ශොපින් කරන්න කලින් අනිවාර්යයෙන්ම කියවන්න

අවුරුදු සමය ලඟ ලඟ පැමිණෙනවා. ඉතින් වසරකට වරක් සමරන අලුත් අවුරුදු වෙනුවෙන් ඔබේ වෙහෙස මහන්සිය කැපවීම නොවරදවාම අවශ්‍ය වන බව අමුතුවෙන් කිවයුතු නැහැ. එහෙත් බුද්ධිමත්, සකසුරුවම් ගෘහනියක ලෙස ඔබට අලුත් අවුරුද්දේ ඔබේ කාර්යය පිලිබඳව අමුතුවෙන් කියාදිය යුතු නැතත් මේ සිහි කැඳවීම් සියල්ල ඔබව තව තවත් කාර්‍යක්ශම කරවන බවට අපට කිසිදු සැකයක් නැහැ.

අවශ්‍යතා සටහන

මේක නම් හරිම වැදගත්. කොහොමද ඔබ අවුරුද්ද සමරන්න බලාපොරොත්තු වෙන්නෙ කියලා වගේම මිලදී ගත යුතු දේවල්, හදන කෑම බීම, යන එන ගමන් බිමන් සියල්ලම මෙහි සටහන් කරගත යුතු වෙනවා. දැන් ඔබ දන්නවා කරන්නෙ මොනවද ?වෙන්නෙ මොනවද කියලා. ඒ කියන්නෙ ඔබ සතුව සැලසුමක් තිබෙනවා දැන්.

පොඩ්ඩක් අවුස්සමු

දැන් මොනාද මේ අවුස්සන්න  තියෙන්නෙ? මොකක්වත් නෙවෙයි,ගිය වසරේ මතක. ඔබ මිලදී ගෙන භාවිතා නොකල ඇඳුම් පැලඳුම්, තෑගි ලැබුණු දේවල් වගේ ප්‍රයෝජනට ගත හැකි දේවල් තියෙනවනම් ඔන්න ඒවා නැවත භාවිතා කරන්නට සුදුසුම කාලෙ ඇවිත්.

බජට් එක

ඔන්න ඕවා බලාකියාගෙන අපි අපේ මාසික හෝ වාර්ශික ආදායමෙන් අවුරුදු සඳහා වෙන් කලහැකි මුදල තීරනය කරමු. කෝකටත් කියලා වැඩිපුර කීයක් හරි තියාගන්න එක ඇඟට ගුණයි. ඔක්කොම නූලටම මිම්මටම සිදු වෙන්නෙ නැති නිසා. තවත් එකක්. මාසික පඩියෙන් අවුරුදු කන අයට ඉදිරි වසර සඳහා වෙනම මාසෙන් මාසෙට මුදල් ඉතිරිකිරීමක් කරන්න පටන් ගන්නත් මේ මාසෙ ගැලපෙනවා. මොකද එහෙම එකක අවශ්‍යතාවය වඩාත්ම දැනෙන්නේ අප්‍රේල් මාසයේ නිසා.ඉතින් ඒ ගැනත් අපි මතක තියාගමු.

දැන් ඔන්න ශොපින් යමු

කලින්ම කෑම බීම ටිකකුත් සූදානම් කරගෙන ම එලියට බැස්සොතින් සෑහෙන මුදලක් වගේම සෞඛ්‍යාරක්ෂිතව කෑම බීම ගන්නත් පුලුවනි. දරුවො බලාගන්න නිවසේ කෙනෙක් ඉන්නව නම් වඩාත් සුදුසුයි වගේම ශොපින් කරද්දි කාලයත් ඉතිරියි.

යන්න කලින් ලිස්ට් එක හදාගන්න අමතක කරන්න ම එපා. බොහෝ ආයතන මේ කාලයේ ඩිස්කවුන්ට් දෙන නිසා ඒ ගැනත් කලින්ම හොයලා බලන්න. ඩිස්කවුන්ට් අයිටම්ස් මිලදී ගනිද්දි ඒවායෙ අඩුපාඩු ඇද්දැයි හොඳින් බලන්න. හැකිනම් මිලදී ගැනිම් සලකුනු කරගන්න. තෑගි දෙන ඒවා සඳහා කවුන්ටරයෙන් වැඩිපුර බෑග්ස් කිහිපයක් ඉල්ලා ගන්න.

ඒ වගේම ඇඳුම් තෑගි ලෙස දීමේදී  හදිසියෙවත් සයිස් එක වෙනස් වුවහොත් මාරුකිරීමට සිදුවන නිසා එහි ටැග්ස් නොකඩා තබා ගැනීමට වගේම බිල්පත් පරිස්සමින් තබා ගැනීමටත් සැලකිලිමත් වෙන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles