මල් බිඟුන් – 08

බලාපොරොත්තු නොවූ පුපුරා යාමක් හදිසියේ සිදු වූ සේ ය. හඬන්නට තරමින් කේන්තියකින් කියවාගෙන ගිය අමාගී, ආර්ය ගේ රුව පියගැට පෙළ ඉස්මත්තෙහි දුටු ගමන් ගස්සාගෙන යන්නට ගියා ය. ගෙදර හැම කෙනෙකු ගේ ම ඇස් ඊළඟට යොමු වූයේ ආර්ය වෙතට ය.

“ඒ ළමය ලොකු උදව්වක්නෙ කරන්නෙ. ඉතින් තෑග්ගක්වත් ගෙනත් දෙන්න ඕනනෙ. මට ඔය ගෑනු ළමයින්ට තෑගි ගන්න තේරෙන්නැති නිසා ඩෙබිට් කාඩ් එක දුන්න. මෙන්න දමල ගහල ආව”

ආර්ය ගේ ස්වභාවය ට රුසිරු ට සිනහ ගියේ ය. ඔහු ඒ සිනහව ගිලගෙන ඉවත බලාගත්තේ ය.

“අපිට මාගිව නැති කරන්නනං එපා. පින් සිද්දවෙයි”

ශාක්‍ය ඒ වචන පිට කළේ දැවෙමිනි. සැබවින් ඔහු කෝපත් ව සිටියේ ය. ඊට හේතුව අමාගී සිත රිදුවාගෙන හිඳීමයි. තව මොහොතකින් ඇයට හැඬෙන්නට වුව තිබිණ. යම් හෙයකින් ඇය අමනාප වී ගියහොත් යළි මේ ගෙදර පස් නොපාගන්නට වුව බැරි නැත. ආර්ය ට එහි වගක් නැති වනු ඇත. නමුත් ශාක්‍යට කිසි සේත් එහෙම විය යුතු නැත. අමාගී කියන්නේ ළමා වියෙහි පටන් ඔහු ගේ හදවත දයාවෙන් පිරවූ ගැහැනු ආත්මයයි. ඈ වැඩිවිය පැමිණෙන තුරු ම ඔවුහු එකට වැටී සිටියහ. දුරේශ් රැකියාවට ගිය පසු අමාගී වැඩිපුර හිටියේ  මහානාම ගෙදර ය. ශාක්‍ය ඇගේ කොණ්ඩය පීරා කරල් දෙකකට ගොතා අග්ගිස්ස පීත්ත පටි වලින් ගැටගසයි. විවිධ වර්ණ වල කොණ්ඩා කටු ගසා ඇගේ හිස සරසයි. ඔහු ට කැන්ටිමෙන් කන්නට දෙන මුදලින් කොටසක් ඉතිරි කරගෙන ඇයට පාට වළළු ගෙනෙයි. අමාගී ඒවා දෑතෙහි දමාගෙන සිනහ වෙන විට පිරෙන්නේ ශාක්‍ය ගේ හදවතයි.  

ආර්ය නිධී ව විවාහ කරගෙන කැඳවාගෙන එන තෙක් ම මහානාම ගෙදර ආධිපත්‍ය හිමි එක ම ගෑනු ළමයා අමාගී වූවා ය. නිධී ආවාය කියා ද අනිත් පිරිමි ළමයින්ගේ ජීවිත වල අමාගී ට හිමි ඉඩ අල්පෙනෙති තුඩකිනිදු වෙනස් වූවා නොවේ.

“ඇත්තටම ඒ ළමය ආයම්ම නෙවෙයිනෙ. සල්ලි දීල ළමයි බලෝගන්න”

පූජන ද ඇනුම්පදයක් කීවේ ය. ඔහු ට ද මේ වෙලාවේ ලොකු අයියා රිදවන්නට ඕන වූවා නොවේ. නමුත් ඔහු ගේ උද්දච්චකම නිසා අමාගී අහිමි වෙතැයි ක්ෂණික බියකින් හෙතෙම කීරි ගැසී යමින් සිටියේ ය. අමාගී ගැන ගැටවර සන්දියේ පටන් හිතේ ඇතිව තිබූ කැමැත්ත තවමත් ඔහු නො කියා සිටින්නේ ඇගේ ප්‍රතික්ශේප වීමක් මත මේ විදිහට හෝ ගෙදරට ඈ අහිමි වෙතැයි බියෙනි.

“මේක මාර කතාවක්නෙ. මං සල්ලි දීල ළමය බලාගන්න හැදුව නෙවෙයි. ඒ ළමය කරන උදව්වට ගිෆ්ට් එකක් දෙන එක හොඳයි කියලයි හිතුවෙ”

“ඔය දුන්නෙ දැං ගිෆ්ට් එකක්. ආයෙ මේ පැත්ත පලාතක එයිද දන්නෑ ඒ කෙල්ල”

“ලොකු පුතා”

මණී මෘදු ලෙස ආර්ය ඇමතූයේ ඔහු හිතා මතා කිසිදු වරදක් කොට නැති බව ඉඳුරා දන්නා බැවිනි. ආයු තනි වීම මත හිත අවුල් කරගෙන සිටින ඔහු ට තවත් වද දෙන එක යුතු නැති බව අම්මා වශයෙන් ඕ තොමෝ වහා තීරණය කළා ය.

“මං දන්නව ලොකු පුතා අහිතකින් එහෙම කළා නෙවෙයි කියල. මාගිගෙ හිත ටිකක් රිදෙන්නැති ඔයා කාඩ් එක දුන්නහම… සල්ලි වලට ළමය බලනව කියල හිතනව ඇති කියල. පොඩ්ඩක් එහෙම හිතෙන්නත් පුළුවන් තමයිනෙ පුතේ. හැබැයි මාගි ඕව හිතේ තියං ඉන්න ළමයෙක් නෙවෙයි. කේන්ති නිවුණහම ආයෙ එයි”

“මේගොල්ලො මේ මගෙ ඇඟට ගොඩවෙන්නෙ මං ඒ ළමයට අයුතු යෝජනාවක් කරල වගේනෙ”

කියමින් සිය විරෝධය ප්‍රකාශ කළ ආර්ය මඳ කෝපයකින් ම පියගැට පෙළ නැග ගියේ ය.

“අයුතු යෝජනාවක් කළානං මාගි ඔහොම යන්නෑ සෙරෙප්පුව ගන්නව මිසක්”

පූජන පහළ සමච්චල් ස්වරයකින් මිමිණුවේ ය.

“අයුතු යෝජනාවක් කරන්නෙ කොහෙද… මෙයාට ගෑනු ඇලර්ජිනෙ…”

අවඥාසහගත සිනහවක් නගාගත්තා මිස ඒ සිතුණ දේ ශාක්‍ය වචන ලෙස බැහැර නොකළේ ය.

“හනේ මන්දන්නෑ මේ ගෙදරට මොන හෙණ ගෙඩියක් පාත්වෙලාද කියල”

මණී හිසෙහි අතක් ගසාගත්තා ය.

“ඒ කොල්ලගෙ ඔළුව ගිනිඅරං ඉන්න වෙලාවෙ ඕගොල්ලොත් තව අවුළුවන්න හදන්නෙපා”

ඇය එ් කීවේ තදිනි. අම්මා වශයෙන් දරුවන් කිසිවෙකුගේ පාර්ශවයක් නො ගනිමිනි.

අමාගී ගෙදර ගියේ ආයේ නම් අර උද්දච්ච බකපණ්ඩිතයා ඉන්න වෙලාවට මහානාම ගෙදර පැත්ත පලාතේ නො යන්නෙමැයි තදින් සිතාගෙන ය. ඇය පුදුම තරමින් නො සන්සුන් ව සිටියා ය. මහානාම ගෙදර හා ඈ අතරේ වන සම්බන්ධය පෙකණිවැල් බැඳීමක් වැන්නකි. ඒ ගෙදරට ගොඩ නොවෙනා දිනයක් මෙතුවක් ඇගේ ජීවිතයට උදා වී ම නැත. එහි අඩිය නො තබන්නෙමැයි සිතාගෙන සිටි අවස්ථාවක් නම් ඇත්තේ ම නැත. එබැවින් උදා වූ ඉරිදාව ඉවසාගත නො හැකි තරමට නො සන්සුන් විය. නිධී නික්ම ගිය මේ දින කිහිපයට ආයු ඇයට සමීප වූයේ හුස්ම වාගේ ය. ඉතින් හුස්මෙන් දුරස් වී ඉන්නා එක පහසු නැත. එළි වූ ගමන් “කෝ මගෙ ආයු මැණික…” කියමින් මහානාම ගෙදරට දිව නොයා ඇය හිත තද කරගෙන සිටියා ය. සාමාන්‍යයෙන් බලයෙන් වලකාගෙන ඉන්නා හිතිවිලි හිතට පීඩා ගෙන දේ. වැවකට දරනු නො හැකි මහ දියකඳ සොරොව් බිඳී වාං දමා හෝ පිට වී යා යුතු වේ. එසේ හිත් පීඩාව පිට කරනු නොහී අමාගී කාමරයට වැදීගෙන පොතක් කියවූවා ය.

“මොකද අද මෙයා නැනී වැඩේට නොයා ගෙට වෙලා ඉන්නෙ…”

සාන්වී විහිළුවෙන් වාගේ කීවේ ඇයට වෙනසක් දැනුණ බැවිනි. අක්ක නගෝ තිදෙනා තුන් ආකාරයේ වී ද ඔවුන්ට උනුන් ගේ හුස්මක වෙනසක් වුව දැනේ. ඔවුන් උනුන් ට එපමණට ළෙංගතු ය. ඔවුන් ගේ සහෝදර බැම්ම එපමණට ඝණකම් ය.

“මේ නවල්එක මාර ලස්සනයි පොඩී”

අමාගී රස කොට කීවා ය. නමුත් තාම ඇය පොතෙන් පිටු දෙක තුනකට වඩා කියවා නැත. කියවූ වචනයක්වත් මතක ද නැත. ඈ මේ පොත අතේ තබාගෙන ඇඳට වැටී සිටිනුයේ මහානාම ගෙදරට දුවන්නට හදනා හිත මට්ටු කරන්නට ය. එසේ නොයන්නට හේතු විමසන සහෝදරියන් ගේ ප්‍රශ්නකිරීම් වලින් මිදී ඉන්නට ය.

“පොඩි එකා අද මේ පැත්තට ආවෙ නෑ නේද…”

කියා අමාගී දුටු විට දුරේශ් ඇසුවේ ය.

“අද ඉතිං ලොකු අයිය ඉන්නවනෙ”

ඇඟට පතට නො දැනී එසේ කියා දමා අමාගී නැවත ද කාමරයට රිංගා ගත්තා ය. නමුත් ඇගේ සන්තානයෙහි සැනසීමක් වූයේ නැත. ආත්මයට ශාන්තියක් දැනුණේ නැත. කුණාටු මුහුදක් ළය මැද සඟවාගෙන ඕ ඒ සමගින් තනිව පොරබැදුවා ය.

ආයු “මා” කියමින් හඬ නගා හඬනු ඇසුණේ උදේ වරුව අසීරුවෙන් ගෙවී යමින් තිබියදී ය. නෑසුණා සේ ගෙට වැදී ඉන්නට අමාගී ට හැකි වූයේ ම නැත. ඇය හකු තද කරගෙන වේගවත් අඩි තබා මහානාම නිවස පැත්තට ගියා ය. ආර්ය ආයු ව වඩාගෙන මිදුලේ සිටියේ ය. මණී දරුවා ට බත් කටක් කැවීමට උපක්‍රම යොදමින් සිටියා ය. නමුත් ඔහු බත් පිඬක් වෙනුවෙන් මුව විවර කෙරුවේ නැත. අමාගී දුටු විට දෝත ම පාමින් ඇය වෙත නැඹුරු වූ ආයු ව ඕ දෑතින් ගත්තේ ආර්ය වෙතින් උදුරා වාගේ ය. ඇගේ මුහුණේ සිනහ පොදක් නොවිණ. මණී අසරණ බැල්මක් අමාගී වෙතට යොමු කළා ය. එක අතකින් දරුවා ඔක්කේ ගසාගෙන ඇය අනිත් අතින් මණී අත වූ සිඟිති බත් පත ගත්තා ය.

“මං කවල ගෙනත් දෙන්නං මණී ආන්ටි”

කියා දැඩි නොවන හඬකින් තෙපළමින් ම මහානාම වත්තෙන් පිට වූවා ය. ආයු ගේ හැඬිල්ල කොහේදෝ අතුරුදන් ව තිබිණ.

“බබා ඔවා එනකං බාං හිටියනෙ මා”

සැඟව යන ඉකිබිඳුමක් අතරින් ඔහු හුරතල් ලෙස කීවේ ය. අමාගී ආයුව ඉතා තදින් සිප ගත්තා ය.

“අයිම් සොරි මගෙ රත්තරං මැණික”

කියූ දේ වලට වැඩිය බොහෝ දේ ඇගේ ගැහැනු හද ගැබෙහි නිදන්ගත වී තිබිණ.

ආයු වදයක් නොදී කෑම කෑවේ ය. ඉන්පසු බිළිඳා සේදූ යුවතිය ටවල් එකකින් ඔතාගෙන සුවඳ පුළුන් ගුලියක් සේ සිඹ සිඹ ඔහු ව මහානාම ගෙදරට දෝතින් ගෙන ගියා ය. සිපගත්දී කිතිගැන්වී ආයු හයියෙන් සිනහ වූයේ ය.

“ඇඳුං අන්දන්න මණී ආන්ටි. දැන් නිදියයි බඩපිරිල නිසා”

අමාගී ආයුව මණී අතට දී එහෙම ම හැරී එන්නට හැදුවා ය.

“ඔහොම ඉන්නව කොහෙද දුවන්නෙ”

කියමින් ශාක්‍ය ඇගේ අතකින් ඇල්ලී ය. අමා වැර යොදා ඒ අත නිදහස් කරගත්තා ය.

“රිදෙනව පොඩීයිය”

“ගෙදර දිව්වට වැඩක් නෑනෙ. ඔහොම ඉන්න ඉතිං”

“මං නවල් එකක් කියෝ කියෝ හිටියෙ”

“මාගි මගෙ ඇඟිල්ල තුවාල වුණා බත් ටික කවන්නකො”

පූජන ද යෝජනාවක් ඉදිරිපත් කළේ ය.

“පොඩි බබා වෙන්නැතුව හැන්දකින් කන්න චූටියිය”

ඇය පූජනගෙන් ද මිදුණා ය. ඒ අතරේ ආයු නිදන්නට අමාගී ඕනේ කියමින් යළිත් හැඬුම්බර වූයේ ය.

“පුතු තාත්ති එක්ක දොයියමු”

ආර්ය ඔහු සනසාගන්නට බැලුවේ ය.

“තාත්ති බා. මා ඕනෙ…”

ඔහු කට ඇද කළ හුරතලයට පිටුපා යන්නට අමාගී ට සිතුණේ නැත. එබැවින් ඇඳුම් අන්දවාගෙන යළි ඈ දරුවා ව වඩාගත්තා ය. ආර්ය ගේ දෑස් ඇය වෙතට යොමු වී තිබුණේ අසරණ ලෙසයි. අමාගී නම් වැරදීමකින්වත් ඔහු දෙස බැලුවේ නැත.

අමාගී ආයු සමගින් නින්දක් දැමීමේ බලාපොරොත්තුවෙන් යළි ගෙදරට ගොඩ වෙන විට අශ්විනී ගේ දුරකතනය හැඬවෙමින් තිබිණ. තිරය මත සනිටුහන් ව තිබුණේ ‘මල්ලි’ කියා ය. අශ්විනි ගේ දෑස් අදහාගත නො හැකි යමක් සිදු වූවා සේ විශ්මයෙන් දැල්වීගති.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles