ඉරුවාරදය අඩු කරගන්න, කලාව උපකාරී කරගන්න පුළුවන්ද?

ඉක්මණින් වෙනස් වෙන මානසික තත්වයන්, මළ බද්ධය, බෙල්ලේ තද ගතිය, නිතරම ඈනුම් යාම වගේ රෝග ලක්ෂණ ඇති කරන, අධික තෙහෙට්ටුව, නිදි මැරීම, ඇල්කොහොල් භාවිතය, කාලගුණික තත්වයන්ගේ වෙනස් වීම් නිසා වගේම ජානගතව හටගන්න පුළුවන් ඉරුවාරදය ගැනත් ඒ සඳහා ලබාදෙන ප්‍රතිකාර ගැනත් මීට පෙර ලිපියකින් smart lady අපි ඔබව දැනුවත් කරා මතක ඇති.

ඉරුවාරදය එහෙමත් නැත්නම් මිග්‍රේන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි වගේම පෝෂණීය ආහාර රටාවක්, විවේකය සහ මානසික කායික නීරෝගිතාව පවත්වා ගැනීමත් හරිම වැදගත් කියල අපි ඔබට ඒ ලිපිය මතක් කරා. 

එතනින් එහාට ගිහින් ඉරුවාරදය සඳහා කලාව ප්‍රතිකාරයක් ලෙස යොදාගන්න පුළුවන්ද කියල ඔබත් එක්ක සාකච්ඡා කරන්නයි අපි මේ සූදානම් වෙන්නෙ.

ඉරුවාරදය සහ කලාව අතර ඇති බැඳීම මොකක්ද? 

ඉරුවාරදය සහ කලාව අතර ඇති දැනට සොයාගෙන ඇති එකම බැඳීම විදිහට මේ පිළිබඳ පර්‍යේෂණ පවත්වන පර්යේෂකයන් සඳහන් කරන්නෙ නම්, කලාවට ඉරුවාරදය පිළිබඳ ඇතිවන අවධානය වෙනතකට යොමු කිරීමට ඇති හැකියාවයි.

කලාව සහ ඉරුවාරදය අතර ඇති මේ සම්බන්ධය ගැන කතාව 1980 දශකය දක්වාම දිව යනවා. ඊට උදාහරණ විදිහට ඉරුවාරදය ඇතිවූ විට ඔබේ මානසික හැඟීම් කොහොමද කියල පෙන්වන චිත්‍ර තරඟ පවා පවත්වා ඇති බව සඳහන් කරන්න පුළුවන්. 

මිග්‍රේන් / ඉරුවාරදය කොතරම් පීඩාකාරීද කියල අන්තර්ජාලය පිරික්සා මේ චිත්‍ර බැලුවොත් ඔබට තේරුම් ගන්න පුළුවන්. 

ඉරුවාරදය සහ ඉරුවාරදය ඇති වීමට බලපාන හේතු වලට ඔබේ අවධානය යොමුවීම වළක්වා ඉරුවාරදය සෙමෙන් සෙමෙන් අඩු කිරීම මෙහිදී සිදුවන බවත් පර්‍යේෂකයන් සඳහන් කරනවා.

ඉරුවාරදය සඳහා කලාව හැමවිටම ප්‍රතිඵලදායකද? 

ඉරුවාරදය සඳහා කලාව යොදාගැනීම හැමවිටම ප්‍රතිඵලදායක නොවන බව වගේම ඉරුවාරදය ඇතිවිට කලාව භාවිතා කිරීමේදී ඔබ ඉතා සැළකිලිමත් විය යුතු බවත් පර්‍යේෂකයන් සඳහන් කරනවා. 

ඊට හේතුව ලෙස ඔබ චිත්‍ර අඳින්න කැමති කෙනෙක් නම් චිත්‍ර අඳින්න භාවිතා කරන වර්ණ සායම් සහ පැන්සල් කුඩු නිසාත් ඔබ සංගීතයට සවන්දෙන්න කැමති කෙනෙක් නම් සමහර සංගීත ඛණ්ඩ නිසාත් ඔබ නර්තනයේ යෙදෙන්න කැමති කෙනෙක් නම් නර්තනයේ යෙදීමෙන් ඇතිවන වෙහෙස නිසා දැන් පවතින ඉරුවාරදය තවදුරටත් ඉහළ යන්න පුළුවන් නිසයි.

ඒ වගේම සාමාන්‍යයෙන් මේ කලා චිකිත්සක ප්‍රතිකාර ටිකක් මිලෙනුත් වැඩියි.

අමතකම නොකළ යුතු දේ තමයි මේ සඳහා ඔබට ඉතා හොඳ සුදුසුකම් සහිත චිකිත්සකවරයෙක් තෝරගත යුතුත් වෙනවා. 

ඒ කේසේ වෙතත් මේ චිකිත්සක ප්‍රතිකාර ගන්නා අතරතුර වුනත්, 

නිර්දේශිත වෛද්‍ය ප්‍රතිකාර සහ ඖෂධ ගැනීම,

මානසික සහ ශාරීරික නීරෝගී බව පවත්වාගෙන යාම,

සමබර ආහාර වේලක් ගැනීම සහ 

හොඳ විවේකයක් ගැනීම වගේ පිළිවෙත් අනුගමන කිරීම අනිවාර්‍ය බවයි පර්‍යේෂකයන් තවදුරටත් සඳහන් කරන්නෙ. 

ඉතිං, ඔබේ අමිහිරි අත්දැකීම් වලින් මිදෙන්න අපේ අද ලිපියෙන් පුංචි හෝ උදව්වක් ඔබට ලැබෙන්න ඇති කියල අපි විශ්වාස කරනව. 

මේ වගේම තවත් වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු.

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles