මල් බිඟුන් – 15

ආයු උදයෙහි කිසිදු අසනීපයක් පෙන්වූයේ නැත. හොඳින් දුව පැන සෙල්ලම් කළේ ය. පෙර දා රාත්‍රියේ ඔහු රැහැයියෙකු සේ මොර දෙමින් හැඬුවේ ඇයි ද කියා සලකුණක්වත් සොයාගත හැකි නො විණ.

“අසනීපයක්ද කියල මං ලොකු පුතාට කිව්ව ඩොක්ට ළඟටවත් අරං යමු කියල. අනේ මාගි ආපු නිසා නැලවුණා. නැත්තං අපි කිරි සප්පයට බෙහෙත් ගිල්ලෝනවනෙ”

මිදුලේ රෙදි වැලෙහි රෙදි වේලෙන්නට දමමින් මණී කම්මුලෙහි අතක් තියාගත්තා ය. අමාගී ආයු ව ගුලියක් සේ තද කොට මිරිකා සිපගත්තා ය.

“මේ අපේ සුදු බෝලෙ බොරුවට අපිව බය කරනව”

දරුවා කිති ගැන්වී හඬ නගමින් සිනහ වූයේ ය.

“ආයි කාන්න”

කියමින් ඔහු ඒ නැවත කිහිප වරක් ම මාගි ලවා කරවා ගනිමින් සිනහ වූයේ ය.

“ආ දැං බබා බූම් එකෙන් සෙල්ලං කරන්න”

කියමින් අමාගී ඔහු බිමින් තැබුවා ය.

“අම්මව හීනෙං දැක්කද දන්නෙත් නෑනෙ මණී ආන්ටි. මොකද එයා දැක්කෙ හීනයක් කියලවත් ආයු දන්න එකක්යැ”

“මට හිතාගන්න බෑ පුතේ අම්ම නැති සාංකාව මේ දරුවට කොහොම බලපායිද කියල”

“මමත් ලොකයියට කිව්ව නිධීට එන්න දෙන්න ආයු වෙනුවෙන් කියල. මං බයේ කිව්වෙ මටත් බැනල එලෝගනී කියල. එහෙමනං කළේ නෑ එයා කලබල නොවී කතාකළා. ඒත් ඒක වෙන එකක් නෑ මණී ආන්ටි. එක අතකට ලොකයිය කියන දේත් ඇත්තක් නැතුව නෙවෙයි. නිධී කියන්නෙ අම්ම කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් කරපු කෙනෙක් නෙවෙයිනෙ”

“හ්ම්. ඒත්… අනේ මන්දා දරුවො. අපේ පුතණ්ඩියල තුන්දෙනා මට දොස් කියනව පොඩි එකාව නලෝගන්න මාගිට කතාකරනව කියල. දරුව මාත් එක්ක නැලවෙන්නැති නිසයි පුතේ මං…”

“අනේ මේ විකාරද මණී ආන්ටි. ආයුව සතුටෙන් තියන්න පුළුවන් ඕන දෙයක් මං කරනව. ඒ මට ආයුගෙන් මගෙම ඔය වයස පේන නිසා. සමහර විට මං දුක හිතන්නෙ ආයු ගැන නෙවෙයි මං ගැන වෙන්නැති. මං ආයුව නලවනව නෙවෙයි මාවම නලවගන්නව සනසගන්නව වෙන්නැති. ඔය පණ්ඩිතයො තුන්දෙනාට පාඩුවෙ වැඩක් බලාගන්න කියන්න”

නමුත් මහානාම පවුලේ බාල පුතුන් තිදෙනා පමණකුදු නොව මල්වත්තගේ පවුලේ වැඩිමල් දූවරුන් දෙදෙනා තුළ ද අමාගී ආයු ට ලං වීම පිළිබඳ ගැස්මක් ඇති වී තිබිණ.

“සුදූ ඔය ආයු බබාට ඕනවට වැඩිය ලං වෙන්න එපා ඕයි”

කියා උදේ තේ බොන ගමන් සාන්වී කීවේ පෙර දා රාත්‍රියේ පටන් හිතේ කැකෑරෙමින් පැවති කහටක් පිළිබඳ කතාවකි. එක මොහොතකට දැඩි නිශ්ශබ්ධතාවයක් ඇති විය. අමාගී තේ උගුර ගිලගත් හඬ පවා පිටතට ඇසිණි.

