බත් ගහේ ගෙඩියෙන් හදන්න පුළුවන් රස කෑම

අද මේ කියන්න යන්නේ තවත් රසම රස ආහාර කිහිපයක් ඉතාම පහසුවෙන් හදා ගන්න පුළුවන් ක්‍රම කිහිපයක්. 

මේ කෑම වර්ග ඔක්කෝම හදන්න ඕනෑ වෙන ප්‍රධාන අමුද්‍රව්‍ය තමයි කොස්. දැන් තව ටික කාලෙකින් කොස් පලදාව වැඩි වෙලා, ගස් යට කොස් කුණු වෙන කාලයක් එනවනේ. අන්න ඒ කාලෙට මෙන්න මේ රෙසිපි සේව් කරලා තියාගන්න. 

පෝෂණය වගේම ඔබේ පසුම්බියටත් පහසුවක් මේ කොස් ආශ්‍රිත  ආහාර වට්ටෝරු වල තියෙන බව ඔබට වැටහේවි. 

කොස් කට්ලට් 

තම්බා පොඩි කරගත් කොස් 

ලූණු

සුදුලූණු

තම්බා පොඩි කරගත් මාළු

කරපිංචා 

පොල් තෙල් 

ලුණු කුඩු 

පාන් පිටි ( බැටර් එක සඳහා ) 

බිස්කට් කුඩු

පැසුනු කොස් තම්බා පොඩි කරගන්න. ලූණු, සුදුලූණු , කරපිංචා , මාලු සහ පොඩි කරගත් කොස් එකට දමා තෙම්පරාදුවක් සකසා ගන්න. අවශ්‍ය පමණට ලුණු දමාගන්න. 

පාන්පිටි, ලුණු, කහ ස්වල්පයක් දමා බැටර් එක සකසා ගන්න. 

තෙම්පරාදු මිශ්‍රණයෙන් අවශ්‍ය පමණේ  ගුලි සකසාගන්න.

බැටර් එකේ පොඟවා, බිස්කට් කුඩු දවටා ගැඹුරු තෙලේ බැදගන්න.

ඉතාම පහසුවෙන් රසවත් කොස් කට්ලට් හදාගන්න විදිය තමයි ඒ. ඊළඟට කියන්නේ හවස තේ වලට ගැලපෙන ටොෆී වර්ගයක් ගැන.

කොස් ඇට ටොෆී 

ස්ටීම් කර බ්ලෙන්ඩර් කර ගත් කොස් ඇට ග්‍රෑම් 500

දුඹුරු සීනි 750g

වැනිලා 

කිරි පිටි මේස හැඳි 2

ලුණු 

ඇස්ට්‍රා, බටර් මේස හැඳි 1 

කොස් ඇට සහ සීනි මිශ්‍ර කරගන්න. 

ලිප තබා මඳගින්නේ හැඳි ගාමින් තවත් මිශ්‍ර කරන්න. 

ඇස්ට්‍රා  , වැනිලා, කිරිපිටි  , ලුනු එකතු කරන්න.

 තාච්චය වටෙන් සුදු පැහැ වන අවස්තාව මිශ්‍රණය පදම ට පැමිණ ඇති අවස්ථාවයි.

 ලිපෙන් බාගෙන ලෑල්ලක තුනී කර කැබලි කපාගන්න.

ඊළඟට අපි බලමු කොස් වලින් හදාගන්න වඩේ එකක වට්ටෝරුව. 

කොස්  වඩේ

හොඳින් පැසුණු කොස් මඳුලු වලින් සකසා ගත් කොස් ක්‍රීම්  කෝප්ප 1 

හාල් පිටි කෝප්ප 2 

ලූණු

මිරිස්

කැරට් අලයක්

උම්බලකඩ 

තෙල් 

කරපිංචා 

අමු මිරිස් 

පොල් කෝප්ප 1/2

කොස් ක්‍රීම් කෝප්පය සහ හාල් පිටි කෝප්ප දෙක එකට දමා අතින් අනාගන්න. එයට පොල් කෝප්ප 1/2 දමා යලි මිශ්‍ර කරන්න. එම මිශ්‍රණය වසා පසෙකින් තබන්න. 

කරපිංචා , ලූණු, උම්බලකඩ, අමු මිරිස්, කැරට් දමා තෙම්පරාදුවක් සකසා ගන්න. සකසා ගත් තෙම්පරාදුව ඉහත මිශ්‍රණය හා කලවම් කරන්න.

වඩේ සකසාගෙන, ගැඹුරු තෙලේ බැදගන්න

( කොස් ක්‍රීම් සකසා ගැනීමේදී කොස් මදුලු බ්ලෙන්ඩරයට දමා වතුර ඉතාම ස්වල්පයක් පමණක් එක් කරන්න) 

| අපේක්ෂා ගුණරත්න |

Related Articles

Don't Miss


Latest Articles