බැඳෙන තැන්

” හේෂාන් කියන්නේ දික්කසාද වෙච්ච මනුස්සයෙක්. ඔයාට බය නැද්ද තිසාරා ? ” 

මනීශා අහන්නේ තමන්ගේ හොඳම මිතුරියගේ මූණට එබී ගෙන. ඒත් තිසාරාගේ මූණේ බය කියලා දෙයක් ගෑවිලාවත් තිබුණේ නෑ. ඒ ඇස් වල තිබුනේ තමන්ගේ ආදරය ගැන ලොකු විශ්වාසයක් 

” මොකට බය වෙන්නද මනිෂා ? හේෂාන්ට තිබ්බ ප්‍රශ්න දැනගෙනයි මම යාළු උනේ. එයා දික්කසාද වෙච්ච මනුස්සයෙක් කියලා හැමෝම කොන් කරන්න ගත්තොත් එයා කවදද ජීවිතේ  හදා ගන්නේ ? එයාට සතුටින් ඉන්න අයිතියක් නැද්ද ? ” 

හැමදාම වෙනස් විදිහට හිතපු තිසාරා මනිශාට දුන්නේ එහෙම උත්තරයක් 

” ඒක ඇත්ත. ඒ උනාට ඔයා දන්නේ හේෂාන්ගේ පැත්තේ කතාව විතරයි නේද ? එයාගේ වයිෆ්ගේ පැත්තෙනුත් එයාට කතාවක් ඇති ” 

” හරි දැන් ඒ හැමදේම වෙලා ඉවරයි නේ. අතීතයේ එල්ලිලා හිටියොත් අපිට වර්තමානයක් නෑ මනිෂා. වර්තමානයක් කියන්නේ අනාගතයකුත් කොහෙත්ම නෑ කියන එක ” 

එතනින් එහාට මනිශා කතා කරන්න ගියේ නෑ. ඒත් තිසාරාගේ අනාගතය ගැන මොකක්දෝ ලොකු බයක් මනිෂාගේ හිතේ පැලපදියම් වෙලා තිබුණා.

තිසාරාගෙයි හේශාන්ගෙයි ආදරේට බාධා පිට බාධා එල්ල වෙනකොට, නොකරපු දේවල් වලට පවා තිසාරාට අපහාස විඳින්න සිද්ධ වෙනකොට තිසාරාගේ අරමුණ වුණේ හේෂාන්ට නැතිවුන හැමදේම ආපහු ලබා දෙන එක විතරයි. ආදරය කියන දේ විවාහ සහතිකයකින් සහතික කරගන්න ඕනෙම නැහැ කියලා හිතපු තිසාරා කිසිම බාධාවක් තමන්ගේ ආදරයට බාධාවක් කර නොගෙන හේෂාන් එක්ක එක වහලක් යටට වුනා.

” ඔයා මහ පුදුම කෙල්ලෙක් තිසරා ” 

තිසාරා වගේ උත්සාහවන්ත තරුණියක් තමන්ගේ සහකාරිය වුණ එක ගැන හේෂාන් හිටියේ පුදුමාකාර ආඩම්බරයකින්. තමන්ගේ රැකියාවත් කරන ගමන් තිසාරා හේෂාන්ගේ බිඳ වැටිලා ගිය ව්‍යාපාරයත් ගොඩ නගන්න දිවා රෑ නොබලා මහන්සි වුණා.

” දවසට පැය දෙක තුනක් නිදාගෙන ඔයා හදන්නේ මොකක් හරි ලෙඩක් හදාගන්න ද ? ” 

සති අන්තයක මුණගැහුනු මනිෂා ආ ගිය තොරතුරු කතා කරන ගමන් ඇහුවේ තිසාරාගේ විඩාබර උන ඇස් දෙක දැකලා 

” දවසින් දවස හේෂාන් දියුණු වෙන හැටි දැකලා මට දැනෙන සතුට ඊට වඩා වැඩියි මනිෂා. තමන් නිසා මනුස්සයෙක් සතුටින් ඉන්න එක , සැනසීමෙන් ඉන්න එක , දියුණු වෙන එක මොනතරම් දෙයක්ද ? ” 

තිසාරා සැනසුම් සුසුම් හෙලන ගමන් කෝපි කෝප්පයක රස බැලුවා

” මට තේරෙන්නේ නෑ ඔයා ගෙදර මිනිස්සුන්වත් තරහ කරගෙන මේ කරන දේ. කසාදයක් බැඳලා වත් ඔය මනුස්සයව තියාගන්න බලන්න. ගොඩක් අය දන්නවනේ ඔය දෙන්නා ජීවත් වෙන්නේ එක ගෙදරක කියලා “

මනිෂා කියන්නේ තවමත් නොසන්සිදුනු බියෙන්.

” ආදරේ කියන දේ කොලේකට සීමා කරන්න මං කොහෙත්ම කැමති නෑ මනීශා ” 

” ඒත් මේ කාලේ හැටියට අම්මා තාත්තවත් විශ්වාස කරන්න පුළුවන්ද තිසාරා ? “

” ඔය දේවල් ගැන හිතනවට වැඩිය හොඳයි අද දවසේ සතුටින් ඉන්න එක ” 

තිසාරා මේතරම් ජීවිතේ ගැන සැහැල්ලුවෙන් හිතන්නේ කොහොමද කියලා මනිෂාට හිතා ගන්න බැරි වුණා. 

අවුරුද්දක් දෙකක් ගත වෙනකොට හේෂාන්ගේ වාහන උපාංග ආනයනය සහ අපනයනය කරන ව්‍යාපාරය දියුණු වුණා. ඒ සියලුම දෙයට ඔහුගේ පසු පසින් හෙවනැල්ල වගේ හිටියේ තිසාරා. පෞද්ගලික අංශයේ රැකියාවක් කරපු ඇය කුලියට ගත්ත පුංචි නිවසේ වැඩ කටයුතු කරන ගමන් ඉඩ ලැබුණු හැම වෙලාවකමත් , සමහර දවස්වල පහුවදා එළිවෙනතුරුත් හේෂාන් වෙනුවෙන් කැප වුණා.

වසරේ හොඳම ව්‍යවසායකයා තෝරන සම්මාන උළෙලකට හේෂාන් සහභාගී උනේ ඔය අතරෙදි. සිය ගානක් ව්‍යවසායකයන් අතරින් හොඳම ව්‍යවසායකයා වෙන්න හේෂාන්ට පුළුවන් වුණා. සම්මානය ගන්න හේෂාන් වේදිකාවට ගොඩවෙන කොට උත්සව ශාලාවේ කෙළවරක වාඩිවෙලා හිටපු තිසාරා ඔහු දිහා බලාගෙන හිටියේ සතුටු කඳුළු පිරුණු දෑස් වලින්.

” මට මේ හැමදේම ලැබුණේ ඔයා නිසා ” 

ඊළඟ දවසේ තමන්ට ලැබුණු සම්මානය  කාර්යාලයේ කැබිනට් එකක් උඩින් තියෙන ගමන් හේෂාන් කිව්වා. 

” ඔයාට මීට වඩා ලොකු දුරක් යන්න පුළුවන්. අපි තව බිස්නස් එකක් පටන් ගමු. නැත්තං අපේ තව බ්‍රාන්ච් එකක් ඕපන් කරමු ” 

තිසාරාගේ අදහසකට අනුව හේෂාන්ගේ ව්‍යාපාරයේ තවත් ශාඛාවක් ආරම්භ කරන්න හේෂාන්ට ගත වුනේ මාස කීපයක් විතරයි. 

” ඔය දෙන්නා ගැන නොදන්න කෙනෙක් නෑ තිසාරා. රටේ ලෝකෙ මිනිස්සුන්ට විහිළුවක් වෙන්නේ නැතුව වෙඩින් එකක් අරගෙන පිළිවෙලක් වෙන්න දැන්වත් ඔයාට හිතෙන්නෙ නැද්ද ? ” 

මවුපියන්ගෙන් වගේම ළඟම මිතුරු මිතුරියන්ගේත් ලොකුම ප්‍රශ්නේ වුණේ ඒක. ඒත් එකපාරක් ජීවිතය වරද්ද ගත්ත හේෂාන් තමන් නිසා හැමදේකින්ම ඉස්සරහට යන අපූරුව තිසාරා බලාගෙන හිටියේ සැනසීමෙන්. 

” හේෂාන්වත් ඔයාට කියන්නෙ නැද්ද කසාද බඳිමු කියලා ?” 

තිසාරාගේ උපන්දිනයට සුභ පතන්න කතා කරපු ඇගේ අම්මා අහනකොට තිසාරා සුපුරුදු උත්තරයම දෙන්න පටන් ගත්තා

” ඔය කසාද සහතිකේ තිබ්බ කියල ඇති වෙනස මොකක්ද අම්මේ ? අපි ඇයි කාටවත් ඕන විදිහට ජීවත් වෙන්නෙ ? මේ විදිහට තව ටිකක් ඉඳලා බලමුකෝ ” 

තමන්ට පැවරෙන වගකීම් වැඩිවෙනකොට, කාර්යබහුල වෙනකොට වගේම වෙනදාට වඩා තමන්ගේ බැංකු ගිණුම් මුදල් වලින් පිරෙන කොට හේෂාන්ට ඕන උනේ තවත් ඉස්සරහට යන්න. නමුත් තමන්ගේ අතින් ඉටුවිය යුතුම වගකීම් සමහරක් මග ඇරෙන බව හේෂාන්ට දැනුනේ නැහැ. 

” මට අද ක්ලයන්ට් කෙනෙක් එක්ක මීටින් එකක් තිසාරා. ඔයා වැඩට යන්නේ නැති නිසා මොනව හරි ගෙන්නගෙන කන්න ” 

තිසාරා උණ හැදිලා නිවාඩු දාපු දවසක හදිසි රැස්වීමකට යන්න කියලා හේෂාන් ලෑස්ති වෙන ගමන් කිව්වා

” මං කෑම ගැන බලා ගන්නම් ඔයා යන්න ” 

තිසාරා එහෙම කිව්වත් හේෂාන් ගෙදරින් පිටත් වෙලා ටික වෙලාවකින් ලහි ලහියෙ කෑම ලෑස්ති කරපු තිසාරා ඒ ටික හේෂාන්ගේ කාර්යාලයටම යවන්න අමතක කළේ නැහැ.

” මං බිස්නස් වැඩකට ගාල්ලේ යනවා. එන්න ටිකක් රෑ වෙයි ” 

තවත් දවසක උදේ හේෂාන් එළියට යන්න සූදානම් වෙන ගමන් කිව්වා. එහෙම කිව්වත් හවස් වෙද්දි තමන්ගේ වැඩේ ඉවර නොවුන බව කිව්ව හේෂාන් එදා රෑ ගෙදර ආවේ නැහැ.

” නුවරඑළියේ බිස්නස් එකකට හොඳ තැනක් තියෙනවලු. මං ඒක බලන්න යනවා ” 

සතියකට දවසක් හෝ දෙකක් හේෂාන්ට ගෙදර නො එන්න හේතුවක් යෙදුනේ ඒ විදිහට. 

” ඔයා ආස නැද්ද මං ඉස්සර වගේ ඔයාට උදව් කරනවට ? ” 

සමහර දේවල් බලාගෙන ඉඳලා බැරිම තැන දවසක් තිසාරා හේෂාන්ගෙන් ඇහුවේ ඔහු කලින් වගේම දුරබැහැර ගමනක් යන්න ලෑස්ති වෙනකොට.

” අයියෝ මොකද්ද තිසාරා ? හොඳ ගමනක් යන්න එළියට බහින්න ලෑස්ති වෙනකොට චුරු චුරු ගාන්නේ ?” 

එතනින් පිට පැන්න හේෂාන්ගේ අමනාපකම එන්න එන්නම වැඩිවෙනකොට , තිසාරා බොහොම සීරුවෙන් ඒ හැමදේම දරාගෙන හිටියා. 

” මිනිස්සුන්ට සලකනවා වැඩි වුණාමත් ඔහොම වෙනවා . මං ඔයාට කිව්වා නේද හැම කතාවෙම දෙපැත්තක් තියෙනවා කියලා. ඔයා හේෂාන්ගේ පැත්තේ කතාව විතරක් අහලා එයා ගැන තීරණය කරපු එක වැරදියි කියලයි මං අදටත් කියන්න තිසාරා ” 

හේෂාන්ගේ වෙනස්වීම ගැන මනිෂා එක්ක කතා කරනකොට මනිෂා කිව්වේ එහෙම.

” හේෂාන් යාළුවෙක් උනත් ආශ්‍රය කරන්නේ එයාට වාසියක් තියෙනවා නම් විතරයි. අපි අතර ප්‍රශ්න වුණා තමයි. ඒත් ඩිවෝස් එකකට යන්න තරම් හේතු හැදුවේ එයා. “

හේශාන්ට තවත් සම්බන්ධයක් තියෙනවා කියලා දැන ගත්ත හේෂාන්ගේ කලින් බිරිඳ උන කෞශල්‍යා හදිසියේම තිසාරාව ඇමතුවේ නොහිතපු වෙලාවක.

” එයා ඔය බිස්නස් එක පටන් ගත්තේ මගේ තාත්තා දුන්න සල්ලි වලින්. එයාට සල්ලි හම්බ වෙනකොට යාළුවො වැඩි වුණා.යාළුවො වැඩි වෙනකොට මාව අමතක උනා. එතකොට පවුලක රණ්ඩු ඇතිවෙන එක අහන්න දෙයක්ද ? ” 

තිසාරා ඒ ඇමතුම අවසන් කළේ තමන් වෙනුවෙන් තීරණයක් ගත යුතු බව තරයේම හිතමින්.

” එයාට ඕන වුණේ එයා වැටුණ තැනින් ගොඩ එන්න එයාට හයියක් වෙන්න පුළුවන් උත්සාහවන්ත පාට්නර් කෙනෙක්ව . ඒකයි එයා කවදාවත් මැරේජ් එකක් ගැන ඔයත් එක්ක කතා කළේ නැත්තේ ” 

තිසාරාගේ හිත හදන්න පුළුවන් විදියක් ගැන හිතන ගමන් මනීශා කිව්වා.

” මං එයා වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කළා. කොටින්ම අපේ බැඳීම ඇතුලේ මගේ පැත්තෙන් වෙන්න ඕන හැමදේම මම අඩුවක් නැතුව එයා වෙනුවෙන් කළා කියන සතුට මට තියෙනවා. ඉතින් මට හිත හදාගන්න ඒකම මදිද මනීශා ?” 

තිසාරා කිව්වේ පුරුදු සැහැල්ලුවෙන්. 

More Stories

Don't Miss


Latest Articles