මන්දාරම් යන විටත් ජිනේන්ද්‍ර පැමිණ උන්නේය. එහි තිබූ කාර්යබහුලකම නිසා දෙදෙනාම යළි නිදහස් ඉඩක් සොයාගන්නට තවත් වෙලාව ගත්තෝය. දෙදෙනාම උන්නේ එකිනෙකා කෙරෙහි කුතුහලයෙනි. දෙදෙනා එකිනෙකාව එතරම්ම අවබෝධයකින් නොදන්නවා වුවද, යම් හුරුවකින් දෙදෙන එකිනෙකා කෙරෙහි විශ්වාසය තබමින් උන්හ.
මන්දාරම් විමසීමකින් තොරවම දෙදෙනාට කෙටි ආහාර සහ පානයන් ඇණවුම් කලේය. දෙදෙනාම එකිනෙකා කෙරෙන් යම් පිවිසීමක් බලාපොරොත්තුව උන්නෝය. එහෙත් වටපිටාව කතා කරමින් උන්නා මිසෙක ඍ ජුව මාතෘකාවට පිවිසීමට දෙදෙනාම උත්සාහ කලේ නැත. මන්දාරම්ට කලබලයක් නොවූවා නොවේ. එහෙත්, ඔහු ඉවසමින් බලා උන්නේය. ජිනේන්ද්‍රට අවැසි ඉඩ ඔහුටම සකසා ගන්නට ඉඩ දුන්නේය.
ජිනේන්ද්‍ර ඔහුගේ ජංගම දුරකතනය ගත්තේය. ගැලරිය විව ත කර තාත්තාගේ ජංගම දුරකතනයෙන් ලබා ගත් සේයාරුවන්ගේ වීඩියෝව වාදනය වන සේ සැකසුවේය. එය මන්දාරම් වෙත පෑවේය. මන්දාරම් එක් අතක වූ කෝපි කෝප්පය මේසය මත තබන අතරේ විමසිල්ලෙන් ජංගම දුරකතනය අතට ගත්තේය. ජිනේන්ද්‍ර දෙස විමසිල්ලෙන් බලන අතරේම ජංගම දුරකතනය තමා වෙත හරවා ගත්තේය.
එහි වූ වීඩියෝව වාදනය කලේය. මන්දාරම් තත්පර කිහිපයකට පසු උන්නේ විරූපිව ගිය මුහුණක් එක්කය. ඔහු වහා ජිනේන්ද්‍ර දෙස බැලුවේය. එහෙත් ඔහුට ජිනේන්ද්‍ර කෙරෙන් ඔහු තරමේවත් පැහැදිලි බවක් විඳින්නට වූයේ නැත. ජිනේන්ද්‍ර උන්නේද කිසිත් වටහා ගත නොහැකිව සේය. කිසිත් නොපවසන්නට උත්සුක වෙමිනි.
තිහේ දශකය වටා උන් තරුණයක් දෙදෙනා ජීවිතයට එක්වරම කඩා වැටුණු සුළි කුණාටුවක අතරමංව උන්නෝය. තමා ඒ සුළි සුළගේ ගසාගෙන ගොස් කොහේ නැවතේදැයි සිතා ගන්නටවත් ඉඩක් දෙදෙනාටම තිබුනේ නැත.
” කොහෙන්ද මේ ?…”
මන්දාරම් එලෙස විමසන්නට සෑහෙන්න වෙලා ගත්තේය. ඔහුගේ හිතට දැනෙනේ සුලුපටු කලබලයක් නොවේය. එහෙත් ජිනේන්ද්‍ර උන්නේද ඒ කලබලය නිවන්නට තරම් හැකි වන දැනුමක් සමඟ නොවේය. ජිනේන්ද්‍ර මේසයට සිහින් තට්ටුවක් දැම්මේය. එතරමින් සන්සුන් බවක් සෙව්වේය.
” කොහෙන්ද මේ ?…”
මන්දාරම් නැවත විමසුවේය. ජිනේන්ද්‍රට තමා කලේ නොකල යුත්තක්දැයි සිතුනේ එවෙලෙහි මන්දාරම්ගේ දෑස් වල වූ කෝපය පෙනෙද්දීය.
එහෙත් දැන් ආපසු හැරිය හැකි නොවේ. දෙදෙනාම එක් වී යම් එකඟතාවයකට ඒම පමණක් පිළිතුර වන්නේය. අනෙක් අතට දෙමාපියන් වූ පලියට ඔවුන් තම අභිමතයන් පරිදි ජීවත් විය යුතුයැයි සිතීමද උකටලීය. එනිසා වඩා වැදගත් වන්නේ අවබෝධයය. එකිනෙකාගේ සීමාවන් වෙනුවෙන් ඉඩ දීමය.
” ඔය අපේ තාත්තාගේ ෆෝන් එක … උඹ මට පෙන්නපු ෆොටෝ එකේ ඇස් දෙක මම තාත්තාගේ ෆෝන් එකේ ෆොටෝ වල දැකලා තිබුන බව මට මතක තිබුනා..ඒක අහම්බෙන් දෙතුන් වතාවක දැකපු එකක් .. ඒත් ඒ බැල්ම ක්මට මතක තිබුනා…. හිතේ සැකේට උඹ යනකල් ඉඳලා මම චෙක් කලේ තාත්තාගේ ෆෝන් එක … මම ඒ නම්බර් එකත් ගත්තා.. ස්වර්ණා කියලා සේව් කරලා තිබුනේ……”
මන්දාරම් සියල්ල වැටහුණාක් මෙන්, හිස පහතට නැඹුරු කරගත්තේය. ජිනේන්ද්‍රගේ ජංගම දුරකතනය මේසය මතින් තැබුවේය. ජිනේන්ද්‍ර ජංගම දුරකතනය අතට ගෙන යළි එහි වූ වීඩියෝව බැලුවේය. මන්දාරම්ට දැනුනේ තමා ඉතා කුඩා කැබලි තෙක් කුඩු පට්ටම්ව යන බවය. ජිනේන්ද්‍ර සුසුමක් හෙලමින් තමා මත වූ බර තවකෙකු හා බෙදාගත් සැනසීම වින්දේය.
අම්මා ජිනේන්ද්‍රගේ පියා සමඟ යම් සම්බන්ධතාවයක් නඩත්තු කරන බව පැහැදිලිය. අම්මා අනතුරට ලක් වූ දිනයේද එන්නට ඇත්තේ ඔහු මුණගැහෙන්නට බවට සැක නැත. එලෙසින්ම නිම්නාවී පවසන සියලුම ඇමතුම් සහ ඇය කිරිබත්ගොඩ යැවූ සිදුවීම පසුපස ඉන්නේද ජිනේන්ද්‍රගේ පියාම බවට සැක නැත. ජිනේන්ද්‍රගේ පියා අනතුරකට ලක්ව ඇති නිසා ඔහුට උදව් කරන්නට ඇත්තේ මෝටර් රිය වෙන් කරවා ගන්නට අංකය ලබා දුන් කිසිවෙකු විය හැක.
මන්දාරම් වහා නිම්නාවී එවූ වාහනයේ අංකයෙන් සොයා ගත් එය වෙන් කරවාගෙන තිබූ ජංගම දුරකතන අංකය සහ එහි වූ නම පවසා ජිනේන්ද්රගෙන් ඒ කවුරුන්දැයි විමසුවේය.
ජිනේන්ද්‍ර ඒ අංකය ඔහුගේ ජංගම දුරකතනයේ සටහන් කර විමසා බැලුවේය. මන්දාරම් දෙස බැලුවේය. මන්දාරම් මුවින් කිසිවක් නොවිමසා බලා උන්නේය. පිළිතුර ජිනේන්ද්‍ර දන්නා බව මන්දාරම්ට වැටහුනේය.
“මං වැඩ වලට එලියට යන දවස් වලට අපේ තාත්තාව බලාගන්න එක කොල්ලාගේ නම්බර් එක මේ … කැම්පස් කොල්ලෙක් … ගොඩක් දවස් වලට රෑට අපේ ගෙදර ඉඳලා කැම්පස් යන්නේ … මේ නම්බර් එක වැඩ කරන්නේ නෑ කියලා මට අලුත් නම්බර් එකක් දුන්නා දැන් ටික දවසට කලින් ..එහෙම නම් මේකයි සීන් එක .”
ජිනේන්ද්‍ර මන්දාරම්ගේ බලා සිටීමට තිත තබමින් කීවේය. මන්දාරම් සියල්ල ගලපා වටහා ගත්තේය. ජිනේන්ද්‍රද යම් යම් දේ ගලපාගෙන උන්නේය. ඉන් පසුව දෙදෙනාම කලේ නිහඬව එකිනෙකා දෙස නොබලා විනාඩි කිහිපයක් ගෙවා දැමීමය. දෙදෙනාම එකිනෙකා කෙරෙහි කියා ගත නොහැකි හැඟීම් සමඟින් නිසොල්මන්ව යමින් උන්නහ.
” හරි බං .. උඹට තැන්ක් යූ .. මගේ ඔලුවේ තිබුණ සෑහෙන්න බරක් උඹ නිදහස් කලේ….එනි වේ”
මන්දාරම් අවසානයේ කීවේය. එහෙත්, ඒ පැවසූවේ සැබැවින්ම නොවන බව මන්දාරම් සේම ජිනේන්ද්‍රද දැන උන්නෝය. ජිනේන්ද්‍ර ඒ නිසාම කිසිත් නොපවසා හිස සැලුවේය. ජිනේන්ද්රටද අන් පැවසිය හැකි යමක් වූයේ නැත.
” උඹ මෙහෙම දෙයක් නොවුන ගානට ඉඳපං … මේක මම විසඳන්නම් …”
ඉන් පසුව මන්දාරම් යළි පවසද්දී ජිනේන්ද්‍රගේ හිත ගැස්සුණේය. තාත්තා පත්වන අපහසුතාවය සැනින් වැටහුනේය. තාත්තාට රිදීමක්, ලැජ්ජාවක් වන යමක් සිදුවේයැයි වන බිය ඉස්මතු වූයේය.
” අපිට අම්මලාගේ තාත්තලාගේ ජීවිත ගැන සීමාවට එහා වග වෙන්න බැහැ මන්දාරම් .. ඒක ඒගොල්ලෝ තෝරගත්ත ජීවිතේ නම්, අපිට ඒ ඉඩ දෙන්න වෙනවා ….”
ජිනේන්ද්‍ර මන්දාරම් ඉක්මවා යමින් කීවේය. වඩා අවධාරණය කරන හඬක් එයට එක් කලේය. එහෙත් මන්දාරම් උන්නේ ඒ පැවසූ කිසිවක් වටහා ගන්නට රිසි මානසිකත්වයක නොවේය.
ජිනේන්ද්‍ර තව තවත් දෑ පවසමින්උත්සාහ කලේය. එහෙත්, මන්දාරම් උන්නේ ඔහුගේ තීරණයකය. මුවින් නොපවසනවා වුවද මන්දාරම් සිටින්නේ යම් බැරෑරුම් තීරණයක විය හැකි බව ජිනේන්ද්‍රට වැටහුනේය.
” මොන දේ කලත් මම මගේ තාත්තාගේ පැත්තේ…”
ජිනේන්ද්‍ර අවසානයේ පැවසූවේ, නොදන්නා මන්දාරම්ට මේ සියල්ල පැවසීමට තමා ඉක්මන් වූවා වැඩියැයි යන පසුතැවීම අඩු නැතිව නැගෙද්දීය. එහෙත් දැන් සිදුව හමාරය.
” මුලු ලෝකේම මගේ තාත්තාට එරෙහි වෙලා ආවත්, එයා හරි හෝ වැරදි වුනත් , මම එයා එක්ක ඉන්නවා….”
තමා සැබැවින්ම මේ ප්රශ්නයේදී පියාගේ පැත්තේද නොසිතාම ජිනේන්ද්‍ර එලෙසින් කීවේය. මන්දාරම් මුවඟින් සිනහවක් පා ඒ බව පිළිගත් බව ඇඟෙව්වේය. ඔහුට අවැසි වූයේ ඒ කතා අසා සිටින්නට නොවේය.
” උඹේ තීරණයක් ඒක බං … මට යන්න ඕනි දැන් .. මම කෝල් එකක් දෙන්නම් ……”
ජිනේන්ද්‍රට කිසිවක් පවසන්නටවත් ඉතිරි නොකරම මන්දාරම් ඔහුට සමුදුන්නේය.
අපේක්ෂා ගුණරත්න
ReplyForwardAdd reaction |