දුරේෂ් මල්වත්තගේ හා උපුල් මහානාමත්, ආර්ය නිර්වාන් මහානාමත් පොලීසියට ගොස් සිදු වී ඇති දේ ගැන පැමිණිල්ලක් දැමූහ. ඔවුන් සතුව තිබූ නිධී තබා ගිය සටහන නිසා සිදු වී ඇති දේ ප්‍රත්‍යක්ෂ ය. ඔවුන් පැමිණිල්ල දැමූයේ නීත්‍යානුකූලව එසේ කළ යුතු නිසාවෙන් පමණකි. යළි පැමිණිය ද නිධී සිය බිරිඳ ලෙස පිළිගැනීම ආර්ය දැඩිව ප්‍රතික්ෂේප කළේ ය. අම්මා කෙනෙකු ළඟ නැතිව විසල් කැපකිරීමක් කොට උස් මහත් කරගත් සිය පුත්‍රයා මෙහෙව් අශ්ලීල වැඩක් කිරීම දුරේෂ් කිසි සේත් අනුමත නො කළේ ය. එසේ ම තවදුරටත් සන්දේශ් සිය පුතෙකු වශයෙන් පිළිගැනීම හෙතෙම තරයේ ප්‍රතික්ෂේප කොට සිටයේ ය.
“එහෙනං ඉතිං අවුලක් නෑනෙ. ඕගොල්ලොන්ට එයාලව ගෙන්නගන්න බලාපොරොත්තුවක් නෑනෙ. ඒ දෙන්න හොඳින් හිටපුදෙං”
කියමින් පැමිණිල්ල ලියාගත් පොලිස් නිලධාරියා විහිළුවක් කළේ ය. උපුල් ගේ හා දුරේෂ් ගේ කට කොනක් ඇද වූයේ හඬන්නට බැරිකමට ය. ආර්ය නම් එවන් උත්සාහයක් හෝ නො ගත්තේ ය.
දෙවන දිනයටත් නිවාඩු ගන්නට කිසිවෙකුට හැකියාව නැත. එබැවින් ජනවාරි දෙවෙනිදා කවුරුත් තම තමන්ගේ රැකී රක්ෂා කටයුතු වලට යාමට සූදානම් වූහ. ජීවිතය කියන්නේ දිවීමකි. තමන්ගේ කෙනෙකු ගේ ගමනක් වෙනත් පාරකට හැරීම මත සිය ගමන් නතර කළ නො හැකි ය. ඕනෑ නම් මඳකට නතර වී යා හැක. මරණයක් වී නම් ඊට වැඩිය මඳක් වැඩි කාලයක් නතර වී සිටිය හැක. ඉන්පසු යළි දිවිය යුතුව තිබේ.
මහානාම පවුලේ බඩපිස්සා හා අම්මා මණී හැරුණු විට අනිත් හැම කෙනෙක් ම රැකියා වලට යති. මල්වත්තගේ ගෙදර දුරේෂ් හා සාන්වී රැකියා කරති. අමාගී ගේ දැනට රැකියාව රැකියා වලට ඉල්ලුම් කිරීමයි. අශ්විනී මුලින් රැක්යාවකට ගියා ය. නමුත් එක්සත් රාජධානියෙහි රැකියාවේ නියුතු කසුන් සේනානායක සමග විවාහ ගිවිස ගැනීමෙන් පස්සේ ඇය රැකියාවට සමු දී ගෙදර නතර වූවා ය. එසේ කරනා ලෙසට කසුන් බල කොට සිටියා නොවේ. නමුත් ඔහු සිය නෛතික බිරිය වෙනුවෙන් මාසිකව වියදමට මුදලක් ඇගේ ගිණුමට දැමුවේ ය. චාරිත්‍රානුකූල විවාහ උත්සවය සිදු කිරීමට නියමිත ව ඇත්තේ ඔහු ඊළඟ වතාවේ නිවාඩු ගෙන ලංකාවට පැමිණි පසුයි. මුලින් කසුන් සේවය කළේ ද අශ්විනි සේවය කළ කාර්යාලයේ ම වන අතර ඔවුන් ගේ ප්‍රේම සම්බන්ධය කසුන් විදේශ රැකියාවකට ඉල්ලුම් කිරීම මත බිඳ වැටුණේ නැත. වසර කිහිපයකට පසු දිවයිනට පැමිණෙන හෙතෙම අශ්විනී සමග විවාහය ලියාපදංචි කොට තබා යන්නේ විශ්වාසය සුරක්ෂිත වනු වස් ය. චාරිත්‍රානුකූල විවාහ උත්සවය වෙනුවෙන් මුදල් ටිකක් එකතු කොටගෙන, අශ්විනීව ද ඔහු සිටිනා දේශයට කැටිව යාම කසුන් ගේ බලාපොරොත්තුවයි.
කසුන් වෙත හදවතින් ම බැඳී සිටිය ද මනාලියක වන දවස තව ටිකක් හෝ දිගු කොට දෙන ලෙස අශ්විනී දෙවියන්ගෙන් ඉල්ලයි. ඒ ඇයට යන්නට වන්නේ ඇගේ හුස්ම පොද ගෙදර අතැර වන බැවිනි.
“එහෙම හිතන්නෙපා. ඔයාට විතරක් නෙවෙයි අපි තුන්දෙනාටම දවසක එහෙම කරන්න වෙයි. ඒත් අපි හැම හුස්මක් ගානෙම අපිත් එක්ක බැඳිල ඉන්වනෙ ලොකූ…”
අක්කා ගේ හිතේ වන දෙගිඩියාව ගැන දන්නා සාන්වී ඇගේ හිත හදන්නේ එහෙම ය. සාන්වී ද පෙම්වතියකි. නමුත් ඒ පෙම් සබඳකම ගැන තවමත් ඇය ගෙදර අය දැනුවත් කොට නැත. සැබවින් තවම ඇය සිය ප්‍රේමවන්තයා හඳුනාගනිමින් හා අධ්‍යයනය කරමින් සිටින සමයයි මේ.
ශාක්‍ය හා පූජන යන දෙදෙනා ම කුඩා කල පටන් වඩාත් සමීපව ඇසුරු කරන ගෑනු ළමයා අමාගී ය. නංගියෙක් නැති ඔවුන්ට බිලිඳු වියෙහි පටන් ම ඇය නංගියෙකු වූවා ය. පොඩි කාලේ සෙල්ලම් ගෙවල් හදත්දීත් කණ්ඩායම් ක්‍රීඩාවක් කරත්දීත් ඔවුන් දෙදෙනාට ම ඕනෑ වූයේ ඇය තමන්ගේ පැත්තට ගන්නටයි. අමාගී හින්දා අයිය මලෝ රණ්ඩු වූ හා ගුටි බැට හුවමාරු කරගත් අවස්ථා ඕනෑ තරම් ය. ඒ රණ්ඩු බේරාගත නොහී දුරදිග ගිය අවස්ථාවක නම් අමාගී අයියලා දෙන්නා එක්ක ම තරහ වූවා ය.
“රණ්ඩු වෙනවනං මං ඔය දෙන්න එක්කම සෙල්ලං කරන්න එන්නෑ”
ඇය තරහ මූණක් මවාගෙන අත් දෙක පපුව මැද බැඳගනී.
“යං මල්ලා අපි දෙන්න තනියම සෙල්ලං කරමු”
ඇය රුසිරු ගේ අතකින් අල්වාගනී. රුසිරු වූ කලී වයසින් අමාගී ට බාල වනුයේ මාස දෙකකින් පමණකි. අමාගී උපදින්නේ දෙසැම්බරයේ ය. අලුත් අවුරුද්දේ පෙබරවාරි මුල රුසිරු බිහි වේ. පෙබරවාරි වීම නිසා රුසිරුව අමාගී සමග පාසලට ඇතුළත් කළ නො හැකි විය. ඔහු පාසල් ගමන අරඹන්නේ ඊළඟ වසරේ ය. ගැටවර වියට එළඹි පසු මේ ගැන රුසිරු පශ්චත්තාප වන වාර ගණන අප්‍රමාණ ය. ඔහු ට ඉවසන්නට බැරි අමාගී මල්ලී නමින් ඔහු ඇමතීමයි. තේරෙන වයසේ දී හිතා මතා ම ඔහු ඇයට නමින් ආමන්ත්‍රණය කරන්නට පටන් ගත්තේ ය. නමුත් ‘මල්ලා’ යන ආදරණීය ඇමතුම තරම් යසිරු යන නම අමාගී ට දැනෙන්නේ නැත.
“මාර අක්ක මෙයා. මාස දෙකකට”
ඔහු ට ඈ මල්ලී යි ඇමතීම ගැන රුසිරු අරගල කළේ එවන් ඉසියුම් භාෂාවකිනි.
“මාස දෙකකට හරි මල්ලිනෙ”
“අනේ මේ යනව. තමුසෙගෙ පන්තියෙ මාස දහයකට වැඩිමල් උන්ටවත් තමුසෙ අයිය කියනවද”
“ඒ ඉතිං මගෙ පන්තියෙ නිසානෙ”
ඔහු ට තේරුම් කර දෙන්නට උවමනා දෙය කිසි දාක අමාගී විසින් තේරුම් නො ගනු ඇතැයි අවසන රුසිරු සිතාගත්තේ ය.
ඇයට ඒ තරම් ළෙංගතු සහෝදරයන් තිදෙනෙකු ම ඒ ගෙදර සිටියදී,ඒ කාලේ අමාගී ගේ හිත වැඩිපුර ම දිව්වේ ලොකු අයියා වන ආර්ය පස්සේ ය. ඇය ජංගි කොටය හැඳගෙන සෙල්ලං කරනා පොඩි කෙල්ලක කාලේදීත් ආර්ය ගැටවරයෙකි. ඒ කාලේවත් ඔහු නිකමට හෝ ඇදෙස බැලුවේ නැතිවාට, ජංගි කොටයක් ඇඳගෙන හිටියොත් අමාගී ආර්ය දෙස බලමින් ඇඹරෙයි. ආර්ය ගෙන් වහන් වෙන්නට බලයි. ඔහු පොත් කියවත්දීත් මල්ලිලා සමග ක්‍රිකට් හෝ බැඩ්මින්ටන් ක්‍රීඩා කරත්දීත් අමාගී ඔහු දෙස බලා ඉන්නේ ආඩම්බරය තැවරි සිනහවකිනි. ඔහු ගැන ඇය ආඩම්බර වූවාට ආර්ය ඇයව දුටුවේවත් නැත!
“සුදු පුතා. බබාව බලාගන්න මණී ආන්ටිට පොඩ්ඩක් උදව් වෙන්න. පව්නෙ”
උදේ ගෙදරින් නික්ම යාමට පෙර දුරේෂ් ගෙදොරකඩදී අමාගී ට කීවේ ය. ඒ වෙලාවේ ඔහු ගේ පපුව සුසුමකින් පිරෙමින් තිබිණ. ඒ යුද්ධය කොහොම එකක් වී ද කියා ඔහු ට සිහිපත් වූ බැවිනි.
“තාත්ති ඒ ගැන හිතන්නෙපා. මං ආයු බලාගන්නං. තාත්ති අයිය ගැන වුණත් හිතෙං දුක් නොවී ඉන්න. එයාට හොඳයි කියල හිතෙන වරදක්නෙ එයා කරල තියෙන්නෙ. ඒ ගැන හිතල තාත්ති ලෙඩ වෙයි කියල මට බයයි”
අමාගී තාත්තා ගේ බඳ වටා දෑත ම යවා ඔහු ව බදාගත්තා ය. ගෙදර ගෑනු ළමයින්ගෙන් මේ විදිහට දුරේෂ්ට සමීප පොඩි කෙල්ල ය. වැඩිමල් අශ්විනී ගේ ආදරය මව්වත් එකකි. ඇය නිහඬව සියල් යුතුකම් ඉටු කිරීමෙන් පවුලේ අයට ආදරය පෙන්වන්නී ය. දෙවැන්නී සාන්වී ටිකක් ආඩම්බර ය. අනිත් දෙන්නා තරම් අනුන් ගැන සිතන්නේ නැත. හැඟීම් වලට වඩා බුද්ධියට මුල් තැන දෙන්නියකි. වසරක් සපිරෙත්දී මව් අහිමි වන සිඟිත්තියක වශයෙන් දුරේෂ් වැඩිපුර අත පත ගා හැදුවේ අමාගීව ය. ඒ නිසා ඔහු ඇයට දක්වන ඇඟෑළුම්කම ද වැඩි ය.
“අපරාදෙ තාත්ති අපි නිසා තාත්තිගෙ තරුණ ජීවිතේ කැප කළේ. තාත්තිට තිබුණෙ ආයෙ බඳින්න. ලොකයිය ආයු බබා එක්ක තනි වෙලා පිස්සුවෙන් වගේ ඉන්නව දැක්කහම මට මතක් වුණේම තාත්තිව. ඔයා කොච්චර දුකක් විඳින්න ඇද්ද අපි හතරදෙනෙක් මේ තත්වෙට ගේන්න. මටනං අයිය එක්ක කේන්තියි. එයා නිධී එක්ක පැනල ගිය නිසා නෙවෙයි. තාත්තිට මෙහෙම ගින්දරක් දීපු නිසා. තාත්ති අපි වෙනුවෙන් කරපු කැපකිරීම් වලට වටිනාකමක් නොදීපු නිසා”
දුරේෂ් අමාගී ගේ හිස් මුදුන සිපගත්තේ ය. ඔහු වචනයක්වත් නො කීවේ උගුර හිර වී තිබූ බැවිනි.
“සුදූ තාත්තිට දැං යන්න දෙන්න”
කියා අශ්විනී මැදිහත් වූයේ මේ මොහොතේ තාත්තා ගේ හදවත කෙබඳු දැයි මැනවින් ම දන්නා තැනැත්තිය ඇය බැවිනි. අම්මා ගිය අලුත ඔහු ගේ ඇස් වලින් ගිළිහුණ කඳුළු ගැන වැඩිපුර ම සාක්ෂි දැරුවේ ඇය වන බැවිනි.
ආයු ගේ හැඬුමක් ඇසුනෙන් අමාගී මහානාම ගෙවල් පැත්තට ගියා ය. ආර්ය ගේ බෙල්ල බදාගෙන රැහැයියෙකු සේ දරුවා හඬමින් සිටියේ ය.
“තාත්ති ඉක්මනට එනවනෙ මැණික. පුතාට ටෝයි කා එකක් ගේන්නං එනකොට හොඳේ. පුතා ආස රිමෝට් කා එකකට නේද…”
“ඉමෝට් කා අපා. තාත්ති ඕනෙ. තාත්ති බබා දාල ඔපිත් නන්න අපා”
කියමින් ආයු කෑගසමින් හැඬුවේ ය. මණී බලා සිටියේ කවරක් කරන්නදැයි සිතා ගත නො හැකි කම්පාවකිනි. ආර්ය ගේ නෙතු පත්ලේ ගැඹුරු වේදනාවක දිස්නය විය.
“ආයු මැණික… අයි අනා මේ… මගෙ සුදු බෝලෙ ඇයි මෙහෙම අඬන්නෙ…”
අමාගී ගේ හඬින් හැඬුම නතර කොට බැලුව ද ආයු දිගට ම ආර්ය ගේ උරයෙහි හීල්ලුවේ ය.
“කෝ එන්නකො. අපි පාරෙ යන්ද… ම්… බබා තාම සස කුක්කු එකක් බිව්වෙ නෑ නේද… අපි කුක්කු බී…ල… හබුං කන්න පාරෙ යන්ද… මංකිල ඉන්නව පාරෙ… බුකුං බුකුං ගාන්නෙ… අපි යන්ද බුකුං මංකිල බලන්න”
“බුකුං මංකි…”
වහා හැඬුම නතර කොට කඳුලු දෑසින් ම ඔහු අමාගී විනිවිද බැලුවේ ය. ඊළඟට දෝත පාමින් ඈ වෙතට නැඹුරු වූයේ ය. අමාගී ආයුව ඇගේ දෑතින් ගත්තා ය. ඒ වෙලාවේ, තත්පරයකිනුත් හැටෙන් පංගුවක් තරම් නිමේශයකට ඇය ලොකයියා ගේ දෑස් දුටුවා ය. එහි ස්තූතිවන්ත වීමක් ගැන කතාවක් ලියැවී තිබී ඇගේ සන්තානයට කිඳා බසින්නට විය. එහෙම ම හැරුණු අමාගී ආයු කැටිව ගියේ පාරේ පහළට ය. ආර්ය යන්නට නියමිත පැත්තට විරුද්ධ පැත්තට ය.