා උන්නේ බටර් කේක් කෑල්ලක් කා කෝපි බොමින්ය.යුවතියගේ දෑස්වල පිරී තිබුණේ කඳුළකි.ප්‍රියංකාට යමක් පවසන්නට නොහැකි තරමටම ඒ ස්වරය ආයාචනාත්මක වී තිබිණ.

“ අනේ ඇයි පුතේ හදිසියේ…. ඔයාට එතන කාගෙන් හරි වරදක් උනාද..”

ප්‍රියංකා උන්නේ කලබලවය.

“ අනේ නෑ ආන්ටි. ඒ මිනිස්සු කාටවත් වරදක් කරන්න පුළුවන් අය නෙමෙයි.ඇත්තටම මට එතන කිසිම ප්‍රශ්නයක් නෑ.ඒත්..”

“ වැඩ වැඩියිද..මම තේජාට  කතා කරන්නම් පුතේ.අපි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක විසඳගමු.අපරාදෙනේ රස්සාව.”

“ අනේ නෑ ..නෑ.. එපා ප්‍රියංකා ආන්ටි..තේජා මැඩම්ට කතා කරන්න එපා.එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ මට වෙනසක් ඕන වුණා.”

“ මට ඒ කතාව තේරෙන්නෑ පුතේ.”

“ ප්‍රශ්නයක් නිසා  නෙමෙයි  මට පොඩි වෙනසක් ඕන වුණා.මීට වඩා වගකීම් අඩු ජොබ් එකක් පස්සේ හොයා ගමු.ටික දවසක් යනකල්  මුකුත්  නොකර ඉන්න මට හිතුනා ආන්ටි.කැම්පස් එකේ වැඩ ට්ක විතරක් කරගන්න නිදහස ඕනේ..”

“ දුවට කැම්පස් එකේ වැඩත් එක්ක ජොබ් එකක් කරන එක අමාරුනං එහෙම නොකර හිටියට කමක් නැහැ.පුතා එහෙම අහද්දී මට  බය හිතුණා ඔයාට කාගෙන් හරි කරදරයක්ද කියලා. අකලංක පුතා එක්ක වැඩ කරන්න අමාරුයිද පුතේ..”

“ අනේ නෑ ආන්ටි …බොස් කෙනෙක් උනාට අඩුම තරමින් මං මොනවද කරන්නේ කියලවත් හොයලා බලන්නේ නෑ.මාව ඒ තරමටම විශ්වාස කරනවා.යාළුවෙක් වගේ..”

“ එහෙනම් අපි පුතාගේ ඩිග්‍රි එකේ වැඩ කටයුතු වලට නිදහසක් ඕනේ කියලා නවතිමු.එතකොට ආපහු දවසක අපිට ඕන වුණොත් එතැනටම යන්න පුළුවන්නේ පුතේ.මං හිතන්නෙ නෑ තේජාවත්  මහින්ද මහත්තයාවත් ඒකට අකමැති වෙයි කියලා.”

එවර දිනාරා ප්‍රියංකාට එකඟව හිස වැනුවාය.සිතෙහි යමක් සඟවාගෙන මේ අයුරින් කතා කිරීමට යුවතිය දැරුවේ මහත් වූ වෙහෙසකි.සියල්ලටම වඩා ඈ පවට පිනට බිය වූවාය.මේසා ආදරය කරන තමාගේ මිනිස්සුන්  ළඟ විවෘත නොවී සිටිය හැකි කමක් නොවේ.එසේ නොකරන්නේනම් එය වරදකි.එහෙත් මෙවේලෙහි දිනාරාට ඕනෑ වූයේ කිසිවෙකු නොරිද්දවා තනිවන්නටය.අකලංක සර් තමා හමුවේ සිටින්නේ අපහසුතාවයෙන් වග විශ්වාසය.ඔහු බොහෝවර එය තමාට නොපෙන්වා සිටීමට අසීමිතව වෙහෙසවනවායැයි දිනාරා සිතුවාය.තමා නොදැක,  මුණ නොගැසී සිටීම සිත හදාගැනීමට ඔහුට රුකුලක් වේයැයි ඈ සිතුවාය.

“ ජොබ් එක ගැන කතා කලොත් මේ ඔයා කරගතපු ලොකුම මෝඩකම කියලා ඔයාට දවසක හිතෙයි.අකලංක සර් ගැන කතා කලොත් ඔයාගේ ජීවිතේ ඔයාට වෙන්න තිබුණු ලොකුම අහිමිවීම තමයි ඒ කියලා දවසක හිතෙයි .ඔයා කියනවා වගේ ඔයාගේ ආත්තම්මට වඩා ඔයා මුරණ්ඩුයි.රඳළ ලේ හරි ඝනකමයි කියන්නේ ඒ තීරණ මේ වගේම දරදඬු නිසා වෙන්න ඇති.ඇයි අකලංක සර්ට මේ දේවල් කියන්නෙ නැත්තේ.ඇයි ඇත්ත හංගන් තමන්ටම දඬුවම් කර ගන්නේ.එයාට ඔයා ප්‍රශ්නයක් නම් එයා කෙලින්ම කියයි.ඊට පස්සේ ඔයාට පුළුවන් තීරණයක් ගන්න…ඇයි දිනාරා මෙහෙම දුක් විඳින තීරණ ගන්නේ.මිනිස්සු හොයන්නේ සතුට , මිනිස්සු හොයන්න ඕන සතුට.ඒ උනාට ඔයා සතුට පෙනි පෙනී ඒක නැති කරගන්නවා.ඒක සමහරවිට ඔයාගේ අවාසනාව වෙන්න ඇති…”

හිමාෂා දහවල පැවසූයේ එසේය.එය අවාසනාවයැයි දිනාරාත් විශ්වාස කළාය.අවාසනාව උපතින්ම උරුම කරගෙන පැමිණි තමා ඒ අවාසනාවත් රැගෙනම තවත් ජීවිතයක් හා සම්බන්ධ වන්නේ කෙසේදැයි යුවතිය සිතුවේ අද ඊයේක සිට නොවේ.මිනිසුන් සමහර දේ අත්හරින්නේ අනාදරයෙන්  නොව ආදරයෙන් බව කිසිවෙකුට වටහා දෙන්නට ඈ මෙවේලෙහි උත්සාහ නොකළාය.

( යළිත් හමුවෙමු දයාබරව )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here