ඔබේ වියදම් අඩු කර ගැනීමට හැකි වෙන ටිප්ස් කිහිපයක්

වර්තමානයේ බඩු මිල ඉහළ යාම කියන්නේ අපට කිසිසේත්ම පාලනය කළ නොහැකි දෙයක්. කෙසේ උනත් අපගේ වියදම් පාලනය කිරීම කෙරෙහි අප අවධානය යොමු කරනවා නම් වඩාත් ඵලදායි ලෙස අනාගතය සඳහා මුදල් ආයෝජනය කිරීම හෝ ඉතිරි කිරීම සිදු කරන්නට පුලුවන්. මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ ඔබේ වියදම් අඩු කර ගැනීමට හැකි වෙන ටිප්ස් කිහිපයක් ගැනයි.

 ඔබේ වියදම් නිරීක්ෂණය කරන්න

වියදම් අඩු කිරීමේ පළමු පියවර වන්නේ ඔබේ මුදල් වියදම් වන්නේ කුමන දේවල් සඳහා දැයු තේරුම් ගැනීමයි.  අවම වශයෙන් මාසයක් සඳහා ඔබගේ සියලුම මිලදී ගැනීම් පිළිබඳ සවිස්තර වාර්තාවක් තබා ගන්න. මේ සඳහා ඉතාම සුලු වියදම් පිළිබඳව පවා සටහනක් ඔබ තබා ගත යුතුයි. මෙහිදි මාසයක් අවසාන වන විට ඔබ අනවශ්‍ය ලෙස හෝ වැඩිපුර වියදම් කර ඇත්තේ මොනවා සඳහා දැයි ඔබට අදහසක් ලබා ගැනීමට හැකි වෙනවා. 

අයවැයක් සාදන්න

අයවැයක් නිර්මාණය කිරීම ඔබට පැහැදිලි මූල්‍ය සැලැස්මක් පවත්වාගෙන යාම සඳහා උපකාරී වෙනවා. ඔබේ ආදායම කාණ්ඩවලට බෙදන්න: නිවෙස් කුලී , ආහාර, බෙහෙත් සහ ප්‍රවාහනය වැනි අවශ්‍යතා මෙන්ම විනෝදාස්වාදය, කෑම ගැනීම සහ සාප්පු සවාරි වැනි වෙනත් වියදම් ලෙස වර්ග කරන්න.  මෙමගින් ඔබට එක් එක් කාණ්ඩයට වියදම් සීමා නියම කිරීමට සහ හිතුමතේ මිලදී ගැනීම් වළක්වා ගැනීමට ඉඩ සලසනවා. 

පිටතින් කෑම ගැනීම වෙනුවට නිවසේ කෑම සකස් කරන්න

නිතර පිටතින් ආහාර ගැනීම විශාල වියදමක් විය හැකියි. නමුත් නිවසේ ඉවුම් පිහුම් කිරීම මුදල් ඉතිරි කරනවා පමණක් නොව, කොටස් ප්‍රමාණය සහ අමුද්‍රව්‍ය පාලනය කිරීමටද ඔබට ඉඩ සලසනවා.  ඔබේ ආහාර වේල සැලසුම් කර අනවශ්‍ය මිලදී ගැනීම් වළක්වා ගැනීමට බඩු මිළදී ගැනීමට යාමට පෙර අවශ්‍ය බඩු පමණක් ඇතුලත් කර ලැයිස්තුවක් සකස් කරන්න. නිතර භාවිතා කරන භාණ්ඩ තොග වශයෙන් මිලදී ගැනීමෙන් ඔබට තවත් මුදල් ඉතිරි කර ගත හැකි වෙනවා.

Smart ලෙස බඩු මිළදී ගන්න

ඔබට බඩු මිළදී ගැනීමට යෑමට අවශ්‍ය වූ විට, ඔබට හොඳම ගනුදෙනුව ලැබෙන තැනකට යාමට වග බලා ගන්න. Online මගින් මිල ගණන් සහ වට්ටම් පිළිබඳව සොයා බලන්න.ඔබට හොඳම වාසි ලැබෙන තැන් බඩු මිළදී ගැනීම සඳහා තෝරා ගන්න.

බිල්පත් අවම කරගන්න 

මාසයක් සඳහා ඔබ බිල්පත් වෙනුවෙන් වියදම් මුදල කොපමණදැයි පරීක්ෂා කර බලන්න. ඒවා අඩුකර ගැනීම සඳහා ඔබට කළ හැකි දේවල් මොනවාදැයි සිතා බලන්න. විශේෂයෙන්ම විදුලි බිල සහ වතුර බිල අවම කර ගැනීම ඔබට පහසුවෙන්ම සිදු කර ගැනීමේ හැකියාව තිබෙනවා. උදාහරණයක් ලෙස ,අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම , විදුලි උපකරණ අවශ්‍ය අවස්ථාවලදී පමණක් භාවිතා කිරීම , සතියකට අවශ්‍ය ඇඳුම් එකවර අයන් කර තැබීම වැනි බොහෝ දේවල් විදුලි බිල ඉතුරු කර ගැනීම සඳහා ඔබට කළ හැකියි. 

නව මිලදී ගැනීම් පිළිබඳව සිතා බලන්න 

ඔබට හදිසියේ නිවස වෙනුවෙන් යමක් මිලදී ගැනීමට සිදුවනවා නම් , නව මිලදී ගැනීමක් කෙරෙහි ආයෝජනය කිරීමට සිදුවනවා නම් ඒ පිළිබඳව හොඳින් සිතා බලන්න.ඇත්ත වශයෙන්ම ඒ මිලදී ගැනීම ඒ මොහොතේ අත්‍යවශ්‍ය එකක්ද යන්න පිළිබඳව සිතා බැලීම මගින් ඔබට මුදල් ඉතිරි කර ගැනීමට හැකි වෙනවා. විශේෂයෙන්ම නිවසට අවශ්‍ය විදුලි උපකරණයක් හෝ වෙනත් යමක් මිලදී ගැනීමට ඔබට ඒ මොහොතේ සිදුවනවා නම් නව භාණ්ඩ මිලදී නොගෙන භාවිතා කරන ලද නමුත් හොඳ තත්ත්වයේ පවතින භාණ්ඩ කෙරෙහි මුදල් ආයෝජනය කිරීමක් ඔබට සිදුකිරීමට පුළුවන්.

මේ ක්‍රම කිහිපය මගින් ඔබේ මුදල් ඉතිරි කර ගැනීමට හැකිවන ආකාරය පිළිබඳව මාසයක් තුළදී සලකා බලන්න. එය මොනතරම් වෙනසක් ඔබගේ මුදල් කෙරෙහි සිදු කරනවා දැයි ඔබටම දැක බලා ගත හැකි වේවි.

Related Articles

Don't Miss


Latest Articles