මල් බිඟුන් – 16

අමාගී සහස්‍යා මල්වත්තගේ එදා උදයේ පටන් එක දිගට වැඩ කළා ය. ගේ අස් කොට අතුගා මොප් කළා ය. මිදුලේ තණකොළ වැඩි තැන් කපා, මල් පඳුරු කතුරෙන් කප්පාදු කළා ය. කොස්පෝස්ට් බඳුනේ එක්රැස්වී තිබූ පොහොර ඉවතට ගෙන වේලෙන්නට දැමුවා ය. මල් ගස් වල වියළි හා ඉදුණු කොළ මල් කපා සමහර මල් බඳුන් වලට පොහොර පස් එක් කළා ය.

පූජන එදා රැකියාවෙන් නිවාඩුවක් ගෙන සිටියේ ය. ඔහු කිහිප වරක් ම අමාගී සමග කතා කරන්නට පැමිණිය ද ඇය ඊට උනන්දුවක් නො පෙන්වා දිගට ම වැඩ කළා ය.

“ඔන්න දැන් ඔයාට අනුංගෙ ළමයි බලාගන්න වදවෙන්න ඕන නෑ. බැඳල තමංගෙම ළමයෙක් හදාගන්නයි තියෙන්නෙ”

ඔහු සේපාලිකා ගස යට බංකුවෙහි හිඳ අඩ සිනහවකින් කීවේ ය. අමාගී එක් දැඩි බැල්මක් හෙළුවා ය. ඊළඟට යළිත් පිච්ච වැල කප්පාදු කරගෙන ගියා ය.

“මොකද මේ අද ආච්චි වැහිල වගේ වැඩ කරන්නෙ… මනමාලයෙක්වත් එනවද මෙයාව බලන්න…”

අමාගී හ්ම් කීවේවත් නැත. පූජන ට දොස් කියන්නට හේතුවක් ඇයට නැත. නමුත් ඈ ආයු ව බලා ගැනීම ගැන ප්‍රශ්නයක් මහානාම සහෝදරයන් තිදෙනාට ම වූ බව අමාගී දනී. මණී ම ඒ බව ඇයට කියා තිබේ. ආර්ය බබා බලාගන්නට මේනකා කෙනෙකු ගේ සහාය පතන්නට ඇත්තේ ඒක ය. අමාගී ට පූජන ගැන දැනෙනා මේ කේන්තියට හේතුව එය යි.

“දැං අපේ ගෙදර ලස්සන කෑල්ලක් ඉන්නව හරිද… ඔයාට ඊරිසියා හිතෙයි”

පූජන තවදුරටත් කළේ විහිළුවකි. ඔහු ට ඕනෑ අමාගී ගේ හිත නිවැරදිව තේරුම් ගන්නටයි. ඈ කෙරෙහි සිය මනාපය, විවිධ අවස්ථා වල විවිධාකාරයෙන් ඔහු ව්‍යංග ලෙස හඟවා තිබේ. එය නොතේරෙන්නට තරම් අමාගී කුඩා දැරියක නොවේ. නමුත් ඉඟියකිනුදු ඇගෙන් අනුබලයක් ලැබී නැත. කෙලින් ම ඇය වෙත ප්‍රේමාරාධනයක් ගෙන එන්නට ඔහු තවමත් පසුබානුයේ ඇගේ අදහස පැහැදිලි නැති නිසා ප්‍රතික්ශේප වෙතැයි බියෙනි. එසේ වුවහොත් ඔවුන් ගේ වයස් තරමට ම පැරණි මේ ආශ්‍රය ඇය විසින් නවතා දමනු ඇතැයි බියෙනි.

