නිලැසි – 03

නිලැසි රශ්මිගේ ඇමතුම අවසන් වූ පසු හුන් තැනම ගුලි වී කල්පනාවට වැටුණා ය.දැන් ඉතා ඉක්මනින් පිටත් වී කොළඹ යා යුතු බව ඇගේ බුද්ධිය ඇයට තර්ජනාත්මක ස්වරයකින් පැවසී ය.නමුත් හදවත පවසන්නේ වෙනම කතාන්දරයකි.

“ඇයි ඔයා මේ බයේ දුවන්නේ?මොකටද ඔයා කාටවත් බය වෙන්නේ?”

හදවතට ඉඩ දෙන්නට සිතන මොහොතේම දුරකථනය නාද විය.ඒ තිසරු ය.අතිශය වැදගත් ව්‍යාපාරික හමුවකට බව පවසා ඔහු විදෙස් ගත වූයේ දින හතරපහකට පෙර ය.ඒ ගමන සතියකට වඩා කල් ගත වේයැයි නිලැසි සිතා හුන්නා ය.

“ඔයා කොහෙද ඉන්නේ චූටි?”

ඔහු අසයි.ඔහු ආදරයෙන් ඇමතීම ම නිලැසිට හිරිහැරයකි.

“කැන්ඩි.මං එක්සිබිෂන් එකට ලෑස්ති වෙනවා.හවස එන්නම්..”

නිලැසිගේ කෙටි පිළිතුරු ඇය අතිශය කාර්යබහුල හන්දා බව තිසරුට සිතිණ.ඇයගේ ඡායාරූප ප්‍රදර්ශනය වෙනුවෙන් කිසිම උදව්වක් දෙන්නට තමන්ට නිදහසක් හෝ කාලයක් නැති වීම ගැන ඔහු තමන්ටම දොස් නගා ගත්තේ ය.ඔහුට නිලැසි ගැන කිසිම සැකයක් හෝ අවිශ්වාසයක් නොවේ.ඒ වෙනුවට ඇත්තේ ඈ සියල්ල තනිව කර ගැනීම ගැන දුකකි.

“මං ඔහෙට එන්නම්..ඔයාගේ වැඩ ඉවර කරගෙන අපි හෙමින් ආපහු එමු.මටත් මහන්සි.පොඩි රෙස්ට් එකක් තිබ්බා නම් හොඳයි..”

තිසරු එසේ කියද්දී හිතට ආ කෝපය වාවාගත් නිලැසි පිළිතුරක් ගැන කල්පනා කළා ය.ඇයට නිදහස දැනෙන බිම වෙත තිසරු අඩියක් තැබීම ගැන පවා නිලැසිට ඇත්තේ අපුලකි.

“එපා තිසරු.මට මේ වැඩේ නිදහසේ ඉවර කරගන්නෝන..”

දුරකථනය ක්‍රියා විරහිත කළ නිලැසි කල්පනාවට වැටුණා ය.දැන් ඉක්මනින් ආපසු යන්නට සිදුවීමම ඇයට වේදනා ගෙන දෙන්නකි.

“මොනවද තිසරු කියන්නේ?”

එරන්ද ඈ අසලින් හිඳ ගත්තේ එසේ අසන අතර ය.ඔහු කෝපයක් හෝ ඊර්ෂ්‍යාවක් ඇති කර නොගෙන මේ කතාබහ අසා හිඳීම ම නිලැසිට සැනසීමකි.නමුත් එරන්ද ඒ ඇමතුම ගැන කෝපත් වනවා නම් ඇය කැමති ය.

“එයා එන්නම්ලු.විකාරනෙ.මං හවස් වෙලා ආපහු යනවා..”

එසේ කී නිලැසි එරන්දගේ අතකින් අල්ලා ගත්තේ තීරණයකට එළඹෙන අතර ය.

“මං මේ ගමන තිසරු එක්ක කතා කරනව.මට ඩිවෝස් එක ඕන කියල කියනව…”

තිසරුගේ ඇමතුමට නොකැළඹුණු එරන්ද ඒ වචන කිහිපයට කලබල වූයේ ය.ඔහු නිලැසි දෙස බැලුවේ ද කලබල බැල්මකිනි.

“ඇයි ඔයා ඩිවෝස් වෙන්නේ? පිස්සුද බබී..”

නිලැසිට පුදුම ය.වෙනත් මිනිසෙකු නම් මුණ ගැසුණු දිනයේ පටන් දික්කසාදයකට බල කරන බව ඈ දැන සිටියා ය.එරන්ද කිසිම දවසක ඒ ගැන වචනයක්වත් නොපැවසු හන්දා නිලැසි සිතා හුන්නේ ඔහු ඈ නොරිදවා ඒ වේදනාව දරා ගන්නා බව ය.නමුත් දැන් ඔහුට තමන් දික්කසාද වී තිසරුගෙන් වෙන් වීම අනවශ්‍ය බව නිලැසිට වැටහිණ.

“මං ඒ මනුස්සයගෙන් ඩිවෝස් වෙන්නෙ මට ඔයා ඕන හින්දා..වෙන හේතු නෑනෙ..”

එරන්ද නිලැසිව වැළඳ ගත්තේ ය.ඔහු දැන් ඒ අදහස ගැන ස්තූතිවන්ත වනු ඇතැයි නිලැසි උදක්ම බලාපොරොත්තු වූවා ය.

“සල්ලි කඳු ගණන් තිබ්බට ඔය මෑන් කිසි දවසක වෙන හෝටල්වලින් කන්න ගියා කියලා ඔයාට ආරංචි වෙලා තියනවද බබී?”

ඒ රස්තියාදු භාෂා විලාසයට නිලැසිට මුල් කාලයේ නම් කෝපයක් නොඉපදුණාම නොවේ.දැන් ඇයට එරන්දගේ කතාබහ පුරුදු ය.එය ඈ අතින් ද කියැවී දිගැසිගේ අප්‍රසාදයට ලක් වන අවස්ථා පවා අනන්ත ය.

“ඒ මනුස්සයා මේ සල්ලිවලට කරන්න දෙයක් නැතුව ඉන්න හා පැටියෙක් වගේ මිනිහෙක්.ඔයාට පිස්සුවෙන් ලව් ඒ අස්සෙ.ඌව ඩිවෝස් කරන්නෙ ඇයි ඔයා?”

තමන්ට තිසරු සමඟ කිසිම සුවදායක පැවැත්මක් නැති බවත් මොරවක පරම්පරාව ගෙන යන්නට මුණුපුරන් තනන ගැහැනියක වන්නට තමන්ට නුවුමනා බවත් නිලැසි පැවසුවේ කෝපය මුසු ස්වරයකිනි.අනෙක් කාරණය දැන් ඈ එරන්ද ගැන උමතු ප්‍රේමයක සිර වී හිඳින්නී ය.

“ආදරේ කියන්නේ කොළවල ලිය ලියා අයිති කර ගන්න ඕන දෙයක් නෙවෙයි කියලා ඔයා කවද්ද බබී තේරුම් ගන්නේ.මං ඔයාට හැමතිස්සෙම කියනවනෙ.මං හුළඟක් වගේ නිදහස් මිනිහෙක්.ඔයා තිසරු ඩිවෝස් කරා කියලා මං ඔයාව කසාද බඳින්නේ නෑ.මට බැඳීම් ඕන නෑ.මගේ ලෙයින් ළමයි මේ කාලකන්නි ලෝකෙට උපද්දන්න ඕනත් නෑ..”

ආදරය ලේඛනගත කර අයත් කර ගත යුතු නැති බව ඇත්තකි.නමුත් ඒ එරන්දගේ ආදරය වැනි ආදරයකි.ඒ ආදරයේ සදාකාලික සිරකාරිය වන්නට නම් නීතියෙන් වෙනකෙකුගේ බිරිඳව සිටීම අතැර දැමිය යුතු බවට නිලැසි තදබල තීරණයක් ගත්තා ය.

“මං යන්න ලෑස්ති වෙන්න ඕන එරන්ද..”

නිලැසි ඔහුගේ උණුසුමෙන් මිදී ගත්තේ එසේ කියන අතර ය.එරන්ද ඔහුගේ දිලිසෙන දෑස් මත අනුරාගී ගිනි සිලු දල්වමින් නිලැසිගේ මුහුණට එබුණේ ය.ඔහු සමඟ නිලැසි අමනාපයෙන්දැයි එරන්දට ලා සැකයක් ද පහළ වේ.නමුත් ජීවිතය ප්‍රේමවන්තියන්ට පැමිණෙන්නටත් හැර යන්නටත් ඉඩ දී ඇති අවන්හලක් වාගේ බව ඔහු සිතයි.

“එකම එක චිත්‍රයක්වත් ෆොටෝ එකක්වත් නැතුව යන්නේ ඉතිං..”

නිලැසි නැගී සිටියේ එසේ කියන අතර ය.ඈ ඇඳි සිතුවම් ද කාචගත කරගත් ඡායාරුප ද ගැන තිසරු වදනක්වත් නොවිමසන වග ඇයට සහතික ය.එනිසා ඒ ගැන බිය විය යුතු නොවේ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles