සඳක් තනියම – 40

0
4977

“ අපේ චූටි පුතා…අකලංක ඔය දරුවට ආදරේ කරන්න පටන් අරගෙන.ඕක කාලෙක ඉඳලා අයියයි නෑනයි තුන්දෙනා එක්ක එකතුවෙලා කතා කර කර තමයි ඉඳලා තියෙන්නේ.දවසක් මේ ළමයා ඒ අදහස දිනාරාට කියලා.”

“ අනේ තේජා ඉතින්…”

“ දිනාරා කිව්වලු එයා කවදාවත් කසාද බඳින්නෙ නෑ කියන තීරණයක ඉන්නේ කියලා…”

“ ඒ කතාවනම් කීප වතාවක්ම කියලා තියෙනවා.අත්තම්මට කියන්නෙත් ඒ කතාවමයි..”

“ ඇයි ඒ ප්‍රියංකා.මේ වගේ තරුණ ලස්සන දරුවෙක් එහෙම තීරණයක් ගන්න තරම් මොකක්ද හේතුව…”

“ හේතු කීපයක් තියෙන්න පුළුවන්.එකක් තමයි එයාගේ අම්මා එයාගේ තාත්තව මැරි කරලා තියෙන්නේ හරි පුංචි වයසකදි.මං කියල තියෙනවනේ තේජා අපි දෙන්නා එකට කොන්වන්ට් එකේ හැදුනේ කියලා.ඒ කාලේ ඒ උස තාප්පවලින් එහා පැත්ත දකින්න අපිට පුදුම ආසාවක් තිබුණේ.ඇත්තටම කිව්වොත් අපි හිතාගෙන හිටියේ තාප්පෙන් එහා පැත්තේ තියෙන්නේ සුරංගනා ලෝකයක් කියලා. මමත් එයාගේ අම්මට ඒ තීරණේ ගන්න උදව් කළා.ඒ දෙන්නා හමු උනේ හොර රහසේ.අන්තිමට කේතකීට දිනාරව ලැබෙන්න හිටියා.දිනාරාව හමුබවෙලා මාස කිහිපයකින්  තමයි කසුන් අයියා ලංකාවෙන් ගියේ.ඒ ඒගොල්ලන්ගේ තේ ව්‍යාපාරයේ වැඩ වගයකට.ඒත් එහෙම ගියපු කසුන් අයියා ආපහු ආවේ නෑ.කේතකී ගොඩක් දුක්වින්දා.මොන තරම් දැඩි තීරණ ගත්තත් ඔය අත්තම්මා කේතකීටයි  දිනාරාටයි  පුදුම විදිහට ආදරෙයි.වරදක් කරලා ගියපු  තමන්ගේ දරුවන් මැරුණා කියලා දානෙ වේලක් පවා දීපු ඒ මනුස්සයා කේතකීවයි  දිනාරාවයි ඇස් දෙක වගේ බලා ගත්තා.ඒත් ඔය වලව්වේ  ඉන්න කසුන් අයියාගේ අක්කයි මල්ලි ඒ පවුලේ උදවියයි මේ දෙන්නට හරියට  වෙනස්කම් කලා.ඊට පස්සේ තමයි කේතකී වත්තෙම  තිබුණු වෙන ගෙදරක පදිංචියට ගියේ.පස්සේ කාලෙකදී මට කතා කළේ කොන්වන්ට් එකෙන් පිටවෙච්ච ලද බොළඳ කෙල්ල නෙමෙයි.ජීවිතේ මහා වගකීම් ගොඩක් කරපින්න ගත්ත ගැහැණියක්..දිනාරා  මගේ ළඟට ආවට පස්සේ එයා කියලා තියෙනවා අම්මගේ ජීවිතේ අන්තිම මොහොත වෙනකල්ම  තාත්තා වෙනුවෙන්  ඇස් දෙකේ කඳුළු පුරවගෙන මග බලන් හිටියා කියලා..”

“ ඒ හින්දම පිරිමි ගැන විශ්වාසයක් ඒ දරුවාට නැතුව ඇති ප්‍රියංකා.”

“ වෙන්න පුළුවන්..එයාගේ කාලකණ්නි ළමයෙක් කියන අදහස ඒ වලව්වේ මිනිස්සු එයාගේ ඔළුවට දැම්මේ පුංචි කාලෙදි.එයා ඇත්තටම තමන් එහෙම ළමයෙක්ද කියලා තවම හිතනවා තේජා.අනිත් හේතුව තමයි එයාගේ අත්තම්මා එයාට විවාහ යෝජනා ගේනවා..මටත් තදින්ම බල කරලා කියා හිටිනවා දිනාරා කොළඹදී යම් වැරැද්දකට පෙළඹුනොත් ඒකට වගකියන්න ඕනේ මම කියලා.ඒ නිසා මෙහෙම තීරණයක්  ගත්තා වෙන්නත්  පුළුවන්.එහෙම නැත්තං කොළඹදී එයා සම්බන්ධයක පැටලුනොත් මට නරක නාමයක් එයි කියලා බයට වෙන්නත් පුළුවන් ..”

ප්‍රියංකා කතා කලේ ප්‍රධානම හේතුව හංගාගෙනය.ඇය එවන් තීරණයක් ගත්තේනම් ඒ සචින් නිසා බව විශ්වාසය.තවමත් සචින් ගැන පවසා දිනාරා සේම කේතකීව ලැඡ්ජාවට පත් කරන්නට නොසිතේ.සමාජයේ මිම්මෙන් ඔවුන්ව මනින්නට නොසිතේ.

“” මේ දේවල් ඇහුවට පස්සේ මට දිනාර ගැන හරියට දුක හිතුනා ප්‍රියංකා.මගේ කොල්ලා මේ කෙල්ලට හරි ආදරෙයි.මේ දවස්වල ගෙදරට ආවත් කාමරේට වෙලා කල්පනා කර කර ඉන්නවා. නර්මදා දුවත් ඇස් දෙකේ කඳුළු පුරවගෙන අපේ මල්ලී දිනාරාට හරි ආදරෙයි කියලා කිව්වේ..”

“ අනේ එහෙම දෙයක් වෙනවනම් ඒකෙන් මං තරම් වෙන කවුරුත් සතුටු වෙන්නේ නෑ තේජා.මේ දරුවෝ  දෙන්නම මගේ.අකලංක පුතා මලක් වගේ මගේ කෙල්ලව බලා ගනියි..ඒත් මම දන්නේ නැහැ තේජායි  මහින්ද මහත්තයයි  මේ ගැන මොන වගේ තීරණයකද ඉන්නේ කියලා.දිනාරා  දුවගේ ලස්සනට ,පිළිවෙලට හැදිලා තියෙන ගුණ යහපත්කමට අකලංක පුතාගේ හිත නොගියනම් තමයි පුදුමේ.”

“ ඇත්තටම අපේ අකමැත්තක් නෑ ප්‍රියංකා ටීච .බොරු කියන්නේ මොකටද මම අකලංකට හොඳ තැනකින් කසාදයක් කරලා දෙන්න බලාපොරොත්තු උනා.හොඳ තැනකින් කියලා මම අදහස් කලේ  අපිට වඩා ඉහළ තැනකින් කියන එක. ඒ උනාට දිනාරා දුව ගැන එදා ඉඳලම මගේ හිතේ තිබුනේ පැහැදීමක්. ඇත්තටම මම බලාපොරොත්තු වුණේ නැහැ මේ දෙන්න අතරේ සම්බන්ධයක් ඇති වෙයි කියලා.ඒත් ඉතින් පහුගිය දවස් ටිකේ අපේ පුතා හැසිරුණු විදිහ දැක්කහම මට හිතුණා දිනාරා  දුව ගැන එයා අරන් තියෙන්නේ විශ්වාසනීයම  තීරණයක් කියලා.මම මහින්දත් එක්කත් කතා කළා.එයා හැමදාම අපේ සතුටට වඩා දරුවන්ගේ සතුට ගැන හිතපු කෙනෙක්.එයත් දිනාරා දුව ගැන හරි පැහැදීමෙන් හිටියේ  “

“ අනේ ඒක කොච්චර දෙයක්ද මට ලොකු සතුටක් දැනෙනවා.”

“ ඒත් අපි සතුටු වෙන්නේ කොහොමද ප්‍රියංක ටීච. දිනාරා  එක හෙලාම කියලා තියෙනවා  එයා මැරි  කරන්නේ නෑ කියලා.අකලංක පුතාට තවදුරටත් එයා ගැන බලාපොරොත්තු තියාගන්න එපා කියලා.ඒ විතරක් නෙමෙයි  ඒ තීරණය ගන්න එයාට සාධාරණ හේතු තියෙනවා කියලා.”

“ මම මේ ගැන දුව එක කතා කරන්නම්.”

“ එයාගේ වැඩිහිටියෝ…”

“ අකලංක පුතා මොනවයින්ද තේජා ජයසුන්දරලට වඩා අඩු වෙන්නේ. මමත් එනවා. අපි ගිහිල්ලා මේ ගැන කතා කරමු.ඉස්සර වෙලා අපි මේ දරුවො දෙන්නගේ කැමැත්ත අකමැත්ත ගැන හරියටම දැනගමු. මං දන්නෑ මට දැනෙන සතුට කොච්චරක්ද කියල.මට ඇස් දෙක වහගෙන උනත්  දිනාරා දුවගේ අත අල්ලගෙන අකලංක පුතාගේ අත උඩින් තියන්න පුළුවන්.එහෙම වුණොත් එයා යන්නේ එයාට නැති වෙච්ච හැම දෙයක්ම එක තත්පරයකින් ලැබෙන තැනකට.ඒ දරුවට එහෙම ලස්සන අනාගතයක් උරුම වෙන්න ඕනේ..”

“ ප්‍රියංකා  ටීච අඬනවද….”

“ ඒ  සතුටට..එයාගේ අම්මා කොහේ හරි ඉඳලා දිහා බලාගෙන ඇති..මගේ කොල්ලා ගෑනු ළමයෙක් තෝරගන්න තරම් එයාට ආදරේ කරන්න තරම් ලොකු වෙලා නේද තේජා..එයා කරලා තියෙන්නේ නිවරදිම තේරීමක්..”

“ මේ ගැන හරියටම අහන්න ඕනෙ නර්මදා දුවගෙන් තමයි. දුව කියන දේවල් අහටගන  හිටියට පස්සේ මට හිතෙනවා මේ දරුවා මෙච්චර ලස්සනට ආදරේ කරන්න පුරුදු උනේ කොහෙන්ද කියලා.ලොකු පුතාටනම් පහුගිය දවස්වල ටිකක් කේන්තිත් ගිහිල්ලා ඉදල තිබුණේ.අයියට කිව්වලු දිනාරා දුවට කිසිම වෙනසක් පෙන්නන්න එපා කියලා..”

“ මෙහෙත් ඊට දෙවැනි නෑ. ඔය සිද්ධිය වෙන්න ඇත්තේ  මං හිතන්නේ දෙවෙනි හෝ  තුන්වෙනිදා  වෙන්න ඕනේ.මූණ ඉදිමිලා  ගෙදර ආවෙ.මට ටිකක් හිස කකියනවා හෙම්බිරිස්සාව හැදෙන්න වගේ මම නිදාගන්නද කියලා ඇහුවා.තව නැතුව  ඇඳුම් ගලවලා එහෙමම නයිට්ඩ්‍රස්  එකකට මාරු වෙලා ඇඳට වෙලා හිටියා  වොෂ් එකක්වත් දාන්නේ නැතුව.පස්සේ මම තේ එකක් හදලා පැනඩෝල් දෙකකුත් එක්ක ගිහිල්ලා කාමරෙන් තිබ්බා.එළි වෙනකල්ම කාමරේ ලයිට් එක පත්තු උනා..පස්සේ මම බලාගෙන උදේ ගිහිල්ලා අර තේ එක බාත්රූම්  එකට හලනවා.ඊට පස්සේ හැමදාම ඔෆිස් ඇරිලා ආවට  පස්සේ මමත් එක්ක චුට්ට වෙලාවක් කතා නොකර බැරිකමට වගේ කතා කර කර ඉඳලා කාමරයට රිංග ගන්නවා.පාඩම් කරන බවක් නම් පෙනුනේ නෑ.වෙලාවකට කල්පනා කරනවා වෙලාවකට අඬා වැටෙනවා මමත් බය වෙලා තේජා හිටියේ.”

“ ඒකනේ බලන්නකෝ මේ දරුවෝ අපිටත් හංග හංග දුක් විඳින හැටි..”

“ මං දුව එක කතා කරන්නම්..”

“ එහෙනම් මං තියන්නම් ප්‍රියංක ටීච..අපි දෙන්න හොඳ වෙලාවට මේ ගැන කතා කළේ.නැත්නම් තේරුමක් නැතුව මේ දරුවෝ දෙන්නම දෙපැත්තට වෙලා දුක් විඳිනවා.”

දුරකථනය විසන්ධි වී ගියේ තවත් විනාඩි කිහිපයක්ම ආගිය තොරතුරු කතා කළාට පසුවය. 

දිනාරි එදින නිවසට පැමිණියේ වෙනදාටත් වඩා වෙහෙසකර අයුරින්ය.

“ මල්ලිගේ චුට්ටක් ඇඟ රස්නෙයි පුතේ.මම පැනඩෝල් සිරප්  දුන්නා.අඩු වුණේ නැත්නම් හවසට බෙහෙත් ටිකක් ගමු.පුතා ඇඳුම් මාරු කරගෙන එන්නකෝ මම තේ හදන්නම්.මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ.”

හිස වනා ඇයට එකඟ වූ දිනාරා කාමරයට ගොස් යළි පැමිණියේ අඩ හෝරාවකට පමණ පසුවය.සවස චූං පාන් වාහනයෙන් ගත් කිඹුලා බනිස්  දෙකකුත් පදමට කහට දැමූ කිරි තේ එකකුත් තැටිල්ල මත විය.

“ මල්ලි කෑවද ආන්ටි…”

“ වෙනද වගේනම් කෑවෙ නෑ.රෑට සුප් එකක් හදලා පොවන්න ඕනේ.සමහරවිට වයිරස් උණක් වෙන්න ඇති.”