අමාගී සැබවින් ම මහානාම පුතුන් ව නො දැන සිටියා නොවේ. බාල අයියලා මල්ලිලා තුන් දෙනා අතරේ, ඇය බෙදා ගන්නට කුඩා කල පටන් ම තරගයක් විය. නමුත් ඇය ඒ තිදෙනාගෙන් කිසිවෙකුටවත් වෙනසක් නො කරන්නට වගබලා ගත්තා ය. කිසිවෙකුටවත් විශේෂයක් ද නො කළා ය. යොවුන් වියට එළඹෙත්දී ඔවුන් ගේ පෙම් සිත් ගැන දැනුණ ද නො දැනුණා සේ ම හිටියා ය. අනුබල දීමෙන් වැළකී සිටියා ය. රුසිරු ව නම් ‘මල්ලී’ කෙනෙකු ලෙස මෙල්ල කරගත හැකි විය. අනිත් දෙදෙනා ද ඇයට සහෝදරයන් පමණක් ය. ඈ බිය වූයේ කොයි මොහොතක හෝ ඒ විනාශකාරී ප්‍රේමාරාධනයක් ලැබෙනු ඇත යන්න ගැනයි. එවක් පටන් මේ සහෝදරකම් සේ ම හිතවත් කම් ද නිමා වීමට ඉඩ තිබේ.

වෙහෙස වී වැඩ කොට දිය නාගැනීමෙන් පස්සේ, අමාගී ව සොයාගෙන මණී ආවා ය.

“කොස් මැල්ලුමක් හැදුව. ඔය දෙන්නටත් ටිකක් ගෙනාව”

කියමින් එය අශ්විනී අතට දී මණී අමාගී දෙස හොඳින් බැලුවා ය.

“මං මේ අහන්නමයි ආවෙ… මාගි අද ඒ පැත්තට ආවෙවත් නැත්තෙ ඇයි කියල. ආයු බලාගන්න කෙනෙක් ආපු එක ගැන මාගි හිත රිදෝගත්තද කියල මට ඒත් හිතුණ”

“අනේ නෑ මණී ආන්ටි. මං ආවොත් ආයු මගේ ඇඟේ එල්ලෙන්න බලයි. එයා අර බලාගන්න එක්කෙනාට හුරු වෙනකල් වැඩිය ඒ පැත්තට යන්න හොඳ නෑ කියලයි මං හිතුවෙ”

ඇය වෙනසක් නැති මඳහසකින් කීවා ය. මණී අමාගි ගේ හිස පිරිමැද්දා ය.

“මං බයවුණා මාගි ඒක වැරදියට හිතුවවත්ද කියල. අපේ ළමයි මට බණිනව පොඩිඑකා බලාගන්න මාගිගෙන් උදව් ඉල්ලනව කියල. ළමයි බලන්න ඒ ළමය ආයම්මෙක්ද අරව මේව කියනව ආශ් පුතා. අනේ මේ දවස් ටිකේ ආයු බලාගන්න උදව් කරල මාගි මට ලොකු උදව්වක් කළේ”

“ආයු බලාගන්න කාවහරි ගත්ත එකනං හොඳයි මණී ආන්ටි. අපේ සුදූට වුණත් කොයි වෙලේ හරි ජොබ් එකක් ලැබුණාම යන්න වෙනවනෙ. එතකොට ආයු මෙයාට ලං වෙලා හිටියොත් ඒකත් ආයෙ ප්‍රශ්නයක් වෙන්නෙ ඒ පොඩි එකාටමයි”

අශ්විනී ඒ කතාබහ අතරට අඩුම කුඩුම සැපයූවා ය. කොයි දේත් වෙන්නේ සිදු විය යුතු පරිදි ය. අශ්විනී මුල සිට ම සිතුවේ මහානාම පිරිමි ළමයෙකු සමග අමාගී සබඳකමක් ඇති කරගනු ඇත කියා ය. ඒ ඇය ඒ ගෙදරටත් ඒ ළමයින්ටත් බෙහෙවින් සමීප බැවිනි. නමුත් එවැන්නක් සිදු නොවනු ඇති බව කාලයත් සමග ඇය තහවුරු කරගත්තා ය. අමාගී නිතර පවසන්නේ විවාහ නොවන බවයි. නමුත් අලුත් රැකියා පරිසරයකදී අලුත් සමාජ ආශ්‍රයක් ලැබෙත්දී ඇගේ හිත බලාපොරොත්තු වෙන විදිහේ සහකරුවෙකු ලැබෙනු ඇති බව අශ්විනී ට විශ්වාස ය.

ආයු හඬනු වරින් වර ඇසිණ. නමුත් අමාගී හිත තද කරගෙන එහි නොයා සිටියා ය. සැබවින් ම දරුවා බලා ගැනීම වෙනුවෙන් ගෙන්වාගත් තැනැත්තියට ඊට අවස්ථාව සලසා දිය යුතු වේ. වරින් වර අමාගී එහි පෙනී සිටීම ඇයට දරුවා හුරු කරගැනීමේ ලා අයහපත් ලෙස බලපෑ හැක. ඇය හැන්දෑ වරුවෙන් හෝරා කිහිපයක් නිදාගත්තා ය. අවදි වූයේ ශාක්‍ය පැමිණ කතා කරන විටයි.

“චයිනීස් නූඩ්ල්ස් එකක් ගෙනාව. යමු කන්න”

“ඔයාල කන්න පොඩීයිය”

අමාගී මුහුණේ මඳහසක් තියාගන්නට වගබලා ගත්තා ය. නමුත් ඇගේ හිත ඇතුළේ ඉකිබිඳුමක හඬ විය.

“ඒ මොකද ඒ… වෙනදටත් අපි ඔයා එක්කනෙ කන්නෙ”

“ඒ වුණාට… මං ආවහම ආයු ආයෙත් මට හුරු වෙනව. දැං අද දවසම එයා මේනකා එක්ක හිටියනෙ මං පේන්න නැති නිසා. සැරෙන් සැරේට ඒ ළමයගෙ හිත පාරන්න ඕන නෑනෙ”

ශාක්‍ය කල්පනා කරමින් අමාගී සමග ගේට්ටුව තෙක් ම ඇවිද ගියේ ය. ඔහු පූජන වාගේ විහිළුකාරයෙකු නොවේ. නමුත් ආර්ය තරම් නිහඬ පුද්ගලයෙකු ද නොවේ. අමාගී කුඩා කල වැඩිම චමත්කාරයක් වින්දේ ආර්ය ගේ ආඩම්බරකම් බැලීමෙන් වී ද ඇය වඩාත් සෙනෙහස පෑවේ ශාක්‍ය ට ය. ඔහු ඉන්නා තැන ඇයට සුරක්ෂාවක් දැනිණ. සන්දේශ් ගේ ආදරයටත් වැඩිය ශාක්‍ය ගේ ආදරය ඇයට දැනිණ.

“මාගි”

ශාක්‍ය උගුර යටින් කතා කළේ ය. අමාගී තිගැස්සී ගියා ය. ශාක්‍ය මේ හඩ තානයෙන් ඈ අමතනවාට තරම් වෙනත් කිසිවකට ඇය බිය නොවූවා ය.

“පොඩීයිය ගිහින් කන්නකො. මං එන්න බලන්නං”

ඇය උත්සාහ කළේ ඔහු කියන්නට යන දෙය වලකන්නටයි.

“මාගී… ආයුට විතරක් නෙවෙයි අපි හැමෝටම ඔයාව ඕනෙ. ඒත් ඒක ලස්සනට පිළිවෙළකට වෙන්නයි ඕනෙ”

“හරි හරි ඔයා දැං යන්නකො. මං එන්නං. ලොකූ කතා කරනවද කොහෙද”

කියමින් අමාගී පිටුපස හැරී බැලූයේ ඇත්තට ම අශ්විනී කතා කළ නිසාවෙන් නොවේ. ඉක්මනින් ඒ කතාබහ නවතා ශාක්‍ය ව පිටත් කොට හැරිය යුතු යයි ගැහැනු ඉවට දැනුණු නිසා ය. ශාක්‍ය යමක් කියන්නටත් පෙර ම ඇය ගෙතුළට දිව ගියා ය.