“ඇයි අනේ පොඩී එහෙම කියන්නෙ… ඔයා ඊයෙ රෑත් මට බැන්න ආයු අඬන්නෙ ඇයි කියල බලන්න යන්න හදනකොට…”

අමාගේ ගේ ස්වරයෙහි රිදුමක් වූයේ ය. අශ්විනී තේ උගුරක් බොමින් රයිස් කුකරය විවර කොට බත කූරුගෑවා ය.

“බණිනව නෙවේ සුදූ… ඒ වුණාට අපි කාට වුණත් ඇබ්බැහි වෙන්න ඕන නෑ කියලයි මන්නං හිතන්නෙ. ඒ ළමයට ඔයා විතරක් නෙවෙයි ඔහොම යනකොට ආයු ට ඔයත් ඇබ්බැහි වෙයි. එකම මනුස්යෙක්ට හරි කීප දෙනෙක්ට හරි ඕනවට වැඩිය බැඳෙන එක ලොකු කරදරයක් සුදූ. හැම මනුස්සයෙක් එක්කම ගාණකට ඉන්න එක හරි පහසුයි. මොකද අපි කාටහරි ඕනවට වඩා බැඳුනහම ඒ අය හිතනව අපිට එයාලව නැතුව බෑ කියල. අපි ඒ අය වෙනුවෙන් ගොඩක් දේවල් කරන්නෙ… කැප වෙන්නෙ ඇත්තටම හිතට දැනෙන ආදරණීය හැඟීමක් නිසා වෙන්න පුළුවන්. හැබැයි ඒක ඒගොල්ලො වැරදියට තේරුං අරගෙන ඒකම ආයුදේ කරගෙන අපිට ගහන්නත් පුළුවන්. මං මේ කියන්නෙ අත්දැකීමෙන්. එහෙම මිනිස්සු නිසා අන්තිමට ඉතුරු වෙන්නෙ දුකයි කලකිරීමයි. එහෙම නොවෙන්නනං හොඳම දේ කාටවත් ඕනවට වැඩිය දේවල් කරන්‍න යන්නැතුව පාඩුවෙ ඉන්න එක. මං කියන්නෙ ඔය මණී ආන්ටිලට වුණත්… අපි දන්නෑනෙ ඒගොල්ලොන්ගෙ හිතේ මොනා තියනවද ඔයා කරන උදව් ගැන කොහොම හිතනවද කියල”

“අනේ පොඩී… මණී ආන්ටි ගැන අපි දන්නෙ අද ඊයෙක ඉඳන්ද…”

“අපි හිතුවට අපි මිනිස්සුන්ව ගොඩාක් හොඳට දන්නව සෑහෙන කාලෙක ඉඳන් දන්නව කියල… එහෙම නෑ සුදූ… අවස්ථාව ලැබුණ ගමන් මිනිස්සු වෙනස් වෙනව. ඒ මොහොත වෙනකල් අපෙන් ප්‍රයෝජන ගනිමින් ළඟට වෙලා ඉන්නව”

“අනික මං මණී ආන්ටිල වෙනුවෙන් මුකුත් කරනව නෙවෙයි. අර සුවඳ ගුලිය මා කියල බෙල්ල බදාගන්නකොට… ඒක කියන්න තේරෙන්නැති ෆීලින් එකක් පොඩී”

“ඒකම තමයි මාත් කියන්නෙ. ආයු බබා ගැන අපිටත් දුකයි. ඒත් එයාට වුණත් ඔයා ඕනවට වඩා බැඳෙන්න යන්නෙපා”

“ආයුගෙන් මට පේන්නෙ මාවමයි පොඩී. මටත් ඒ කාලෙ කොච්චර අම්මව ඕන වෙන්න ඇද්ද… අපේ අම්මට කවදාවත් ආයෙ අපිව බලන්න ඕන වුණේ නැද්ද ලොකූ… එයා එක සැරයක්වත් ආවෙ නැද්ද… අම්මල නැති ළමයි කොච්චර පව්ද ලොකූ… අපිටත් අම්ම කෙනෙක් වගේ ඔයා හිටියෙ නැත්තං…”

තව දුරටත් කතා කරගන්නට අමාගී සමත් නොවූවා ය. ඇගේ උගුර හිර වී හඬ බිඳිණි. අශ්විනී අත් පිස්නාවකින් අතේ තෙත පිසදමා වහා විත් අමාගී ගේ හිස ඇගේ ළයෙහි හොවාගත්තා ය. අමාගී අක්කා ගේ බඳ වටා දෑත ම යවා ඈ ව තුරුලු කරගත්තා ය.

“මොන දේ වුණත් අපිට අපි ඉන්නව සුදූ… ඕනවට වැඩිය ඕව ගැන හිතන්නැතුව ඉන්න”

අශිවිනී ට කවදත් පිහිටා තිබුණේ මව්වත් ගතිගුණ ය. ගෙදර කිසිවෙකු හඬනවාට හෝ සොවින් සිටිනවාට ඇය කැමති නැත. හැම කෙනෙකු ගේ ම කරදර, වේදනා, අසීරුතා හා වෙහෙස තමන් නමින් පවරාගෙන අනිත් අය ඒ බරෙන් නිදහස් කිරීම වෙනුවෙන් ඇය හැම මොහොතක සියල්ල කළා ය. සන්දේශ් ගෙදරින් දුරස්ව පිටස්තර තැනක නැවතීම තුළ වුව ඔහු වෙනුවෙන් සියල්ල කරන්නට ඇය ප්‍රයත්න දැරුවා ය. කළ වරදට ඔහු දඬුවම් විඳිත යුතු බව ඇය ද පිළිගත් නිසා සන්දේශ් ට මඳක් දුක් විඳින්නට හැරි බව ඇත්ත ය. උදේ හා දිවා ආහාර පිටතින් කන්නටත්, රෙදි පෙරෙදි තනිව සෝදා ගන්නටත් සිදු වීම සැබවින් ඔහු ට දඬුවමක් වූයේ ය. නමුත් දවසකට එක වේලක්වත් ගෙදර පිසූ බත් වේලක් ඔහු ට කන්න නොදී ඉන්නට ඇයට හැකි වූයේ නැත. එබැවින් හැම හවසක ම රාත්‍රියට උයනා යමක් ඔතාගෙන ඈ මල්ලි බලන්නට ගියා ය. ඔහු ගේ සිරුර දවසට දෙකට වැහැරී යයි කියමින් දුක් වූවා ය. ඔහු තනිව සෝදා ගන්නා ඇඳුම් වල කිසිදු කලඑළියක් නැතැයි සිතින් කම්පා වූවා ය. සමහර හවසක ඔහු ගේ කිළිටි ඇඳුම් ටික මල්ලක ඔබාගෙන ගෙදර ගෙනැවිත් සෝදා නවා ගෙන ගියා ය.

ආර්ය දවස පුරා සිතුවේ ආයු සම්බන්ධ ගැටළුව විසඳා ගන්නේ කෙසේ ද කියායි. අමාගී වෙතින් උදව් ඉල්ලා සිටීම ගැන සහෝදරයන් ගේ එතරම් මනාපයක් නැති එක ඔහු ගේ හිතට වදයකි. ඇගෙන් දිගට ම උදව් බලාපොරොත්තු වීම ද නො කළ හැක්කකි. ආයු බලා ගැනීම වෙනුවෙන් කාන්තාවක සපයා ගන්නට ඔහු ඒජන්තවරයෙකු වෙත කතා කළේ ය. ඉන් සහනදායී විසඳුමක් ලැබුණ අතර පසු දා උදයේ තරුණ කාන්තාවක මහානාම නිවස ඉදිරියෙහි පෙනී සිටියා ය. ශාක්‍ය, පූජන හා රුසිරු උනුන් දෙස බලමින් ඉඟි මැරුවේ ඇගේ බාහිර ස්වභාවය නිසාවෙනි. දරුවෙකු බලා ගන්නට නොව පුද්ගලික ආයතනයක පිළිගැනීමේ නිලධාරිනියක ලෙස පත්වීම් ලබන්නට සුදුසු ලෙස ඇය සැරසී සිටියා ය.

“මොකද්ද නම කිව්වෙ…”

ආර්ය එසේ විමසත්දී මල්ලිලා තිදෙනා වෙත වූයේ පුදුම නො ඉවසිල්ලකි.

“මං මේනකා”

ඇය බටහිර ඌරුවකට වචන ඉසිරවීමේ උත්සාහයක් ගත්තා ය.

“ඕකේ. මේධා කලින් බබාල බලාගෙන එක්ස්පීරියන්ස් එකක් තියනවද…”

“නෑ සර්. ඇත්තටම එක්ස්පීරියන්ස් ගන්න තමයි මං මේ ආවෙ”

අයිය මලෝ මුහුණෙන් මුහුණ බලාගත්හ.

“ඒ කිව්වෙ…”

“බේබි සිටින් වලට මං රට යන්නයි ට්‍රයි කරන්නෙ සර්. ඊට කලින් පොඩ්ඩක් මට ට්‍රේන් වෙන්න ඕනෙ. මං මොනාද කරන්න ඕනෙ කියල කියන්න… ඒ විදිහටම මං කරන්නං සර්”

“හරි. කරන්න තියෙන්නෙනං බබාව පරිස්සමට බලාගන්න එක තමයි. ඒ කියන්නෙ බබා දැං ටිකක් එහෙ මෙහෙ දණගාගෙන යනවයි… ටික ටික ඇවිදිනවයි. එතකොට ඉතිං වැටෙනව එහෙමත් වැඩිනෙ. පරිස්සමට බලාගන්න ඕනෙ. ඊළඟට බබාට කවන පොවන ඒව තියෙනව ඒවනං අපේ අම්ම කියයි කොහොමද වෙන්න ඕනෙ කියල. මේනකාට තියෙන්නෙ අම්ම කියන විදිහට බබාගෙ වැඩ ටික කරන්න. උදේ අට වෙනකොට ඇවිත් හවස පහට යන්න පුළුවන්”

ඇය ඒ කොන්දේසි වලට එකඟ වී ආයු බලා ගැනීමේ වගකීම භාර ගත්තා ය. නමුත් ආයුව මේනකා ගේ අතට දෙන එක පහසු වූයේ නැත. ඔහු බිය වී වාගේ ඇගේ ආලේපන ගැල්වූ මුහුණ දෙස බලමින් ඉවතට හැරුණේ ය.

“එයාට බැරිද දන්නෑ මාව බලාගන්න”

පූජන පහළ ස්වරයකින් විහිළුවක් කළේ ය.

“අපේ අලි ඔළුවාට මෙහෙම දෙයක් කරන්න මොළේ පෑදිච්ච එකනං ලොකු දෙයක්. කොහොමත් අම්මට තනියම ආයුව බලාගන්න අමාරුයි ගෙදර වැඩත් කරන ගමන්”

ශාක්‍ය ද අයියා ගේ තීරණය ට ප්‍රශංසා කළේ ය. කෙසේ වෙතත් රැකියාවට නික්ම යාමට පෙර ආයුව මේනකා අතට පත් කරන්නට ආර්ය දැරූ උත්සාහය නිෂ්ඵල විය.

“මේනකා හෙමීට බබා එක්ක යාළු වෙන්නකො”

ආර්ය නික්මෙත්දී ආයු හඬන එක වලකනු වස් දරුවා ඇය වෙත ගන්නට මහානාම නිවසට පැමිණි අමාගී ට මේ සිදුවීම හිත් වේදනාවක් ගෙනාවේ ය.

“අමාගිටත් කරදරේනෙ ආයු නිසා”

ආර්ය ඇය වෙතට නිදහසට කාරණයක් ඉදිරිපත් කළේ අසරණ දෑසකිනි. සිනහවකින් දෙතොල් තද කරගත්තා මිස ඇය කිසිත් නොකීවා ය. ආයු ඈ අතට පැනගත්තේ ය. ඔහු සිප මොහොතකින් මණී අතට දුන් අමාගී නිහඬව නික්ම ගියා ය. ආයු “මා” කියමින් හඬතැළුවේ ය.

“ඒකට කමක්නෑ මාගි මගෑරල ඉන්න එක හොඳයි ආයු මේනකාට හුරු වෙනකල්”

පූජන දරුවන් පස් හය දෙනෙකු තැනූ පියෙකු සේ කීවේ ය.

 බොරු සිනහවකින් දෙතොල් සරසාගෙන නික්මුණාට අමාගි ගේ හිත දරුණුවට රිදෙමින් තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles