Smart lady අපි අද ඔබට කියන්න සූදානම් වෙන්නෙ හරිම ජනප්‍රිය ඉන්දියානු කෑමක් වන garlic butter naan හදන්නෙ කොහොමද කියලයි.
හරිම පහසුවෙන් අමුද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් භාවිත නොකර හදාගන්න පුළුවන් ගාලික් බටර් නාන්, රාත්‍රී ආහාර වේලකට වගේම ඔබේ නිවසට එන අමුත්තන්ට වුනත් බය නැතුව සංග්‍රහ කරන්න පුළුවන් රසම රස කෑමක් නිසා අනිවාර්යෙන් මේ විදිහට ගාලික් බටර් නාන් හදල බලන්න කියල අපි ඔබට කියන්න කැමතියි.
එහෙනම් මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය කරගමු.
අවශ්‍ය ද්‍රව්‍ය
කිරි කෝප්ප 01 ½ (375 ml)
සීනි මේස හැඳි 01 ක් (15 g)
ඊස්ට් මේස හැඳි 02 ක් (06 g)
පාන් පිටි කෝප්ප 04 ක් (500 g)
ලුණු කුඩු තේ හැඳි 01 ½ ක් (08 g)
තෙල් මේස හැඳි 03 ක් (45 ml)
කුඩා කොටු වලට කපාගත් සුදුළුණු මේස හැඳි 02 ක්
කුඩා කොටු වලට කපාගත් පාස්ලි මේස හැඳි 02 ක්
දියකරගත් බටර් කෝප්ප ⅓ ක් (75 ml)
වැඩිපුර තෙල් ටිකක්
සාදාගන්නා ආකාරය
මුලින්ම කිරි, සීනි සහ ඊස්ට් තරමක් විශාල භාජනයකට දමා හොඳින් කලවම් කරගන්න.
ඒ මිශ්‍රණයටම පිටි සහ ලුණු කුඩු එකතු කර නැවත හොඳින් කලවම් කරගෙන පිටි ගුලියක් සාදාගන්න.
දැන් එයට තෙල් මේස හැඳි 03 ත් එක්කර විනාඩි 07 ක් පමණ අත් ගසමින් භාජනයේ සහ අතේ නොඇලෙන මෘදු පිටි ගුලියක් සාදාගන්න.
තරමක් විශාල වෙනත් භාජනයක් ගෙන එහි අඩියේ තෙල් ආලේප කරගන්න.
ඒ මත සාදාගත් පිටි ගුලිය තබා රෙද්දකින් භාජනය හොඳින් ආවරණය කර විනාඩි 40 ක් 50 ක් අතර කාලයක් පිපෙන්නට තබාගන්න.
ඒ අතර අපි garlic බටර් මිශ්‍රණය සාදාගමු.
කුඩා භාජනයක් ගෙන එයට කුඩාවට කපාගත් සුදුළූණු, පාස්ලි සහ දියකරගත් බටර් එකතු කරගෙන හොඳින් කලවම් කර පසෙකින් තබාගන්න.
විනාඩි 40 කට හෝ 50 කට පසු පිටි ගුලිය අඩංගු භාජනයේ රෙද්ද ඉවත්කර පිපී ඇති පිටි ගුලිය මතට පිටි ස්වල්පයක් ඉස පිටි ගුලිය ඉවතට ගෙන පැතලි මතුපිටක් මත තබාගන්න.
දැන් පිටි ගුලිය සමාන කොටස් 10 කට කපා වෙන් කරගන්න.
එක් එක් කොටසෙන් පිටි බෝලය බැගින් සාදා ට්‍රේ එකක් මත අතුරා ගන්න.
සාදාගත් පිටි බෝල ආවරණය වන පරිදි රෙදි කැබැල්ලක් නැවත ඒ මත දමා තවත් විනාඩි 10 ක් පමණ තබාගන්න.
විනාඩි 10 කට පසු එක් එක් පිටි බෝලය ඉවතට ගෙන විශ්කම්භය අඟල් 07 ක් 08 ක් පමණ වන පැතලි රොටී හැඩැති රවුම් සාදාගන්න.
තැටියක් ලිපතබා එහි තෙල් ආලේප කර තෙල් රත්වන විට සාදාගත් රොටිය එයට දමා එක් පැත්තක් තත්පර 60 ක් 90 ක් පමණ කාලයක් වන සේ දෙපැත්ත හරවමින් පුළුස්සා ගන්න.
භාජනයකට රෙදි කැබැල්ලක් අතුරා ඒ මතට ලිපෙන් ඉවත් කරගන්න රොටී දමා තවත් රෙදි කැබැල්ලකින්ම රොටී ටික ආවරණය කරගන්න.
මේ විදිහට සියළු රොටී පුළුස්සා අසුරා ගන්න.
ආහාරයට ගන්න සූදානම් වෙන අවස්තාවේ තැටිය රත්කර ඒ මතට නැවත රොටිය අතුරා ගින්දර නිවා දෙපැත්තේම සාදාගත් සුදුලූණු බටර් මිශ්‍රණය ආලේප කරගන්න.
දැන් ඔන්න උණුසුම්ව පිළිඟන්වන්න garlic butter naan සූදානම්.
එහෙනම් හදල බලල අපි එක්කත් රස බෙදාගන්න අමතක කරන්න එපා.
සටහන – දුලානි නවෝද්‍යා
ReplyForwardAdd reaction |