එකම එක හාදුවක් – 3

0
5117

ශාර්වරීට ලක්ස් ඉවෙන්ට් එකට යෑමට සිදු වුනේ අහම්බයෙන් මෙනි.  කාල්ටන් සමූහ ව්‍යාපාරයටම අයත් වෝටර්ස් බේ හෝටලයේ පැවැත්වෙන එකී උත්සවය වෙනුවෙන් ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් ස්ටාෆ් එක සඳහා අතිරේක සහයක් අවශ්‍ය වූ බව ශාර්වරී දැනගත්තේ තමන් ඉගෙනුම ලබන එච් එන් ඩී එකේ හොටෙල් මැනේජ්මන්ට් පාඨමාලාවේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් කොටස ඉගැන්වීම සඳහා පැමිනෙන චෙෆ් වීරරත්න මාර්ගයෙනි.

ශාර්වරීට මුදල් අපහසුතා තියෙන බව දැනගෙන ඇයට පිහිටක් වෙනු පිණිස කාල්ටන් ටවර්ශි රෙස්ටුරන්ට් එකේ පාට් ටයිම් සේවය කරන්න ඉඩ සලසා දුන්නේද චෙෆ් වීරරත්නය. දහසක් බාධා කරදර මැද, ඉගෙනීමේ කටයුතු ඉතාම ඉහලින් වෙහෙස මහන්සි වී කරගෙන යන මේ බටු කෙල්ල ගැන චෙෆ් වීරරත්නගේ හිතේ තිබුණේ ඇත්තටම ප්‍රසාදයකි.

“අද ස්පෙශල් අවෝඩ් ෆන්ක්ශන් එකක් තියෙනව පුතා වෝටර්ස් බේ එකේ. අපි පොඩ්ඩක් විතර ශෝට් ස්ටාෆ් ඉන්නෙ. මම කෝස් එක කරන ගමන් පාට් ටයිම් වගේ වැඩ කරන දරුවො කීප දෙනෙක්ටම එන්න කියල කියන්න හැදුවෙ. ඔයාලාගෙ බැච් එකෙනුයි සීනියර් බැච් එකෙනුයි දෙකෙන්ම.

ශාර්වරීට අද හවස ශිෆ්ට් එක ඇරේන්ජ් කරගන්න පුලුවන් නම් කාල්ටන් එකත් එක්ක කතාකරලා අද ඉවෙන්ට් එකේ වැඩවලට එන්න. මහ ලොකු ගාණක් නොගෙව්වට කීයක් හරි හම්බෙනවනෙ. අනික මං හිතන්නෙ නෑ කාල්ටන් එකෙන් ලොකු ඉශූ එකක් වෙයි කියල එයාලගෙම හොටෙල් චේන් එකක තියෙන ඉවෙන්ට් එකක් නිසා” කියා චෙෆ් කියද්දිත් යන්න තිබුණා නම් හොඳ බව ශාර්වරිත් හිතුවාය. අනික් අතට තමන්ට රෙස්ටුරන්ට් එකෙන් පාට් ටයිම් ජොබ් එකක් උනත් සික් ලීව්ස් කීපයක් වගේම කැශුවල් ලීව්ස් කිහිපයක් දී තියෙන හන්දා අද ශිෆ්ට් එක කතාකරගන්න එක වගේම පඩියෙන් නොකැපෙන විදියට ඉවෙන්ට් එකට ගොස් අතිරේකව කීයක් හරි හොයාගන්න පුලුවන් එක හොඳය.

“මම රෙස්ටුරන්ට් එකට කතා කරලා ඒක ඇරේන්ජ් කරගන්නම් සර්” කිව්ව ශාර්වරීට ඊලඟට තිබ්බ ප්‍රශ්නය වුණේ ඇඳන් යන්නෙ මොකද්ද කියන එකය. තමන් තවම ඉගෙන ගන්න ළමයින් නිසා යුනිෆෝම් එකක් නැත. වෝට්‍රස් බේ එකේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ටීම් එකේ යුනිෆෝම් එක අඳින්න ඒ නිසා පුලුවන්කමකුත් නැත. නිතරම අඳින කලු පාට ඩෙනිම් කලිසමට ටීශර්ට් එකක් දාගෙන යන එක මේ වගේ තැනක පැවැත්වෙන ඉවෙන්ට් එකකට නුසුදුසු බව ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැත. 

“චෙෆ් වීරරත්න අද ඉවෙන්ට් එකට යන්න කතා කරපු හැමෝම උදේ දහයමාර වෙද්දි කැන්ටින් එකට එන්න. අපි යන අයට පොඩි මීටින් එකක් ගන්නව කොහොමද එහෙම පබ්ලික් ඉවෙන්ට් එකකට ගිහිල්ලා අපේ කැම්පස් එකේ නම කැත වෙන්නෙ නැති විදියට හැසිරෙන්න ඕන කොහොමද කියන එකයි මොනවද එතන අපිට කරන්න තියෙන්නෙ කියන එකයි ගැන කතාකරන්න” කියා ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ටීම් එක ඉන්න වට්සැප් ගෘප් එකට පණිවිඩයක් දමා තිබුණේ තමන්ගෙ බැච් එකේ රෙපා ය. ඒ සමහරවිට සීනියර් බැචස් වලින් මේ ඉවෙන්ට් එකට යන අයියලා අක්කල විසින් එවන ලද පණිවිඩයක් වෙන්නටත් පුලුවන් නිසාම ශාර්වරී අඩිය ඉක්මන් කර කැන්ටින් එක පැත්තට යන ගමන්ම රෙස්ටුරන්ට් එකට කතා කර නිවාඩු දමා අම්මාට කෝල් එකක් දී තමන් අද මෙහෙම ඉවෙන්ට් එකකට යන්න බලාගෙන කලින් ගෙදර එන බව දැනුම් දුන්නාය.

ශාර්වරී යද්දිත් චෙෆ් වීරරත්න විසින් ඉවෙන්ට් එකට එන්න කියා දැනුම් දුන් සියල්ලන්ම වගේ කැන්ටින් එකේ මේසයක් වටා එක්රොක් වී උන්නාය. එහි මුලසුන අරගෙන කතාකරේ සීනියර් බැච් එකේ අයියා කෙනෙක් වෙච්ච කලිඳු ය. 

“ඉවෙන්ට් එකට යන හැමෝම අද දවල් දෙකට මෙතනින් පිටවෙලා යනවා. රෙඩි වෙලා එන්න. ගෙවල්වල යන අය පොඩ්ඩක් ලෙක්චර්ස් ටික ශේප් කරගෙන  ඒ වෙලාවටම ගියාම ඇති නේද ගිහිල්ලා රෙඩි වෙලා එන්න. අඳින්න හොඳ ඇඳුමක් තියෙනවා නේද? දන්නවනෙ මොන වගේ ඉවෙන්ට් එකක්ද කියලා. ටීවී එකේ දැකලා ඇති නෙ. මෙදා පාර කොක්ටේල් ටේබල්ස් දාලලු තියෙන්නෙ. අපිට තියෙන්නෙ ෆින්ගර් ෆුඩ් ඇන්ඩ් ඩ්‍රින්ක්ස් සර්ව් කරන්න. බුෆේ එකකුත් තියෙනවා. තාම අපිට යුනිෆෝම් මුකුත් නැති නිසා අපි හිතුවෙ බෝයිස්ලට බ්ලැක් ට්‍රව්සර් එකයි බ්ලැක් ශර්ට් එකයි අඳින්න. කෙල්ලො කතාකරගන්න ඔයාල මොනවද අඳින්නෙ කියලා” කියව්වෙත් කලිඳුය.

“ගෑණු ළමයින් නම් කලිසම් ගහන් එන්න එපා. ගොඩේ වගේනෙ. ඒ නිසා ඔයාලා ගාව බ්ලැක් ශෝට් ඩ්‍රස් එකක් වගේ තියෙනම් ඒක ඇඳල බ්ලැක් හීල්ස් දාන්න” කියා කිව්වේ සීනියර් බැච් එකේ තීක්ෂණාය. 

තීක්ෂණා ඔහොම කිව්වට ඔය කියන තාලෙට අඳින්න ඉතින් කියන පරක්කුවෙන් හැමෝටම බැරි බව හිතුනත් කට ඇර එහෙම දෙයක් කියන්න පුලුවන්කමක් ශාර්වරීට තිබ්බෙ නැත. නංගී ලඟ තමන්ට වඩා ඇඳුම් පැලඳුම් තියෙන හන්දා කලු පාට ගවුමක් හොයාගන්න එක අමාරු නොවෙන බව දන්න හන්දා හිතට බයක් තිබ්බෙ නැති එක ඇත්ත කතාවක් වුණත් “එන්නම් කියල චෙෆ්ට කිව්වෙ අපරාදෙ කියලත් හිතෙනව වෙලාවකට” කියා තේ එකක් බොන්න කැන්ටිමේ මේසෙකට වාඩිවෙච්ච අතරවාරයේ ශාර්වරී කිව්වේ එක මේසයේ කමින් උන්නු කලිඳු දිහාවට හැරීය. අන්තිම ප්ලේන් ටී උගුරත් කෝප්පෙ උස්සා කටට දාගන්න ගමන් කලිඳු නිකන් මහ අමුතුම තාලෙට ශාර්වරී දිහා බැලුවේය.

“ඇයි මොකෝ සීන් එක? අපරාදෙනෙ බං කීයක් හරි හම්බෙනවනෙ” කියා කලිඳු අහද්දී “ නෑ එහෙම නෙවෙයි, මට නිකන් පොඩ්ඩක් අවුල් වගේ. නංගිගෙ කලු පාට ගවුමක් තියෙනව. සෙරෙප්පුත් තියෙනවා. ඒ උනාට දන්නවනෙ හොඳට ඇඳන් ආවෙ නැත්තම් තීක්ෂණාක්කා මොනවා  කියාවිද කියල ශුවර් නෑනෙ. ” කියා කියන්න හිතුණත් නිකන් ඕන්නැති ප්‍රශ්න, කතන්දර මොකට ඇඟට දාගන්නවද කියා හිතිච්ච හන්දාම ශාර්වරී හීන් හිනාවක් එක්ක කලිඳු දිහා බැලුවාය.

“නෑ අප්පා මට සෙට් වෙන්නෙ නෑනෙ ඔය සෙනග ඉන්න තැන්වලට යන එක. මට එපාම කරපු දේ තමයි මිනිස්සු ගොඩක් මැද්දෑවෙ ගිහින් ඉන්න එක. මට මාර අපහසුයි ඒක”

“මේ ෆීල්ඩ් එකේ ඉතින් එහෙම මේ හැංගිලා ඉඳන් රස්සාව කරන්න බැ කියලා ඔයා දන්නවා නේ? සෙනග ඉන්න නැත්වලට යන්න අකමැති නම් ඉතින් මොකටද මෙහෙම කෝස් එකක් කරන්න ගත්තෙ” කියා කලිඳු කිව්ව කතාවට උත්තර දෙන්න එක්කහු වුණේ තීක්ෂණාය. තීක්ෂණා කියන නම පොශ් මදි හන්දා තික්ෂණා මොකක් හෝ විදියකින් “තීකා” කෙනෙකු වෙලා තිබ්බාය.  තීකා කොහොමත් හිතන් උන්නේ කොණ්ඩෙ ලේයර්ස් කර, දණහිසෙනුත් අඟල් තුන හතරක් උඩට කොටට ඇන්දාම ඕනම කෙල්ලෙක්ට පොශ් පෙනුමක් ගන්න පුලුවන් බවය. සිංහල නිකන් බැරි තාලෙට ඉංගිසිරි වචනයක් දෙකක් දමා කතා කරන අපූරු තාලයක් තීකා අඳුරගෙන තිබ්බ හන්දා කොහොමත් තීකා උන්නේ පොඩ්ඩක් විතර එච් එන් ඩී එක අස්සේ කට්ටියගේ හිනාවට ලක්වෙමිනි.

ඒ කතා ඔක්කොම අස්සේ, අනිත් අය ප්ලේන් ටී බොද්දි කැම්පස් එකේ කැන්ටින් එකෙන් නිව්ඩේල් කිරි පැකට් එකක් අරගෙන ඇවිත් අතැඟිලි වලින් අමුතුම තාලෙකට කිරි පැකට් එකේ තිබ්ච්ච ස්ට්‍රෝ එකේ ඉටි කොල ආවරණය ගලවන ගමන් ය. ඒ ඇඟිලි අග්ගිස්ස තීකා ලඟඳි ඉඳන් ගාන්න පටන් ගත්ත මොකක් හරි බ්ලීචින් ක්‍රීම් එකකට පින්සිද්ද වෙන්න යාන්තමට කලු වේගෙන එන බව දැක්කත් ශාර්වරී ඒකට මුකුත් කියන්න ගියේ “කලුවෙන්නෙ ඉතින් මගෙ ඇඟිලිය” කියලා හිතපු හන්දාය.

“ මම මේ අවුරුදු විසි පහක් තිස්සෙ මගේ ඇඟ අස්සෙ ගොඩ ගහගෙන උන්නු බයයි, ලැජ්ජාවයි, කන්ෆිඩන්ස් නැති එකයි යවන්න නම් මොන කෝස් එක කරත් බැරිවෙයි අනේ. මං ඒකයි අරහෙම කිව්වෙ. නෑ ඒ උනාට බය මග ඇරෙන්නත් එක්කත් යන එක හොඳයි” කියා ඉතුරු තේ මණ්ඩි ටික හලා, තේ කෝප්පෙ හෝදන්න යන ගමන් ශාර්වරී එහෙම කිව්වාය.

තමන්ගේ බැච් එකේ මධුරංගත් අද මේ වැඩේට යන්න එන හන්දා ශාර්වරීගෙ හිතට මද අස්වැසිල්ලක් තිබුනා කියා කියන්නම ඕනය. මධුරංග කොහොමත් හිත හොඳ ඩයල් එක හන්දා මේ ඉවෙන්ට් එකේදි මධුරංග ලඟින්ම ඉන්න එක තමන්ට හොඳ බව ශාර්වරී හිතුවාය. “මධුරංග මං හවසට ඔයා එක්කම වැඩ කරන්න එන්නම් හොඳේ” කියා ශාර්වරී කලින්ම මධුරංග ලඟට ගිහින් කිව්වේ ආන් ඒ හන්දාය.

ශාර්වරී ගෙදර යන අතරවාරයේත් කල්පනා කරන්නේ දැන් ඇඳගෙන යන්නේ මොකද්ද කියාය. හොඳ වෙලාවට නංගි ගෙදර ඉන්න හන්දා නංගිගෙ උදව්වෙන් මොකක් හරි මේකප් ටිකක් දාගන්න පුලුවන් බව දන්න එක සන්තෝසෙකි. ඒ උනාට ඉතින් මොන මේකප් එක දැම්මත් හරිහමන් ඇඳුමක් ඇඳගෙන ගියේ නැත්තම් ඔක්කොම හබක් බව ආයෙ අමුතුවෙන් කියන්න උවමනා නැත.

ගෙදර ගිහින් ඔය විස්තරේ කිව්වට පස්සේ නංගි වෙච්ච අයේශ්වරී ඇහුවේ “සාරියක් ඇඳන් යන්න බැරිද?” කියා  තියෙන ඔක්කොම ඇඳුම් කෑලි ක ඇඳ උඩට දමා දෙන්නම ඉණට අත තබාගෙන කල්පනා කරමින් ඉන්න අතරේය.

“සාරියක් ඇඳන් යන්න මං මාලිනී ෆොන්සේකද?” කියා ශාර්වරී ඇහුවේ වෙන කරන්න දෙයක් නැති හන්දාය.

“මේ ඇඳුම හොඳයි ද? මේක තමා අර පොඩ්ඩක් හොඳ කලු පාට එහෙකට තියෙන්නෙ. අක්කා ඕක කලින් කිව්වනම් මට යාලුවෙක්ගෙන් හරි එකක් ඉල්ලගන්න තිබ්බා. මේක අර අපේ ඉස්කෝලේ බැච් එකේ ගෙට් එකට ඇන්ද එකනෙ. කඩේ නෝන අම්මට දීල තිබ්බෙ”

“නෑ අප්පා, මේක හොඳයි. මම යන්නෙ අනික මේ ස්ටේජ් නැගලා කරන එහෙකට නෙවිනෙ. රෑ හින්දා කාටවත් එහෙම ලොකුවට නෝට් වෙන එකකුත් නෑ”:

“දැන් ඔය ඉවෙන්ට් එකේදි ඔයාල මොකද්ද කරන්නෙ ගිහිල්ලා?”

“අද ඒකෙ කොක්ටේල් ටේබල්ස් දාන්නෙ. ඔයා දැකල ඇතිනෙ අර උස හීනි මේස. කට්ටිය ඒ වටේ ඉඳගෙන හිටගෙනනෙ කන්නෙ බොන්නෙ. අපිට අද තියෙන්නෙ ඒ එන ගෙස්ට්ලට සර්ව් කරන්න ඔය ෆින්ගර් ෆුඩ්ස් අරවා මේවා”

“ඕක අද ශූට් කරලා පස්සෙ නේ පෙන්නන්නෙ? ඔයාලවත් පෙන්නාවිද අක්කෙ? හෙන නලු නිලියො එනව නේද ඕකට? අඩේ අක්කෙ හේමාල් ආවොත් නම්බරේ ඉල්ල ගන්න බැරිවෙයිද?” කියා නංගි අහන්නෙ මෙච්චර මේ ඔලුව ගිනි අරන් තියෙන වෙලාවේ ඒක නිකන් මතක නැති කාලෙටය.

“මේ මං යන්නෙ මේ හේමාල්ගෙන්වත් කාගෙන්වත් නම්බර් ඉල්ලගන්න නෙවෙයි. හරි අනික දැන් හේමාල්ගෙ නම්බරේ ලැබුණ කියල කතා කරලා ,මොනවද අහන්නෙ ඔයා එයාගෙන්? කැම්පසුත් යන්න ඉන්න එකේ මොකෝ හේමාල්ව සෙට් කරගන්න කියලද ඊට කලින්?”

“සෙට් කරගන්න එක නෙවෙයිනෙ වෙන්න ඕන. මං මුකුත් අහන්නෙ නෑ. මං එයාට දෙයක් කියන්න තමයි ඉන්නෙ”

“මොකද්ද?”

“දැන් මිනිහට අපි හැමෝම හෙන ක්‍රශ්නෙ. ඒක හන්දා සකල සතට බොදු බැතියෙන් කියලා, එක්කො සදා තනිකඩව ඉන්න එහෙම නැත්තම් මැරෙන්න කියලා තමයි මං කියන්න ඉන්නෙ. ඒ ඔප්ශන් දෙක ගන්නවා නම් හා. වෙන නම් ඔප්ශන් එකක් ගන්න එපා කියලා කියන්න ඕන හේමාල්ට”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here