මේ එහෙම වුණ මුල් ම වතාව නොවේ. මේ වාගේ ම ශාක්‍ය අමාගී කෙරේ සිය අදහස වාචිකව ප්‍රකාශ කරන්නට ගිය අවස්ථා ගණනාවක දී ම ඈ ඒ නො තේරුණා සේ අවස්ථාව වෙනස් කළා ය.

අමාගී එසේ කරන්නේ හිතා මතා ම ය. ශාක්‍ය ද පූජන ද රුසිරු ද ඈ ගැන ඇල්මක් හිතේ දරාගෙන ඉන්නා බව ඉවෙන් වාගේ දැනුණු මුල් ම අවස්ථාවේ පටන් ඔවුන් සම්බන්ධයෙන් ඈ ප්‍රවේසම් වනුයේ කාරණා කිහිපයක් නිසා ය. ඉන් ප්‍රධාන ම එක ඔවුන් තිදෙනා කෙරේ ම ඈ තුළ එවන් අදහසක් නොවීමයි. දෙවැන්න, ඇයව තුනට කපා ඔවුන් තිදෙනාට දිය නො හැකි වීමයි. තෙවැන්න, වචනයෙන්                     එවැන්නක් කිසිවෙකු ගේ මුවෙන් පිට වුවහොත් අන්න එදිනට මහානාම පවුල ම ඇයට අහිමි වී යනු ඇත යන බියයි. ඇයට ඔවුන් උවමනා ය. ඇගේ ජීවිතයෙන් හරි අඩක් වන්නේ ඒ ගෙදර ය. මේ ගෙදර වාගේ ම ඒ ගෙදර ද ඇගේ අක් මුල් අල්ලා තිබේ. ඇයට කිසිසේත් නො දැනෙන ප්‍රේමය වාගේ සරල කාරණයක් අරබයා ඔවුන් අහිමි කරගත නො හැකි ය.

හැන්දෑවේ ආර්ය ගෙදර එන විට මේනකා නික්ම ගොස් සිටියා ය. මණී ඔහු ට තේ එකක් සාදා දී දවසේ ආයු ගේ දඟ හා හුරතල් වැඩ ලැයිස්තුව කීවා ය.

“මේනකාට මෙල්ල කරගන්න ලේසි නෑ. දවසේ ම ඒ කෙල්ලගෙ ඝෝෂාව. කෑ කෝගහගෙන කොහොමහරි බලාගන්නව හැබැයි”

“මාගි ළඟට යන්න දැඟලුවෙ නැද්‍ද අම්මෙ…”

“මාගි අද පලාතෙ ආවෙ නෑ. මං ඒත් හිතුව කෙල්ල හිත රිදෝගෙනද කියල. ගිහිං ඇහුවාම කිව්ව එයා ආවොත් ආයු මේනකාට හුරු වෙන එකක් නෑනෙ… ඒක නිසා ටික දවසක් පේන්න එන්නැතුව ඉන්නං කියල”

“ලොකු මල්ලිහරි පොඩි මල්ලිහරි මාගි එක්ක සම්බන්දයක් එහෙම තියෙනවද අම්මෙ…”

“අපෝ නෑ. ඇයි ලොකුපුතා එහෙම ඇහුවෙ…”

“නෑ… මාගි පුතාව බලාගන්න එක ගැන ඒ දෙන්න එච්චර කැමති වුන්නැති නිසා මං හිතුව එහෙම දෙයක්ද කියල. ඒකයි ඉක්මනට ඒජන්සි එකකට කතා කරල මේනකාව ගෙන්නගත්තෙත් “

“ආ… එහෙම එකක් නෑ. ඒ කෙල්ල මේ හැමෝටම එක වගේ. ආයුට වුණත් පණ ඇරගෙනනෙ”

රාත්‍රියේ නිදන්නට ගොස් ආයු හැඬුවේ ය. අමාගී ඒ හඬ නෑසෙන සේ කාමරයේ දොර වසාගෙන, ඉයර් බඩ්ස් ගසාගෙන සින්දු ඇසුවා ය. දරුවා නිදි කරවාගන්නට ලොකු යුද්ධයක් කරන්නට ආර්ය ට සිදු විය. කොයි මොහොතක හෝ අමාගී දිව විත් ආයු ඈ වෙත ගනු ඇතැයි ඔහු ගේ පිරිමි හිත බලාපොරොත්තු වූයේ ය. නමුත් ඇය ආවේ නැත. අවසන හෙම්බත් ව සිටි දරුවා නින්දට වැටුණේ ය. ඔහු ව යහනේ සතපවා ආර්ය පහළ මහළට එන විට අමාගී දිවගෙන එහි ආවා ය. ඒ වෙලාවේ මණී රූපවාහිනියේ ටෙලි නාට්‍යයක් නරඹමින් සිටියා ය.

“ආයු නිදිද මණී ආන්ටි…”

“ඔව් පුතේ. දැන් නිදාගත්තෙ”

“නිදි ඇති කියල හිතුන නිසයි මං ආවෙ. මං ටිකක් ආයුව බලල යන්නද මණී ආන්ටි…”

මණී ට කිසිත් කියාගත නො හැකි තරම් වූයේ ය. අමාගී යහන මත හිඳ ආයු ගේ සුදු මුහුණ දෙස බලා සිටියා ය. ඇගේ පපුව පුපුරන්නට එයි. ඇස් කෙවෙනි පුපුරා කඳුලු වේලි පිටාර ගලන්නට හදයි. අද දවසේ ම ඒ සියල් වේදනා ඈ දැඩිව උහුලාගෙන සිටියා ය. මේ පැමිණියේ තවත් එසේ ඉන්නට නො හැකි තැනයි.

“මාගි පුතාව මගෑරල ඉන්න ඕන නෑ.  පුළුවං වෙලාවට ඇවිත් එයා එක්ක ඉන්න. එයා ඔයාට ආදරෙයිනෙ”

කාමරයට පැමිණි ආර්ය වතුර වීදුරුව මේසය මතින් තබමින් හෙමිහිට කීවේ ය. ඇගේ අවසර නොමැතිව ම ගිලිහුණ ඉක්මන් කඳුලක් අමාගී අතැඟිල්ලකින් පොඩි කොට දැමුවා ය.

“ඔයා මේනකාව ගෙනාවෙ ආයු මට ලං වෙනවට කැමති නැති නිසානෙ. මං පොඩි කාලෙත් ඔයා මට වෙනස්කං කළා ලොකයියෙ. නිකමට මගෙ මූණ බැලුවෙ නෑ. ආසාවට මට ළඟට එන්න දුන්නෑ. දැං ඔයාගෙ පුතාට ඉඩදෙන්නෙත් නෑ මට ලං වෙන්න. මං මොන වැරැද්දක් කළාටද ලොකයියෙ ඔහොම මගෙන් පළිගන්නෙ…”

ඒ කියවුණේ කිසි සේත් ඈ කියන්නට බලාපොරොත්තුවෙන් සිටි දෙයක් නොවේ. වහා යහන මතින් නැගිටගත් අමාගී උතුරනා කඳුලු දෑස දිය වී වැගිරෙත්දී පිටමං වෙන්නට අඩියක් තැබුවා ය. ආර්ය ගේ අතකට තදින් ඇගේ අතක මැණික්කටු සන්ධිය හසු විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles