නිම්නාවී පැමිණ ගේට්ටුව විවෘ ත කරගන්නට උත්සාහ කලා වුවද ගේට්ටුව විවෘත කරගන්නට හැකි වූයේ නැත. වෙනදාට වඩා පැය භාගයක් පමණම ප්රමාද වී තිබියදීත් ගේට්ටුව වසා තිබෙන්නේ ඇයි දැයි වටහා ගන්නට නොහැකිව නිම්නාවී යළි අත් ඔරලෝසුව දෙසද බැලුවාය. අවටද විමසිල්ලෙන් බැලුවාය.
යළි ගේට්ටුව අස්සෙන් එබෙමින් මිදුල දෙසද බැලුවාය. ගේට්ටුව පසෙක වූ සීනුව ද දෙවතාවක්ම නාද කලාය. ඉන් පසුව මන්දාරම්ට ඇමතුමක්ද ගත්තාය. එයටද පිළිතුරක් නොවූ නිසා ඕ යළි ගේට්ටුවට තට්ටුවක් දමන අතරේම සීනුවද නාද කලාය. අවසානයේ කිසිවෙකු අඟුලු ඉවතලන හඬ ඇසුණි. නිම්නාවී මදක් පසෙකට වූවාය.
නිදිබරවූ දෑසින් උන්නේ මන්දාරම් ය. ඔහු උන්නේ ඉතා කෙටි කලිසමකින් සැරසීගෙනය. නිම්නාවිට අතීතයේ එක් දවසක් සිහි විය. නිම්නාවී වහා ඔහුගෙන් දෑස් ගලවාගෙන නිවස තුලට ආවාය. චානකද සාලයට පැමීනියේ නිදිමත සමඟින්මය. රෑ උන් හැටියෙන්මය. සිටින්නේ නිම්නාවී බව දුටු වහාම ඔහු වහා හැරී කාමරය තුළට ගියේය.
” අර බූරුවා හෙළුවෙන් ගිහින් ගේට්ටුව ඇරියද මන්දා …”
නිම්නාවීගේ මුහූණෙහි වූ වික්ෂිප්ත භාවය සිහි කරමින් චානක සිතුවේ සිනාසෙමිනි. එහෙත් ඒ සිනහව පිටුපසින් මන්දාරම්ගේ ඊයේ රැයේ නාඩගම පිළිබඳව නොදන්නා අඳුරු කතන්දරයක් ඇදී ආවේය. සැහැල්ලුවෙන් සිටින්නට උත්සාහ කරනවා වුවද, තමාගේ හිසෙහිද යම් කලබලයක් ඇති වග චානක වටහා ගත්තේය. මන්දාරම් කලබලව උන්නේ නිම්නාවී නිසානම්, නිම්නාවී අද මෙහි පැමිණීම සිදු නොවන වග ඔහුට එක්වරම සිහි විය.
නිම්නාවී ස්වර්ණාගේ කාමරයට එබුනාය. ඕ උන්නේද නින්දේය. නිම්නාවී ඇගේ කාමරයට ගොස් ඇඳුම් මාරු කරන්නට සිතුවාය. පසුව බෑගය කාමරයේ තබා යළි සාලයට ආවාය. මන්දාරම් උන්නේ ඒ කෙටි කලිසම පිටින්ම සෙටියේ වැතිරීගෙනය, චානක ටී ශර්ටයක් ගත ලමින් සාලයට ආවේය. නිම්නාවී වඩා විමසිලිමත් බැල්මක් හෙලුවේ චානක වෙතටය.
චානක නිම්නාවී නොතකා විත් හිඳගත්තේය. මන්දාරම් වෙතට තරවටු බැල්මක් හෙලුවේය.
” ඇයි මිස් තවම නිදි ?…”
නිම්නාවී විමසුවේ චානකගෙනි. මන්දාරම් දෙස යන්තමින්වත් නොබලන්නට ප්රවේශම් වෙමිනි. ඇගේ හදවත වෙනස් ඉමක යමක් සොයන්නට ගෙන තිබුණි.
” නිදි නිදි නිසා.. ඒකට හේතුවලින් තමුසේට වැඩක් නෑනේ… තමුසේ ඉන්නේ නින්දෙන් නැගිට්ටාම වැඩ ටික කරන්න … ඒ නැගිටිනකල් වෙන වැඩක් බලාගන්නවා ..ඉවරනේ….”
චානක වෙනුවට මන්දාරම්ගේ හඬ මහ හඬින් , කිසිවෙකුට සිතා ගත නොහැකි ලෙසින් පුපුරා ගියේය. නිම්නාවී පපුවට අතක් තබාගෙන තිගැස්ම පාලනය කරගත්තාය. ඇය ඔහුගෙන් එවන් ප්රතිචාරයක් කිසිලෙසකින් බලාපොරොත්තු වූයේ නැත. චානක මහ හඬින් කෑ ගසා මන්දාරම්ගේ හඬ නවතාලන්නට උත්සාහ කලේය.
” පිස්සුද බං ?…”
චානක මන්දාරම්ගේ උරිස්සට රිදෙන පහරක්ද ගසා ඇසුවේය.
” ඔව් පිස්සු ..තොපි ඔක්කොමලා හිතාගෙන ඉන්නේ මම පිස්සෙක් කියලානේ …එක්කෝ තොපි ඔක්කොටම ඕනි මට පිස්සු හදවන්න නේ ……..”
මන්දාරම් එවර චානකටද කෑ ගැසුවේය. චානක මිතුරා දෙස බැලුවේ උස්සා පොළවේ ගසන්නට තරමේ වන කෝපයක් එක්කය.
” සුදු පුතා ….”
ස්වර්ණාගේ හඬ ඇසුණි. මන්දාරම් දෑස් පියාගෙන සන්සුන් වෙන්නට උත්සාහ කලේය. චානක වහා නැගිට්ටේ මන්දාරම් සහ ස්වර්ණාගේ ගැටීම තව වේලාවකින් පසු කරවාලන්නට සිතමින් ය. ඔහු මන්දාරම් කාමරයට කැටුව යන්නට සිතුවේය.
එහෙත් මන්දාරම් ඉක්මන් විය. ඔහු අඩියට දෙකට ස්වර්ණාගේ කාමරයට පිවිසියේය. චානකද වහා ඒ අඩි පස්සේම කාමරය තුලට ගියේය. ඒ මන්දාරම් නවතාගෙන ආප්සු හරවාගන්නට සිතමිනි. නිම්නාවීටද කාමරය තුලට නොගොසින් සිටින්නට හැකි වූයේ නැත. ඇයද කාමරය තුළට වූවාය.
ස්වර්ණා මන්දාරම්ගේ කලබල වේශය දෙස සන්සුන්ව බලා සිටින්නට උත්සාහ කලාය. ඕ යහනේ මදක් කෙලින් වී හිඳගත්තාය. පුතු කිනම් හෝ පැටලීමක බව ඇයට සැක නැත. මන්දාරම් කලේ කිසිවක් නොදැනෙන්නෙකු මෙන් ඇය දෙස බලා හිඳීමය.
” සුදු පුතේ ….”
ස්වර්ණා යලි ඔහු ඇමතුවාය.
” ඌ ඊයේ හවසම මළා .. ආයේ සුදු පුත්තු නෑ ඔයාට .කතා කරන්න එපා එහෙම මට ..”
මන්දාරම් දඹරැඟිල්ලද ස්වර්ණා වෙත පා ගිගිරුවේය. ස්වර්ණාට නැගිටගන්නට පවා විරියක් නොවූ සෙයින් මන්දාරම් ළඟට එන්නට නොහැකි වේදනාවද සමඟින්ම හඬා වැටුණාය. චානක මන්දාරම් කාමරයෙන් පිටතට ගෙන යන්නට උත්සාහ කලේය. නිම්නාවී උන්නේ කිසිවක් වටහා ගන්නට නොහැකිවය.
” මං හිතුවේ ඔයාගේ ජීවීතේ ඉන්නේ මම කියලා… ඔයාට මාව වටිනවා කියලා..ඔයාගේ ජීවිතේ මට ඉඩක් තියෙනවා කියලා අම්මේ …….”
මන්දාරම් ඇණුම් පද කීම ඇරඹුවේය. ඒවා කඩු තුඩු මෙන් වැදී ස්වර්ණා තුවාල කලේය. එහෙත් එකිනෙකා උන්නේ තම තුවාල සුව කරගන්නට නොහැකිව යන තරමට ස්වකීය වේදනාවන් දරමිනි. මන්දාරම් වැඩි වේදනා විඳිනවායැයි කිව හැකි නොවේ. එහෙත් ඔහු එය එලෙසින් බව සිතා, ඒ අනුව හැසිරෙමින් උන්නේය.
” පුතේ ….”
” ආයේ බොරුවට රඟපාන්න ඕනි නෑ .. ඔයා ඔයාට ඕනි ජීවිතේ ගෙවන්න .. ආයේ මාව බාධාවක් කරගන්න ඔනි නෑ ..මිස් නිම්නාවී .. හෙට ඉඳන් ඔයා ආයේ මෙහෙ එන්න උවමනා නෑ .. මිස් ඒ වැඩ කටයුතු අදාල අය එක්ක බලලා කරගනීවි .ඔයාට මම මාස් අතුනක සැලරි ට්රාන්සර් කරන්නම් .. හවස යනකොට ඔයාගේ තියෙන දේවල් අරගෙනම යන්න ..”
මන්දාරම් අතිශය දැඩි වෙමින් උන්නේය. ස්වර්ණාගේ කඳුලු පිලිබඳව කිසිඳු වගක් නැතිව උන්නේය.
” මට දැන් සැකයි , තාත්තා සූසයිඩ් කරගත්තේත් ඔයාගේ මේ හැසිරීම් දරාගන්න බැරුවද කියලා..මට කිසිම දෙයක් නොතේරුනා වගේ හිටියට, මටත් දේවල් තේරුනා …..”
මන්දාරම් එක්වරම පවසද්දී ස්වර්ණාගේ හැඬුම් නැවතුනේය. නිම්නාවී චානක දෙස බලා බිත්තියකට වාරු වූවාය. ඉතා සෙනෙහසින් උන් මේ අම්මාට සහ පුතුට කුමක් වූයේදැයි ඇයට වැටහෙන්නේ නැත. මෙලෙසින් එකිනෙකා රිදවාගන්නට තරම් හැකියාවක් ඔවුන්ට නැති බව ඇයට විශ්වාසය. මන්දාරම් මෙතරම් නපුරු ස්වර දරමින් අම්මා රිදවන පුතෙකු බව ඇයට විශ්වාස කරගන්නටද නොහැකිය.
” පවු පිරෙන කතා කියන්න එපා සුදු පුතා …”
එවර ස්වර්ණා එතෙක් වෙලා නෙතින් ගිලිහුනු කඳුලු වෙනුවෙන් නැගී උන්නාය. දැඩි හඬින් මන්දාරම්ට එරෙහිව නැඟුණාය.
එහෙත් මන්දාරම්ගෙන් ලැබුනෙ සරදම් සිනහවකි. ඔහු උන්නේ පියවි සිහියෙන් බැහැරවය.
” අම්මාටද ඒ සරදමට හිනාවෙන්නේ සුදු පුතා ?….”
ස්වර්ණා යලි දැඩි හඬින් විමසුවාය. මන්දාරම් සරදම් සිනහවක් එක්කම පිළිතුරු දුන්නේය.
” කැමති විදියකට හිතාගන්න පුලුවන් ඔයාට … ආයේ මගේ ගැන හොයන්න , කරදර වෙන්න එපා… ඔයා ඔයාගේ ජීවිතේ කැමති විදියකට ගෙවාගන්න …”
” මොනවද රත්තරනේ මේ කියන්නේ ?…”
” ඇත්ත කියවෙනකොට සෑහෙන්න අමාරු ඇති .. ඒත් මේ මන්දාරම් අම්මා අප්පාගේ ඉස්සරහ වුනත් කියනන් තියෙන දේ කියන ජාතියේ… … අන්න ඒක මතක තියාගන්න …”
චානක යළි මන්දාරම් නවතන්නට උත්සාහ කලේය. එහෙත් මන්දාරම් උන්නේ ඔහු විසින් සකසා ගත් කුටියකය.
” ඔයා වෙනුවෙන් අම්මා කල දේවල් නොදන්න නිසයි ඔහොම කතා කරන්නේ ඔයා සුදු පුතා …”
” ඔව් ඔව් .. කලා ..කලා කියලා කියන්නේ ඔය අහිගුණ්ටිකයෙක් වගේ තැනින් තැනට උස්සගෙන ගිය එක ගැන වෙන්න ඇති මාව … ලස්සනට හදාගෙන ආව මගේ නම ඔයාගේ තීරන නිසයි එදත් නැති උනේ…
ඩිබේට් ටීම් එක අතෑරලා වෙන ඉස්කෝලෙකට යන්න බෑම කියද්දී ඔයයි මාව බලෙන්ම ඉස්කෝලෙන් අස් කරගෙන ගියේ …. එදා මම ඩිබේට් ටීම් එක අතෑරපු එකෙන් අපේ උන් මාව ආත්මාර්තකාමියෙක් ගානට දැම්මා.. උන් හිතුවේ මම ෆයිනල්ස් දාලා අයින් වෙලා ගියේ මගේ නම විතරක් ත්බුණම ඇති කියලා හිතලා කියලා..
ලස්සනට හැදිලා තිබුන සෙත් වර්ණකුලව මරලා දැම්මේ ඔයයි අම්මේ…. ඒ මරලා දාලා, ඔයාට ඕනි විදියට මන්දාරම් වර්ණකුලව හදාගත්ත එක ගැනනම් ඔය කියන්නේ …, ඔව් …ඔයා සෑහෙන්න දේවල් කලා.හරි, මම පිළිගන්නම් .. ඉතින් මට කියන්න, කොහොමද මම ඒ වෙනුවට ඔයාට ගෙවන්න ඕනි ?..”
අපේක්ෂා ගුණරත්න
ReplyForwardAdd reaction |