වසර හැට තුනක් මඟ බැලූ ප්‍රේමයක්

2013 වසරේ දිනයක කොරියානු යුධ බිමට වසර ගණනකට පෙර නික්ම ගිය ඇමරිකානු සොල්දාදුවෙකු වූ ජෝසප් ගෑන්ට්ගේ දිරාගිය අස්ථි සහිත මිනී පෙට්ටියක් මව් රටට පැමිණෙනවා.ජාතික ධජයෙන් ආවරණය කළ එය පරීක්ෂණ අනුව ජෝසප් ගෑන්ට්ගේ බව තහවුරු කරගන්නා ලද්දක්.ජෝසප් ගෑන්ට් මියගොස් දැන් බොහෝ කාලයක් ගතවී ඇති නිසා මේ එක්තරා අන්දමක අමුතු සිදුවීමක් වුණා.

ගෑන්ට්ගේ අස්ථි කොටස් බාරගන්නට පැමිණියේ ඔහුගේ බිරිඳ.ක්ලාරා ගෑන්ට් නම් ඇය 94 හැවිරිදි කාන්තාවක් වී සිටියා.වඩාත්ම සංවේදී කාරණාව වන්නේ ගෑන්ට් නම් සොල්දාදුවා අතුරුදහන් වී වසර හැට තුනක් ගෙවී ඇති අතර ක්ලාරා වසර හැට තුනක් තිස්සේම ඒ ආදරය වෙනුවෙන් මඟ බලා සිටීමයි.

ක්ලාරා සහ ජෝසප් මුණ ගැසෙන්නේ මීට බොහෝ කාලයකට කලින්.ඒ දෙවැනි ලෝක යුද්ධය අවසන් වූ කාලයේ.ප්‍රේමය දිනාගනිමින් විවාහ ගිවිස ගන්නට ඔවුන්ට හැකි වෙනවා.නමුත් සැබෑ ප්‍රේමය ට සෑම මොහොතකම බාධා ඇති විය හැකි බව තහවුරු කරමින් ගෑන්ට්ට යුද්ධය සඳහා කැඳවීමක් ලැබෙනවා.වහාම සේවයට වාර්තා කිරීමේ නියෝගයක් ඔහුට ලැබෙන්නේ කොරියානු යුද බිමට යාමටයි.1942 වසරේ හමුදාවට බැඳී 1948 වසරේ විවාහ ගිවිසගත් ඔහු ඒ වෙනුවෙන් පිටව යනවා.

“මට යුද්ධයේදී අනතුරක් වුනොත් මං වෙනුවෙන් බලා ඉන්න එපා.”

ජෝසප් පිටව යන්නේ ක්ලාරාගෙන් එවැනි ඉල්ලීමක් කරමින්.නමුත් ක්ලාරා එය ප්‍රතික්ෂේප කරන අතර ඔහු එනතුරු බලා සිටින බව පවසනවා.

1950 නොවැම්බර් මාසයේදී ඔහු අතුරුදහන් වූ බවට ආරංචි ලැබෙන අතර ක්ලාරාට කළ හැකිව තිබුණේ දෙවියන් යැදීම පමණයි.1953 වසරේදී ඇමෙරිකාවට පැමිණි සෙබළු කිහිප දෙනෙකු ඔහු තමන් සමග චීන අත්අඩංගුවේ පසුවූ බවත්  1951දී සාගතයෙන් මිය ගිය බව තහවුරු කරනවා.නමුත් ඔහු කෙදිනක හෝ තමන් සොයා ගෙන ඉන්න බව විශ්වාස කිරීම ක්ලාරාගේ එකම සතුට වුණා.ඇය දිගින් දිගටම යාඥා කරමින් ඔහු එනතුරු බලා සිටියා.

කාලය ගෙවී ගියා.ඇය වියපත් වුණා.නමුත් ජෝසප් පැමිණියේ නැහැ.වසර හැට තුනකට පසු ඔහු පැමිණෙන්නේ අස්ථි කැබලි කිහිපයක් ලෙසයි.ක්ලාරා ඇය පිළිගන්නට යනවා.විමල් තරුණියක සේ කඩවසම් යෞවනියට ආදරය කළ ඇය 94 හැවිරිදි මහළු ගැහැනියක ලෙස ඔහුගේ අස්ථි කොටස් පිළිගන්නවා.

2013 වසරේ දී අන්තර්ජාලය කැළඹූ සේයාරුවක් බිහි වන්නේ ඒ ආකාරයෙන්.මේ ඡායාරූපය සුපෙම්වතා නැවත පැමිණෙන තුරු බලා සිටි ගැහැණියකගේ අවංක ආදරය පිළිඹිබු කරන්නක්.

ක්ලාරා පැවසුවේ ඇය කිසි විටෙකත් ඔහු එනතෙක් බලා සිටීම නතර නොකළ නමුත් ඇය තම ජීවිතය සමඟ ඉදිරියට ගිය බවයි. ඇය වසර ගණනාවක් ආබාධ සහිත පුද්ගලයින් මෙන්ම ළමුන් සඳහා භාරකරුවෙකු ලෙස සේවය කළා. ඇය සහ ඇගේ ස්වාමිපුරුෂයා සැමවිටම දරුවන් ලැබීමට කැමති වූ නිසා ඔවුන් සමඟ වැඩ කිරීම ඇයට සතුටක් ගෙන දී තිබුණා.

“මම දෙවියන් වහන්සේට යාඥා කරමින් ඔහු  සොයා ගන්නා තෙක් මට ජීවත් වීමට ඉඩ දෙන්නැයි ඉල්ලා සිටියා”

ක්ලාරා පවසන්නේ එවැන්නක්.

අත්‍යන්ත ප්‍රේමය මේ ආකාර දෙයක් බවට රාමු කර පෙන්වීමේ හැකියාවක් නැහැ.ප්‍රේමය යනු මග බැලීම යැයි ප්‍රකාශ කරන්නටද හැකියාවක් නැහැ.නමුත් ආදරය කිරීම සම්බන්ධයෙන් සෑම කෙනෙකුටම විවිධ තෝරාගැනීම් පවතිනවා.සමහර තෝරාගැනීම් ලෝකෙම සංවේදී කරන්නට සමත් වන්නේ අවංක ආදරයේ පැතිකඩ ඒ තෝරාගැනීම් වලින් නිරූපනය වෙන නිසා.තමන්  අතහැර ගිය ආදරය අමතක කර දමා තමන්ගේ ජීවිතය තමන්ගේ ආකාරයට ගත කිරීමට කෙනෙකුට ඇති අයිතිය තරමටම මියයන තුරුම ඒ ආදරය වෙනුවෙන් මග බැලීමටත් ගැහැනියකට අයිතියක් තිබෙනවා.

ක්ලාරා එවැන්නියක්.

වසර හැට තුනක් තිස්සේ මඟ බලා ඇය ඇගේ ආදරය සම්පූර්ණ කර ගත් බව පැවසිය හැකියි.ඒ ඇගේ සත්‍ය ප්‍රේමයයි.

Related Articles

Don't Miss


Latest Articles