“මං…මේ…මං මේ පුතේ රට ඉන්න… රට්ට්…රට ඉන්න යාලුවෙක්ට කෝල් එක්ක ගන්න ආවා” කියා තාත්තා කියද්දීත් නෙත්මලී උන්නේ තාත්තාට පිටුවා හිස් වතුර ජෝගුවට පියුරිට් වතුර ෆිල්ටරයෙන් වතුර පුරවාගන්නා ගමන් ය.
මෙච්චර දවසක් තාත්තාගේ දෙනෙත් දෙස බලාගෙන එක එල්ලේ, හුරතලයෙන් ඕන වෙලාවක ඕනම දෙයක් ගැන කතාකරන්න තමන්ට තිබුණ හැකියාව තමන්ට නැතිව ගියේ කෙසේද යන්න ඇත්තටම එවෙලේ නෙත්මලීටද ප්‍රශ්නයක් වී තිබුණාය. එහෙත් මේ ඇති වී තිබුණ වාතාවරණයේ තිබු අපහසුතාවයෙන් මදකට හෝ මිදෙන්නට නම් තාත්තාගේ දෙනෙත මග හැර හිඳීම වඩා පහසු බව යටි හිත කියන බව පමණක් නෙත්මලීට එවෙලේ තේරුණාය.
“ඒ අංකල්ගෙ මේ රස්සාවෙ පොඩි ප්‍රශ්නයක් වෙලා පුතේ. ඒ මනුස්සයට ගෙදරත් හරි ප්‍රශ්න. කොහොමත් ඉතින් ගෙදරින් ඈත්වෙලා ඉතින් රට රටවල් වලට වෙලා ඉද්දි මිනිස්සුන්ට හරියට ප්‍රශ්නවලට මූන දෙන්න වෙනවනෙ. ඒ අංකල් ගෙදර මිනිස්සු එක්කත් එච්චර ක්ලෝස් නෑ. ඉතින් මට තමයි මොනවහරි ප්‍රශ්නයක් උනාම කතාකරන්නෙ. මට මැසේජ් එකක් දාලා තිබ්බ කතා කරන්න පුලුවන්ද කියලා.
එහෙ වෙලාවයි මෙහෙ වෙලාවයි බැලුවම ඉතින් මේ වගේ අරුම පුදුම වෙලාවල් වල තමයි නිදහසේ කතාකරන්න වෙලාව්ක හොයාගන්න පුලුවන්. මං ඉතින් කිව්වා මං කෝල් එක්ක ගන්නම් කියලා” තාත්තා තමන් කිසිම ප්‍රශ්නයක් අහන්නේත් නැතුව ඔහේ කියාගෙන කියාගෙන යද්දිත් නෙත්මලී එයට කිසිම දෙයක් කියන්න ගියේ නැත. අනෙක් අතට එයට කියන්න දෙයක් නෙත්මලීට හිතාගන්නට පුළුවන් වුණේද නැත. නෙත්මලී උන්නෙ ආයෙ වතාවක් ලාවට රිදෙන්නට ගත් ඔලුවෙන්ද, තෝන්තු වුණ හිතෙන්ද මේ වුණ දේ හිතාගන්න බැරුවය.
තාත්තාගේ මේ අනවශ්‍ය පැහැදිලි කිරීම නිසා කුස්සිය ඇතුළේ ඇති වී තිබුණේ මහා අපහසුකාරී, බර නිහඬතාවයක් බව නෙත්මලීට නොතේරුණා නොවේ. තමන් කිසිම දෙයක් නොඅසා සිටියදීත්, තාත්තා මෙතරම් කලබලයෙන් දීර්ඝ විස්තරයක් කියන්නට යාමෙන්ම ඇගේ සිත තුළ ඇති වුණේ ලොකු සැකයකි. කිසිදා තමන්ගෙන් කිසිවක් සඟවා නැති, තමන්ගේ හොඳම මිතුරා වූ තාත්තා, අද තමන්ගේ දෑස් දෙස කෙළින් බලන්නට පවා බැරුව අසරණ වී සිටින බව නෙත්මලීට තදින්ම දැනුණි.
ජොග්ගුවට වැටෙන වතුර බිංදුවක් බිංදුවක් ගානේ නෙත්මලීගේ සිත ඇතුළෙන් මතු වුණේ නොදන්නා බියකි.
“තාත්තා ඇත්තටම මේ කියන්නේ ඇත්තක්ද?” යන ප්‍රශ්නය ඇගේ සිත අස්සෙන් රිංගා ආවේ ඇයටත් නොදැනීමය.
“රට ඉන්න යාලුවෙක්ට කතා කරන්න තාත්තා මෙච්චර මේ පාන්දර කුස්සියට වෙලා ඉන්නෝනද? ඒකත් කුස්සියෙ දොර ඇරන් එලියට වෙලා කතා කරන්න ඕනද? වෙනදා තාත්තා යාලුවන්ට කතා කරන්නෙ ටීවි රුම් එකේ ඉඳන් නේ?” කියා සිත කියද්දී එය නොඅසා ඉන්නට හැකියාවක්ද නෙත්මලීට නොතිබුණා නොවේ.
නෙත්මලී වතුර ජොග්ගුවත් අතට ගෙන හෙමින් ආපසු හැරුණේ තවදුරටත් එතන ඉන්නට හේතු කාරණාවක් තිබුණේ නැති නිසාවෙනි. තාත්තා තවමත් අඳුර අස්සේ තමන් දෙස නොබලා බිම බලාගෙන සිටින බව නෙත්මලී ඇස් කොණකින් දුටුවාය.
“පුතාගෙ ඔලුව කැක්කුම දැන් කොහොමද? තාම රිදෙනවද?” කියා තාත්තා අහද්දිත් වෙනදා මෙන් හුරතල් වෙමින් “තාම රිදෙනවා තාත්ති. අයඩෙක්ස් ටිකක් ගාලා මසාජ් කරන්න බැරිද?” කියා අහන්න එවෙලේ එතන හිත රිද්දාගෙන උන් නෙත්මලී දේවස්මිතා සමරසිංහට පුළුවන් වුණේ නැත. ඇය උන්නේ ඔලුවට වඩා හිත රිද්දාගෙනය. ඒ වනාහී අයඩෙක්ස් ගා සනසාලිය හැකි වේදනාවක් නොවේ.
එනිසාවෙන්ම නෙත්මලී ඔලුව වනා “ටිකක්” කියලා කෙටියෙන් උත්තර දී ආපහු වරක් කාමරයට යන්නට කකුල ඉස්සුවාය.
“මං පුතාට නින්ද යනකං ඔලුව ටිකක් මසාජ් කරන්නද? පුතා දැන් ආය ඔලුව කැක්කුම තියෙද්දි පාඩං කරන්න එපා. ආයෙ හෙට උදේ ඇහැරගෙන පාඩං කරන්නත් එපා. ඉස්කෝලෙ යන්න බලාගෙනම ඇහැරෙන්න. එක දවසක් පාඩං නොකරා කියලා මුකුත් වෙන්නෙ නෑනෙ පුතේ. මෙච්චර දවසක් පුතා පාඩං කරානෙ. ඒ හන්දා අද පොඩ්ඩක් රෙස්ට් කරන්න. එහෙම දවසුත් තියෙන්නෝන. විබාගෙ විබාගෙ කියලා නහින්නම ඕන නෑ” කියා තාත්තා කියද්දී හිත දෙපිලකට බෙදී එක පිළක් කලින් හිත තාත්තා දිහා බැලූ ආකාරයට සම්පූර්ණයෙන්ම විරුද්ධව “තාත්ත ඇත්තටම යාලුවෙක්ට කතා කරන්න තමයි එලියට එන්න ඇත්තෙ. අපිට ඇහැරෙයි කියලා හිතලා වෙන්න ඇති එලියට යන්න ඇත්තෙ” කියා සාධාරණීකරණය කරන්නට පටන් ගත්තාය.
ඒත් හිත වනාහී අරුම පුදුම තැනකි.
හිත නිරන්තරයෙන්ම බර වන්නේ යහපත් පැහැදිලි කිරීම් වලට වඩා සැක සහිත, අඳුරු පැත්තටය.
යම් සිදුවීමකට තාර්කික මෙන්ම සාධාරණ හේතුවක් තිබිය හැකි වුවද, මනුෂ්‍ය මනසට වඩාත් පහසුවෙන් රිංගන්නේත් මුල් ඇදගන්නේත් කුඩා සැකයයි.
සිත ඇතුළේ හටගන්නා ඒ පුංචි සැකයේ බීජය සිය දහස් ගණනක් පැහැදිලි කිරීම් හමුවේ වුවද අතුපතු විහිදුවමින් නොසන්සුන්කමේ ලොකු වෘක්ෂයක් බවට පත්වීමට වැඩි වෙලාවක් ගන්නේ නැත. යහපත් නිරවුල් පැහැදිලි කිරීමකට වඩා නොපැහැදිලි මෙන්ම අඳුරු අනුමානයන් කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වන මනුෂ්‍ය හිතේ ස්වභාවය එයයි. කොතෙක් තර්ක විතර්ක කර සිත සන්සුන් කරන්නට හැදුවද අවසානයේදී හිත නතර වන්නේම අර තැවුල් සහගත සැකය ලඟමය.
“එපා” කියමින් නෙත්මලීව කාමරය වෙත ගෙන එන්නට හේතු වූයේද ඒ සැකයේ මුල් ය.
කාමරයට පැමිණි නෙත්මලී දොර පියන හෙමින් වසා දැමුවේ මුළු ලෝකයෙන්ම තනිවීමට මෙන් මහා බර හුස්මක් හෙළමිනි.
මේසය මත වතුර ජොග්ගුව තබා ඇය ඇඳෙන් වාඩි වූවාය.
තද කළුවර අස්සේ තමන්ගේම කාමරය පවා ඇයට දැනුණේ වෙනදා නැති අමුතුම නාඳුනන තැනක් ලෙසිනි.
සිත ඇතුළේ කැළඹුණු අර නොසන්සුන් සැකයත් සමග නතර වී තිබුණු හිසරදයේ කොනක් ආයෙමත් ලාවට ඇවිලෙන්නට පටන් ගෙන තිබුණි. එය මුල් වරට ආ මහා යකඩ ඉන්නක රිදුම තරම් දරුණු නැතත් සිතේ ව්‍යාකූලත්වයත් සමග එකතු වී නළල දෙපසින් බරට දැනෙන්නට විය. තවදුරටත් මේ රිදුම ඉවසිය නොහැකි තැන ඇය හිමින් නැගිට මේසයේ ලාච්චුව ඇර පැනඩොල් පෙති දෙකක් අතට ගත්තාය. ජොග්ගුවෙන් වතුර ටිකක් වීදුරුවට දමාගෙන උගුර උගුර බොමින් පෙති දෙක උගුරෙන් පල්ලහට යැවූ ඇය ඇඳට වැටී තදින් දෑස් පියාගත්තාය.
වෙනදා නම් මෙවැනි පාන්දර ජාමයක පාඩම් වැඩ අවසන් වූ පසු ඇඳට වැටෙන නෙත්මලීට නින්ද යන්නේ ඇසිපිය සලන වේගයකිනි. ඒ නින්ද සුවදායකය. හෙට දිනය ගැන බලාපොරොත්තු පිරුණු නිරවුල් නින්දකි. නමුත් අද ඒ සියල්ල වෙනස් වී තිබුණි. ජීවිතයේ පළමු වතාවට ඇගේ ඒ සුපුරුදු නිරවුල් නින්ද සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබුණි.
ඇස් දෙක පියාගෙන සිටියද ඇගේ මනස තිබුණේ නින්ද බාරගන්නට බලාපොරොත්තුවෙන් නොවේ.
දෑස් අභියස මැවුණේ අඳුරු කුස්සියත්, එහි අඩ අඳුරේ සිටි තාත්තාගේ අසරණ වූ මුහුණත්ය.
“තාත්තා වෙනදාට කතා කරන්නේ ටීවී රූම් එකේ ඉඳන්නේ”
“ඇයි කුස්සියේ දොර ඇරගෙන?” “එළියට ගිහින් කතා කරන්න තරම් මොනවද තියෙන ප්‍රශ්න?” “අනික මේ මහ රැ කවුද කතාකරන්න ඉන්න ඔච්චර හොඳ යාලුවා? මිනිස්සු මේ වෙලාවට නිදාගන්න විත්තිය දන්නෙ නැද්ද?” යන ප්‍රශ්න එකිනෙක පැටලෙමින් ඇගේ මොළය ඇතුළේ කරකැවෙන්නට විය.
පැනඩොල් පෙති දෙක සිරුරේ වේදනාව මඳකට අඩපණ කරන්නට සමත් වුවද සිතේ හටගත් ඒ අඳුරු සැකය සමනය කරන්නට ඒවාට හැකියාවක් තිබුණේ නැත.
පැත්තකට හැරී, කොට්ටය බදාගෙන, තදින් ඇස් පියාගත්තද නින්ද ඇගෙන් ගව් ගණනක් ඈතට ගොස් තිබුණි. සිත ඇතුළෙන් නැගුණු ඒ නොසන්සුන් බව හමුවේ ඇගේ මනසට කිසිදු සහනයක් ලැබුණේ නැත. මීට පෙර කිසි දිනෙක විඳ නැති ඒ නොසන්සුන්කම සහ හුදෙකලාව හදවතට මහත් බරක් ගෙන එද්දී නෙත්මලී පාන්දර එළිය වැටෙන තෙක්ම ඇඳ මත එක දිගට පැත්තෙන් පැත්තට පෙරළෙමින් අඩපණ වූ සිතින් යුතුව පියවි සිහියත් නින්දත් අතර අතරමංව සිටියාය.


