සඳක් තනියම – 39

0
5463

කුමක් හෝ කරුණක් නිසා යුවතිය සිතෙහි අමාරුවෙන් පසු වෙනවායැයි ප්‍රියංකා හොඳටම විශ්වාස කරන්නට පටන් ගත්තේ ඊයේ සිටය. මෙතුවක් කල් ඈ අධ්‍යාපනයත් රැකියාවත් දෙකම සමබරව පවත්වාගෙන ගිය යුවතියකි.

කාර්යාලයේදී ඇගේ සිත රිදෙන යමක් සිදුවී ඇතැයි සිතුනත් අකලංක, විශ්ව හෝ මහින්ද අතින් එවැන්නක් සිදුවෙතැයි විශ්වාස කළ හැකි කමක් ඇයට වූයේ නැත.දෙතුන් වරක්ම ඉල්ලා අස්වීමේ ලිපිය බාරදීම මගින් තමනුත් ගලප්පත්ති පවුලත් අතර වන සබැඳියාවට හානියක් වේදැයි ඕ විමසුවා ඇයට මතකය.

‘ කමක් නැහැ එයා නිදහසේ ඉගෙන ගන්න එක හොඳයි..කොහොමත් ඩිග්‍රි එක කම්ප්ලීට්  උනාට පස්සේ ඊට වඩා හොඳ ජොබ් එකකට යන්න පුළුවන් වෙයි.මොනව හරි හේතුවක් නිසා තමන් කරන රැකියාව තමන්ට නීරස  උනොත් ඒකෙන් තමන්ටවත් ඒ රැකියාව කරන ආයතනයටවත් හොඳක් වෙන්නෙ නෑ.’ 

අවසන ප්‍රියංකා එසේ සිතුවාය.

තවත් දෙදිනකින් පැවැත්වෙන උත්සවය සඳහා ප්‍රියංකාටත් ආරාධනා පත් ලැබී තිබිණ.තමාගේ සහභාගීවීම අනවශ්‍ය යැයි පවසද්දී ඇයට එහි පැමිණෙන්නයැයි  බල කළේ තේජාමය.

“මං කොහොමද පුතේ මල්ලිව දාලා එන්නේ…”

ප්‍රියංකා එසේ පැවසූයේ තේජා කතා කළ බව දිනාරා  හා පැවසුවාට පසුවය.

“ අපි කුමාරි අක්කට මල්ලිව  බලාගන්න කියමු.ප්‍රියංකා ආන්ටි  ගොඩක් කාලෙකින් එළියට ගියේ නැහැනේ.ගෝලයත් ටීචට වැඩ පෙන්නන්න ආසාවෙන් ඇත්තේ..ඔෆිස්  එකෙන් අයින් වුනාට පස්සේ මටත්  එයාලත් එක්ක  ලොකු සම්බන්ධයක් නැතිවෙයි නේද  ප්‍රියංකා ආන්ටි..”

“ එහෙම සම්බන්ධකම් නැති වෙන්නෙ නෑ පුතේ.හොඳ මිනිස්සු හැමදාම අපේ හිත් වල ඉන්නවා.තේජා  උනත් හැමදාම මං එක්ක  ඔයා ගැන කතා කළේ හරි ආදරේකින්.අකලංකා පුතා උනත් එහෙමයි.ඔයාව එයාලගේ හිත්වල ගොඩ කාලයක් යනකල් ඉඳීවි..”

ප්‍රියංකා එසේ පැවසූයේ දිනාරාගේ හිස අතගාමින්ය.යුවතිය මහත් වූ දුකක්,  බරක් දරා ඉන්නාවග  විශ්වාසය.සෑම පසෙකින්ම සිතා බැලුවත් ඒ කුමක්දැයි ඇයට අනුමානයෙන්වත් සිතා ගත හැකි කමක් වූයේ නැත.කෙසේ යුවතියගේ  තීරණ වලට එකඟව ඇය හා සිටීමට ප්‍රියංකා තීරණය කළේ පෙරදා රාත්‍රියේය.හිමාෂාට දුරකථන ඇමතුමක් ලබාගත්තත් හරි හැටි යමක් දැනගැනීමට ප්‍රියංකාට හැකි වූයේ නැත.ඇයත් පවසා සිට්යේ අධ්‍යන කටයුතු වලට කාලය අවැසි නිසා දිනාරා මෙවන් තීරණයක් ගැණුමට සිතූ බවයි.

එහෙත් ඒ පිළිතුර ප්‍රියංකාගේ කුතුහලය සන්සිදුවන්නට තරම් සෑහෙන එකක් වූයේ නැත.

දිගු සුසුමක් මුදාහල ප්‍රියංකා සචින් ගේ කාමරයට ගියේ ඔහුව ඇහැරවන්නටය.දැන් ඔහු නින්දට වැටී පැය හතරකට ආසන්නය. ඔහුගේ ඇඟට අත තබා බලද්දී ඇයට දැනුනේ මද උණුසුමකි.

“ අනේ පැටියෝ උණ හැදිලාද මේ….”

එසේ පැවසූ ප්‍රියංකා පුතුගේ ගෙලටත් නළලතටත් අත තබා බැලුවේ සිතෙහි සැකයටය. එහි වූයේත් මද රස්නයකි.

“ උණ තමයි පුතේ..මගේ පුතා උයියා වෙලා..එන්න අපි මොනවා හරි චුට්ටක් කාලා පැනඩොල් සිරප් ටිකක් බොමු.මගේ පුතා උයියා උනොත්  අපි දෙන්නටම සෙල්ලම් කරන්න බැරුව යනවනේ.”

ප්‍රියංකා එසේ පැවසූයේ කුඩා පුතු වඩා ගන්නා ගමන්ය.ඔහු දැන් ප්‍රියංකාට කට පුරා අම්මායැයි පවසයි.

*******=========*******======********

කාර්යාලයේ උන් මහින්ද තේජාට දුරකථන ඇමතුමක් ලබා දුන්නේ හදිසියේය.එවේලෙහි ඇය උන්නේ සිය කාමරයට වී කාන්තා පුවත්පතක් කියවමින්ය. සිඟිති දියණිය උදේ වරුවේ නිවසේ නොමැති නිසා දැනෙන්නේ පාළුවකි.

“ ඇයි මහින්ද….”

“ දිනාරා රෙසිග්නේෂන්  බාරදුන්නා..”

“ දිනාරා.. ඇයි මේ හදිසියේ.”

“ එයාට ඩිග්‍රි එක කම්ප්ලීට් කරන්න ඕනේ කියලා තමයි කිව්වේ.මම කිව්වා ඔයාට අවශ්‍ය දවස්වල නිවාඩු ගන්න කියලා.ඒක එයාටත් අපිටත් දෙගොල්ලන්ට කරදරයක් කියලා එයාට හිතුනලු..බල කරන්න බෑනේ තේජා..මං එතනින් එහාට මොකුත් අහන්න ගියෙත් නැහැ.අපිට කාවවක් බලෙන් රඳවාගන්න බැහැනේ..”

“ චූටි පුතා මේ ගැන දන්නවද”

“ මං හිතන්නේ නැහැ.මොකද මම එහෙම ඇහුවම දිනාරා  කිව්වා මේ වෙලාවේ සර් ඉන්නේ කතා කරන්න බැරි තරම්ම බිසී වෙලා ඒ නිසා මම සර්ට මේ ගැන කිව්වේ නෑ ..ඉවෙන්ට් එකෙන්  පස්සෙම කතා කරන්නම් කියලා.”

“ මේ ළමයා අයින් වෙලා යන්න හදන්නේ අර හේතුව නිසාද.”

“ වෙන්න පුළුවන්.එහෙම දෙයක් ඇහුවට පස්සේ එකට වැඩ කරන්න අපහසුකමක් ඇතිනේ.කොහොම උනත් අපිට දක්ෂ ළමයෙක් නැති උනා..”

“ ප්‍රියංකා අපි ගැන මොනවා හිතයිද දන්නේ නෑ..”

“ මේවා සාමාන්‍ය දේවල්.මම හිතන්නෙ නෑ තේජා ප්‍රියංකා ඒ තරම් පටු විදිහට හිතන කෙනෙක් කියලා.ඔය වගේ වයසෙදි දරුවන්ගේ හිත්වල එහෙම  අදහස් ඇතිවෙනවා කියලා එයා නොදන්නවා නෙමෙයිනේ.අනික අපේ පුතා දිනාරාට බලපෑම් කරන්න තරම් පහත් තත්වයකට වැටුනේ නෑනේ…”

“ ඒ උනාට දිනාරා ගිහිල්ලා මොනවා කියලා තියෙනවද දන්නෙ  නෑනේ.”

“ මං හිතන්නේ නෑ ඒ ළමයත් එහෙම නරක ළමයෙක් කියලා. සමහරවිට අකලංක පුතා එක්ක වැඩ කරද්දි එයා වගේම පුතත් අපහසුතාවයට පත්වෙයි කියලා හිතනවා ඇති. බලමු මේ වැඩේ ඉවරවෙලා මම දිනාරා එක්ක ටිකක් කතා කරන්නම්.මේ බවක්  අපි දන්නවා කියලා අගවන්නත් බැහැනේ තේජා.ඒක හොඳ මසි..”

“ ඒක හොඳයි…ඔයා එහෙම ටිකක්  කතා කරන්න.”

සැමියා හා කතා කල පසුව තේජා උන්නේ හිත් හොඳකින් නොවේ.දිනාරා මෙවැනි තීරණයක් ගන්නට ඇත්තේ අකලංක ඇගෙන් කැමැත්ත විමසූ නිසා විය යුතුය ඇය වැරදි වැ⁣ටහීමක් ඇතිකරගෙන ඉන්නවා විය යුතුය.

“ එක අතකින් ඒකේ වරදක් නැහැ.ඒ ළමයට අපේ චූටි පුතාගේ මූණ බල බල ඉන්න අපහසු ඇති.”

අවසන තේජා එසේ සිතුවේ දිනාරා යනු තමා දැන සිටියාට වඩා දරදඬු යුවතියකයැයි සිය  සිතුවිලි තර්ක කරද්දීය.

හෝරාවක් පමණ ගෙවී ගියාට පසුව ඈ තීරණය කළේ ප්‍රියංකාට දුරකථන ඇමතුමක් ලබාදීමටය. සමහර ප්‍රමාදයක් නිසා ඇති වන්නේ සිත් වේදනාවෙන්ය.

“ අනේ මමත් තේජාට කෝල් එකක් ගන්න ඕනේ කියලා හිත හිතා හිටියේ.”

“ හිත හිතා ඉන්නේ ඇයි ටීච ලොකු වැඩක් තියෙන කෙනෙක් වගේනෙ.දැන් ගෙදරනේ ඉන්නේ..”

“ ඒ උනාට ඉතින් ගෙදර වැඩත් මහ මෙරට තියනවනේ.මම විතරක් නෙමෙයි මේ වෙලාවෙ තේජාත්  හරි කාර්යබහුල බව මං දන්නවා..”

“ අද මම ටිකක් නිදහස් උනා.අද නර්මදා දුවගේ අම්මයි තාත්තයි එනවා මෙහේ අපි හැමෝටම කෑමත් අරගෙන.ඒක නිසා මටත් පොඩි විවේකයක් ලැබුණා.” 

“ ඒක හොඳයි වෙනසකටත් එක්ක.ඒ මුණගැහීම් කොච්චර වටිනවද..”

“ ඉතින් ප්‍රියංකා ටීච  කියන්නකෝ ඇයි මට කතා කරන්න බලාගෙන හිටියේ කියලා.”

“ දිනාරා දුවට කැම්පස් එකේ වැඩත් එක්ක ඔෆිස්  එකේ වැඩ කරන්න අපහසුයි කියලා මට දැන් දින කිහිපයකට කලින් කිව්වා.මගෙන් ඇහුවා ඉල්ලා අස්වීමේ ලිපිය බාර දෙන්නද කියලා.මට ඉතින් ඒකට විරුද්ධව මොකුත් කියන්න බැහැනේ තේජා.ඒ දරුවා තමයි දන්නෙ එයාගේ ඉගනීමෙත් , රාජකාරියෙත්  බරපතලකම.ඒත් මට කිව්වා මහින්ද මහත්තයවත් , විශ්ව පුතාවත්, අකලංක පුතාවත් එයාට කොයි වෙලාවකවත් මේ වැඩ කොටස කරන්නම ඕනේ කියලා නීතිරීති දාලා නෑ කියල.ඒ උනාට ඉතින් තවම පොඩි ළමයි.දෙපැත්තම බැලන්ස් කරගෙන කරන්න අපහසු ඇති කියලා මට හිතුණා.මගින් මගටම ඇහුවා අපේ හිතවත්කමට බාධාවක් වෙයිද කියලා.”

“ මමත් ප්‍රියංකා එක්ක කතා කරන්න ගත්තේ ඒ හේතුවම තමයි.අද දුව රෙසිග්නේෂන් බාර දීලා තියෙනවා.මහින්දත් ඇත්තටම කැමති නෑ දුව වගේ දක්ෂ ළමයෙක් අයින් වෙනවට. ඒත් කිව්වලු අවශ්‍ය වෙලාවට නිවාඩුවක් ගන්න කියලා.”

“ මමත් කිව්වා  එහෙම කරන්න බැරිකමක් නෑ කියලා.”

“ දිනාරා ටිකක් හිතුවක්කාරයි නේද. අත්තම්මා වගේ දරදඬු තීරණ ගන්නවද මන්දා..”

“ එහෙමමත් නෑ තේජා.එහෙම මට දැනිලා තිබුණෙත් නැහැ.හැබැයි දැන් ටික දවසක ඉඳලා එයා මොනවා හරි දෙයක් හිතේ හංගගෙන දුක් විඳිනවා කියලා මට හිතෙනවා..අත්තම්මා ටිකක් බලපෑම් කරනවා වැඩියි .සමහර විට ඒ දේවල් හින්දා දුව ඉන්නේ බයෙන් සැකෙන් වෙන්න පුළුවන්.පහුගිය දවස්වල පොඩි දේපළ ප්‍රශ්නයකුත් ඇතිවෙලා තිබුණා. ඒ දරුවා හරි කැමතියි නිදහසේ ඉන්න.තමන්ගේ වැඩ කොටස හරියට කරන්න බලනවා මිසක්කා වෙන කිසි දෙයකට ආසාවක් ඇලීමක් තියෙන දරුවෙක් නෙමෙයි ඔය.හැමතිස්සෙම කියනවා මට වටින්නේ හිතේ සැනසීම ප්‍රියංකා ආන්ට්  කියලා.මටත් තේරෙන්නේ නෑ තේජා..ඇහුවට දෙයක් කියන්නෙත් නෑ…ඇස්වල කදුළු පුරවන් ඉන්නවා..”

“ ඒකට හේතුව මං දන්නවා ප්‍රියංකා…”

එවර තේජා පැවසූයේ මඳ හඬකින්ය.සැබවින්ම  ඒ වදන් වලින් ප්‍රියංකා තිගැස්සී  ගියාය.ඒ තිගැස්මෙන්ම ඈ  තුල උපන්නේ දුකකි..දිනාරා තමාට යමක් සඟවනවාදැයි ඕ සිතුවේ පුදුමයෙන්ය.උදෑසන ආහාර වේල කවා පැන්ඩෝල් පැණිය දුන්නාට පසුව කුඩා සචින්ට නින්ද ගොස් තිබුණේ ඇගේ උකුල මතමය.තේජා හා කතා කරන අතරේත් ඇය වරින් වර පුතණුවන්ගේ  ගෙලටත් නළලතටත් අත තබා බැලුවාය.ඒ වනවිට ඔහුාග් සිරුරේ වූයේ මද රස්නයකි.

“ මොකක්ද තේජා ඒ…”

“ කොහොමත් මම මේ ගැන ප්‍රියංකා ටීච එක්ක කතා කරන්න හිටියේ.ඒත් මට මහින්ද කිව්වා මේ ඉවෙන්ට් එක ඉවර වෙනකල් කතා කරන්න එපා කියලා.”

“ අපේ දරුවා  අතින් මොනවා හරි වරදක් උනාද.හිතා මතා එහෙම වරදක් කරන දරුවෙක් නෙමෙයි. නොදැනුවත්කමින් උනොත් මිසක…”

“ දිනාරාට  වරදක් උනේ අපෙන් ප්‍රියංකා..”

“ මට තේරුනේ නෑ තේජා…ඒ..ඒ…”

( හෙටත් හමුවෙමු දයාබරව )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here