“ ඔව් මේ දවස්වල හැම තැනම වෛරස් උන තියෙනවලු..ෆැක්ටරියෙත්  කීප දෙනෙක්ම නිවාඩු.”

“ දුව ඔයා අද රෙසිග්නේෂන්  බාර දුන්නද.”

“ ඔව් ආන්ටි  ගොඩක් හිතුවට පස්සේ අන්තිමට මං ඒ තීරණය ගත්තා..දැන් මට නිදහසේ ඉගෙන ගන්න වැඩ ටික කරන්න පුළුවන්.අත්තම්මා එකවුන්ට් එකට සල්ලි දානවනේ.අපිට ජීවත් වෙන්නේ සල්ලි ඇතිවෙයි.”

“පුතේ අත්තම්මගේ සල්ලි ගත්තොත් අත්තම්මා කියන හැමදේම ඔයාට කරන්න සිද්ධ වෙනවා.මං මෙහෙම කියන්නේ ඔයාගේ අත්තම්මගෙයි  තියෙන බැඳීම කඩන්න නෙමෙයි.අත්තම්මා  ළඟදි දවසක මට කතා කළා.එයා ඔයාට පිරිමි ළමයෙක් හොයලා..”

“ මං මැරි කරන් නෑ ආන්ටි..”

“ අත්තම්මා  ලඟදි ඒ තීරණේ ඒ විදිහටම රකින්න ඔයාට පුළුවන් වෙයිද පුතේ.”

“ පුළුවන්…සමහර විට අත්තම්මා  මමත් එක්ක අමනාප වෙයි.ඒ උනාට මට කසාද බඳින්න බෑ ආන්ටි..”

“ ඇයි ඔයා එහෙම කියන්නේ ඇයි ඔයාට කසාද බඳින්න බැරි.පුතේ හැම ගෑණු දරුවෙක්ම සුදුසු වයස ආවට පස්සේ විවාහ වෙන්න ඕනේ.දරුවෝ හදන්න ඕනේ.එහෙම නැත්නම් මේ ලෝකෙ පැවැත්මක් නැතුව යනවනේ.”

“ ඉතින් ඇයි ප්‍රියංකා ටීච මැරි කලේ නැතතේ”

“ ඔයාගේ කතාවයි මගේ කතාවයි දෙකක්.ඒක එකිනෙකට වෙනස්.පුතේ මං කාත් කවුරුත් නැතුව තනිවුණු කෙනෙක්.එහෙම කෙනෙක්ට හරි අඩු වටිනාකමක් තියෙන්නේ.”

“ මටත් හරි අඩු වටිනාකමක් තියෙන්නේ..”

“ කවුද පුතේ ඔයාට එහෙම කියන්නේ.ඔයාගේ උරුමය වෙනස් කරන්න ඔයාට බෑ.ඔයා තමයි ජයසුන්දර පළවුවේ ලොකු පුතාගේ එකම දුව. මිලීනා ජයසුන්දරගේ  ලොකු මිණිබිරී .ඒ ඇත්ත වෙනස් කරන්න කාටවත් බෑ. ඔයා මොන විදිහට ජීවත් වුණත් ජයසුන්දර වලව්වත් එක්ක ඔයාගේ නම බැඳිලා තියෙනකල් ඔයාට මහා ලොකු වටිනාකමක් තියෙනවා පුතේ.රාජ කුමාරයෙක් කසාද බඳින්න තරම්..”

“ ඒ උනාට  මම මැරි කරන්න කැමති නෑ ආන්ටි.”

“ ඒකට හේතුව තමයි මං මේ අහන්නේ.”

“ මගේ අම්ම දුක් වින්දා හරියට .තාත්තා  එයාව දාලා  ගියාට පස්සේ එයා මොන තරම් දුක් විඳින්න ඇත්ද ආන්ටි..එයා හරි චූටිනේ ආන්ටි ඒ කාලේ මටත් වඩා පොඩියි.ජීවිතේ ලස්සනම කාලේ කඳුළින් විතරක් ගෙවෙන්න ඇති කියලා මට හිතුණා.”

“ ඔයාට  හිතෙනවද පුතේ ලෝකේ ඉන්න හැම පිරිමියෙක්ම එහෙමයි කියලා.”

“ නෑ මං එහෙම හිතන්නෙ නෑ ඒත් .හැම පිරිමියෙක්ම එහෙම නෙමෙයි කියල දෙන්න පුළුවන් සාක්ෂිය මොකක්ද 

ආන්ටි. අනික මම අනිත් ගෑණු ළමයි වගේ නෙමෙයි.තනි වෙච්ච කෙනෙක්..”

( යළිත් හමුවෙමු දයාබරව.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here